තියුණු තරගයකින් පසු කලීල්ට ජය


 

“සමස්ත ලංකා යෝනක සංගමය සමග මුස්ලිම් සංගමයේ නියෝජිතයින් විසින් පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසුව සංගම් දෙක අතර තිබූ භේදය සමථයකට පත්කර ගැනීමට හැකි විය. මුස්ලිම් අධ්‍යාපනයේ විද්‍යාල වසා දැමීම, මුස්ලිම් ශිෂ්‍යයන්ගේ සහන අස්කර ගැනීම ගැන අධ්‍යාපන අමාත්‍යවරයා හමුවූ නියෝජිතයන් අතර සැනේට් මන්ත්‍රී ඒ. ආර්. ඒ. රාසික්, දොස්තර ඇම්. සී. ඇම්. කලීල්, ඒ. ඇම්. ඒ. අසීස්, ෆලීල් ඒ. කපූර් හා ඒ. එච්. මාකන් මාකර් ද වූහ.


මේ අතර සමස්ත ලංකා යෝනක සංගමයේ කාරක සභාව ඉදිරියේ සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කරන ලෙස ඇම්. සී. ඇම්. කලීල් මහතාට ආරාධනා කළ අතර පූර්වෝක්ත සංගම් ඒකාබද්ධ රැස්වීමකින් පසු කලීල් මහතාට සම්පූර්ණ සහයෝගය දැක්වීමට තීරණය විය. මේ අතර ඒ. ඊ. ගුණසිංහ මහතාගේ නායකත්වය යටතේ පැවැති කම්කරු පක්ෂයේ සහාය ද එජාප අපේක්ෂකයාට හිමිවිය. කම්කරු පක්ෂය මෙම අතුරු ඡන්දයේදී එක් පක්ෂයක්වත් නොගෙන සිටීමට මුලින් තීරණය කර තිබූ නමුත් පක්ෂ නායක ඒ. ඊ. ගුණසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසු එජාපයට සහාය දීමට තීරණය කෙරිණ. කොළඹ නගර සභාවේ සිටි කම්කරු පක්ෂ සභිකයන් දෙදෙනාගේම ඡන්ද කොට්ඨාස දෙක මැද කොළඹ ආසනයට අයත්වීම නිසා මෙම මැතිවරණයේදී තීරණාත්මක බලපෑමක් කළ හැකි තත්ත්වයක් එම පක්ෂය සතුව තිබුණි. ඡන්ද මධ්‍යස්ථාන 52 ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයින්ට පහසුකම් සලසා තිබුණි.


ඡන්දය සාමකාමී අන්දමින් පැවැති අතර 1950.05.07 වැනි දින පෙරවරු 8.00ට ඡන්දය ආරම්භ වූ අතර පත්‍රිකා ගණන් කිරීම කොළඹ කොටුවේ පිහිටි රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේදී සිදු කරනු ලැබීය. මධ්‍යහ්නයට ස්වල්ප වේලාවකට පසු රෙජිස්ට්‍රාර් ජෙනරාල් තැන්පත් ආර්. ඇම්. ඬේවිස් මහතා ඡන්දය ගණන් කිරීමේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළේය. සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.
එම්. සී. එම්. කලීල් (එජාප-ගෙය) 14,796, එස්. ඒ. වික්‍රමසිංහ (කො.ප.- කුඩය) 12,501, එම්. එස්. අබුබකර් (ලසසප-අලියා) 2768, අයේෂා රාවුෆ් (ස්වාධීන-තරුව) 1232, වැඩි ඡන්ද සංඛ්‍යාව 2295, ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන- 282, ඡන්දය දුන් මුළු ගණන - 31,579, ලියාපදිංචි ඡන්ද දායකයින්ගේ මුළු සංඛ්‍යාව 62,571. නිදහස් අපේක්ෂිකා අයේෂා රාවුෆ් මහත්මිය ඡන්දය ගණන් කිරීමේ අවස්ථාවට සහභාගි වූයේ නැත. 


ජයග්‍රාහී එම්. සී. එම්. කලීල් මහතා එදා රැස්ව සිටි පිරිස අමතා කළ කතාවේ මෙසේද සඳහන් විය. “මා මෙසේ තමුන්නාන්සේලාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට තෝරා ගැනීම එජාපය කෙරෙහි මහජනයාගේ ඇති විශ්වාසය ප්‍රකාශ කිරීමේ වැදගත් ලක්ෂණයකි. එසේම එය ලංකා ජනතාව විසින් එජාපය මහජනයාට ලබා දුන් නිදහස ගැන කෘතඥතාව පෙන්වීමේ උසස් සාක්ෂියකි. එය මා වෙනුවෙන් වෙහෙස ගෙන වැඩ කළ මගේ මිත්‍රයන්ගේ සහ එජාපයේත් ජයග්‍රහණයකි. එහෙයින් මට උදව් කළ නොකළ හැම ඡන්ද දායකයෙක්ම උවමනා නැති ක්‍රියාවන්හි නොයෙදී ශාන්තව ආපසු යන ලෙස කරුණාවෙන් ඉල්ලමි.” මැතිවරණ ක්‍රියාවලියේ අවසාන පියවර වශයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අංක 02 දරණ මැද කොළඹ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් මොහමඞ් කාසිම් මොහමඞ් කලීල් මහතා 1946 (ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී තරග පිළිබඳ) රාජාඥ පනතේ 50 වැනි වගන්තිය යටතේ තේරී පත්වූ බව 1950.05.08 වැනි දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පමුණුවා තිබුණි.


මෙම අතුරු මැතිවරණයෙන් අනතුරුව සිදුවූ නීතිමය තත්ත්වයක් පිළිබඳව ද සටහන් කළ යුතුව තිබේ. එය එදා පැවැති මැතිවරණ නීතියේ උත්තරීතර භාවය මතුකර දැක්වූ තවත් අවස්ථාවක් විය. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ පටන් මෙරට ක්‍රියාත්මක වූ මැතිවරණ නීති රීති ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ ප්‍රතිෂ්ඨාපනය කළ අන්තර් ජාතික මට්ටමෙන් ද පිළිගනු ලැබූ ඒවා විය. ඒ වකවානුවේදී මන්ත්‍රීධුරාපේක්ෂකයෙකු  මැතිවරණය අවසන් වී සති තුනක කාලයක් තුළ (ජයග්‍රහණය කළ ද පරාජයට පත්වුවද) ස්වකීය මැතිවරණ වියදම් පිළිබඳ  ලේඛනයක් දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු විය. එසේ නොකිරීම මැතිවරණ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සේ සලකනු ලැබීය.


එක් උදාහරණයක් මෙසේය.
1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී අංක 48 දැදිගම ආසනයට ඩඞ්ලි සේනානායක, ඇන්. එච්. කීර්තිරත්න, රිචඞ් නුගවෙල, පී. බී. දැදිගම සහ මුදලි ජේ. ඩබ්ලිව්. උදලාගම යන අපේක්ෂකයෝ පස් දෙනා නාම යෝජනා පත්‍ර භාරදී සිටියහ. නාම යෝජනා පත්‍ර භාරදී සතියකට පසුව පී. බී. දැදිගම මහතා තමා ඩඞ්ලි සේනානායක මහතාට සහයෝගය දක්වමින් තරගයෙන් ඉවත්වන බවට පුවත්පත් දැන්වීමක් පළ කළේය. ඒ නිසා මැතිවරණයෙන් පසු සිය මැතිවරණ වියදම් ලැයිස්තුව ඉදිරිපත් කිරීමට ඔහු උනන්දුවක් දැක්වූයේ නැත. එය මැතිවරණ නීතිය යටතේ වරදක් බව තීරණය කළ අධිකරණය ඔහුට රු. 500ක දඩයක් නියම කළේය. ඒ හා සමාන සිදුවීමක් මැද කොළඹ අතුරු මැතිවරණයෙන් පසුව ද සිදුවිය. පරාජිත ලසසප අපේක්ෂක එම්. එස්. අබුබකර් මහතා සිය මැතිවරණ වියදම් ලැයිස්තුව නිසි වේලාවට ඉදිරිපත් කිරීමට නොහැකි වූ හේතූන් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටියේය. ඔහුගේ අයැදීම වූයේ තමාගේ වියදම් වාර්තාව “කිවු” සහ “ආර්” පෝර්මවල ප්‍රකාශයන් කර දැක්වීමට නොහැකි වූ කරුණු ඉඩදෙනු ලැබිය හැකි ඒවා ලෙස තීරණය කරන හැටියටය. එම ඉල්ලීම නිෂ්ප්‍රභා කරමින් ඩයස් විනිශ්චයකාර තුමා “කිවු” සහ “ආර්” පෝර්මවල වැදගත්කම අවබෝධකර ගැනීමට කිසිම බුද්ධිමත් පුද්ගලයෙකුට බැරිවිය නොහැකි යැයි සිය තීන්දුවේ දී ප්‍රකාශ කළේය.


ජී. ආර්. ඩී. බණ්ඩාර