කේවල ඡන්ද ක්‍රමය නිමාවට පත් කරමින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ පැවැති පළමු මැතිවරණය 1989 මහ මැතිවරණයයි. 1978 පෙබරවාරි 04 වැනි දින ව්‍යවස්ථාව සම්මත වී ක්‍රියාත්මක කළද 1982 දී “ජනමත විචාරණය” මගින් 1977 පාර්ලිමේන්තුවේ නිලකාලය අවුරුදු 06කින් දීර්ඝ කළ නිසා මහ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ඇති නොවීය.
නමුත් 1988 දෙසැම්බර් 19 දින ජනාධිපතිවරණයක් පවත්වා ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර 1988 දෙසැම්බර් 30 වැනිදා සිට 1989 ජනවාරි 06 දක්වා නාමයෝජනා භාර ගන්නා බවත් 1989 පෙබරවාරි 15 වැනිදා මහ මැතිවරණය පවත්වන බවත් ප්‍රකාශයට පත්විය.
කේවල ඡන්ද කොට්ඨාස 160 ඒ ආකාරයෙන් මැතිවරණ බලප්‍රදේශ ලෙස පැවැතියද ඡන්ද කොට්ඨාසයන් ලෙස අර්ථ නිරූපණය වූයේ දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයක පැවතිය යුතු මන්ත්‍රීන් සංඛ්‍යාව ව්‍යවස්ථාවෙන් නියම කර තිබිණි. ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාවෙන් මන්ත්‍රීවරු 196 දෙනෙක් තෝරාගත යුතු විය. පළමු වතාවට පක්‍ෂය තෝරා කතිරයක්ද එම පක්‍ෂයේ තමන් කැමති අපේක්‍ෂකයින් උපරිම වශයෙන් තිදෙනෙක්ද තෝරා කතිරය සලකුණු කිරීමට ජනතාවට සිදුවිය.
මෙම සංකිර්ණ ක්‍රියාදාමය කෙරේ ජනතාව අවධානය යොමු කරද්දී ජ.වි.පෙ ඡන්ද වර්ජන ව්‍යාපාරයක් පවත්වා ගෙන යනලදී. එය වර්ධනය කරමින් “දේශප්‍රේමී ජනතා සන්නද්ධ බළකාය” අණදෙන මූලස්ථානය විසින් මැතිවරණය කඩාකප්පල් කිරීමට නියෝග ගණනාවක් පනවනලදී. සියලුම ග්‍රාමසේවා නිලධාරීන් මැතිවරණ නිලධාරීන් හා ඡන්දපොළ නියෝජිතයින් වෙත අංක 35 දරණ නියෝගයන් මගින් මැතිවරණයට සම්බන්ධවීම තහනම් කිරීම සිදුවිය.
1. මැතිවරණ රාජකාරි පැවරී ඇති සියලු නිලධාරීන් ඒ සඳහා සේවයට වාර්තා නොකළ යුතුය.
2. සියලුම ග්‍රාමසේවා නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි 1989 පෙබරවාරි 10 සිට පෙබරවාරි 16 දක්වා කාලය තුළ තම රාජකාරි වලින් ඉවත්විය යුතුය.
3. සියලු ග්‍රාමසේවා නිලධාරීන් ඉහත කාල සීමාව තුළ තම බලප්‍රදේශ වලින් ඉවත් වී සිටිය යුතු අතර තමා වෙනුවට නියෝජිතයින් පත් නොකළ යුතුය.
4. කිසිදු ඡන්ද මධ්‍යස්ථානයකට ඡන්ද පොළ නියෝජිතයින් පත්නොකළ යුතුය. එම වගකීම් වලින් ඉවත්විය යුතුය.
ඉහත නියෝග කඩකරන්නවුනට ඒ මොහොතේම හෝ ඊටපසුව මරණ දඬුවම පමුණුවන ලෙස අප අණදෙන මුලස්ථානයට අනුබද්ධ සියලු බළකායන් වෙත නියෝගකර ඇති බව වැඩිදුරටත් දන්වා සිටින ලදී.
මෙම තත්ත්වය යටතේ ඇතැම් ප්‍රදේශවල ග්‍රාමසේවා නිලධාරීන් ඉදිරිපත් නොවීමද ඡන්ද පොළ ක්‍රියාකාරී නියෝජිතයින් ඉදිරිපත් නොවීමද දක්නට වූ අතර එසේ ඉදිරිපත් වූ ඇතැම්දෙනා ඡන්දය දින ඡන්ද පොළෙන් පන්නා දමන ලදහ.
මැතිවරණය ආසන්නා වෙත්ම භිෂණකාරී වාතාවරණය උග්‍ර වූ අතර මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් ගණනාවක් මරා දමන ලදහ. 1989 ජනවාරි මාසය තුළදී මරාදමනු ලැබූ ශ්‍රීලනි අපේක්ෂකයින් වුයේ.
1. සරත් සේපාලරත්නායක මහතා - මාතර
2. ඉන්ද්‍රපාල අබේවීර මහතා - කළුතර
3. විජයලාල් මැන්ඩිස් මහතා - කළුතර
4. ඒ. ඇම්. හුසේන් මහතා - මාතර
5. රංජිත් ගාමිණි ජයසේන මහතා - පොළොන්නරුව
6. පී. බී. රත්නායක මහතා - බදුල්ල
7. හෙක්ටර් ජයසිංහ මහතා - කෑගල්ල
8. සෝමපාල අමර කීර්ති මහතා - ගාල්ල
මරාදමනු ලැබූ සමාජවාදී එක්සත් පෙරමුණේ අපේක්‍ෂකයින් වූයේ :
1. නිශ්ශංක කරුණා තිලක මහතා - මහනුවර
2. ආර්. ඒ. ජයවීර මහතා - කුරුණෑගල
3. සෝමදාස ගංකන්ද මහතා - කළුතර
(ශ්‍රී ලංකාවේ මැතිවරණ පුරාණය - මලල්ගොඩ බන්දුතිලක)
මෙම භිෂණකාරී වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින් රජයේ ආරක්ෂක අංශද තම අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා නීති විරෝධී කටයුතු වල යෙදවීම සිදුවිය. මැතිවරණ දින ආසන්න වෙද්දි සෑම අතින්ම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ අතර, ඡන්ද පත්‍රිකා පැහැර ගැනීම්, බිය වැද්දීම්, ගිනි තැබීම් බෝම්බ ගැසීම්, වෙඩි තැබීම් වාර්තාවිය ඡන්දය පැවැති දින දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් “ඇඳිරි නීතිය” පනවා තිබූ අතර ‘ඡන්දය දීමට යන පළමු පස්දෙනාට මරණය’ ලෙස දක්වා පෝස්ටර් අලවා තිබූ අතර ඡන්දයට පෙරදින මැතිවරණ, රාජකාරිවල යෙදුණු තිස්ස මහාරාමයේ තිදෙනකු වෙඩිතබා මරාදමා තිබිණි.
1989 පෙබරවාරි 13 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට 15 වැනි දින මධ්‍යම රාත්‍රී 12 දක්වා දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීති කාලය තුළ ඉන්ධන පිරවුම් හල් විවෘත කිරීම සහ රජයේ ගමනා ගමන කටයුතු සපුරා තහනම් කරනු ලැබ තිබිණි.
මෙම වකවානුවේ ආණ්ඩුවද ජ.වි.පෙ ට මුවා වී භීෂණය හා ප්‍රචණ්ඩත්වය වපුරා විරුද්ධ වාදීන් ඝාතනයට මගපාදා ගැනීම දැකිය හැකි ලක්ෂණයක් වී තිබිණ. ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණය පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තාවේ 134 පිටුවේ ඒ බව මෙසේ සඳහන් විය.
“ඡන්ද විමසීම ආසන්නයේ පැය 48 ඇතුළත කාලය තුළ මිනීමැරුම් 150කුත් ගිනි තැබීම් බෝම්බ ගැසීම් හා වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා බොහෝ ගණනක් සිදුව ඇතිබව වාර්තාවේ. පුදුමයකට මෙන් මෙම භීෂණ තත්ත්වය යටතේ අනුරාධපුරය වැනි සමහර දිස්ත්‍රික්ක වලින් ලැබෙන වාර්තා අනුව මෙම භීෂණයට වගකිවයුතු අය පොදුවේ දන්නා අඳුනන කඩාකප්පල්කාරීන්ම නොවූ බව පෙනී ගියේය. මෙය හුදෙක්ම ඡන්ද දූෂණ සඳහා සංවිධානය වූ වැඩ පිළිවෙළක් දැයි තිබූ සැකය පසුව තහවුරු විය.
1987 - 90 කාලය තළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රජයේ දේපල වලට සිදු වූ අලාභය පොලිස් දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාවේ මෙසේ දක්වා ඇත.
1. පාවිච්චි කරමින් පැවති රජයේ වාහන 613
2. පාවිච්චි කරමින් පැවැති අනෙකුත් වාහන 662
3. දුම්රිය 16
4. තැපැල් කාර්යාල 680
5. ග්‍රාමසේවා කාර්යාල 294
6. අනෙකුත් රජයේ කාර්යාල 446
7. තේ කර්මාන්තශාලා 73
8. අනෙකුත් කර්මාන්තශාලා වැඩ පළවල් 86
9. දුරකථන පණිවිඩ හුවමාරු ස්ථාන 84
10. විදුලි බල නිෂ්පාදන ස්ථාන 241
11. පදිංචි ස්ථාන 299
12. අනෙකුත් 17
මේ වකවානුවේ මෙරට නිල නොවන සන්නද්ධ කල්ලි ගණනාවක් ක්‍රියාත්මක වූ අතර ඒවා අතර ප්‍රා (මහජන විප්ලවකාරී රතු හමුදාව), කළු බළල්ලු, කහබළල්ලු, උකුස්සා, මකර ගෝනුස්සා, ලේ මාපිල්ලු ආදිය විය. මිනිසුන් මරා මේ නම් වලින් පත්‍රිකා දමා ගොස් තිබීමෙන් මෙම සංවිධානවල ක්‍රියාකාරීත්වය දක්නට ලැබිණි. මෙම කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙන මරා ටයර් දමා පාර අයිනේ පුලුස්සා තිබීමද, ශරීරඅංග ඡේදනය කර දමා තිබීමද මෙකල නිතරම පාහේ ලෙස දර්ශනය විය. එසේම ඇතැම් පුද්ගලයන් දරුණු වධහිංසා වලට භාජන කරන වධකාගාරද දක්නට තිබූ අත සාක්ෂි සහිතව පසු කාලීනව ඉදිරිපත් වූ වධකාගාර අතර බටලන්ද, එළිය කන්ද ප්‍රසිද්ධ ඒවාය.
මෙම භීෂණකාරී වාතාවරණය මැද ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වූ 9,374,164න් ඡන්දය ලබාදී තිබුණේ 5,962,031 හෙවත් 63.06% පමණි. මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුද සමග එ.ජා. පක්‍ෂය මන්ත්‍රීධුර 125ක්ද ශ්‍රී.ල.නි. පක්‍ෂය ප්‍රමුඛ විපක්ෂයේ පක්‍ෂ මන්ත්‍රීධුර 100 ලැබූ අතර එ.ජා. පක්‍ෂයේ ඩී. බී. විජේතුංග මහතා අගමැති වරයා වශයෙන් පත්කර එ.ජා. පක්‍ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති වශයෙන් පියවර ගත්තේය.