ඩඞ්ලි සිනා ගැන්වූ පත්තර සිරස්තලයක්


ඕනෑම රටක කලින් කලට බලයට පත්වෙන ආණ්ඩු විවිධ අවස්ථාවලදී නොයෙකුත් අර්බුදවලට මුහුණපෑම සාමාන්‍ය සිද්ධියකි. එවැනි අවස්ථාවන්හිදී එම ආණ්ඩුවල බලවතුන් කරන්නේ තමන්ගේ පාලන ක්‍රියාදාමයන් ඊට සරිලන පරිදි සකස් කර ගැනීමය.


1965 දී මෙරට බලයට පත්වූ එජාප ආණ්ඩුවද එක්තරා අවස්ථාවකදී එවැනි ආර්ථික අර්බුදයකට මුහුණපෑවේය. එහිදී එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාවූ ඩඞ්ලි සේනානායක මහතා ප්‍රධාන ඇමැති මණ්ඩලය ඊට මුහුණදීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් අනුගමනය කළේය.


ඒ අතරින් එක් ක්‍රමවේදයක් වූයේ එතෙක් මෙරට සමස්ත ජනතාවටම සහන මිලකට ලබාදුන් කූපන් හාල් සේරු දෙකෙන් එක සේරුවක් කපා හැර අනෙක් හාල් සේරුව නොමිලේ ලබාදීමය. 


ඒ අනුව විවෘත වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් තිබුණද එමගින් සාමාන්‍ය ජනතාවට පීඩනයක් ඇති නොවෙතැයි ආණ්ඩුව කල්පනා කළේය.


ඒ සමගම ක්‍රියාත්මක කෙරුණු අනෙක් ක්‍රමවේදය වූවේ කෘෂිකර්ම ඇමැතිවරයාවූ ඇම්. ඩී. බණ්ඩා මහතාගේ අධීක්ෂණය යටතේ දීප ව්‍යාප්ත වගා සංග්‍රාමයක් දියත් කිරීමය. එම වගා සංග්‍රාමය දියත් කිරීම සඳහා ආණ්ඩුවේ උප ඇමැතිවරයෙකු වූ කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවි හමුදාවක් ද ආරම්භ කර තිබුණේය. එමගින් ආණ්ඩුව බලාපොරොත්තු වූයේ ජනතාවගේ පරිහරණය සඳහා අවශ්‍ය කෘෂිභෝග රට තුළ වැඩි වැඩියෙන් වගා කිරීමය.


මේ කාලයේ රජයේ පාලනය යටතේ කිසිදු පුවත්පත් ආයතනයක් නොපැවැති නමුදු එවකට පැවැති ලේක්හවුස්, ටයිම්ස් සහ දවස පුවත්පත් බොහෝදුරට පළ කෙරුණේ රජයේ ආශිර්වාදය ඇතිවය. එසේ වූයේ එම පුවත්පත් ආයතනවල හිමිකරුවන් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ හිතවතුන් වූ බැවිනි.


එකල සී/ස ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනය මගින් පළ කරන ලද ඉරිදා ලංකාදීප පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා වූයේ නොම්මර එකේ යූ.ඇන්.පී. කාරයෙකුවූ ඩී. එච්. අබේසිංහ මහතාය. ඔහු යටගිය දවස නමින් තම පත්‍රයේ විශේෂාංගයක් ලීවේය. එම තීරුව මගින් අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා හඳුන්වාදී තිබුණේ ජාතියේ සඳුන් රුක යනුවෙනි.


ජාතියේ පිනට පහළවූ සඳුන් රුකක් බඳු ඩඞ්ලි සේනානායක මැතිඳුන් මුළු මහත් ශ්‍රී ලංකාවාසී ජනතාවටම බත්දුන් පියා වශයෙන් ඉතිහාස ගතවෙන බව හෙතෙම තම යටගිය දවස කොළමෙන් පුනපුනා කියා සිටියේය.
ඒ විතරක් නොව, එතුමාගේ වගා සංග්‍රාමය යටතේ යළිත් ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරයක් බවට පත්වීමත් සිකුරුයි යි කී ඩී. එච්. අබේසිංහ මහතාගේ අනාවැකිය වූයේ ඒ අනුව ශ්‍රී ලංකාව කිරියෙන්, පැණියෙන් ඉතිරුණු සුරපුරක් බවට පත්වීම නොවැළැක්විය හැකි කරුණක් ලෙසිනි.


එකල රජයට එරෙහි අදහස් පළ කළ විකල්ප ධාරාවට අයත් පුවත්පත් වූයේ ‘ඇත්ත’ සහ ’ජනදින’ය.


දිනක් ඉරිදා ලංකාදීප පත්‍රයේ පළවී තිබූ යටගිය දවස තීරුව කියවූ ඇත්ත කර්තෘ එච්. ජී. එස්. රත්නවීර මහතා මොනවද මේ මනුස්සයා ලියල තියෙන විකාර.. යි කියමින් තමන් අත තිබූ ඉරිදා ලංකාදීප පුවත්පත මේසය මතට නොසැලකිල්ලෙන් දමා ගැසුවේය.


මේ මිනිහා කියන විදියට ඩඞ්ලි බත්දුන් පියාලු, ජාතියේ සඳුන් රුකලු යි කියමින් මහ හඬින් සිනාසුණු රත්නවීර මහතා ඒ අසල සිටි බී. ඒ. සිරිවර්ධනට කියා සිටියේ ජාතියේ සඳුන් රුකේ පතුරු ගැලවී යන ලෙස ඩඞ්ලිට නමක් පටබැඳිය යුතු බවය.


ඉතින් මොකක්ද අපි දාන නම?


සිරිවර්ධන මහතා එසේ අසද්දී මදක් කල්පනාවට වැටුණු ඇත්ත කර්තෘ මාණ්ඩලිකයන් කීපදෙනා විවිධ නම් යෝජනා කළද එච්. ජී. එස්. ඒ. සියලු නම් ප්‍රතික්ෂේප කළේය.


මට නං හිතෙන විදියට ඒ සේරටම වඩා හොඳයි අපි ඩඞ්ලිට පචබාහු කියල නම දැම්මොත් යි සිරා කී නමට තවත් කෑල්ලක් එකතු කළ එච්. ජී. එස්. “අපි දාමු පචබාහු ද ග්‍රේට් කියල”යි කියා සිටියේ මද සිනාවක් මුවගට නංවා ගනිමිනි. ඒ අනුව ඊට පසුදා ඇත්ත පත්‍රයේ පළවූ ප්‍රධාන පුවතින් කියැවුණේ පචබාහු ද ග්‍රේට් මුළු රටම රවටන බවය.


ඒ දිනවල ප්‍රකට කවියෙකු මෙන්ම ලේඛකයෙකු වූ හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න මහතා අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතාගේ ප්‍රවෘත්ති ලේකම් වශයෙන් කටයුතු කළේය. එදින නිකුත් වූ ඇත්ත පත්‍රය අතට ගෙන එහි ප්‍රධාන ප්‍රවෘත්තිය කියවා බැලූ අග්‍රාමාත්‍යවරයා මොකක්ද අයිසේ මේ කියන්නේ? යි පී. කේ. ඩී. ගෙන් විමසා සිටියේ එහි තේරුම වඩාත් පැහැදිලිව අසා දැන ගැනීමේ අදහසිනි.


ඒ කියන්නේ “සර් මහා පචයෙක්, බොරුකාරයෙක් කියන එකනේ” යි කියමින් තම ප්‍රවෘත්ති ලේකම්වරයා විසින් දෙන ලද පිළිතුර ඇසූ ඩඞ්ලි බඩ අල්ලාගෙන මහ හඬින් සිනාසුණේය.

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර