තාත්තාගේ ඇරැයුමෙන් දේශපාලනයට පිවිසුණ ළාබාලම අගමැතිවරයා


වර්ෂ 1952 දී ළාබාලම අගමැතිවරයා ලෙස එංගලන්තයට ගිය ඩඞ්ලි සේනානායක මැතිතුමා අගමැති ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් මහතා ඇතුළු පිරිස සමග.

 

 

1911 වසරේ පොසොන් දවසේ උපත ලැබ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ මූලික අධ්‍යාපනය හදාරා එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙහි උසස් අධ්‍යාපනය ලැබූ ඩඞ්ලි ෂෙල්ටන් සේනානායක තරුණයා ලංකාවට පැමිණියේ නීතිය මනා ලෙස හදාරා ලබන ලද ගෞරව උපාධියද සහිතව අධිනීතීඥයකු ලෙස සමත්වීමෙන්ද අනතුරුවය.
ඩඞ්ලි සියරට පැමිණි ගමන්ම මුලින්ම ගියේ බම්බලපිටියේ වජිරාරාමාධිපති අතිපූජ්‍ය පැළෑනේ ශ්‍රී වජිරඥාන මහනායක හිමිපාණන් වහන්සේ බැහැ දකින්නටය. කුඩා කාලයේ සිටම පැවති ආගමික සම්බන්ධය තව තවත් තහවුරු කර ගැනීමටයි. එහිදී මේ තුරුණු අධිනීතීඥවරයාට මහානායක හිමියෝ සෙත් පිරිත් ද දේශනා කර ආශිර්වාද කළහ.
එහෙත් තරුණ ඩඞ්ලි වෘත්තීමය අධිනීතීඥයකු වී මුදල් හම්බ කිරීමට එතරම් කැමැත්තෙක් නොදැක්වූයේ තමනට පාරම්පරිකව ධනය ලැබෙන මාර්ග ඕනෑ තරම් සැලසී තිබුණු බැවිනි. මේ වන විටත් ලංකාවට ඉංග්‍රීසි පාලනයෙන් නිදහස ලබා ගැනීමට ලංකා ජාතික සංගමය මගින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී ජාතික නායකයන් කටයුතු කරමින් සිටින විට ඩඞ්ලි කළේ ඔවුන් හා එක්ව එම නිදහස් සටනට උරදී තම නැණ නුවණ එය උදෙසා යෙදවීමය. මේ වන විට තම පියාගේද හිතවතකු වූ අධිනීතීඥවරයකුගේ පුතකු වූ ජේ. ආර්. ජයවර්ධන අධිනීතීඥවරයා එම නිදහස් සටනට උරදෙනු පිණිස එක්ව සිටිනු දැකීමද තරුණ ඩඞ්ලිගේ සතුටට හේතුවක් විය. තමනට වඩා වසර පහකින් වැඩිමහල් ජූනියස් රිචඞ් ජයවර්ධන තරුණයා සමඟ කුඩා කල සිටම බම්බලපිටියේ වජිරාරාම දහම් පාසලේ ඉගෙනුම ලත් යුගයද මෙහිදී ඩඞ්ලිගේ මතකයට නැඟුණි. එකල සිටම රටට, ආගමට, දහමට ළැදිව කටයුතු කරමින් තම පියාගේ මඟ පෑදු නිසාම ඔවුහු මෙසේ ලොකු මහත් වී වුවද ඒ මඟම ගමන් ගත්හ.


මෙම යුගය වන විට ඩඞ්ලිගේ පියාණන් එකල පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා යුගය යටතේ වූ ඉංග්‍රීසි පාලනයේ කැබිනට් මණ්ඩලයේ ගොවිකම් හා ඉඩම් අමාත්‍යවරයා බවට පත් වී සිටියේය. කවර කලෙක වුවද මතු දිනෙක තම රටට නිදහසක් ලබා ගැනීම උදෙසා කටයුතු කරද්දී තම රටවැසියන් බතින් බුලතින් ස්වයංපෝෂිත ජාතියක්ව සිටිය යුතුය යන අධිෂ්ඨානය පිට ඩී. ඇස්. සේනානායක ඇමතිතුමෝ රටපුරා එක් වූ මහා සංග්‍රාමයක නිරතව සිටියහ. එය තරුණ ඩඞ්ලිටද සතුට ගෙන කටයුතු කිරීමටද සුදුසු වූ සද්කාර්යයක් ද විය. 


මෙසේ තම පියාණන්ගේ ගොවිකම් හා ඉඩම් අමාත්‍ය හැටියට අයත් කාර්යයන් පිළිබඳව ද අධ්‍යයනය කරමින් සිටින යුගයේ වර්ෂ 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය එළැඹියේය. පියාණන් සෙසු අමාත්‍යවරුන්ද සමඟ මැතිවරණය උදෙසා කටයුතු සැලසුම් කරද්දී ඩඞ්ලි තරුණයා මේ ගැන එතරම් උනන්දුවක් දැක්වූයේ නැත.
එහෙත් දිනෙක ඩඞ්ලි ඇමතූ ඩී. එස්. ‘පුතා දැදිගම ආසනයට ඉදිරිපත් වෙලා තරග කරන්න. මම දැනටම ඒ ගැන කටයුතු කරලා හමාරයි.” යනුවෙන් කී නමුදු ඔහු ඒ ගැන එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. කුමක් හෙයින්දයත් මෙසේ දේශපාලන වශයෙන් තම තමන්ගේම ජනයා දෙකට තුනට බෙදී කටයුතු කිරීම නිසා නොයෙකුත් භේද ඇතිවීම ඔහුගේ නොසතුටට හේතු වූ නිසාය.


“මොකද පුතා දැදිගම ආසනයට තරග කරන්න කැමැත්තක් නැද්ද?” යනුවෙන් ඇමති පියා පුතාගෙන් විමසුවේ ඒ පිළිබඳව නියම තත්ත්වය දැනගන්නටය.
“මම තාත්තට ඒ ගැන හෙට කියන්නම්” යි ඔහු කීවේ යමක් සිතේ තබාගෙන බව පියාට හැඟිනි.


එදින උදයේම ඩඞ්ලි සිය මෝටර් රථය පදවාගෙන ගියේ බම්බලපිටියේ වජිරාරාමයටය. එහිදී අතිපූජ්‍ය පැළෑනේ වජිරඥාන මහා නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලැබූ ඩඞ්ලි තමන් පැමිණි කාරණය කියා සිටියේය.


“මට පියා කියනවා මේ ඡන්දෙදි දැදිගම ආසනය තරග කරන්න කියලා. මම ඒ ගැන එකපාරටම කැමැත්ත දුන්නෙ නැහැ. ඒ ගැන මහානායක හාමුදුරුවන්ගේ අදහස කොහොමද කියලා දැනගන්නයි මේ ආවේ”යි ඔහු කාරණය කෙළින්ම කියා සිටියේය.


“සේනානායකතුමාගේ ඒ අදහස මමත් අනුමත කරනවා. එතුමා දැනටත් කටයුතු කරන්නේ මේ රට ස්වයංපෝෂිත රටක් බවට පත් කරලා අපට ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ගන්නනෙ. ඉතින් ඒ කටයුත්තට ඩඞ්ලි පුතාගෙත් සහයෝගය ලබා ගන්න පුළුවන් මැතිවරණයේදී මන්ත්‍රී කෙනෙක් වුණාම. ඒ අනුව මතු දවසක රටේ පාලන තන්ත්‍රය පවා ලබාගන්න ඔබතුමාට දැනුමත් ශක්තියත් මහජන බලවේගයත් ලබාගන්න මේක හොඳම අවස්ථාවක් වෙනවා. ඒක නිසා මේ මැතිවරණයේ ඉදිරිපත් වෙලා මහජන නියෝජිතයෙක් වෙලා අපේ රටේ නිදහස ලබා ගන්න බලවේගයට එකතුවීටම අවස්ථාව ලැබීම වැදගත් වෙනවා. මේ අවස්ථාව ප්‍රතික්‍ෂේප කරන්න එපා. ඔබතුමාට රටේ ජනතාව වෙනුවෙන් තව බොහෝ දුර ගමනක් යන්න ඉඩ තිබෙනවා.” යි වදාළ මහානායක හිමියෝ එම අදහසට හිමි පූර්ණ ආශිර්වාදයන් පළකර සිටියහ.


ඩඞ්ලි අධිනීතීඥවරයා යළි සිය මන්දිරය කරා පැමිණියේ සැහැල්ලු සිතින් යුතුවය. ප්‍රථමයෙන් තමන් මහා නායක හිමියන් හමුවී මේ ගැන සාකච්ඡා කළ බව මෑණියන්ට කී ඩඞ්ලි තරුණයා පසුව පියාගේ ඉල්ලීම ගැන තම අදහස් ප්‍රකාශ කර සිටියේය.


වර්ෂ 1936 දී පැවැත්වූ රාජ්‍ය මන්ත්‍රණ සභා නිලවරණයේදී දැදිගම ආසනයට තරග කළ ඩඞ්ලි සේනානායක තරුණ අධිනීතීඥවරයා ඡන්ද 17,045ක් ලබා වැඩි ඡන්ද 8299කින් ජය ගත්තේ තම පියාණන් තුළද සතුටක් ඇති කරවමිනි.


මෙම මැතිවරණයේදී එතුමාත් පියාණන් වූ ඩී. ඇස්. සේනානායක ගොවිකම් ඇමතිතුමාත් මිනුවන්ගොඩ ආසනයට නිතරගයෙන්ම පත්වී තිබිණි. මේ වන විටද ස්වදේශ කටයුතු අමාත්‍ය පදවිය දැරූ ඩී. බී. ජයතිලක මැතිතුමාද කැලණිය ආසනයේ නිතරගයෙන්ම මන්ත්‍රීවරයකු ලෙස පත්ව තිබිණ. ඒ සමගම වර්ෂ 1931 දී වේයන්ගොඩ මන්ත්‍රීවරයා ලෙස නිතරගයෙන්ම පත්වූ හොරගොල්ල වලව්වේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අධිනීතීඥවරයාද මෙවරද වේයන්ගොඩ මන්ත්‍රීවරයා ලෙස පත්වූයේද නිතරගයෙන්මය.
මෙම මැතිවරණයෙන් පසුව යළිත් ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ වූ කැබිනට්ටුවේ ගොවිකම් හා ඉඩම් අමාත්‍යවරයා වූ ඩී. ඇස්. සේනානායක මැතිතුමා රජරට ප්‍රදේශවල මෙකල මහ කැලෑ බවට පත්ව තිබුණු රජ දවස සරුසාර ඉඩම් යළි මහා ගොවිජනපද බවට පත් කරලීමේ මහා සද්කාර්යය කරද්දී ඩඞ්ලි සේනානායක මන්ත්‍රීතුමාටද ඒවාට හවුල් වී පියාණන්ට සහයෝගය දීමට ඉඩහසර එළැඹිණ. එහිදී ඩඞ්ලිට තරුණ මන්ත්‍රීවරයකු ලෙස ගැමි ජනතාව හමුවී මහත් වූ අත්දැකීම් සම්භාරයක්ද ලබාගන්නට හැකිවිය. පොදු ජනතාවගේ ඕනෑ එපා කම් හා ඔවුන්ගේ තත්ත්වය ඉහළ නැංවීමේ මාර්ග පිළිබඳවත් ගැමි ජනතාවගේ අදහස් ආකල්ප විරෝධාකල්ප හා ඒවාට යෙදිය යුතු පිළියම් පිළිබඳවද තරුණ ඩඞ්ලි මන්ත්‍රීතුමාට සෑහෙන අවබෝධයක් ලැබිණ. ඒ සමගම සෙසු ජාතික නායකයන් හා එක්ව රටට මතු දිනෙක නිදහස ලබා ගැනීම පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන ඒ පිළිබඳව කටයුතු කිරීමටද අවස්ථාව සැලසිණි. ගොවිකම් හා ඉඩම් අමාත්‍යතුමාගේ වැඩිමහල් පුතණුවන් වූ මෙතුමා මතු දිනෙක රටේ ප්‍රමුඛ පෙළේ නායකත්වයට පත්වනු ඇතැයිද එම සුළු ජාතික නායකයන් තුළ විශ්වාසයක් ඇති වූයේද මේ කාලයේය. ඔවුන්ගේ එම විශ්වාසයට අනුකූල වන ලෙස ක්‍රියා කිරීමටද තරුණ ඩඞ්ලි සේනානායක මන්ත්‍රීවරයා කටයුතු කළේ ජාතික සමගිය ඉන් තහවුරු වන ලෙසටය.


තමන්ගේ පියාගේ සද් ව්‍යාපාරය නිසා රට සහලින්  හා භවභෝග සම්පත් වලින් ආඪ්‍ය බව තේරුම් ගත් ඩඞ්ලි සේනානායක මන්ත්‍රීතුමෝ එම කටයුත්තට තමන්ගේ සම්පූර්ණ සහයෝගය පළකර සිටියහ.


මෙසේ කටයුතු සිදුවෙමින් පවතිද්දී දෙවැනි ලෝක මහා සංග්‍රාමය නිසා මැතිවරණයක් නොපැවැත්වීමෙන් රාජ්‍ය සභාවේ කාලය වර්ෂ එකොළහට (11) දිග් ගැහෙමින් පවතිද්දී වර්ෂ 1945 මැයි මාසයේදී යුද්ධය කෙළවරවූ බැවින් මහ ඡන්දයක් පැවැත්වීමේ කටයුතු සූදානම් කෙරිණි. 

 

 

 

මතු සම්බන්ධයි.

 

 

ඡායාරූප සහ සටහන : 
සෝමසිරි කස්තුරිආරච්චි