ඩීඑස්ට එරෙහිව ප්‍රතිපත්ති ප්‍රකාශනයක්


 

ඉකුත් සතියේ ලිපියෙන් අනාවරණය කළ පරිදි පක්‍ෂ දේශපාලනය ස්ථාපිත වූ නවසිය හතළිස් හතේ, කුළුදුල් මහ මැතිවරණය පිළිබඳ අංශු මාත්‍රයක්වත් අවබෝධයක් නොවූ අවධියක, ජාතීන් එකමුතු වීමෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද ලංකා ජාතික මහා සංගමය හා සිංහල මහ සභාව පෙරහුරුවක් වන පරිද්දෙන් ජනතාව දැනුම්වත් කරලීමේ මහජන රැස්වීම් පවත්වන්නට විය.


 මේ අනුව 1949 සැප්තැම්බර් 22 වැනි දින කොළඹ පාම්කෝට්හිදී ලංකා ජාතික මහ සංගමයේ විධායක සභාව රැස්වී යෝජනා කිහිපයක් සම්මත කර ගන්නට යෙදුණ අතර, සිංහල මහ සභාව ද එහි නායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් 1949 ඔක්තෝබර් 23 වැනි දින කොළඹ මහ නගර සභා ශාලාවේ දී එහි 12 වන මහ සංවත්සරය පවත්වමින්, දේශපාලනමය වශයෙන් වැදගත් වන යෝජනා කිහිපයක් සම්මත කර ගන්නා ලදී.


එය බණ්ඩාරනායක, ඩී. ඇස්. සේනානායක රජයේ ප්‍රබල ඇමතිවරයෙකු මෙන්ම සභානායකව සිටිද්දීම හා පුරා කියා තම සංවිධානයේ ප්‍රතිපත්ති වශයෙන් රට හමුවේ තැබුවේ, අගමැති ඩී. ඇස්. සේනානායකට වක්‍රකාරයෙන් එල්ල කරන ලද පළමු වෙඩි මුරය ලෙසටය.


සිංහල ජාතියේ මව් භාෂාව වන සිංහල රාජ්‍ය භාෂා තත්ත්වයෙන් පිළිගත යුතු බවට ගිහි - පැවිදි උගතුන් උග්‍ර ලෙස උද්ඝෝෂණය කරද්දී, ඒ පිළිබඳව තමා හමුවීමට පැමිණි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා හමුවේ, සිංහල රාජ්‍ය භාෂාව කිරීම තමන්ට කෙසේවත් නොකළ හැකි දෙයක් බවත්, උතුරු - නැගෙනහිර සිංහල ගොවි ජනපද පිහිටුවා එමගින් තෝරාපත් කර ගනු ලබන සිංහල නියෝජිතයන්ගේ ද කැමැත්තෙන් එය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන කළ යුතු සුවිශේෂි ජාතික කාර්යයක් බවත් අගමැති ඩී. ඇස්. සේනානායක ප්‍රකාශ කිරීමෙන් පසු, අමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක කොළඹ මහ නගර සභාවේදී ඩී. ඇස්. ගේ එම ප්‍රකාශ මුල් කොටසට එනම්, සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ ඇති අපහසුව පිළිබඳ ප්‍රකාශයට අභියෝගය වශයෙන් සිංහල රාජ්‍ය භාෂාව කළ යුතු යැයි කළ යෝජනාවෙන් දේශපාලන වාතාවරණය හාත්පසින්ම වෙනස්වීමේ ස්වරූපයක් ගත්තේය.


දූරදර්ශිව අගමැති ඩී. ඇස්. සේනානායක, සටනකින් ලේ හැලීමකින් තොරව නමුත් අඩුම වශයෙන් වසර 25ක පමණ ඉලක්කයක් දීර්ඝ කාලයක් දීම බලා සිටිය නොහැකි බවට තීන්දු කළ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට බණ්ඩාරනායකගේ ක්ෂණික විසඳුම් යෝජනාව ඉහේ පිපුණ මලක් මෙන් විය.


එදින සිංහල මහ සභාවේ දොළොස්වැනි සංවත්සර මහෝත්සවයේ මුලසුන ගත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, “අපි කොමියුනිස්ට් ඒකාධිපතිත්වයට විරුද්ධ ක්‍රියා කරන අතර, දකුණෙන් පැන නැගිය හැකි ෆැසිස්ට්වාදයෙන් මහජනයා මුදා ගැනීමට ද ප්‍රවේශමෙන් ක්‍රියා කළ යුතුයි.” යැයි ද ප්‍රකාශ කළේය.


තවදුරටත් කතා කළ බණ්ඩාරනායක, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතිවාසිකම් වන කතා කිරීමේ, ලිවීමේ හා රැස්වීමේ නිදහස මනුෂ්‍යයාට අයත් විය යුතු බවත්, එහෙත් අද මෙම වාමාංශික කොමියුනිස්ට් තර්ජනයට හා දක්ෂිණාංශයේ ෆැසිස්ට් තර්ජනයට රට මුහුණ පා සිටින බවත් එයින් දක්‍ෂිණාංශික තර්ජනය වාමාංශික තර්ජනයට වඩා බියකරු බවත් කියා සිටියේ අගමැති ඩී. ඇස්. සේනානායක එල්ල කරගෙන විය හැකි බවට එදා දේශපාලන විචාරකයන්ගේ අදහස විය.


රාජ්‍ය භාෂා ප්‍රශ්නය පිළිබඳව කතා කළ බණ්ඩාරනායක, අප්‍රමාදවම සිංහලයට නිතැතින්ම රාජ්‍ය භාෂාවේ ස්ථානය හිමි විය යුතු යැයි ද සිංහලය ඉක්මණින් රාජ්‍ය භාෂාව කළ යුතු යැයිද ප්‍රකාශ කළේ තමා නියෝජනය කරන රජයේම අගමැති ඩී. ඇස්. සේනානායක මහා සංඝයා ඉදිරියේ පැවසු අදහස්වලට ප්‍රතිවිරුද්ධවය. එය ඩී. ඇස්. හා තමා අතර පවතින ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තිවල ස්වභාවය රටට එළි දැක්වීමක් පමණක් වශයෙන් නොව, ඩී. ඇස්. හා තමා අතර ඇති ප්‍රතිපත්තිමය ගැටීම හුවා දැක්වීමක් ද වශයෙනි.


මෙය බණ්ඩාරනායක ප්‍රතිපත්තිය මුල්වරට ප්‍රසිද්ධ මහජන වේදිකාවක දී හා පුරා කියා එළිදැක්වීමක් වශයෙන් දේශපාලන විචාරකයන්ගේ අදහස වූ අතර, එක්සත් ජාතික පක්‍ෂ රජයේ අනාගත පැවැත්ම පිළිබඳව ද සැක සංකා ඇති කිරීමේ සිද්ධියක් ද විය.


අගමැති ඩී. ඇස්. සේනානායක අත්තනෝමතික අන්දමින් හිතුවක්කාර ලෙස තම අභිමතය පරිදි රට කරවීමේ ජනතා වීරෝධි පිළිවෙතක් අනුගමනය කරන බවට විද්වතුන්ගේ මග පෙන්වීම යටතේ රටේ එක් කොටසක් පිළිගත් අතර, තව කොටසකගේ මතය වූයේ අමාත්‍ය සභානායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩී. ඇස්. ගෙන් පසු අගමැතිවීමේ සිහිනය දකිමින් සිටි නමුත්, ඩබ්ලිව් සේනානායක හා සර් ජෝන් කොතලාවලගෙන් පසු ඒ සිහිනය සැබෑ කර ගැනීම සඳහා සෑහෙන කාලයක් එකතැන පල්වීමට ඇති නොකැමැත්ත නිසා ඉක්මනින් අගමැතිවීමේ අභිප්‍රායෙන් ජනතාව කුල්මත් කරවීමට ගනු ලැබූ අවස්ථාවා දී පිළිවෙතක් බවය. 


සිංහල මහ සභා සම්මේලනයේ දී 


1. සිංහලය ඉක්මණින් රටේ රාජ්‍ය භාෂාව විය යුතුය,
2. උසස් ජීවන තත්ත්වයක් ඇති කර ලීමේ  ආර්ථික පක්‍ෂය මෙහෙය විය යුතුය.
3. දිවයිනේ සියලුම ජාතීන් අතර සැබෑ සහයෝගයක් ඇති කිරීමේ ප්‍රයත්නයක යෙදිය යුතුය.
4. සියලුම රටවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලැබිය යුතුය.
5. සැබෑ ආගමික ප්‍රබෝධයක් හා ප්‍රතිපත්ති පිරීමක් ඇති කළ යුතුය. යන යෝජනා සම්මත විය. අරමුණ කරා යෑමේ දී ඇති විය හැකි යම් බාධකයක් වෙතොත්, ඒ මග වෙනස් කර, අලුත් මගකින් කෙටි දුර ගෙවා එය සාක්‍ෂාත් කර ගැනීම එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජීවිතය පුරා දක්නට ලැබුණු සුවිශේෂි ලක්‍ෂණයක් බව ඔහු පිළිබඳව අධ්‍යයනය ලැබූ කාහටත් අවබෝධ වන්නකි.

 

 

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර