“ආර්.ජීට සල්ලි නැතිනම් සාංඝික දේ අරගන්න එපා. ඒක අපේ පරම්පරාවට අවමානයක්. ඕනෑ නම් මං ආර්. ජී. ගේ ඇප සල්ලි බැඳීමටත් සූදානම්”
ජේ. ආර්. තම ප්‍රතිමල්ලවයාට ප්‍රථම ප්‍රහාරය එල්ල කළේය. මෙයින් වූයේ දිමිගොටුවට ගැසූ පහර මෙන් පාක්ෂිකයන් කුපිතවීම පමණි. “ජේ. ආර්. වැන්නකුගේ සල්ලි නම් අපට කීයටවත් එපා. අපි සම්මාදන් කරල හරි සල්ලි සොයා දෙනවා”
මෙසේ වහසිබස් දෙඩූ ආර්. ජී.ගේ හිතවත්තු ආර්. ජීට ඇප මුදල් සොයා මහමඟට බටහ. එක් අයකුගෙන් රු. 2.00 ගණනේ සම්මාදන් කළත් අන්තිමේ දී ඇප මුදලටත් වඩා එකතුවී තිබිණ.
“ජේ. ආර්. ගේ ඇප සල්ලි බඳින්න වෙන්නේ එලිනා මැතිනියගේ බූදලෙන්. එතුමියගේ මුදල් රාජසන්තකවනවා දැකීම කනගාටුවට කරුණක්”
ආර්. ජී. ගේ වාග් ප්‍රහාරය ජේ. ආර්. ට පාරාවළල්ලක් විය. තවත් පිරිසක් ආර්. ජී. ගේ. දේහ ලක්ෂණ පෙන්වමින් ඔහුට අපහාස කළහ. කුඩා කල බාලපක්ෂගාත රෝගයට ගොදුරු වූ ආර්ජීට එක පාදයක් වලංගු නොමැති විය. එබැවින් ඔහු ගම් රටවල සැරිසැරුවේ ඔහු වෙනුවෙන්ම නිම වූ අත්වාරුවකිනි.
මෙම දුර්වලකම ඉස්මතු කරමින් සතුරු වේදිකාව දෙවනත් කළහ. ඇතැම් හු කවි ලියූහ. ආර්. ජී. සිනාමුසු පිරිස් මුහුණින් හා වේදනාකාරි හැඟුමින් යුතුව ඒවා දරා ගත්තේය. තව තවත් ගැහැණු පිරිමි ළමෝ, තරුණයෝ සහ වැඩිහිටියෝ ඔහුට දයාව දැක් වූහ. මහ මැතිවරණය දිනය ළඟාවෙත්ම ජාතික දේශපාලන වේදිකාවේ උණුසුම වැඩිවන්නට විය. කාගෙත් අවධානය යොමුවී තිබුණේ යැංකි ඩිකී හා චීන ඩිකී අතර වන චූලෝදර මහෝදර නා රජුන්ගේ එදා කැලණි සටනට සමාන දේශපාලන සංග්‍රාමය ගැනය.
“කැලණිය තරග කළත් මං දඹදෙණිය අතඅරින්නේ නෑ.” ආර්. ජී. ගේ. උදාන වාක්‍යය බණ්ඩාරනායක මැතිඳුන්ගේද සවනත වැකිණ. “දඹදෙණියට සේනානායක පරම්පරාවෙ දැම්මොත් තමයි හරි. ඒකට සුදුස්සා ඉතින් ආර්. ජී.ම තමයි”
මහජන එක්සත් පෙරමුණේ පූර්ණ ආශිර්වාදය මත ආර්. ජී.ට එම අභියෝගයද පැවරිණ. ලංකා ඉතිහාසයේ ආසන දෙකකට එකවර එකම අපේක්ෂකයකු තරග වැදුණු වාරය මෙයයි.
මෙහිදී තවත් අමතර ගැටලුවක් පැන නැගුණි. එම අදහස ආර්. ජී, බැරෑරුම් ලෙස සිතිය. ප්‍රධාන පක්ෂ දෙකේම “තුරුම්පු ආසියා බඳු ආර්. ජී. යූ.ඇන්.පි.ය අත්හළ ද එම පාක්ෂිකයන් හා ඥාති පරපුර ඔහුට තිබූ ළබැඳියාව අඩු නොවිණ. එසේම ස්වාධීන හා පාවෙන ඡන්ද ගණනක් ද ආර්. ජී. වෙනුවෙන් සූදානම් වෙමින් පැවතිණ. ප්‍රධාන පක්ෂ දේශපාලනය කෙරේ කලකිරී සිටි පිරිසක්ද ස්වාධීන අදහස්වලට ගරු කළහ.
“මං මගේ ස්වාධීන ලකුණවන කුඩෙන් තරග කරනවා.”
ජේ. ආර්. අලියා ලකුණින් ද ආර්. ජී. කුඩය ලකුණින් ද තරග බිමට වන්හ. ආර්ජිගේ පාක්ෂිකයන්ගේ මෙන්ම ඥාති නිවෙස්වල පහන් කූඩුවෙන් කුඩ එල්ලා ආලෝක දැල්වූ බව කියති. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේග පමණක් නොව ලේඛකයන්, කවියන්, විද්වතුන් හා චිත්‍ර ශිල්පීන් කැලණි සටනට අවධානය යොමුවී සිටිනු දක්නා ලදී.
“කැලණිය ද? දඹදෙණිය ද?
ආර්. ජී.ගේ ආබාධිත පාදය තබන්නේ මේ ආසන දෙකෙන් කෝකටදැයි මහකවි රැපියෙල් තෙන්නකෝන් ලංකාදීපයට ලිපියක් ලියමින් විමසීය.
ආර්.ජීට උගතුන් ප්‍රියකළ තවත් ධනාත්මක ලක්ෂණයක් වන්නේ සිංහල බසට හා බුදු දහමට ඔහු තුළ තිබූ අසීමිත ආදරයයි. යූඑන්පියේ මුල් පුටු ඉසිලූ බොහෝ දෙනා කලින් සිංහල භාෂා ප්‍රේමියෝය. නමුත් දමිළ දේශපාලන පක්ෂ සමග සබඳකම් නිසාදෝ ඔවුන් වෙනත් ස්ථාවරයක සිටින බවත් ආර්. ජී.ට දැනිණ.
“සිංහල පමණක් රජබස විය යුතුය.” යනුවෙන් පැවැති සටන් පාඨය” සිංහල හා දෙමළ භාෂා ද්විත්වයම රජ බස විය යුතුය” යැයි පිළිගැනීම නිසා ජේ. ආර්. කෙරෙහි ද විරෝධාකල්ප මතුවිණ.
එබැවින් ආර්. ජී. ගේ ප්‍රතිපත්ති කෙරෙහි පැහැදුණු කැලණි රජමහා විහාරය සපුගස්කන්ද රජමහා විහාරය ඇතුළු විහාරස්ථානවල සඟරුවන ආර්. ජී. වටා රොක්වුණ බලවේගයට ආසිරි පැතූහ. 1950 - 56 යුගය බටහිරින් ආනයනය කරන ලද භාණ්ඩ, වාහන, වෙළෙඳ භාණ්ඩ උත්කර්ෂයෙන් වැලඳගත් යුගයකි. ටයර් වෙළෙඳාමද විදෙස් විනිමය එතෙරට ඇඳී ගිය සමයකි. “ඩන්ලොප්” සහ මිඞ්ලන්ඞ් ටයර් ඉතා ජනප්‍රිය වූ වෙළෙඳ භාණ්ඩ විය.
“ජේ. ආර්. හුළං පුරෝපු මිඞ්ලන්ඞ් පප්පා කෙනෙක් විතරයි. රැවටෙන්න එපා. එයාගෙ හුළං අපි ටික ටික අරිනවා” ආර්. ජී. කැලණියට කීවේය. ඒ සමගම කැලණියේ හන්දියක් ගාණේ මිඞ්ලන්ඞ් පප්පලාගේ පිළිරු ඉදිවූ අතර ඒවායේ හුළං අරිමින් ජේ. ආර්. සමච්චලයට පත් කිරීම විනෝදාංශයක් විය.
පසු කලෙක බණ්ඩාරනායක අගමැතිනිය ටයර් නිෂ්පාදනයේ පූර්ණ බලය ඇති ටයර් සංස්ථාව බිහි කළාය. ඇත්ත පත්තරේ සුදත් එය කාටුනයට නගා තිබුණේ පිටරට ටයර්වල හුළං අරිමිනි.
“ඩන්ලොප් මිචලින් පප්පලා එහි වූහ. “මිඞ්ලන්ඞ්” යන්න කටවහරට “මිචලින්” වීය.
කෙසේ හෝ අන්තිමේ දී සත්‍යය ජය ලැබීය. කැලණි අසුනත් දඹදෙණි අසුනත් ආර්. ජී.ට හිමිවූයේ වැඩි ඡන්ද දහස් ගණනකිනි. යූ.ඇන්.පි.ය ආසන අටට බස්වමින් බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ශ්‍රීලනිපය බලයට පත්විණ.
ආර්.ජී. ගේ ජය භූමිය වන දඹදෙණිය මෙවරත් තම පුත්‍රයා රැක ගත්තේය. එහි ප්‍රතිලය මෙසේය.
ආර්. ජී. සේනානායක (ස්වාධීන) 26,414
ඒ. ජී. පියදාස (එජාප) 1507
වැඩි ඡන්ද 24,907
බෝතලේ වලව්ව වටා මහහඬින් රතිඤ්ඤා පිපිරිණ. ගැමියෝ අඹු දරුවන් සමග කැවුම් කිරිබත් කෑහ.
ජේ. ආර්. සමග ගැටුණු දේශපාලනඥයා ආර්. ජී. පමණක් නොවේ. ඩඞ්ලි සේනානායක මහතා මධ්‍යස්ථ මතධාරියකු බැවින් ඔහු කැලණි සටනේ දී ගන්නේ තම සම නායකයා වූ ජේ. ආර්. ගේ පාර්ශ්වය නොවේ. කැලණියේ අවන් රැලියට ඩඞ්ලි ද ආර්. ජී.ගේ වේදිකාවට ගොඩවිය.
සිංහලයන් වෙනුවෙන් තමා තුළ පවතින කැක්කුම පෙන්නුම් කළ එක් අවස්ථාවක් මට සිහිවෙයි. ඒ ඔහු සිංහල පක්ෂයෙන් ත්‍රිකුණාමලේ අසුනට ද දෙවරක් තරග කළ බැවිනි. සිංහලය වෙනුවෙන් යූඇන්පිය අත්හැරීම ආර්ජිට කජ්ජක් නොවිණ.මීළඟ ඡන්ද ප්‍රතිඵලය වූ අංක 05 දරන කැලණිය අසුනේ ඉරණම ඇසීමට එකල තිබූ එකම පොදු සන්නිවේදන මාධ්‍යය වූ ගුවන් විදුලිය නොහොත් ලක්රෙදෙව්ව වටා ගම් නියම්ගම් මෙන්ම නාගරික ජනයා සැදී පැහැදී ලැගුම් ගෙන සිටියහ.
“මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්” “කැලණිය ආසනය”
ආර්. ජී. සේනානායක (ස්වාධීන) 37,023
ජේ. ආර්. ජයවර්ධන (එජාප) 14,187
වැඩි ඡන්ද 22,836
මෙතෙක් නිදිසුව විඳිමින් සිටි කැලණි ජනතාව තිගැස්සී අවදි වූයේ තෙරක් නොමැතිව පුපුරන ගිනිකෙළි හඬිනි. ආර්. ජී. ගේ අහිංසක නිරහංකාර වේදනාබර මුව හසරැල්ලක් එරින් සේනානායක මැතිනියගේ පිබිදුණු මුව මඩලක් ජනතාවට මැවෙන්නට ඇත.
ආසන 51ක් ලබා බලයට පත් බණ්ඩාරනායක ජනතා රජයේ වෙළෙඳ අමාත්‍ය ධුරය සිව්වන වරටත් ආර්. ජීට පිරිනැමිණ. ජේ. ආර්. විපක්ෂයේ අසුන් ගත්තේය. දැවැන්ත සමාජවාදි ව්‍යාපාරයන්ට දායකත්වය දෙමින් 56 වසරක් ආයු වළඳා ආර්. ජී. ආර්ථිකයේ පෙරළි රැසක් කළ ජනතා පුත්‍රයෙකි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාආරච්චි