තේ කෝප්පයේ දේශපාලනය


පසුගියදා රුසියාව ලංකාවේ තේ මිලදී ගැනීම තාවකාලිකව අත්හිටවුවේය. එයට හේතුව ලෙස දක්වන ලද්දේ රුසියාවට ගෙනා තේ තොගයක විනාශකාරී කුරුමිණි සත්වයෙකු සිටිය බවයි. එය විභාග කර බලා ස්ථිර තීරණයක් ගන්නා බව එරට කියා සිටියේය. මෙම ආරංචිය ලැබීමත් සමග මෙරට දේශපාලන, ආර්ථික, වෙළඳ සහ වැවිලි යන ක්‍ෂෙත්‍ර සියල්ලම කැලඹී ගියේය. තේ ගැන කථාබහ සිව් දෙසින් නැගී ආවේය.

ලංකාවේ තේ පිළිබඳ ඉතිහාසයට ඇත්තේ වසර 150 ක පමණ කෙටි කාලසීමාවකි. බි්‍රතාන්‍ය ජාතික ජේම්ස් ටේලර් නමැති වැවිලිකරුවෙකු විසින් මහනුවර දිසාවේ හේවාහැට ලුල්කඳුර වතුයායේ දී මෙරට තේ වගාව ප්‍රථම වරට ස්ථාපිත කළ බව වාර්තාවන්හි සඳහන්ව ඇත. මෙරටට කෝටි සංඛ්‍යාත ධනයක් ලබාදුන් තේ කර්මාන්තය අදටත් අපේ රටට ප්‍රබලම ධනෝපායන මාර්ගයකි. එමෙන්ම අපේ දේශපාලන ඉතිහාසයේ ද තේ නිෂ්පාදනය සහ වතුකරය හා බැඳුණු සිදුවීම් බොහෝය. අපේ රටේ තේ පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ කතා බහක් ඇති වී තිබෙන මේ මොහොත තේ හා බැඳුණු දේශපාලන කතාවේ තීරණාත්මක සිදුවීම් කීපයක් පෙළ ගැස්වීමට සිතුවෙමි. 

ලංකාවේ ආර්ථික සංවර්ධනයට මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ දියුණුවටද තේ කර්මාන්තය මගින් ලබා දී ඇති දායකත්වය අති ප්‍රබලය. ඒ පිළිබඳ කරුණු කීපයක් සිහිපත් කිරීමට ද මෙම අවස්ථාව යෝග්‍ය වේ. උඩරට මධ්‍යම කඳුකරයේ වැසි වනාන්තර වශයෙන්  පැවති ඉඩම් ද ඇතුළුව නිශ්චිත අයිතියක් ලිඛිතව ඉදිරිපත් කිරීමට නොහැකි වූ සියලුම ඉඩම් මුඩු බිම් පනත යටතේ රජයට පවරා ගැනීමට බි්‍රතාන්‍යයෝ ක්‍රියාකළහ. මෙසේ ලබාගත් ඉඩම් නව ව්‍යාපාරයක් වශයෙන් නැගී ආ කෝපි වගාව සඳහා බි්‍රතාන්‍ය ජාතික වැවිලිකරුවන් අතර බෙදාදෙනු ලැබීය. සම්ප්‍රදාය සහ චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින් කටයුතු සිදුකෙරුණු සිංහල ජනසමාජයේ ඉඩම් අයිතිය පිළිබඳව පමණක් නොව බොහෝ වට විවාහය සඳහා වුවද ලිඛිත සටහන් නොතිබුණි. සියල්ල වාචික පොරොන්දු විය. චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කළ සිංහලයෝ එම කට වචනය බිඳ නොදැමූහ. කවදත් සිදු වන පරිදි ඉතා සුළු පිරිසක් එම පොරොන්දු බිඳ දැමුවා වුවත් සමස්තයක් ලෙස අති බහුතර මිනිස්සු එම චාරිත්‍රයන්ට ගරු කළහ. ඒවාට අනුගත වූහ. මෙම පසුබිම හමුවේ උඩරට හෝ පහත රට බොහෝ දෙනාට තම ඉඩම් සඳහා ඔප්පු තිරප්පු තිබුණේ නැත. ඒ නිසා ගම්මාන සම්පූර්ණයෙන්ම පාහේ මුඩුබිම් පනත යටතේ රජයට පවරා ගන්නාලදුව ඒවා වතුකාර සුද්දන් අතර සිලිම් දෙකට තුනට අලෙවි කරන ලදි. 


එදා ගම්බද ජනතාව අතර වැටුපට සේවය කිරීම හුරුව නොතිබුණාක් මෙන්ම එය පිළිකුල්සහගත සිදුවීමක් ලෙස සලකන ලදි. එම චාරිත්‍රානුකූල නොවූ ප්‍රතිපත්තිය නිසාත් තම ඉඩම් බලහත්කාරයෙන් මංකොල්ල කා ගැනීම නිසාත් බි්‍රතාන්‍ය පාලකයන්ට එරෙහි වූ සිංහලයෝ සුද්දන්ගේ වතුවල කුලියට වැඩ කිරීම ප්‍රතික්ෂේප කළහ. මේ නිසා කෝපි වගාව ආරම්භ කිරීම සඳහා කම්කරු පිරිසක් සොයාගැනීමේ දුෂ්කරතාවට පාලකයෝ මුහුණ දුන්හ. 


මෙම යුගය වන විට ලංකාව පමණක් නොව සමස්ත ඉන්දියානු අර්ධ මහාද්වීපයම පැවතියේ බි්‍රතාන්‍යයන් සතු වතු යායවල් පරිද්දෙනි. එනිසා තම අභිමතයට ඕනෑම දෙයක් සිදුකර ගැනීමේ පරමාධිකාරි බලය ඔවුහු දැරූහ. ඒ අනුව දකුණු ඉන්දියාවේ එවකට මදුරාසි ප්‍රාන්තය යැයි කියවුණු පෙදෙසේ ජීවත් වූ දරිද්‍රතාව බහුලව රජ කරන ජනතාව අතරින් මිනිසුන් තෝරාගෙන කණ්ඩායම් වශයෙන් ලංකාවට ගෙන ඒම සිදුකළහ. මෙය මහා මිනිස් ජාවාරමක් වූ බව කියනු ලැබේ. මෙම කටයුත්ත භාරව සිටි දමිළ ජාතිකයෝ මදුරාසිය අවට ගම් වලට ගොස් රැකියා ලබාදෙන බව කියමින් පිරිස් රැස්කොට ගෙන සුද්දන් විසින් සපයා දෙන රුවල් නැව්වල පටවා ගෙන ධනුස්කොඩි සිට උතුරේ මන්නාරම, කන්කසන්තුරේ සහ වැල්වැටිතුරෙ ආදී තොටුපොළ කරා යාත්‍රා කළහ. පහසුකම් නොමැති සමහර ඔරු පාරු ගිලී ගියේය. සිය ගණන් සංක්‍රමණිකයෝ මරු වැලඳ ගත්හ. බේරී ගොඩට පැමිණි ඇත්තෝ පා ගමනින් අනුරාධපුරය, මාතලේ ආදී පෙදෙස් පසු කරමින් උඩරට වතුකරයට දක්කා ගෙන එන ලදි.


අධික වෙහෙස නිසාත් ලෙඩ රෝග නිසා පමණක් නොව වනාන්තර මැද අලි කොටි වග වලසුන්ගේ ගොදුරු බවට පත්වීම නිසාත් මෙම දහස් ගණන් අසරණයෝ වතුකරයට පැමිණීමටත් පළමුව මරු තුරුලේ සැනසීම උරුම කර ගත්හ. ජීවත්වීමේ “අභාග්‍යය” ලැබූ තවත් බොහෝ පිරිසක් හරි හමන් ආහාර පාන, නිවාස පහසුකම්, නිසි ඇඳුම් පැලඳුම් නොමැතිව ශීතලෙන් ගැහෙමින් කෝපි වතු වගාව ඇරඹූහ. මුල්ම යුගයේ කැලෑ එලි පෙහෙලි කිරීම් කරමින් තිරිසන් සතුන් මෙන් වැඩ කිරීමට මොවුනට සිදුවූ බව කියනු ලැබේ. කෙතරම් දුෂ්කරතා මැද හෝ ඔවුහු වතු වගාව ආරම්භ කළහ. එනිසා කෝපි වගාව පටන් ගත් පුරෝගාමීන් වූ බි්‍රතාන්‍ය ජාතික විනිසුරුව සිවිල් නිලධාරීහු, හමුදා නිලධාරීහු, ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ කාර්යමණ්ඩලය එවකට පැවති ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයේ සුදු ජාතික මන්ත්‍රීවරුද අක්කරයක් සිලිමක් දෙකක් පමණ වූ මුදලට ඉඩම් ලබා ගෙන කෝපි වගාව මගින් විශාල ලාභයක් ලැබූහ. 


එහෙත් සියල්ල සුබවාදී නොවීය. 1869 පමණ වන විට කෝපි වගාවට වැලඳුණු යම් කිසි රෝගයක් නිසා එය මුළුමනින්ම විනාශ වී යන තැනට කටයුතු යෙදුණි. මෙතරම් කැප කිරීමකින් පටන් ගත් වතු වගාව අතහැර දැමීමට අයෝජකයෝ කැමති නොවූහ. එනිසා සිංකෝනා, කොකෝවා සහ තේ වගාව කෙරෙහි යොමු වීමට ඔවුන්ට සිදුවිය. එහෙත් ලෝක වෙළඳ පොළේ කොකෝවා සිංකෝනා වල මිල අඩුවීම නිසාත් තවත් හේතු ද පාදක කොට ගනිමින් ලංකාවේ මධ්‍යම කඳුකරය මුළු මනින්ම තේ වගාවෙන් වැසී ගියේය. සුදු ව්‍යාපාරිකයෝ අධික ලාභ ලැබූහ. එම ලාභය උපයා දීම සඳහා තම ශ්‍රමය කැප කරමින් අනේක දුක් කම්කටොළු වැළදූ වතු කම්කරු ලක්ෂ සංඛ්‍යාත ජනතාවෝ කුසගින්න, ලෙඩ රෝග හා මන්දපෝෂණය උරුම කර ගනිමින් දුකෙන් දුකට පත්වූහ. 
පවුල් පිටින් මෙරටට සංක්‍රමණය වූ මෙම පුද්ගලයෝ හරක් මඩු වලට වඩා වෙනසක් නොවුණු මඩු කූඩාරම් තුළ ගාල්වී දවස් ගෙවද්දි නියමිත කාලයක් හෝ වැටුපක් ගැන නොසලකා පාලකයන්ගේ අවශ්‍යතාව පරිදි ශ්‍රමය පූජා කරමින් දස දුක් විඳිමින් දිවි ගත කළහ. දශක කීපයක් යද්දී මධ්‍යම කඳුකරයේ පමණක් නොව රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටද පැතිරුණු වෙනම ශිෂ්ටාචාරයක් හා සංස්කෘතික ගති ලක්ෂණ වලින් යුතු වෙනම ප්‍රජාවක් ලෙස මෙම වතු දෙමළ ජනතාව වැඩී ගියේය. ඔවුන්ට ආවේණික අනන්‍යතාවකින් යුතු ජන කොටසක් වුවද ඔවුන්ගේ සම්භවය හා සම්බන්ධ මූලයන් රැඳී තිබුණේ දකුණු ඉන්දියාවේ බව ඔවුහු කිසි විටෙකත් අමතක නොකළහ. ඔවුන් ලංකාවේ ජාතික දේශපාලනය හා එක්ව කටයුතු කිරීමට සම්බන්ධ නොවූ අතර 1931 දී සර්ව ජන ඡන්ද බලය හිමිවීමෙන් පසුව පැවැත් වූ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ඔවුන් අනුගමනය කළේ වෙනත් ප්‍රතිපත්තියකි. මහා ප්‍රවාහයේ දමිළ ජනතාව උතුරු පළාතේ ඡන්දය වර්ජනය කර ඔවුනට වෙන් වූ කයිට්ස්, කන්කසන්තුරේ, යාපනය සහ පොයින්ට් පේදුරු යන ආසන හතර තරග නොකර වර්ජනය කර එම කොට්ඨාස වලට මන්ත්‍රීවරයෙකු නොමැතිව තබද්දී වතු ජනතාවෝ හැටන් ආසනය සඳහා තම වෘත්තිය සමිති නායකයා වූ පෙරි සුන්දරම් මහතා තෝරා පත්කර ගත්හ. බණ්ඩාරවෙල ආසනයේ ඔවුන්ගේ සහාය ලැබුණෙ වතු හිමියෙකු වූ බි්‍රතාන්‍ය ජාතික පොලෝස් ගෝර්ඩන් මහතාටය. ඔහු ජය ගත්තේය. 


මාක්ස්වාදී සහ විප්ලවවාදී පක්ෂයක් වශයෙන් 1935 දී ලංකා සම සමාජ පක්ෂය බිහි වීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. පීඩිත කම්කරු ජනතාවක් වූ වතු කම්කරු ජනතාව සංවිධානය කර ඔවුන්ගේ වෘත්තිය අයිතිවාසිකම් දිනාදීමටත් එම පිරිස් එක් කොට ගෙන පක්ෂයේ ශක්තිය වැඩි දියුණු කර ගැනීමටත් සම සමාජ නායකයෝ උනන්දුවෙන් කටයුතු කළහ. එම පක්ෂයේ නායකත්වයෙන් යුතු ලංකා වතු කම්කරු සංගමය වටා ඒකරාශී කළහ. මෙවැනි කටයුතු සිදුවෙද්දී වතු අධිරාජ්‍යයේ අධිපතියන් ලෙස ක්‍රියා කළ වතු අධිකාරීහු කුපිත වූහ.

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ