තිස්ස කපුකොටුවගේ පුදුම දිනුම


පාර්ලිමේන්තුව සඳහා තරග කිරීමට දේශපාලන පිටියට බසින අපේක්ෂකයාගේ ජය හෝ පරාජය නිශ්චය වෙන්නේ. සූදු පිටියක ඇනෙන, බූරු, කුට්ටමේ කොළය ජයග්‍රහණය කරන නියායෙනි. තම ජයග්‍රාහී කොළය එළි දැක්වෙන තෙක්, නොඉවසිල්ලෙන් බලා සිටින ඔට්ටු අල්ලන්නන් තුළ, කොළය හංගා ගහන සූක්ෂම ඇස් බැන්දුම්ද බොහෝ විට දක්නට ඇත.


මැතිවරණයකදී මිශ්‍රව වැටුණු ඡන්ද ගණන් කරන අවස්ථාවන්හිදී මැතිවරණ නීතිරීති අනුව, විවිධාකාරයෙන් කොටස් කෙරී, ඒ ඒ අපේක්ෂකයාගේ ඡන්ද ගොඩවල් මේසය මත වෙන් වෙන්ව දිස්වෙන විට, එකී ප්‍රමාණයන් ඇස් මට්ටමින් බලා තම ජය හෝ පරාජය ඔහුට හෝ ඇයට අනුමාන කර ගත හැක.


1931 රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී පාතදුම්බර මැද දුම්බර උඩදුම්බර හැඳින්වූයේ එක් ඡන්ද කොට්ඨාසයක් වශයෙන් දුම්බර නමිනි.


පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය අනුව, ආසන බෙදා වෙන් කිරීමේදී දුම්බර ඡන්ද කොට්ඨාසය, වත්තේගම හා මිණිපේ නමින්, ආසන දෙකක් බවට පත්විය.


1959 දී නැවත ඡන්ද කොට්ඨාස බෙදීමේදී වත්තේගම හා මිණිපේ ආසන දෙක, වත්තේගම - මිණිපේ කුණ්ඩසාලේ හා තෙල්දෙණිය වශයෙන් කොට්ඨාස 04 කට වෙන්වුණි.


අනතුරුව පැවති 1960 මාර්තු හා ජූලි මහ මැතිවරණයන්හිදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක අධිනීතිඥ තිස්ස කපුකොටුව - පතල්දෙණිය අසුන ජයග්‍රහණය කරන ලද අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිමල්ලවයා වූයේ ස්වාධීන අපේක්ෂක රාජා කුලතිලකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ ඇම්. බී. ඩබ්ලිව්. මැදිවක එම මැතිවරණ දෙකෙහිදීම තුන් වැනි තැනට පත්විය. 


තෙල්දෙණිය ඡන්ද කොට්ඨාසය සෙනරත්වෙල, ගිඞ්ඩව, වේරපිටිය, රංගල, හුන්නස්ගිරිය ආදී මායිම් ගම්වලින් වට වූ ඡන්ද දායකයන් වර්තමානයේ 50,000කට පමණ ආසන්න එකකි. සිංහල හා දෙමළ මෙන්ම කුල වශයෙන්ද සෑහෙන ජන කොටස් මෙහි ජීවත්වෙන අතර, එහෙමට ජාතිවාදී හෝ දේශපාලන ගැටුම් විශේෂයෙන් සඳහන් කළ හැකි අවස්ථාවක් වාර්තා වී නොමැත. 


මුල් මැතිවරණ දෙකෙහි දී තුන් කොන් තරඟයක ස්වභාවයක් පෙන්නුම් කළ අතර, එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්ෂකයා එයින් ජයග්‍රහණය කළද තියුණු තරගයක්, දෙවැනි තැනට පත් ස්වාධීන අපේක්ෂකයාගෙන් ලැබුණු නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයාට ඔහු අසලට වත් යෑමට අවස්ථාවක් නොලැබිණ.


ස්වාධීනව තරග කළ රාජා කුලතිලක තෙල්දෙණිය ආසනයට ආගන්තුකයෙකු වූ නමුත් අධිනීතිඥ තිස්ස කපුකොටුව, තෙල්දෙණිය ආසනයේම උඩිස්පත්තුවේ ස්කෝල මුදුන ග්‍රාමය නිජබිම කරගත් අයෙකි. පරම්පරාගතව පැවත එන වංශවත් වලව්කාරයෙකි.


තිස්සගේ පියා හා පුරා කියා ආරම්භ කළ තෙල්දෙණිය ද්විභාෂා පාඨශාලාවේ දී අත පොත් තැබූ එස්. එල්. බී. කපුකොටුව වන අතර, පසුව අගනුවරින් උසස් අධ්‍යාපනය ලැබ පසු කලෙක රටේ අධ්‍යාපන අධ්‍යක්ෂක පදවියට පත්විය.


තිස්ස කපුකොටුවද අගනුවර රාජකීය විදුහලෙන් අධ්‍යාපනය ලබා නීති විද්‍යාලයෙන් අධිනීතිඥ උපාධිය ලැබුවෙකි. අධිනීතිඥ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේද සමකාලීනයෙකු වූ තිස්ස වඩාත් ප්‍රසිද්ධ වූයේ, මිනීමැරුම් නඩුවලට පෙනී සිටින නීතිඥයෙකු හැටියටය. මේ අනුව උඩරට උසාවිවල ඔහු හැඳින්වූයේ, තවත් කොල්වින් කෙනෙකු වශයෙනි. උසාවිය දෙවනත් කරමින් සාක්‍ෂි කරුවන්ට උන්හිටිතැන් අමතක වෙන අන්දමට අන්දමන්ද කරවා. ඔවුන්ගෙන් සාක්ෂි ලබා ගැනීමේ උපක්‍රම අනුගමනය කිරීම ඔහු ගෙන්ද කැපී පෙනුණු දක්ෂතාවකි.


රටේ වංශවත් වලව්වක ජනිතව, උසස් විදුහලක, නම ගිය ප්‍රභූන්ගේ දරුවන් සමග එකට හිඳ, ඉහළම අධ්‍යාපනයක් ලැබුවත්, ගමෙන් එකතු වූ පිටිසර ගැමි සුවඳ ගතින් ඈත් වෙනවා දකින්නට නොකැමති විය. අධ්‍යාපනය හමාර කොට, උසාවි කටයුතු වලදීද, හක්ක පුරවාගත් බුලත් විටකින් එම ගැමිකම ප්‍රසිද්ධියේ පෙන්වූ අධිනීතිඥ තිස්ස කපුකොටුවගේ නඩු ලේඛන සහිත බෑගය තමා කැටුව යන සෙවණැල්ල වූ වේළුපිල්ලේට භාර දෙන්නේ වරුවක් සැපිය හැකි බුලත් විටි ගොන්නක්ද බහාලමිනි.


තිස්සට - ගමේ මිනිහෙක්, දේශපාලකයෙක්, නීතිඥයෙක්, නඩුකාරයෙක්, ප්‍රභූවරයෙක් රාජකාරි කටයුතුවලදී හැරෙන්නට. එක සමානය. උසාවියේදී අඩි හප්පා තර්ක විතර්ක කළත්, සැබෑ ජීවිතයේදී ඔහු සම මට්ටමෙන් කතා කළ හැකි නිහතමානී කරුණා භරිත පුද්ගලයෙකි.

 

අපේක්ෂකයන් මෙන්ම ඔවුන්ගේ නියෝජිතයන් අසල රැඳී සිටිමින්, යම්කිසි අක්‍රමිකතාවක්, අතපසුවීම සිදු වේදැයි විපරමින් බලා සිටියේ, බොහෝ විට කුසට අහරක් නැතුව, අවසානය අපේක්ෂාවෙන් නිදිවරාගෙනය. තෙල්දෙණිය ඡන්ද කොට්ඨාසයේ ඒ ඒ අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් මේසයේ තැනින් තැන ගොඩ ගැසුණු අතර, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක අධිනීතිඥ තිස්ස කපුකොටුවගේත්, ස්වාධීන අපේක්ෂක රාජා කුලතිලකගේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇම්. බී. ඩබ්ලිව්. මැදිවකගේත් ඡන්ද ගොඩවල් ඒ අතරින් කැපී පෙනුණි. මෙයිනුත්, තිස්ස කපුකොටුවගේ හා රාජා කුලතිලකගේ ඡන්ද ගොඩ බැලූ බැල්මට එක සමානව පෙන්නුම් වූ අතර පළමු ගණන් කිරීමේදී ඡන්ද කිහිපයකින් කුලතිලකගේ සංඛ්‍යාව ඉදිරියෙන් ඇති බවට පෙන්නුම් විය.


මෙම ලිපියේ විශේෂත්වය එළිදකින්නේ 1960 මාර්තු මහ මැතිවරණ ප්‍රතිඵලය අළලාය.


එදාද, මහ මැතිවරණය අවසන් වී ඡන්ද පෙට්ටි, ගණන් කළ මහනුවර මධ්‍යස්ථානය වෙත ගෙන ආවේ රථ පෙරහැර වලිනි. පොලිස් මුර සහිතවය. නියමිත වේලාව තුළදී ඡන්ද ගණන් කිරීම ආරම්භ විය. අපේක්ෂකයන් මෙන්ම ඔවුන්ගේ නියෝජිතයන් අසල රැඳී සිටිමින්, යම්කිසි අක්‍රමිකතාවක්, අතපසුවීම සිදු වේදැයි විපරමින් බලා සිටියේ, බොහෝ විට කුසට අහරක් නැතුව, අවසානය අපේක්ෂාවෙන් නිදිවරාගෙනය. තෙල්දෙණිය ඡන්ද කොට්ඨාසයේ ඒ ඒ අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයක් මේසයේ තැනින් තැන ගොඩ ගැසුණු අතර, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක අධිනීතිඥ තිස්ස කපුකොටුවගේත්, ස්වාධීන අපේක්ෂක රාජා කුලතිලකගේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇම්. බී. ඩබ්ලිව්. මැදිවකගේත් ඡන්ද ගොඩවල් ඒ අතරින් කැපී පෙනුණි. මෙයිනුත්, තිස්ස කපුකොටුවගේ හා රාජා කුලතිලකගේ ඡන්ද ගොඩ බැලූ බැල්මට එක සමානව පෙන්නුම් වූ අතර පළමු ගණන් කිරීමේදී ඡන්ද කිහිපයකින් කුලතිලකගේ සංඛ්‍යාව ඉදිරියෙන් ඇති බවට පෙන්නුම් විය.


දෙවැනි වරටත් ඡන්ද ගණන් කිරීම ආරම්භ විය. එක්වරම ශාලාවේ විදුලි ආලෝකය ඇන හිටියේය. එහෙත් තත්පර තුන හතරකින් යළිත් විදුලිය යථා තත්ත්වයට පැමිණි අතර යුහු යුහුව ඡන්ද ගණන් කිරීම යළි ආරම්භ වීමෙන් පසු අවසන් ප්‍රථිඵලය මෙසේ නිකුත් විය.


අංක: 45 තෙල්දෙණිය ඡන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.


තිස්ස කපුකොටුව - එ.ජා.ප - 3723
රාජා කුලතිලක - ස්වාධීන - 3712
ඇම්. බී. ඩබ්ලිව්. මැදිවක - ශ්‍රීල.නි.ප - 2807
ලෙස්ලි පෙරේරා - ස්වාධීන - 1317
ඒ. එම්. ඩබ්ලිව්. විජේවර්ධන - ස.ම.පෙ - 558
කේ. බී. රඹුක්වැල්ල - ල.ස.ස.ප - 452
කේ. ඩබ්ලිව්. ජයරත්න - ම.එ.පෙ - 254
ඒ. සුරිය ආරච්චි සි.ජා.ප - 243
වැඩි ඡන්ද - 11


රාජා කුලතිලකගේ පළමු වටයේ ජයග්‍රහණය දෙවැනි වටයේදී කපුකොටුවගේ ජයග්‍රහණයට පෙරළී ගියේ කෙසේදැයි කිසිවෙකුටත් සිතා ගත නොහැකි විය.


එහෙත්, මේ අතරතුර ඉතා රහසිගත දූෂමාන ආරංචියක්, හමා යන පවනක් මෙන් ආසනය පුරාම පැතිරෙන්නට විය. එය කට කතාවක් වශයෙන් එතරම් ගණන් නොගැනුණු ලෙසට පැතිර ගියද? එය ජනතාවගෙන් බැහැර කළ හැක්කක්ද නොවීය. හැම කට කතාවක්ම බොරුවකැයි අහක නොදැමෙන සත්‍ය බවට පත්වීම බොහෝ දුරට සිදුවී ඇති හෙයින්. එය තුඩ තුඩ ගැටෙන සප්‍රාණික ආරංචියක් බවට සැලකූ අයද සිටියහ. අනපේක්ෂිත ලෙස විදුලි ආලෝකය ඇනහිටීමත් සමගම, රාජා කුලතිලකගේ ඡන්ද අහුරක් තිස්ස කපු කොටුවගේ බුලත් හපය සමග මිශ්‍රව, කට තුළ හැපී ඇති බවය. මෙහි සත්‍ය හෝ අසත්‍යතාව අදටත් සැඟවී ඇත.


සූදු පිටියේදී මෙන්ම දේශපාලන පිටියේදීත් කොළේ හංගා ගහන සෙල්ලම් ඇතිවීමට ඉඩ ඇති බවට මෙයද සාධකයක් නොවන්නේද?


අනික, කමත් භාෂාවේදී ගොයම් ගොඩ හැඳින්වෙන ‘ගොයම් කොළය’ ඉදිරිපත් කරමින්, ඊට මුවාවී වෙඩි තබන ලෙසට සාක්‍ෂි කාරයෙකුට ඉදිරිපත් කළ නීතිඥවරුන් සිටින කලක, මේවාත් අරුමද?

 

 

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර