ඩිලාන් සුසිල් වාසු පැටලුණ වාග් සංග්‍රාමය


පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිස සමඟ එකඟ වූ පරිදි ජනවාරි 14 වැනිදා සවස 7.00 ට පමණ මෛත්‍රී ජනාධිපතිතුමා කතානායකතුමාගේ නිල නිවසට පැමිණියේය. විශේෂත්වය නම් කිසිදු ආරක්ෂකයකු නොමැතිව සාමාන්‍ය මෝටර් රථයක තම රියදුරා සමඟ පමණක් එතුමා එහි පැමිණීමය. 


තම නිල නිවසට පැමිණි අභිනව ජනාධිපතිතුමා පිළිගැනීම කථානායකතුමා විසින් සිදුකළේය. මේ වන විට මන්ත්‍රීවරු 30 දෙනකු පමණ කතානායක නිල නිවසට පැමිණ සිටියහ. එහි දී පළමු මෛත්‍රී ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හා කථා නායකතුමා එක්ව වෙනම කාමරයක් තුළ සාකච්ඡාවක නිරත වූහ.


අතිශය සුහද මට්ටමකින් එහෙත් සිතිවිලිවලින් ඉතාමත් වේදනාකාරී තත්ත්වයක් යටතේ පැවති මෙම සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතා පක්ෂය භාර දීමටත් මෛත්‍රී ජනාධිපතිතුමා පක්ෂය භාර ගැනීමටත් එකඟ වූහ. ඒ සමඟ ම තමා යටතේ පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගත යුතු යැයි මෛත්‍රී ජනාධිපතිතුමා කියා සිටියේය. මෙම සාකච්ඡාව සිදු වූයේ කථානායකතුමා පිළිගැන්වූ තේ කෝප්පයක්ද රස විඳිමිනි. කෙසේ වෙතත් රටක ජනාධිපතිවරයකුගේ ශරීර ආරක්ෂාව සම්බන්ධයෙන් එය නිසි ප්‍රමිතිය නොවුණ ද කතානායකතුමා පිළිබඳ මෛත්‍රී ජනාධිපතිතුමාට තිබූ අතිශය විශ්වාසය මත එය ප්‍රශ්නයක් නොවීය. කෙසේ වෙතත් සාර්ථක මෙම සාකච්ඡාවෙන් පසු එහි රැස්ව සිටි මන්ත්‍රීවරු පිරිස සමඟද ටික වේලාවක් සුහද කථාබහක යෙදුණු මෛත්‍රී ජනාධිපතිතුමා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමඟ කථා කිරීමටද අමතක නොකළේය.


ජනවාරි 9 වැනිදායින් පසු රාජපක්ෂවරුන්ට තවදුරටත් ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරයාගේ ආරක්ෂාව හා රැකවරණය අවශ්‍ය වූ බව සක් සුදක් සේ පැහැදිලි විය. ඒ අනුව ජනවාරි 12 වැනිදා සිට ඉදිරියට දින කිහිපයක්ම මහින්ද අමරවීර ඇමතිතුමාගේ මැදිහත්වීම තුළ රාජපක්ෂවරුන්ට අවශ්‍ය රැකවරණය ජනාධිපතිතුමා වෙතින් ලබාදීම සිදුවෙයි. ඒ අනුව ජනවාරි 13 වැනිදා පෙරවරුවේ අමරවීර ඇමතිතුමා නාමල් මන්ත්‍රීතුමාව, මෛත්‍රී ජනාධිපතිතුමාගේ විජේරාම නිවසට කැඳවාගෙන ගියේය. එහිදී මෛත්‍රී ජනාධිපතිතුමා ඉතා මෛත්‍රී සහගත ආකාරයෙන් නාමල් මන්ත්‍රීතුමා ඉල්ලා සිටි යම් යම් දේ නොපිරිහෙළා ඉටු කළේය. මෛත්‍රී ජනාධිපතිතුමාගේ මෛත්‍රී සහගත ප්‍රවේශය පිළිබඳ මෙම සිදුවීමත් සමඟ ම තම පවුලට අවශ්‍ය ආරක්ෂාව හා රැකවරණය ලබා ගැනීම සඳහා සුදුසුම පුද්ගලයා මෛත්‍රී ජනාධිපතිතුමා යනුවෙන් ඔවුන් සිතන්නට ඇත.


ඒ අනුව අවස්ථාවෝචිත ව ශ්‍රී.ල.නි.ප.ය මෛත්‍රී ජනාධිපතිතුමාට බාරදීම සුදුසු ම ඉදිරි පියවර ලෙස ඔවුන් සිතුවා සේය. මේ අනුව පක්ෂය මෛත්‍රී ජනාධිපතිතුමාට බාරදෙන මහින්ද රාජපක්ෂ මහතා එතැන් සිට මෛත්‍රී ජනාධිපතිතුමාට හිසරදයක් වන තරමට දිනකට හත් අට වරක් කථා කළේය. මහින්ද රාජපක්ෂ මහතා “මෛත්‍රී මට මේක පොඞ්ඩක් කරල දෙන්න, අරක කරල දෙන්න” වශයෙන් ආයාචනාත්මක දුක් ගැනවිලි එකින් එක ඉදිරිපත් කරන්නට විය. සැබවින්ම අද සිට බලන විට ඒවායේ හරි වැරැද්ද කෙසේ වෙතත් එම දින කිහිපය තුළ මහින්ද රාජපක්ෂ මහතා එලෙස මෛත්‍රී ජනාධිපතිතුමා දුරකථනයෙන් අමතමින් කළ ඉල්ලීම් සියල්ලම ඉටු කළේය.

 

එහෙත් දිගින් දිගටම දිනකට හත් අට වරක් මෙලෙස මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රී ජනාධිපතිතුමාට කතා කරමින් තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම හමුවේ ක්‍රමයෙන් ජනාධිපතිතුමා එම දුරකථන ඇමතුම්වලින් ඉවත් ව සිටියා සේය. මහින්ද රාජපක්ෂ මහතාගේ දුක්ගැනවිලි ඇසීමට මෛත්‍රී ජනාධිපතිතුමා දුරකථනයට නොපැමිණී ම මේ අනුව අලුත් දේශපාලන සන්දර්භයකට පාර කැපුවා සේය. එනම්, එවිට මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පිහිට හා රැකවරණය පැතුවා යැයි කිව හැක. සැබවින් ම පෙර කී පරිදි එ.ජා.ප.යේ නායකයාද රටේ අගමැතිවරයාද ලෙස වික්‍රමසිංහ මහතාද දිනය අවසානයේ කරන්නේ දේශපාලනයයි.
මෙලෙස තමාගේ රැකවරණ ඉල්ලා සිටින මහින්ද රාජපක්ෂ මහතාට නොමසුරුව රැකවරණය ලබා දීම තුළ පැරණි අරලියගහ මැදුර හා නව අරලියගහ මැදුර අතර සබඳතා වර්ධනය වන්නට විය. පැරණි හා නව අරලියගහ මැදුරු දෙක අතර සාර්ථක මැදිහත්කරුවන් ද නිර්මාණය විය. ඔවුහු කලක පටන් ම දෙපාර්ශ්වයේම විශ්වාසවන්තයෝය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ පවා අරලියගහ මැදුරත් කේම්බි්‍රජ් පෙදෙසත් අතර සාර්ථක මැදිහත්කාර ප්‍රයත්නයක නිරත වී ඇති නිසා ම ඔවුන් පිළිබඳ ඇති විශ්වාසය ඉතා ඉහළ ය.


මේ අතර ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ භාරගත් පළමු දිනයේම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ධුරයට අදාළ පත්වීම් ලිපිය මා වෙත ලබා දුන්නේය. ඒ අනුව ජනවාරි 18 වැනිදා මම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිවරයා ලෙස වැඩ භාරගත්තෙමි. විශේෂයෙන්ම මා හට තනතුරක් ලැබීමෙන් පසු වත් දින කිහිපයක් මම එහි වැඩ බාර නොගෙන සිටියේ අප සමඟ උරෙන් උර ගැටී වැඩ කළ බොහෝ දෙනකුට ඒ වන විටත් කිසිදු තනතුරක් නොලැබී තිබීම හේතුවෙනි. එහෙත් ජනවාරි 16 වැනිදා සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පදනම් ආයතනයේදී රැස් වූ අතර නිල වශයෙන් මෛත්‍රී ජනාධිපතිතුමාට පක්ෂ නායකත්වය හිමි වූයේ එහි දීය. 


එම අවස්ථාව වන විටත් මම පදනම් ආයතනයේ සභාපතිවරයා ලෙස වැඩ භාර නොගැනීම හේතුවෙන් ජනාධිපතිතුමා එහි ගිය විට එතුමා පිළිගනිමින් එතුමා ළඟින්ම රංජිත් බණ්ඩාර මහතා සිටින ඡායාරූප ඔහුගේ මුහුණ පොතේද, වෙනත් වෙබ් අඩවිවල ද පැය කිහිපයක් තුළ පළ විය. ඒ සමඟ ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පත් කර තිබූ මහාචාර්ය රංජිත් බණ්ඩාර නැවත එහි සභාපති වශයෙන් පත් කිරීමට යන බවට වූ ප්‍රවෘත්තියක් පළ වූ අතර මගේ හිතවතුන් බොහෝ දෙනෙකු ඊට සමගාමීව මට දොස් නැගුවේ අදාළ පත්වීම ලැබී තිබියදීත් වැඩ භාර නොගැනීම වරදක් බව දක්වමිනි. මෙම තත්ත්වය මත ජනවාරි 18 වැනිදා මම එහි සභාපති ලෙස වැඩ භාර ගත්තෙමි.


මෛත්‍රී ජනාධිපතිතුමා, ජනාධිපතිවරයා ලෙස තම නාමය නිල වශයෙන් රජයේ ගැසට් පත්‍රයට ඇතුලත් කිරීමේදී ‘අතිගරු ජනාධිපති’ යන නාමය ඊට නොයොදන ලෙස ප්‍රකාශ කළේය. ඒ අනුව එතැන් පටන් සිංහල ව්‍යවහාරයට අනුව එය සඳහන් විය යුත්තේ ‘ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන’ වශයෙනි. 


සැබවින් ම මේ පිළිබඳ ඉතිහාසය සැලකීමේ දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සම්බන්ධයෙන් මෙය වරනැඟුණේ අතිගරු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන උතුමාණන් ලෙසටය. එය ප්‍රේමදාස ජනාධිපතිතුමා වන විට අතිගරු ජනාධිපති ශ්‍රීමත් ආර්. ප්‍රේමදාස මැතිතුමා විය. ඉන් අනතුරුව චන්ද්‍රිකා මැතිනිය හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරු ඉදිරියේ අතිගරු යන්නට පමණක් සීමා වුවත් මෛත්‍රී ජනාධිපතිතුමා එය ‘ගරු’ බවට පත් කළේය.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප : අන්තර්ජාලයෙනි