තමන්ගේ නමින් පක්‍ෂයක් හදා ජනපතිවරුන් අගමැතිවරුන් බිහි කළ මිනිසා


 

එඩිතර තරුණ සිහ නද කැර නොපසු     බට
නින්දෙන් පිබිද නිදහස් වනුමැන නැගි    ට
ලක් පුතුණුවනි නැගිටිනු යන ඉදිරිය        ට
යනුවෙන් හඬ ගසමි මම අණකර කර ඔබ     ට

 

1915 සිංහල - මුස්ලිම් කෝලාහලය පැවති සමයේ දී කොළඹ රාජකීය විද්‍යාලයේ උගෙනුම ලැබූ ශිෂ්‍යයෙක් ඉංග්‍රීසියෙන් මෙම කවිය රචනා කොට මිතුරෙකුට දුන්නේය. 


විදුහලේ ලියුම් පරීක්ෂා කිරීමට සිටි නිලධාරියාට මෙම කවිය අසුවිය. එය රාජද්‍රෝහී ප්‍රකාශයක් සේ සැලකූ ඔහු හමුදාවට බාර දුන්නේ පරීක්ෂණයක් පවත්වා දඬුවම් කිරීමටය.


තුවක්කු බයිනෙත්තු අමෝරා ගත් යුද භට පිරිසක් ශිෂ්‍යයාගේ නිවෙසට කඩා වැදී එහි සිටි සියලු දෙනාටම බයිනෙත්තු තුඩු එල්ල කර බිත්තිවලට හේත්තු කොට සියලු ලියුම් අවුස්සා පොදියක් බැඳගෙන ගියහ. විත්තිකරු කුඩා ළමයකු වූ බැවින් සිර භාරයට නොගත්හ.
ප්‍රධාන හමුදා නිලධාරියා එම කවිය රාජකීය විද්‍යාලයේ හය වැනි පන්තිය භාරව සිටි “චාල්ස් හැට්ලි” නැමැති සුප්‍රසිද්ධ අධ්‍යාපන විශේෂඥවරයාට බාර දී ශිෂ්‍යයාට දඬුවම් කරන ලෙස ඉල්ලා සිටියේය. කවිය කියවූ හැට්ලි දඬුවම් කිරීම ඉවතලා මෙවැනි ප්‍රාණවත් කවි තව තවත් හොඳින් නිර්මාණය කිරීමට උනන්දු වන්නැයි ඉල්ලා සිටියේය.


හමුදාවේ උදහසටත්, ගුරුවරයාගේ පැසසුමටත් ලක්වූ නිදහස වෙනුවෙන් කුඩා වියේ සිටම සටන් කළ මෙම ශිෂ්‍යයා වූයේ රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතාය.


දැහැමි බෞද්ධයකු වූ හෙතෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයෙකි. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” යනුවෙන් පක්ෂයේ නමත්, වර්ණය ලෙස නිල් පාටත් “අත” ලකුණත් යෝජනා කළ යෝජනා කරුවූයේ එච්. ශ්‍රී නිශ්ශකයන්ය.


මොහුගේ මව් හා පිය දෙපාර්ශවයම ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් සටන් කළ අය වූහ.


සීයා වූ නිශ්ශංක සාදිරිස් පෘතුගීසීන්ට එරෙහිව රත්නපුරයේ දී මෙහෙය වූ කැරැල්ලේ නායකයෙක් විය. එම කැරැල්ල අසාර්ථක වූයෙන් පාරුවක නැඟී කළුගඟ තරණය කොට පලා ගොස් ජීවිතය බේරා ගත්තේය.


සාදිරිස්ගේ පුත්‍රයා වූයේ නිශ්ශංක දිවේරිස් මැන්දිස්ය. කොළඹ රාජකීය විද්‍යාලයේ උගෙන ගෙන එංගලන්තයේ නීතිවේදියකු විය. ඉහළ සාමාර්ථයක් ලත් ඔහුට ජෝරජ් රජුගේ නීති කටුයූතු භාරව ක්‍රියා කළ නීතිඥ කාර්යාලයේ සේවය කිරීමට ආරාධනා ලැබිණි. එහෙත් එයට ඔහු කැමති නොවීය. සිය රටට පැමිණි හෙතෙම දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳී සේවය කළේ භාණ්ඩ ඒජන්තවරයකු හැටියටය.


දිවේරිස්ගේ බිරිය වූයේ බළපිටියේ අනෝමා ද ඇන්. වික්‍රමරත්නය. ඇය ද මෙරට නිදහස වෙනුවෙන් සටන් කළ පරම්පරාවකය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බළපිටිය පළමු වැනි මන්ත්‍රීවරයා වූයේ ගරුමුණි රොබට් සොයිසා මහතාය. බළපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ආදී කර්තෘවරයා ද වන්නේය. බළපිටිය දෙවැනි මන්ත්‍රීවරුයා වූයේ ගරුමුණි රොබට් ද සොයිසා මහතාගේ සොහොයුරු ගරුමුණි ආතර් ද සොයිසා මහතාය.


අනෝමා ද ඇන්. වික්‍රමරත්න මෙම දෙසොහොයුරන්ගේ සොහොයුරිය වූවාය. මෙරට බුදු දහම බේරා ගැනීමට දිවිහිමියෙන් කැපව ක්‍රියා කළ වාදීභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මාහිමියන්ගේ ඥතිවරියක් ද වූවාය.


දිවේරිස් සහ අනෝමා යන යුවළගේ පුත් රුවනක් ලෙස රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතා උපත ලැබුවේ 1899 ජනවාරි දාහත් වැනි දිනය. ඒ බළපිටිය ගරු මුණි වලව්වේදීය.


කුඩා නිශ්ශංකට අධ්‍යාපනය ලබා දීම සඳහා දෙමාපියන් තෝරා ගන්නා ලද්දේ කොළඹ ආනන්ද විද්‍යාලය. නැවියකුගේ ඇඳුමකින් සැරසී පළමුවරට පාසල් ගිය විට දී විදුහල්පතිවරයා වූ පසුව අමාත්‍යවරයකු මෙන්ම ව්‍යක්ත පඬිවරයකු වූ ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මහතා නිශ්ශංක දරුවා දෑතින් ඔසවා උකුලෙහි තබාගෙන ප්‍රථම ඉංග්‍රීසි සිංහල පරීක්ෂණය කොට “ආශිර්වාදාත්මක අනාගතයක් බලාපොරොත්තු විය හැක” බවට අනාවැකියක් පළ කළේය. ජයතිලක මහතා විසින් ආරම්භ කරන ලද ඉරිදා දහම් පාසලේ උගෙන ගත් නිශ්ශංක ශිෂ්‍යයා ස්වකීය පන්තියේ ප්‍රථම ස්ථානය දිනා ගෙන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා අතින් ත්‍යාග ලබා ගැනීමට තරම් වාසනාවන්තයකු විය.


ආනන්ද විද්‍යාලයෙන් පසු කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු වූ නිශ්ශංක ශිෂ්‍යයා රාජනීතිඥ ඊ. විජේසූරිය, නීතිඥ ඩී.එල්. එදිස්සූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත විද්‍යාලයේ තරුණ බෞද්ධ සංගමය ආරම්භ කළේය. රජයේ පාසලක මෙවැනි සංගමයක් පිහිටු වූ පළමු වතාව ලෙස ද ඉතිහාස ගත වන්නේය.


එවකට කැපී පෙනෙන බෞද්ධ ජනනායකයන් වූ ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක, ඩී. ඇස්. සේනානායක, ඇඞ්මන් හේවාවිතාරණ, යන මහත්වරුන්ට දින ගණනක් සිර භාරයේ සිටීමට සිදු වූ අතර 1915 ජූලි මස හත්වැනි දින උදේ 8.00ට හෙන්රි ප්‍රේදිස් තරුණයාට වෙඩිතබා මරා දමන ලදී. මෙයින් සංවේගයට පත් තරුණ නිශ්ශංකයන් එදින සිය නිවෙසේ ලිපගිනි නොමොලවා විරෝධය දැක්වීය.
රාජකීය විද්‍යාලයේ ගුරුවරයකු වූ හැට්ලි මහතා නිශ්ශංක ශිෂ්‍යයාට දුන් චරිත සහතිකයේ මෙසේ සඳහන් වන්නේය.


“මේ ශිෂ්‍යයාගේ පාඨශාලීය කෘත්‍යය ප්‍රශංසනීය වුවද ශ්‍රේෂ්ඨතර නොවේ. චරිතය පිරිසිදුය. එහෙත් මොහුගේ අදහස් සාමාන්‍ය ළමයින්ගේ අදහස් නොවන බවත්, නිර්මාණ කල්පනාකාරයෙක් බවත් මෙහිලා ප්‍රකාශ කරමි.” 


කොළඹ අලුත් කඬේ නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරිය. නීති ශිෂ්‍ය සංගමයේ ලේකම් හැටියට පත්වීමෙන් පසු නීතිඥ හැක්ටර් ජයවර්ධන මහතා සිහිවීම සඳහා ලංකාණ්ඩුකාරවරයා කැඳවා නීති ශිෂ්‍යයන් අතර පළමුවරට කථික තරඟයක් ද පැවැත්විය.

ඡායාරූප හා විස්තර බලපිටියේ
එස්. ඒ. වයි. ද සිල්වා