දකුණේ “ඩබල් මිනිස්ටර්” ජෝර්ජ් රාජපක්ෂ


 

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ විසූ ඉඩම් හිමි ග්‍රාමීය පවුලක ඉපදී ඩී. එම් රාජපක්ෂයන් දේශපාලන කරළියේදී රුහුණේ සිංහයා බවට පත් වුවේය. අධිරාජ්‍යවාදයට එරෙහිව නැගී සිටි ඔහු දකුණේ ජනතාවගේ දුක හඳුනාගත් සැබෑ නායකයා විය. ඔහුගේ අඩිපාරේ ගිය දෙවැනි පුත්‍රයා වුයේ ජෝර්ජ් රාජපක්ෂයන්ය.


රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ජෝර්ජ් දක්ෂ කථිකයෙකු මෙන්ම දක්ෂ ක්‍රීඩකයෙකු ද විය. රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ ඔහු පාසල තුළ විප්ලවීය චරිතයක් ද විය. 


පිලිප් ගුණවර්ධන, එන්. ඇම්. පෙරේරා වැනි වාමාංශික නායකයන් ගෙන ගිය අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය එකහෙළා පිළිගත් ජෝර්ජ් පාසලේදී ද සිංහලකම වෙනුවෙන් හඬ අවදි කළ නිර්භීත පුද්ගලයෙකි. 


ෂ වන ලෝක යුද්ධය හමුවේ යුද්ධයෙන් අවතැන් වූ සෙබළුන්ට ආධාර පිණිස පොපි මල් අලෙවි කිරීම සිදු වූ අතර රෝයල් කොලිජියේ බොහෝ සිසුවෝ පොපි මල් පැළැද පාසලට ආහ. එහෙත් සිය සිංහලකම පෙන් වූ ජෝර්ජ් රාජපක්ෂයන් පමණක් සූරිය මලක් පැලැද පාසල් ගියේය. 


එවන් වූ විප්ලවීය චරිතයක් වූ ජෝර්ජ් ඉගෙනීමට අති දක්ෂයෙකු විය. උසස් පෙළින් පසු ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වූ ඔහු 1954 වසරේ අධි නීතිඥයෙක් ලෙස දිව්රුම් දුන්නේය. 


මාතර, ගාල්ල, හම්බන්තොට යන දකුණේ දිස්ත්‍රික්ක තුළ කැපී පෙනෙන ජෝර්ජ් එම පළාත නියෝජනය කළ දක්ෂතම නීතිඥයා වූවේය. 


හැම විටම අසාධාරණයට එරෙහිව සටන් වැදුණු ඔහු 1960 වසරේ මාර්තු මස පැවති මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණෙන් තරග බිමට පිවිසියේය. එහිදී සුවිශාල ජයග්‍රහණයක් ලබාගත් ජෝර්ජ් 1960 ජුලි පැවැත්වු මහ මැතිවරණයෙන් ද ජය ලැබුවේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමෙනි. 


1960 පිහිට වු සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ මුදල් උප ඇමැති ධුරයට තේරී පත් වූ ඔහු ගිරුවාපත්තුවේ ජනතාවගේ උන්නතිය සඳහා කටයුතු කළේය. 


එසේ සිටියදී ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් හාල් සලාකය සේරු භාගයකින් කපා දැමීමට තීරණය කළ අතර ඊට ජෝර්ජ් රාජපක්ෂයන් විරුද්ධ විය. ජනතාවගේ නායකයෙක් ලෙස කටයුතු කළ ඔහු ඔහුගේ නියෝජ්‍ය මුදල් ඇමැති ධුරයෙන් ද ඉල්ලා අස්වුණේය. එහෙත් කිසිදු විටක විරුද්ධ පක්ෂය සහ එකතු වූයේ නැත. 


1965 වසරේ නැවත මැතිවරණයක් පැවැත්වූවේය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වු අතර හම්බන්තොටින් තරග කළ ජෝර්ජ් රාජපක්ෂයන් පමණක් ජයග්‍රහණය කළේය. විරුද්ධ පක්ෂයේ සිටිමින්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ සහය ලබාගත් ඔහු මුරුතවෙල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර වීමට සුවිශාල පරිශ්‍රමයක් දැරුවේය. 


1970 පැවති මැතිවරණයෙන් නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේය. එහිදීද සුවිශාල ජයග්‍රහණයක් ලබා ගත් ජෝර්ජ් හම්බන්තොටින් බිහිවූ පළමු ඇමැතිවරයා වීමේ ගෞරවය ලබා ගත්තේය. ඔහුගේ දක්ෂතාව නිසාම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඔහුට සෞඛ්‍ය ඇමැති ධුරය හා ධීවර ඇමැති ධුරය ලබා දුන්නේය. අමාත්‍ය පදවි දෙකම සාර්ථකව දරා සිටිමින් මහජන සේවයේ නිරත වු අපරාජිත නායකයා හම්බන්තොට ජනතාවගේ ඩබල් ඇමැති විය. 


1960 ත් 70 අතර තිබූ සියලු මැතිවරණ ජයගත් ජෝර්ජ් ජනතාවාදී නායකයෙකුම විය. සෝවියට් මිත්‍ර සංගමයේ ආරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු අධිනීතිඥයෙකු ලෙස ලද පන්නරය ද ජනතා සුබ සාධනයට යොදා ගත්තේය. 


සිංහරාජ වනාන්තරය රැක ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත්කළ කැබිනට් අනුකාරක සභාවේ සභාපති වූ ජෝර්ජ් ලාංකීය උරුමයන් රැක ගැනීමට ද ඇප කැප විය. “ජෝර්ජ් රාජපක්ෂ පඩි පාලක කොමිසන් සභාව” පිහිටුවා ජනහිතකාමී තීන්දු රැසක් ලබාදුන් ඔහු පාඩු ලබන ආයතනයක් ලෙස නම්කර තිබූ ලංකා ධීවර සංස්ථාව සංවර්ධනය කර ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව පිහිටුවුවේය. 
1971 කැරැල්ල පැවති අවස්ථාවේදී ද තරුණයන් ඉන් මුදා ගනිමින්, ඔවුනට රැකවරණය ලබා දෙමින් පුනරුත්ථාපනය කිරීම සඳහා කටයුතු කළ එක් මානවවාදී දේශපාලනඥයෙකු වූයේ ජෝර්ජ් රාජපක්ෂයන්ය. 


මංමාවත් සුවිශාල ප්‍රමාණයක් සංවර්ධනය කළ හැකි විය. එම ක්‍රමවේදය එකල ප්‍රසිද්ධියේ ජෝර්ජ් ක්‍රමය ලෙස පිළිගත්තේය. 
මෙවන් වු සමාජ සේවාවන් රාශියක් සිදු කළ ජෝර්ජ් රාජපක්ෂයන් හදිසි හෘදයාබාධයක් හේතු කොටගෙන 1976 ජුනි 18 වැනි දින සදහටම දෙනෙත් පියා ගත්තේය. එහෙත් දේශපාලනයේ අපරාජිතයෙකු වූ මොහු මෙරට ජනතාව වෙනුවෙන් සිදු කළ අද්වීතිය මෙහෙවර අනුස්මරණීය වේ.