ජේ.ආර්ට පැරදුණ ඒකාබද්ධ විපක්ෂය


 1982 ඔක්තෝබර් 20 වැනිදා පැවැති ලංකාවේ ප්‍රථම  ජනාධිපතිවරණයෙන් 1977 ජුලි 21 වැනි දින බලයට පත් එක්සත් ජාතික පක්‍ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 52.91%ක් ලබා ජයග්‍රහණය කළේය. 


එදා ලැබූ ජයග්‍රහණය නැවත වරක් මෙරට ජනතාව එකහඬින් අනුමත කර ඇති බව ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවේ නිල කාලය ඡන්දයක් නොතබා දීර්ඝ කිරිමේ හැකියාව  සොයා බලන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 1982 නොවැම්බර් 04 වැනිදා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 04 වැනි සංශෝධනය ගෙනඑන ලදී. එම සංශෝධනයෙන් කියවුණේ “කලින් විසුරුවා හරිනු ලැබුවොත් මිස ප්‍රථම පාර්ලිමේන්තුව 1989 අගෝස්තු මස 04 වැනි දින දක්වා  පවත්නේය. ඊට වඩා දීර්ඝ කාලයක් නොපවන්නේය. එයින් පසු පාර්ලිමේන්තුව විසිරෙනවා ඇත” යන්නය. මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වුයේ 1983 දී පැවැත්විය යුතු මහ මැතිවරණය නොපවත්වා තවත් අවුරුදු 6 බලයේ රැඳී සිටීමයි.


 1982 නොවැම්බර් 04 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම 4 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3  වැඩි ඡන්දයෙන් සම්මත වුවද පනත් කෙටුම්පත ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කරන තෙක් නීතියක් බවට පත් නොවිය යුතු බව කතානායක සහතික කර තිබුණේය. 1982 නොවැම්බර් 13 වැනි දින එය ගැසට් පත්‍රයේ පළවී තිබුණූ අතර පාර්ලිමේන්තුවේ නිලකාලය දීර්ඝ කර ගැනිම සඳහා වු මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව හිටපු මුදල් ඇමතිවරයකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. විනිසුරුවන් 7 දෙනකුගෙන් සමන්විත පුර්ණ විනිශ්චය මණ්ඩලයකින් ලැබි තිබුණේ බෙදුණු තීන්දුවකි. කෙටුම්පත මැති සබයේ තුනෙන් දෙකක
  ඡන්දයෙන් හා ඒ වෙනුවෙන් වූ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට වැඩිදෙනාගේ මතය වුවද අග්‍ර විනිශ්චය කාර නෙවිල් සමරකෝන්, ඩී.විමලරත්න හා බි.එස්.සී.රත්වත්තේ යන විනිශ්චයකාර තුමන්ලාගේ තීරණය වුයේ සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.


 ඒ වනවිට 1982 ඔක්තෝබර් මාසයේ පැවැති ජනාධිපති වරණය අවසන් වන විටම ශ්‍රී.ල.නි.පක්‍ෂයේ ප්‍රධාන ලේකම් රත්න සිරි වික්‍රමනායක මහතා අත්අඩංගුවට ගෙන “නැක්සලයිට්” කුමන්ත්‍රණයක් පිළිබඳ චෝදනා කරමින් වරාය පොලීසියේ රඳවා තිබූ අතර උපලේකම් විජයකුමාරතුංග ඇතුළු නායකයින් කීප දෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිරකොට තැබීය. 


කෙසේ නමුත් ජනමත විචාරණය 1982 දෙසැම්බර් 22 දින පවත්වනු ලැබීය මැතිවරණයක් නොවන මෙම ඡන්ද විමසීමේදී අපේක්‍ෂකයින් නොසිටීම හේතු කොටගෙන ජනමත විචාරණයන් පැවැත්වීමෙහිලා අදාළ නිල තත්ත්වය, පිළිගත් දේශපාලන පක්‍ෂවල ලේකම්වරුනට හිමිවිය. ඡන්ද කොට්ඨාශ කලින් බෙදා වෙන්කළ අයුරින් දැකිය හැකි වුවද මැතිවරණ ප්‍රතිඵලය (සමස්ත) සඳහා ශ්‍රී ලංකාවම එක් ඡන්ද කොට්ඨාශයක් ලෙස ගැනිණ. ජනමත විචාරණය සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 12 ක් විය.


1. සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය
2. ලංකා කම්කරු සංගමය
3. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය
4. ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය.
5. ඉලංකෙයි තමිල් අරසු කච්චි
6. ලංකා සමසමාජ පක්‍ෂය.
7. මහජන එක්සත් පෙරමුණ
8. නව සමසමාජ පක්‍ෂය
9. ජනතා විමුක්ති පෙරමුණ
10. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
11. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ.
12. එක්සත් ජාතික පක්‍ෂය

මෙහිදී එක්සත් ජාතික  පක්‍ෂය හැර අනෙක් දේශපාලන පක්‍ෂ 11ම ඡන්ද අයිතිය රැක ගැනීම අරමුණු කරගෙන එක් පෙරමුණකට පැමිණ සිටියහ. ඊට තවත් හේතුවක් වූයේ මේ වනවිටත්  දේශපාලන ක්‍රියාධරයින් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවේ සිටීම සහ ජනමත විචාරණයේදි ආණ්ඩුවේ මතයට (ලාම්පුව) විරුද්ධව පාර්ලිමේන්තු කාලය අවුරුදු 06 දික් නොකළ යුතුය. යන්න (කලගෙඩිය) පිළිබඳව ප්‍රචාරක කටයුතු කළ “ඇත්ත” හා “ජනදින” යන වමේ පත්‍ර දෙකටම යළි පළ කළ නොහැකි ලෙස සීල් තැබීම හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මුද්‍රණ කටයුතු කළ ප්‍රධාන පෙළේ මුද්‍රණාලයකටද සීල් තබා තහනමට ලක් කර තිබීමය.


 මෙලෙස රජය ඒක පාර්ශ්වීක ලෙස ප්‍රචාරක කටයුතු කරද්දී විපක්‍ෂ පක්‍ෂවලට ඒකාබද්ධව සටන් කිරීම හැර විකල්පයන් නොවූයෙන් එ.ජා.පක්‍ෂය හැර අනෙක් සියලු පිළිගත් දේශපාලන පක්‍ෂ එක් පෙරමුණට පැමිණ රජයේ යෝජනාව පරාජය කිරීමට පෙරමුණ ගත්තේය. 


මේ අතර අත්අඩංගුවේ සිටි දේශපාලන ක්‍රියාධරයින් නිදහස් කරන ලෙස මහාධිකරණයෙන් කරන ලද  ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණය ජනමත විචාරණයක් පැවැත්වෙන කාලයක ප්‍රබල පක්‍ෂයක ලේකම්වරයකු හා ක්‍රියාකාරී සාමාජිකයින් අත්අඩංගුවේ රඳවා තැබීම යුක්ති සහගත නොවන්නේ යයි ප්‍රකාශ කරමින් ශ්‍රී.ල.නි.පයේ ලේකම් රත්නසිරි වික්‍රමනායක උපලේකම් අ.ම. කරුණාරත්න, ජස්ටින් නවරත්න, ෂෙල්ටන් අබේරත්න, කුසුම්බාල පටබැදි, දේවප්‍රිය අඹගහවත්ත ජගත් නාරංබැද්ද, අනුරුද්ධ රත්වත්ත, මොරිස් රාජපක්‍ෂ, තමරා කුමාරි ඉලංගරත්න ආදීන්ට රුපියල් විසිපන්දහස බැගින් ඇප නියමකර නිදහස් කරන ලදි. නමුත් විජය කුමාරතුංග මහතා නිදහස් කිරීම ප්‍රතික්‍ෂේප කළේය. පෙර ජනාධි තිවරණයට ශ්‍රී.ලනි.පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා මෙම කාල සීමාවේදී 21 වතාවක් රහස් පොලිසියට කැඳවූ බව වාර්තා විය. පක්‍ෂ 12ක් එකම මතයක සිට එ.ජා.ප විරුද්ධව කටයුතු කළද වැඩි ඡන්ද 535240 කින් පාර්ලිමේන්තු නිල කාලය වසර 6කින් දික් කිරිමේ රජයේ යෝජනාව අනුමත විය.


 යෝජනාවට පක්‍ෂව ඡන්ද (ලාම්පුව)  3141223
 යෝජනාවට විරුද්ධව (කළගෙඩිය) 2605983
ප්‍රතික්‍ෂේප ඡන්ද 21456
වැඩි ඡන්ද 535240 


ප්‍රතිඵල නිකුත් වීමත් සමග එතෙක් රිමාන්ඞ් බන්ධනාගාරවල රඳවා සිටි විපක්‍ෂ දේශපාලනඥයින් ඇපමත නිදහස් කළ අතර ඔවුනට නීති මගින් කිසිදු දඬුවමක් ලබාදුන් බවක්, සඳහන්ව නැත. රජය පෙරළීමට “නක්සලයිට්” කුමන්ත්‍රණයන් කරන ලදැයි සැකපිට රඳවා ගෙන සිටි විජයකුමාරතුංග මහතාට එරෙහිවද කිසිදු නීතිමය පියවරක් නොගත්තේය. සමස්තයක් වශයෙන් දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශවල සියලුම දිස්ත්‍රික්කවලින්  රජයේ යෝජනාව පරාද වූ අතර එය ඡන්ද කොට්ඨාස වශයෙන් 19කි.

රජයේ යෝජනාව පරාද වූ මුළු ඡන්ද කොට්ඨාස ප්‍රමාණය 168න් 48කි. එම ආසන. නම්, කෝට්ටේ කඩුවෙල. මහරගම, කැස්බෑව, ගම්පහ, මහර, පානදුර, මතුගම, කළුතර, බේරුවල, අගලවත්ත, කුණ්ඩසාලෙ, බළපිටිය, අම්බලන්ගොඩ, බද්දේගම, රත්ගම, ගාල්ල, අක්මීමන, හබරාදුව, හක්මන, කඹුරුපිටිය, දෙවිනුවර, මාතර, මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, තිස්සමහාරාම, කයිට්ස්, වඩුක්කොඩෙයි, මනිපායි, කන්කසන්තුරේ, කෝපායි, උඩිප්පිඩි, පේදුරුතුඩුව, චාවාකච්චේරි, නල්ලුර්, යාපනය, කිළනොච්චි, මන්නාරම, වව්නියාව, මුලතිව්, කල්කුඩා, මඩකළපුව, පදිරිප්පු, ත්‍රිකුණාමලය, මුතුර්, ඇහැලියගොඩ හා ගලිගමුවයි.
මෙසේ ජනමත විචාරණයේදි එක්සත් ජාතික පක්‍ෂයට බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත නොහැකිවූ මැතිවරණ කොට්ඨාශ සඳහා අතුරු මැතිවරණ පවත්වන බව ප්‍රකාශ කරමින් ආණ්ඩු  පක්‍ෂයේ මැති ඇමැතිවරුන් සියලු දෙනාගේම ඉල්ලා අස්වීමේ ලිපි දාතමක් නොමැතිව ලබාගැන්මට ජේ.ආර්. ජයවර්ධන මහතා සමත් විය.

 

මෙසේ ජනමත විචාරණයේදි එක්සත් ජාතික පක්‍ෂයට බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත නොහැකිවූ මැතිවරණ කොට්ඨාශ සඳහා අතුරු මැතිවරණ පවත්වන බව ප්‍රකාශ කරමින් ආණ්ඩු  පක්‍ෂයේ මැති ඇමැතිවරුන් සියලු දෙනාගේම ඉල්ලා අස්වීමේ ලිපි දාතමක් නොමැතිව ලබාගැන්මට ජේ.ආර්. ජයවර්ධන මහතා සමත් විය.

 

 

 

 

 

බණ්ඩාරගම සමරසේන මුදලිගේ