දිනක් අපේ ගෙදරට තවත් වෛද්‍ය සිසුවෙක් පැමිණි අතර ඔහු තාත්තා සමග ත්‍රිමාවිතාන ගැන යමක් පවසන ලදී. ඉන්පසු තාත්තා අයියාව ගෙදරින් පිටත් කර හරිනු ලැබීය. රාත්‍රියේ ගෙදරට එන ත්‍රිමාවිතාන මේ බවක් දැන ගත්තද ඔහුට යන්නට වෙත තැනක් නැත. ඔහු දිගටම අපේ ගෙදර ආවේය. දිනක් තාත්තා ඔහුට ගෙදරට එන්නට එපා කියන්නට සැරසෙද්දී මම තාත්තා සමග බහින්බස් වූයෙමි.
තාත්තා පැවසූයේ අම්මාගෙ අසනීපය නිසා උයන්නට කෙනෙකු නොමැති බවකි. එහෙත් එය මට කළ හැකි බවක් ඔහුට තවදුරටත් නිවසේ නතර වීමට ඉඩදෙන ලෙසත් මා පියාගෙන් ඉල්ලූ අතර, ඒ සඳහා අවසරය ලැබුණි. ඔය විදියට සෑහෙන කාලයක් අපේ ගෙදර නවාතැන් ගත් මේ සොයුරා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් බව දැන ගන්නට ලැබුණා. රාත්‍රියට විශාල ප්‍රමාණයේ පෝස්ටර් අඳින ඔහු එක කොළයක් හෝ අපතේ නොයවයි. අපි ඒ දෙස බලා සිටින්නේ පුදුමයෙනි. එක අකුරක් ප්‍රමාණයෙන් අපිට සමානය. අපි කොළයක් ඉල්ලුවොත් කියන්නේ නාස්ති කරන්න කොළ දෙන්න බෑ කියලයි.
එක් දිනක් අපේ තාත්තා ඔහුට කලිසමක් මසා ගන්නට කලිසම් රෙද්දක් දුන්නේය. එදින ඔහු අපේ තාත්තාගේ දෙපතුල් අල්ලා වැඳ සමුගත්තේය. කලිසමේ සාක්කුවේ අඩිය හොඳටම හිල්වී ඇති නිසා මේස් එකක සල්ලි දමාගෙන යයි. කාලය ගෙවී ගිය අතර රටේ තත්ත්වය ඉතාම බිහිසුණු විය. ඒත් ඔහුට අපේ නිවස ආරක්ෂිත විය. එක් දිනක් ගෙදර පැමිණි ඔහු උදෑසන බසය එනවා ඇසුණු විට සෙරෙප්පු පයලා දුවන්නට සැරසුණි. කකුල් දෙක මාරුවී සපත්තු දෙක දමා ගත්විට නංගිත් මමත් හිනා වුණේ අනේ දොස්තර මහත්තයට කකුල වැරදිලා කියලයි.
ඒ වේලාවේ ඔහු අපි දෙදෙනා දිහා බලාගෙන අහිංසකව සිනාසුණේය. ඒ ඔහුගේ අප දැකි අවසන් සිනාවයි. ඉන් දිනකට පසු සාහසිකයින් විසින් පද්මසිරි ත්‍රිමාවිතාන සොයුරා ඝාතනය කරන ලදී. නිකම්ම නොවේ සාහසික ලෙස ඝාතනය කරන ලදී.
පද්මසිරි ත්‍රිමාවිතාන නම් වෛද්‍ය සිසුවා ඝාතනය විය. එදින අප නිවසේ කෑම පිසුවේ නැත. කිසිවකුට බඩගින්නක් පැමිණියේද නැත. අම්මා රත්කර තිබු යමක් කෑමට වෙනදා රණ්ඩු වෙන අපි එදින ගොළුවන් සේ කාමර තුළටම වි කල් ගෙවීමු. හදිසියේම ගේ ඉදිරිපස සුදු කොඩියක් දැමිය යුතු වුවත් තාත්තාගෙන් ඒ ගැන විමසීමට සිත් නොදේ. නංගිීත් මමත් බොහෝම අමාරුවෙන් වචන සිර කරගෙන සිටියෙමු.
එහෙත් එක් වරම තාත්තා අපිට කතා කළේය. ලොකු දුවේ අපි ත්‍රිමාව බලන්න යමුද කියා ඇසුවේය. අපි එකවරම හා කියා කීවෙමු.
ඊට පසු දින අපි කොළඹ වෛද්‍ය පීඨයට යාම සඳහා රත්නපුර නගරයට ගියෙමු. රත්නපුර සිට කොළඹ බලා එකම බස් රථයක් හෝ ගමන් නොකරන බව අපිට බස් නැවතුම් පොළෙන් දැනුම් දෙන ලදී. තාත්තා ආපසු යාවි යැයි සිතක් මට ඇති විය. එහෙත් තාත්තා මට වඩා කල්පනා කාරි විය. ටික වේලාවක් කල්පනා කළ තාත්තා පානදුර බසය වෙත ගමන් කර දුවේ අපි හොරණට ගිහිං කොළඹට යං යයි පැවසීය. අපි පානදුර බසයේ නැග හොරණට ළඟාවීමු. හොරණින් කොළඹ බසයට ගොඩවී අපි වෛද්‍යය පීඨයට ළඟාවිමු.
මහා ජනකායක් පෝලිම් දිගේ ඇදෙමින් පැවතුණි. ඒ අතර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විශාල බීම බාල්දියක් උස්සාගෙන ආ ආකාරය මට අද මෙන්ම මතකයේ ඇත. ඔහු එවෙලේ ටීෂර්ට් එකකින් සහ කලිසමකින් සැරසී සිටියේය. එහෙත් ඔහු සමග දොඩවන්නට මෙය අවස්ථාවක් නොවේ. පෝලිම දිගේ අපිද වේගයෙන් ඉදිරියට ඇදුණේ ත්‍රිමාගේ දේහය දැක බලාගන්නට පැමිණියද ඉතා කුඩා වීදුරු පෙට්ටියක නොපෙනෙන සේ වසා තිබු සේහය දුටුවිට මට මහා හයියෙන් ඇඩුණේ සිටිය තැනද අමතක වෙමිනි.
වෛද්‍ය සිසුන් පැමිණ අපේ තාත්තාගෙන් බොහෝ දේ විමසන ලදි. ඒ අතර අපිව හොඳින් දන්නා අය බොහෝ සිටි අතර ගමේ අහවලාගේ නංගිලනේ කියමින් ඔවුන් අපිව ඇතුළට කැඳවාගෙන යන ලදි.
අපි ආපහු ගෙදර එන්නට පිටත් වුණේ බොහෝ දුකින් හා කලකිරිමෙනි. බස් ලයේ කවුළුවෙන් ඉවත බලා ගෙන සිටියද හිත තිබුණෙ ඔහුගේ දේහය වෙතයි. අපි ඇස්වල කඳුළු පිරුණේ නොදැනුවත්වමයි. රත්නපුරයට පැමිණි පසු ගමට එන බසය නොතිබුණෙන් තාත්තාත් නංගීත් මමත් කිලෝ මිටර අටක පමණ දුර පයින්ම ගමන් කළෙමු. ගමන ගැන විස්තර අසා සිටි අම්මාද ඇඩුවාය. ඔහු වෙන තැනක මිය ගියානම් දුකක් නැත. ඔහු මිය ගියේ රත්නපුරයේ වීම මට මහත් දුකක් ගෙන දුනී.
අදටත් මගේ දෑස් පියාගත් විට රාත්‍රියේ ගෙට ගොඩවන ත්‍රිමාන පෙනේ. පද්මසිරි ත්‍රිමාවිතාන මා ඉතාමත් ගරු කළ, ඉතාමත් ආදරය කළ පුද්ගලයෙක් විය. අදින් අවුරුදු විසි ගණනකට පෙරාතුව වුවද එය එදා මෙන්ම අදටත් එසේමය.
එහෙත් ආදරය යනු වරදවා වටහා නොගන්නා මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි. මා එසේ කීවේ වැරදීමකින් හෝ එවැනි සිතුවිල්ලක් කෙනෙකු තුළ ඉපදීමට ඉඩ දීම ඔහුට කරන අගෞරවයක් ලෙසට මා සිතනා බැවිනි. ඔහු ඉතාම අවිවේකි කාර්ය බහුල ජිවිතයක් ගත කළ අයෙකි. එමෙන්ම හරියට කන්නට බොන්නට හෝ නින්දට පවා ඔහු හට අවස්ථාවක් නොමැති විය. එහෙත් අපේ ගෙදරට පැමිණි සෑම දිනකටම උඩ තියෙන ටැංකියෙන් නා ගත් ඔහු අප හා දොඩමලුවෙයි. එහෙත් වචනයක් හෝ අපතේ නොහරී. මා එසේ කියන්නේ ඔහු කියන කිසිදු වැකියක් අපතේ හරින්නට හැකියාවත් නැති නිසාය.
මතු සම්බන්ධයි.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්