ජෝඩු දේශපාලනයේ ආරම්භය


 

පුරුෂාධිපත්‍යය පවතින රටක් වුවද 1931 සර්වජන ඡන්ද බලය ලැබුණු වකවානුවේදීත් ස්වාමිපුරුෂයා සහ බිරිඳ දේශපාලන කටයුතුවල නිරතවීම දක්නට විය. 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ සර්වජන ඡන්ද බලය මෙරට ජනතාවට හිමිවීමෙන් පසු 1931 මැයි 04 වැනිදා ඒ තුළින් බිහි කළ රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරු 50 තෝරා ගැන්ම සඳහා නාම යෝජනා පත්‍ර කැඳවනු ලැබීය. එහිදි එදින රුවන්වැල්ල ආසනය සඳහා ජෝන් හෙන්රි මීදෙණිය අධිකාරිම් පත්වූයේ නිතරගයෙනි. එහෙත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් සේවය කිරීමට හැකි වූයේ මාස හතරකුත් එක් දිනක් පමණි. 


1931 සැප්තැම්බර් 05 වැනි දින හදිසියේ ඔහු අභාවප්‍රාප්ත විය. එම රුවන්වැල්ල ආසනයට ජනතාවගේ ඉල්ලීම අනුව අභාවප්‍රාප්ත මීදෙණිය අදිකාරම්ගේ දුවණිය එනම් ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමි ඉදිරිපත් වූ අතර ඇය දැදිගම ආසනයට නිතරගයෙන් පත් වූ ඒ. එෆ්. මොලමුරේ මහතාගේ බිරිය වූවාය. මෙසේ 1931 නොවැම්බර් 14 වැනිදා පැවැති අතුරු මැතිවරණයේදී ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමි ජයගත්තේ වැඩි ඡන්ද 9398 කිනි. ඇය සමග තවත් තිදෙනෙක් රුවන්වැල්ල ආසනයට තරග කළහ. 


ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමි 13,866 

ආර්. එස්. එස්. ගුණවර්ධන 4468 

ඊ. ඒ. වී. ද. සිල්වා 1950 

ඇලන් සේනානායක 718 

වැඩි ඡන්ද 9398 


පවුල් දේශපාලනයේ ආරම්භය මෙසේ 1931 නොවැම්බර් රාජ්‍ය මන්ත්‍රණ සභා අතුරු මැතිවරණයෙන් ආරම්භ විය. ජෝඩු දේශපාලනයේ සමාරම්භක අවස්ථාව මෙයයි. 


දේශපාලනයේ දෙවැනි ජෝඩුව 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී උතුරු කොළඹ ආසනයෙන් ආරම්භ විය. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී උතුරු කොළඹ ආසනයේ දොස්තර ආර්. සරවනමුත්තු මහතා ජයගත්තේ වැඩි ඡන්ද 5792 ක් ලබමිනි. දෙමළ ජාතිකයකු වූ ඔහු ජය ගත්තේ සිංහල ජාතිකයන් දෙදෙනෙකු හා ද්‍රවිඩ ජාතිකයෙකු පරාජය කරමිනි. 


දොස්තර ආර්. සරවනමුත්තු 11,855 

දොස්තර එච්. ඇම්. පීරිස් 6063 

ඩී. බී. ද සිල්වා 2027 

ඒ. රාමනාදන් 150 

වැඩි ඡන්ද 5792 


රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ලංකාවේ ප්‍රථම ද්‍රවිඩ මන්ත්‍රීවරයා වුවද ඔහුට ඉදිරිපත් වූ ඡන්ද පෙත්සමක් නිසා ලංකා ඉතිහාසයේ පළමුවරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ පත්වීම අවලංගු කරන ලද අතර වසර 7 කට ප්‍රජා අයිතිය ද අහිමි විය. එබැවින් උතුරු කොළඹ ආසනයට පැවැත්වූ අතුරු මැතිවරණයට ඔහුට ඉදිරිපත්වීමට නොහැකි විය. ඒ සඳහා ඔහුගේ බිරිඳ නේසම් සරවනමුත්තු මහත්මිය ඉදිරිපත් වූවාය. 1932 මැයි 28 පැවැති එම අතුරු මැතිවරණයෙන් ප්‍රතිවාදීන් තිදෙනෙකු පරාජය කරමින් ඇය ජය ගත්තාය. ඒ වැඩි ඡන්ද 8701 කිනි. 


නේසම් සරවනමුත්තු 13,114 

එම්. එල්. එම්. රෙයාල් 4413 

දොස්තර එම්.එම්. පීරිස් 3333 

ඩබ්. බී. පෝල්සිංගර් 116 

වැඩි ඡන්ද 8701 


ප්‍රජා අයිතිය අහිමිව සිටි දොස්තර සරවනමුත්තු තම බිරිඳගේ මැතිවරණයට උදව් කළ බැව් කියමින් ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එම චෝදනාව පිළිගත් අධිකරණය 1932 සැප්තැම්බර් 27 වැනිදා ඇයගේ පත්වීම අවලංගු කළේය. 1932 නොවැම්බර් 12 වැනිදා පැවැති අතුරු මැතිවරණයට තම සැමියා වෙනුවෙන් නැවත ඉදිරිපත් වූ නේසම් සරවනමුත්තු මහත්මිය වැඩි ඡන්ද 7730 කින් නැවත උතුරු කොළඹ ආසනය ජය ගත්තාය. 


නේසම් සරවනමුත්තු 8106 

එම්. වී. කාසිචෙට්ටි 376 

වැඩි ඡන්ද 7730 


දේශපාලනයේ නිරත වුවද දොස්තර සරවනමුත්තු මහතාට වසර 7 කට ප්‍රජා අයිතිය අහිමිවීම නිසා 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට වත් තරග කළ නොහැකි විය. දෙවන ලෝක යුද්ධය නිසා 1936 න් පසු නැවත රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයක් නොපැවැත්වුණු අතර 1936 මැතිවරණයේ දී ද උතුරු කොළඹ ආසනයට නේසම් සරවනමුත්තු මහත්මිය ඉදිරිපත්ව වැඩි ඡන්ද 4943 කින් එම ආසනය ජය ගත්තාය.

 

 

බණ්ඩාරගම සමරසේන මුදලිගේ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි