අනුර කොතෙක් අණ දුන්නත් පොලීසියට කඩා පැනීමට කැරළිකරුවෝ ඉදිරිපත් නොවූහ. පොලීසියද යටත් නොවීය. නොනවත්වාම පහරදීම් කළත් කැරලිකරුවන් ගේ වේගවත් බව හා ධෛර්යය මැකී යමින් තිබිණි. ප්‍රහාරයට පැයක් පමණ කල් අල්ලා ඇත. එලෙස කල් ඇල්ලීමේ අවාසිය කැරලිකරුවන්ටය. තව මොහොතකින් උදා එළිය වැටී නව ඉරක් පෑයීමට නියමිතය.
පොලිස් කොස්තාපල් කේ. ඒ. ගුණසේකර රාලහාමි පෙරදින රාත්‍රී සිය රාජකාරිය නිමවා පොලීසිය අසල නිවසට ගොස් තිබිණ. රටේ පවතින වාතාවරණය පිළිබඳව දැනුවත්ව සිටි ඔහු එක දිගට වෙඩි හා බෝම්බ පිපිරෙන හඬින් චේ ගුවේරාකාරයින් පොලීසියට පහර දෙන බව වටහා ගත්තේය.
අනතුරුදායක වූවත් මේ වන විට තමා පොලීසියේ සිටීම වැදගත් බවට තීරණය කළ ඔහු පා පැදියෙන් පොලීසිය වෙතට එමින් සිටියේය. ඔහුට රාජකාරිය දේවකාරියකි. වැල්ලවාය පාලම අසලදී කැරලිකරුවන්ට මැදි වූ ගුණසේකර රාලහාමිට වෙඩි වැදුණි. එම වෙඩිල්ල ඔහු ඉලක්ක කර තබන ලද්දක් නොවූවද ජීවිතය උදුරා ගැනීමට උණ්ඩය සමත් විය.
පොලිස් ප්‍රතිප්‍රහාරයෙන් කණ්ඩායම් නායකයෙකුව සිටි සෙනෙවිරත්නට වෙඩි වැදුණි. අනුර, සෙනෙවිරත්නව වත්තන් කර ගනිමින් පිටුපස කණ්ඩායම වෙත ගෙන ආවේය. හිරු උදාවීමට ආසන්න වනතුරු සටන අත්නොහළ කැරලිකරුවෝ සිය උත්සාහය අසාර්ථක වන බව හැඟීමෙන් පසු බැසීම ආරම්භ කළහ.
ඩී. එල්. ගලප්පත්ති එවකට 11 හැවිරිදි දරුවෙකි. නිවසේ ගව ගාලෙන් දොවාගත් එළකිරි පාන්දර යාමයේ නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන වලට බෙදාහරිමින් සිටියේය. පොලීසිය වටකර සිදුවෙන වෙඩි හා බෝම්බ පිපිරෙන හඬින් තිගැස්සුණු ඔහු සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට පොලීසිය දෙසට ගමන් කළේය.
ගුණසේකර රාලහාමි ඔහු දන්නා හඳුනන්නෙකි. රාලහාමි පාලම අසල තාරපාරේ ලේ ගලමින් වැටී සිටින අයුරු ගලප්පත්ති දුටුවේය. ඔහු එතැන නතර විය. පසු බසිමින් සිටි කැරලිකරුවන් ඔහුට පැවසුවේ “මල්ලි අපෙන් කරදරයක් වෙන්නෙ නැහැ. ඔතන ගැවසෙන්න එපා. ඉක්මනින් යන්න. අපි සටන් කරන්නෙ මල්ලිලාට හොඳ ලෝකයක් හදා දෙන්න” යැයි පැවසූ බව ගලප්පත්ති සඳහන් කරයි.
පසුබසින ගමන් තම කණ්ඩායම පිළිබඳව විමසිලිමත් වූ බව පවසන ආරියසේන, ධර්මසේන නැති බව දැන ගත්තේ එම අවස්ථාවේදී බව සඳහන් කරයි.
“ධර්මදාසට වෙඩි වැදුණ බවත්. බරපතළ තුවාල ලද සෙනෙවි කණ්ඩායම සමග පැමිණෙන බවත් දැන ගත්තා. ධර්මදාසගෙ සිරුර ගෙනඑන්න බැරිවෙලා තියෙනවා.
අපේ කණ්ඩායමේ පිරිස් බලය පිළිබඳව නිවැරදි තක්සේරුවක් පොලීසියට තිබුණෙ නැහැ. ඔවුන් හොඳටම බයවෙලා හිටියෙ. ඉදිරි පෙළ පහර දෙමින් පොලීසිය ඇතුළට පැන්නා නම් යටත් කරගන්න පවා තිබුණා. කණ්ඩායමක් ලෙස පසු බැසීමට වඩා තනි තනිව පසු බැසීම ආරක්ෂාකාරි බව කාගෙත් මතය විය. අනුර සමග මම ඇතිලිවැවට යන්න හිතාගෙන ආවා. අපි ගමන් කළේ කැලෑ මංකඩ වලින්”.
කැරලිකරුවෝ සොයා හමුදාව දැලක් එලූහ. ගලවට ආර ඇළ අසලදි අනුර හා ආරියසේන හමුදාවට හසු නොවී බේරුණේ නූලෙනි.
ඒ වෙලාවෙ හමුදාවට හසුවුණා නම් තම ඉරණම එතැනදීම විසඳෙන්න ඉඩ තිබූ බව පැවසූ ආරියසේන මහතා කීවේ සෙබළුන් පිටුපසින් එළවන විට පැනදිව් බවයි. අකුල් හා පඳුරුවල පැටලී ඇද වැටුණත් ගැලවී යාමට හැකිවිය.
පාන්දර 4.30 ට මොණරාගල පොලීසියට පහර දීමට එම ජ.වි.පෙ කණ්ඩායම සූදානම් වුවත් ඒ වෑයම මුලදීම අසාර්ථකව තිබේ. ඔවුන් හුලංදාවට පැමිණිවිට පොලිසිය වටකර පහරදී ඇත. ඉන්පසු හමුදාව ඔවුන් සොයා කැලෑ පිරූහ.
රජය කැරලිකරුවන්ට භාරවීමට නියෝග කිරීමෙන් පසු ආරියසේන මහතා භාරවූයේ හම්බන්තොට දිසාපති කාර්යාලයටය. වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල සුවකර ගත් සෙනෙවිරත්න 2005 වසරේදි මියගියේය. තල්ගස්වල අනුරද ඝාතනය වූ බව පැවසෙයි.
රජයට භාර වී පුනරුත්ථාපනය ලබා නිදහස් වූ කැරලිකරුවෝ වැඩි දෙනෙක් ජීවිතයේ පරිණත සමය ගෙවමින් සිය විප්ලවී්‍ය කටයුතු ආවර්ජනය කරති. වැල්ලවාය පොලීසියේ පොලිස් කොස්තාපල්වරු ලෙස රාජකාරිය කළ 2127 කේ. ඒ. ගුණසේකර, 2737 ජී. යේනස් කැරලිකරුවන්ගේ වෙඩි පහරට ඉලක්කයන් වී මිය ගියහ. ඔවුන් සැමරීම සඳහා පොලීසිය තුළ සිහිවටන දෙකක් තබා ඇත. 1971 කැරැල්ලේ ගොදුරු බවට පත්ව මියගිය ප්‍රථම හා දෙවැනි ආරක්ෂක නිලධාරින් ඔවුන්ය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව මණ්ඩලය පහර දීමට ගත් තීන්දුව අනුව ප්‍රහාරය එල්ලකරන වේලාව නිසිපරිදි නිවැරදිව වැල්ලවාය හා මොනරාගල සටන්කාමීන්ට ලබා දුන්නේ නම් කැරැල්ල ලද ප්‍රතිඵලයට වඩා වෙනස් මුහුණු වරක් ගැනීමට ඉඩ තිබිණ. අසාර්ථක වූ කැරැල්ලකට වඩා කල් අල්ලා සිටින ගරිල්ලා සටනක් දැක ගැනීමට හා විවිධ දේශපාලන පෙළගැසීම් බිහිවීමට කදිම අවස්ථාවක්ද විය.
වැල්ලවාය ප්‍රහාරය නිසා රටට විය හැකි අනතුර රජය කල්වේලා ඇතිව දැන ගත්තේය. 5 වැනි දින රාත්‍රී 8 වනවිට ඇඳිරි නීතිය පැනවිය. පොලිස් ස්ථාන, හමුදා කඳවුරු, මර්මස්ථාන ශක්තිමත් කරන ලදී. ආරක්ෂාව දැඩි කරණ ලදී. මේ නිසා කැරලිකරුවන්ගේ ප්‍රහාර ඉක්මන් ක්‍රියා මාර්ග තුළින් අඩපණ කිරීමට රජයට හැකිවිය. අගනුවර ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කිරීමට කැරලිකරුවන් පියවර ගන්නා ලදි. ඒ වැල්ලවායේ ඉක්මන් ප්‍රහාරයේ ප්‍රතිඵලයයි.
එදා ගත් පියවර හරි හෝ වැරදි වේවා එම අරගලය නිසා පාලකයින්ගේ ඇස් ඇරී ප්‍රගතිශීලි පියවර ගැනීමට රජයට සිදුවීමෙන් 71 කැරැල්ලේ අත්දැකීම් පිළිබඳව අද තෘප්තිමත්ව සිහිපත් කළ හැකි බව විශ්‍රාමික විදුහල්පති ඩී. එම්. ආරියසේන මහතා පවසයි. මේ සම්බන්ධව තවත් කතාවක්ද ඇත. රජයට පහරදී රාජ්‍ය බලය අල්ලාගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සුදානම් කළ කැරැල්ල වැරදුණේ වැල්ලවාය ඉක්මන් ප්‍රහාරය නිසා බවයි.
“ජේ.වී.පී. අප්පුහාමි මියගියා. භූමිදානය 5 වැනිදා 5 ට” යන පණිවිඩය ඔවුන් වටහා ගත්තේ 5 දින උදේ 5 ට ලෙස බවත්, ඔවුන් උදෑසන ප්‍රහාරය දියත් කිරීම නිසා සැලැස්ම අඩාළ වූ බවත් ප්‍රකට කරුණකි.
මහ නඩුවේ 19 වැනි විත්තිකරු පියසිරි කුලරත්න මහතා 71 කැරැල්ල විශ්ලේෂණය කරමින් ලියූ “තක්සලාවක් වූ සිපිරි ගෙය” කෘතියෙන් සඳහන් කරන්නේ “එදින වැල්ලවාය පොලීසියට පහරදී ඇති බව සැලවිය. ඒ සමඟම රාජ්‍ය යාන්ත්‍රණයේ හදිසි සූදානම්වීම පිළිබඳව ඇතිව තිබූ විමතිය පහව ගොස් අනපේක්ෂිත බවක් ජනිත විය. සියලුම මනෝරාජික සැලසුම් අවුල් කෙරුණ මෙම පළමු බාධකයට අගනුවර ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කළ ප්‍රහාර ඇන හිටවිය” යනුවෙනි.
කෙසේ වෙතත් ඉක්මනින් විවෘත කර, ඉක්මනින් වසා දැමීම වැල්ලවාය සටන් කාමින්ගෙන් සිදුවිය. එය අතිවාමාංශික වලිප්පුවයි.
ගණේමුල්ල - බුද්ධි බොල්ලත
සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික