ඩීඑස් කන්නංගර සීතල යුද්ධය


ප්‍රගතිශීලී කඳවුරේ කන්නන්ගර සලකුණ -02

“ඉක්මනින් වෙනස්වන ලෝකය තුළ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය යල්පැන ගිය එකක්.”


1943දී අධ්‍යාපන පරීක්‍ෂණ කමිටු වාර්තාවේ පූර්විකාව ලියමින් ආචාර්ය කන්නංගර පාලකයන්ට දොස් පැවරීය.


“ජාතික ප්‍රබෝධය ඇතිවෙන්නෙ අධ්‍යාපනය තුළින්. විෂම චක්‍රයෙන් මිදෙන්න ජනතාවට ඇති එකම මඟ තමා ඉගෙනීම. ජාතික අධ්‍යාපනයක් නැති තැන කොහින්ද ජාතික ප්‍රබෝධයක්? මෙච්චර කල් අපේ නායකයො කළේ යටත් විජිතවාදයට ආවඩලා තමන්ගෙ උවමනා ඉෂ්ඨ කරගත්ත එක විතරයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ අරමුණක් සැලසුමක් නැත්තෙ ඒකයි.”


ආචාර්ය කන්නංගර ගෙන ආ මෙම වාර්තාව හැඳින්වූයේ “නිදහස් අධ්‍යාපනය නමැති මුතු ඇටය තැන්පත් කර ඇති කරඬුව” ලෙසයි.


නාමයෝජනා අනුව රටේ පාසල් වර්ග තුනකට බෙදේ. එනම් ප්‍රාථමික පාසල් පශ්චාත් ප්‍රාථමික පාසල් හා ජ්‍යෙෂ්ඨ ද්විතියික පාසල් ලෙසිනි.


ඒ අනුව සිසු ප්‍රජාවගෙන් 5%ක් උසස් වෘත්තිය මට්ටම හෙවත් විශ්වවිද්‍යාලය දක්වාද 20%ක් පුහුණු නුපුහුණු වෘත්තිය මට්ටමද දක්වාද 80%ක් නුපුහුණු හා අර්ධ පුහුණු වාත්තිය තත්ත්වයට ද ළඟා වෙති.
6, 7, 8 පන්තිවල මාධ්‍යවල මවුබස හා ඉංග්‍රීසිය 9න් ඉහළ පන්තිවල මාධ්‍යය මවුබස හෝ ද්විභාෂා නව ගුරුවරුන් වසර 03ක පුහුණුවෙන් පසු ස්ථිර කෙරේ. බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා මවුබස පෙර දැරිව නොමිලේ අධ්‍යාපනය ලබාදීම මෙහි මුඛ්‍ය පරමාර්ථයයි. 


“ජාතික අධ්‍යාපන අනිවාර්යයෙන්ම ආගමික හා දේශාභිමාන විය යුතු අතර එය ආභාසය ලැබිය යුත්තේ අපේ රටේ ඉතිහාසයෙන් මිස නූතන යුගයෙන් තොරව” එතුමා කෙළින්ම පැවසීය, කන්නංගරයන් අනුව අධ්‍යාපනය තුළින් දරුවාගේ භෞතික, සඳාචාරාත්මක හා බුද්ධිමය දියුණුව සැලසිය යුතුවේ.


එතුමා සද්භාවයෙන් ගෙන ආ යෝජනා 1945.06.06 දින වැඩි ඡන්දයෙන් සම්මත විය.


මෙය අධිරාජ්‍යවාදී ගැතිබවින් පිරුණු අධ්‍යාපන ක්‍රමයට වැදුණු මරු පහරක් විය. 1942 වන තුරු මෙරට සිසුන්ට ප්‍රශ්න පත්‍ර සැපයූවේත් ලකුණු දැම්මේත් එංගලන්තයේදීය. යුදමය වාතාවරණය නිසා ලන්ඩන් මැටිකියුලේෂන් හා කේම්බිජ් සීනියර් යන විභාග අවලංගු වී කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ සහතිකපත් විභාග මෙරටදී ඇරඹිණ.


අපටම ගැළපෙන නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ගැන 1931 සිට කන්නංගරයන් ගෙන ගිය සටනට දේශපාලන හා අන්‍යාගමික සතුරු ප්‍රහාර එල්ල විය. 1944 ජුනි 27 වැනිදා එවකට ප්‍රබල ඉංග්‍රීසි පුවත්පතට (ඬේලිනිවුස්) ප්‍රවීණ කාටුන් ශිල්පියකු වන කොලට් විසින් සපයන ලද දේශපාලන ප්‍රහසහාත්මක කාටුනයක් මගින් එතුමා අපතයකු හෙවත් නිකමකු ලෙස (භසපජදපචදදච) පටබැඳ තිබිණි.


1945 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක වූ ඩී. ඇස්. සේනානායක මහතා කන්නංගරයන්ට එරෙහි වූ නමුත් ලංකා ජාතික සංගමයේ ප්‍රබලයකු වූ ජේ. ආර්. ජයවර්ධන එතුමන්ට සහය පළ කළේය.


“එතුමා කියන එක ඇත්ත. රටක ප්‍රගතියක් ඇතිවෙන්නෙ රාජ්‍ය අධ්‍යාපනය තුළිනුයි. 1960 දී නවසීලන්තය අලුතින් නිදහස් හා අනිවාර්ය අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දුන්නා. බලන්න අද ඒ රටේ නූගත්කම ගැන සංඛ්‍යා ලේඛන පවා නැහැ” සාර්වරුන් පලවා හැර සෝවියට් දේශය මගින් හඳුන්වාදුන් අධ්‍යාපන ක්‍රමය ද ජේ. ආර්. පැසසීය.


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනෙන්නට පෙර මෙරට පැවැති අධ්‍යාපන තත්ත්වය කනගාටුදායකය. 1901 දී පාසල් යා යුතු ළමුන්ගෙන් පාසල් ගියේ 25%නි. එය 1931 දී 50% දක්වා වැඩිවිය. අකුරුදත් පිරිමින් සිටියේ 62%කි. කාන්තාවෝ 30.2%කි. මුළු ජනග්‍රහනය අනුව සාක්‍ෂරතාව 47.9%කි. 


1931 දී 86%ක්ම දරුවෝ ගියේ ඉහළ අධ්‍යාපන පහසුකම් නොතිබූ ස්වභාෂා පාසල්වලටය. ද්විභාෂා පාසල්වලට 2%ක්ද ඉංග්‍රීසි භාෂා පාසල්වලට 12%ක්ද ගියහ. මෙම තත්ත්වය තේරුම් ගත් කන්නංගර මහතා 1931 දී මහනුවර හන්දෙස්ස ගමෙන් ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමය නැරඹීය.


1945 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව නිදහස් අධ්‍යාපන පනත සම්මත කරන විට රටේ තිබුණේ පක්‍ෂ 04කි. එනම් ලංකා සම සමාජ, ලංකා කොමියුනිස්ට්, බොල්ෂේවික් ලෙනින්ස්ට් හා කම්කරු පක්‍ෂය යන හතරයි. එක්සත් ජාතික පක්‍ෂය 1946-09-16 දින පිහිටුවා ගැනිණි.


ඒ ලංකා ජාතික සංගමයේ පිරිසක් සමග එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සිංහල මහා සභාව සන්ධානගතව වීමෙනි. සිංහල මහා සභාවේ නායකයකු වූවත් ආචාර්ය කන්නංගර එජාපයට එක්වීම අනුමත නොකළ බව පෙනේ.


එජාපයේ ඇතැම් ප්‍රභූවරුන් නිදහස් අධ්‍යාපන පනත සම්මත වීම වැළැක්වීමට ක්‍රියාකළ බවට චෝදනා එල්ල වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1947 දී නිදහස් අධ්‍යාපනයේ පියා යැයි විරුදාවලි ලැබූ ආචාර්ය කන්නංගර පරාජයට පත් කරනු ලැබිණ.


මෙම චෝදනාව කෙළින්ම එල්ල කර තිබුණේ සභානායක ධූරය දැරූ ඩී. ඇස්. ගේ පිලටය. නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කිරීම කල්මරමින් සිටි කන්නංගරයන් ඩී. ඇස්. විදේශ සංචාරයක් සඳහා රටෙන් බැහැර වූ වකවානුවක පනත ගෙන ආවේය. 
1945 ජූලි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා ඩී. ඇස්. සිටියේ එංලන්තයේය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් කන්නංගර අමාත්‍යවරයා නිදහස් අධ්‍යාපන පනත රාජය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේ ඩී. ඇස්. හිටියා නම් ඊට බාධා පමුණුවන බව දන්නා නිසාය.


ඒත් 1947 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කාලය ඉකුත්වීමට පෙර එය සම්මත කර ගැනීමට කන්නංගර සූරින්ට නොහැකි විණි. ඒ ඩී. ඇස්. කණ්ඩායමේ බලපෑම් නිසාය.


එබැවින් 1947 මාර්තු මස 12 වැනිදා පනතට සහය දීමේ උද්ඝෝෂණ රැලි මාලාවක් පැවැත්වීමට මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ පැවති සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය ව්‍යාපාරය තීරණය කළේය.
1947 මාර්තු 26 වැනිදා එම යෝජනාව ක්‍රියාත්මක විය. ඒ අනුව මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ දී බෞද්ධ බලවේග ඒකරාශිවී මධ්‍යම නිදහස් අධ්‍යාපන ආරක්‍ෂක කමිටුව පිහිටුවා ගැනිණ. මුලසුන ඉසිලුවේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්ය. ආචාර්ය කන්නංගරයන්ට සෑම අවස්ථාවේ දී අදිකාරම්තුමාගේ සහයෝගය සහ මග පෙන්වීම ලැබිණ.


“නිදහස් අධ්‍යාපන පනත වහා ක්‍රියාවට නංවමු අධිරාජ්‍ය ගැති ප්‍රතිගාමීන්ගෙන් සිංහල බෞද්ධ ජනතාවත් අනාගත පරපුරත් බේරාගනිමු” යන සටන් පාඨ පෙරදැරිකරගත් මෙම බලවේගයට කැලණියේ එක්සත් බෞද්ධ සංගමය, ගාල්ලේ දක්‍ෂිණ ලංකා එක්සත් භික්ෂූ සංගමය, සාමග්‍රී වර්ධන භික්‍ෂූ සංගමය, උඩුවර මහා සංඝ සභාව ඇතුළු බෞද්ධ සංවිධාන රැසක් දායක වූහ.


මෙහි සුවිශේෂි බලවේගය වූයේ මඩකළපුවේ රාමක්‍රිෂ්ණ මීසමය. මව් බසින් නොමිලේ ලබාදෙන උසස් අධ්‍යාපන පිළිබඳව බෞද්ධයන් පමණක් නොව කිතුණු මුස්ලිම් හා හින්දු ජනතාව අතර වූයේ මහත් බලාපොරොත්තුවකි. උතුරු - නැගෙනහිර මෙම ප්‍රබෝධය ඇතිවිණ. ආගම්, කුල, භාෂා හෝ ජනවර්ග ගැටලු මීට බලනොපෑවේය. 


නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක කරන ලෙස රජයට බලපෑම් කළ උද්ඝෝෂණ රැලිවලට සමගාමීව අත්සන් පනස් ලක්‍ෂයක පෙත්සමක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කෙරිණි. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්ට අමතරව මහාචාර්ය ගුණපාල මලලසේකර හා ආනන්ද මීව්නපලාන වැනි උගත් පිරිස ද ඊට සහයෝගය දුන්හ.


දිගට හරහට ආණ්ඩුවට එල්ල කළ මේ බලපෑම් නිසා 1947 එක්සත් ජාතික පක්‍ෂයෙන් මතුගමට ඉදිරිපත් වුණු කන්නංගරට දේශපාලන සතුරන්ගෙන් මෙන්ම මිතුරන්ගෙන් ද පහර එල්ල විණි. එජාපයේ මෙන්ම වමේ සහයෝගය ලැබුණේ විල්මට් ඒ පෙරේරා වෙතය.


“ඩී. ඇස්. සේනානායක මහත්තයා මගේ එකම වේදිකාවකටවත් නැග්ගේ නෑ. මගේ ප්‍රධාන කථිකයා වූයේ අදිකාරම් මහත්තයා. අන්තිමට මං රටට දිනා දුන්න නිදහස් අධ්‍යාපන යෝජනා එක්ක තනිවෙන්නයි සිද්ධ වුණේ.” ආචාර්ය කන්නංගර වරක් පැවසීය.


අනෙකුත් ඡන්ද කොට්ඨාසවල දී එජාපයට සහයෝගය දුන් කතෝලික පිරිස්ද මතුගම දී කන්නංගර නිසා එජාපයට එරෙහි වූහ. සර් අයවෝර් ජෙනිංග්ස් 1947 මැතිවරණ වාර්තාවේ සඳහන් කරන්නේ නිදහස් අධ්‍යාපනයේ අගය දන්නා වතුකරයේ ජනතාව පවා කන්නංගරයන්ට ආශිර්වාද කළ බවය.


ආචාර්ය කන්නංගරයන් පරාද වීමෙන් පසු පත් වූ කැබිනට් මණ්ඩලයේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලට සහයෝගය දුන් මන්ත්‍රීවරුන්ට පල නොකියා පළා බෙදනු පෙනිණ. ඊට සහය දුන් වත්තේගම ඒ රත්නායක මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලූ නමුත් ඔහුට ඩී. ඇස්. පැවරුවේ සමූපකාර අමාත්‍යංශයය. අධ්‍යාපනය පිරිනැමුණේ ඊ. ඒ. නුගවෙලටය.

 

 


මතු සම්බන්ධයි.

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි