දකුණෙන් මතුවුණ වමේ බලය


ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමක් හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි හමුවූ අවස්ථාවක්.
ඡායාරූපය : අන්තර්ජාලයෙනි

 

 

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නව මැවුම්කරුවන් වූයේ වමේ ව්‍යාපාරයේ නියමුවන්ය. පසුකාලීනව න්‍යායාත්මක මත ගැටුම් හේතු කොටගෙන වරින්වර විවිධ කණ්ඩායම් ලෙසට බෙදී ගියද ඔවුනගේ පරමාර්ථය වූයේ අහිංසක දුක් විඳින ගොවි කම්කරු ජනතාවගේ සුබසෙත උදාකරලීමයි.


අප මේ සඳහන් කරන එකී ගමන් මඟෙහි නියාමකයන් වූ පිරිස අතළොස්සක් පමණි. එහෙත් ඔවුන්ගේ හද ගැස්ම සුබෝධනය කරනු ලැබූයේ විදෙස් රටවලට ගොස් කාලීන ලෝකයේ පැවති අර්ථාන්විතය උකහාගෙන තම දේශය සුරක්ෂිත කරනු සඳහා වූ නොතිත් බලවේගයකට පෙරගමන් යාමටය.


මෙහිදී අපට සිහිපත් වන්නේ එදා මෙරට පැවැති දුක් විඳින ජනතාවගේ අඳෝනාවේ කෙඳිරිලි හඬ කොතරම් උග්‍රව පැවැතියාද යන්නය. අග නගරය සිසාරා සිටි කම්කරු පිරිස විඳිනා දුක් වේදනා ඔවුහු සියැසින් දැක ගත්හ. කම්කරුවන් ලැගුම්ගෙන සිටියේ ලෑලිවලින් ආවරණය කරන ලද නිවෙස්වලය. ගොම මැටි ගෑ ගෙබිමෙහි ඔවුහු දැඩි සීතලයෙන් රැය පහන් කළහ. එළිය පොළොවට වැටෙත්ම දවසේ පැවැත්ම උදෙසා යමක් කමක් උපයා ගැනීමට ගමන් ගත්තේ රත්ව ගිය ගල් බොරලු පාරවල් ඔස්සේය.


සමසමාජවාදීහූ මෙවන් අඳුරුගේ දොරවලට ගමන් ගත්හ. ඔවුන්ගේ මනස ප්‍රතිශෝධනය කළහ. ආත්ම ගරුත්වය සහිත මිනිසුන් හැටියට දිවි ගෙවන්නට ඇති අයිතිය වටහා දුන්හ. එක් අතෙක මෙසේ පීඩාවට පත්ව සිටි පිරිසකි. තවත් අතෙක සිංහල දෙමළ භාෂා සාහිත්‍ය පිළිබඳව ගුරු පත්වීම් ලද පිරිස අතර පැවතියේ දැඩි පරස්පරයකි.


මෙරට උපන් ජනතාවගෙන් රටට මහ මෙහෙවරක් කරමින් සිටි කම්කරු ජනතාව වෙනුවට ඉන්දියාවෙන් කම්කරු පිරිස් ආනයනය කිරීමේ පුරුද්ද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බලධාරීන් බවට පත්ව සිටි ඩී. එස්. සේනානායක ඇතුළු පිරිසගේ පුරුද්දක් බවට පත්ව තිබිණි. මෙම විකල්පය ඉදිරි අනාගතයේදී මුළු රටම තමන් කරපිට පටවන බරක් බව දැනගෙන සිටි දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ 1914 මාර්තු 16 වැනිදා ගාලු මුවදොර පිටියේදී ගොවි කම්කරුවන් උදෙසා පැවැත්වූ රැලියට දහදහසක් ඉක්මවා ගිය පිරිසක් සහභාගි වූහ.


ගින්නක් ඇවිළෙන්නට යන බව දැනගත් ඩී. එස්. සේනානායක ජාතික සංගමයේ මූලිකයන්ව සිටි රාජා හේවාවිතාරණ, එච්. ඩබ්ලිව්. අමරසූරිය, ආර්. සී. කන්නන්ගර, ඬේවිඞ් වනිගසේකර යන පිරිස සමග මාතර දී මහජන රැලියක් පැවැත්වීය. මෙහි අරමුණ වූයේ ඉන්දියානු කම්කරුවන් මෙරටට ආනයනය කිරීමට මාතර ප්‍රදේශවාසී ජනතාවගේ පක්ෂපාතීත්වය මෙන්ම අනුමැතිය ලබාගැනීමය.


ඩී. එස්. සේනානායක දිගින් දිගටම මෙම ඉන්දියානු කම්කරුවන් ගෙන ඒම පිළිබඳව එක දිගට කතා කරන්නට විය.


සිදුවූයේ නොසිතූ විරූ සිදුවීමකි. මෙම රැස්වීම පටන්ගත් තැන් සිට ඉදිරියේ සිටි දොස්තර වික්‍රමසිංහ වේදිකාවට ගොඩ වැදී මයික්‍රෆෝනය තමන් වෙතට ඩැහැ ගත්තේය. කර කියා ගත හැකි දෙයක් නොමැතිව සිය මූලාසනයට ගොස් හරි බරි ගැසී හිඳ ගත්තේ එදා පැවති ප්‍රජාතන්ත්‍රවාදයේ සම්ප්‍රදායක් හැටියටය.


‘තමුන්නාන්සේලා දන්නවා ඇති මේ මිනිස්සු කරන්න යන්නේ මොන උගුලක්ද කියලා. මේ බණ අහන මිනිස්සු මාතර පළාතේ නෑ. මම මුල ඉඳලම කියන්නම්. අපේ වමේ කණ්ඩායම අද ජීවිත පරිත්‍යාගයෙන් රට නිදහස් කර ගන්න හදනවා. අපි එක්ක ඉන්නේ කවුද? මුළු ලෝකෙම කරක් ගහලා ඉඳලා ආපු කණ්ඩායමක්. මම දොස්තර කෙනෙක්. අහල තියෙනවද මම එක දුප්පත් මනුස්සයකුගෙන් සතපහක්වත් අරගෙන තියෙනවද කියල. ඊළඟට ඇන්. ඇම්. ඒ මනුස්සයා ලෝකය පිළිගත් ආර්ථික විශේෂඥයෙක්. පිලිප් ගුණවර්ධන කියන්නේ මේ මහ පොළොව එක්ක හැප්පිලා රටම කෘෂිකර්මාන්තයෙන් නගාහිටවන්න පුළුවන් උපාධිධාරියෙක්. කොල්වින් අපිත් එක්ක ඉන්න අධිනීතිඥවරයෙක්. අපි අධිරාජ්‍යවාදීන්ට බැල මෙහෙ කරන එවුන්ට විරුද්ධව පාරට බැහැපු උදවිය.


මේ වේදිකාවේ ඉන්නේ කවුද? අනුන්ගේ බැල මෙහෙ කරගෙන සුර සැප විඳින උදවිය. පතල්කාරයෝ පතලක බැහැලා වැඩ කරන එක කොච්චර අමාරු දෙයක්ද? මිනිරන් ඇඟේ ගෑවුණොත් ලෙඩ රෝග හැදෙනවා. උඩට මතුකර ගෙන ආවාම පිට රටවලට පටවල සල්ලි හොයා ගන්නවා. ඒවට උල්පන්දම් දෙන සුද්දන්ට මේ කණ්ඩායම උඩ ගෙඩි දෙනවා.
දොස්තර වික්‍රමසිංහගේ හඬ මාතර උයන්වත්ත වේදිකාව දෙදරන්නට පටන් ගති. එකින් එක ඔහු මහජනතාව දැනුම්වත් කරත්ම පළාතම දෙවනත් කරමින් අත්පොළසන් හඬ නිකුත් වන්නට පටන් ගති. ඩී. එස්. තම සගයන් සමග වේදිකාවෙන් බැස යද්දී සාමකාමී පිරිසක් වූ පැමිණ සිටි ජනතාවො ගල් මුගුරු අතට නොගත්තද හූ හඬින් ඔවුන්ට ප්‍රතික්‍රියා දැක්වූහ.