දරුවන්ගේ සටනට මවුපියන්ගේ සහය


මේ වන විට බොහෝ විශ්ව විද්‍යාල වසා දමා තිබුණු බැවින් සිසුහු වැඩි කොටසක් තම ගම් ප්‍රදේශවලට ගොස් සිටියෝය. මෙහිදී වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අ.වි.ශි.බ.ම. ය නව ක්‍රියාමාර්ග තෝරමින් සෑම දිස්ත්‍රික්කයකම අ.වි.ශි.බ.ම හා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ දිස්ත්‍රික් කමිටු සංවිධානය කරන ලදී. මේ අනුව ත්‍රිමාවිතාන රත්නපුර අ.වි.ශි.බ.ම දිස්ත්‍රික් කමිටු නායකත්වයට පත් වූ අතර විශ්ව විද්‍යාලවල ක්‍රියාකාරී සිසුන් සෑම දිස්ත්‍රික්කයකම කමිටු පිහිටුවා දිස්ත්‍රික්කයේ විසිරී සිටින සිසුන් එක් කර අරගලය දීප ව්‍යාප්තව ගෙන යන ලදී. මෙම අරගලයට පාසල්වල ඉහළ පන්තිවල ශිෂ්‍යන්ද සහභාගී කර ගන්නා ලද්දේය.


ඒ අතරම ශිෂ්‍ය නායකයින් දිස්ත්‍රික්ක මට්ටමේ ක්‍රියාකාරී වෙමින් එම දිස්ත්‍රික්ක හා නගරවල පැවැති වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් කම්කරු ව්‍යාපාරය ගොඩනැගීමට ද දායක වන ලදී. එසේම මර්දනය හේතුවෙන් අක්‍රියව පැවැති හෝ වෘත්තීය සමිති ගොඩ නොගැනී පැවති කර්මාන්තශාලාවල අළුතින් වෘත්තීය සමිති ආරම්භ කරන ලදී.

 

 

විසුරුවා හරින ලද ශිෂ්‍ය ව්‍යාපාරය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙමින් නව ශිෂ්‍ය හා කම්කරු බලවේගයක් සංවිධානය කරමින් සිටියෝය. විශ්ව විද්‍යාල වසා දමා උසස් අධ්‍යාපනය නතර කර තිබුණු තත්ත්වයක් තුළ සරසවි සිසු දෙමාපියන් ද සංවිධානය වන්නට විය. දිස්ත්‍රික් අ.වි.ශි.බ.ම කමිටු මෙහෙයවීමෙන් දිස්ත්‍රික් මට්ටමින් සරසවි සිසු දෙමාපිය සංගම් ගොඩ නැංවුණු අතර මෙම සියලු සංගම් ඒකාබද්ධ කොට සමස්ත ලංකා සරසවි සිසු දෙමාපිය සම්මේලනය ගොඩනඟන ලදී. මෙම සම්මේලනයේ සභාපති ධූරය විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ එස්.ඒ. ජයසේකර මහතා හෙබවූ අතර ලේකම් ධුරය මහජන එක්සත් පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වූ පී.එල්.එස්. පෙරේරා මහතා හෙබවීය.


මේ අයුරින් සිසුන් දෙමාපියන් කම්කරුවන් හා විවිධ බහුජන සංවිධාන රටපුරා ගොඩ නැඟී ශිෂ්‍ය අරගලය පෝෂණය කරමින් පැවැතිණ, රටපුරා විසිරී සංවිධානාත්මකව වෛද්‍ය ශිෂ්‍ය අරගලය ඉදිරියට යමින් පවතිද්දී 1988 ඔක්තෝබර් 22 දිනය උදා විය.


අ.වි.ශි.බ.ම. දිස්ත්‍රික් කමිටු රැස්වීමකින් පසු බස් නැවතුමේ සිටියදී වෛද්‍ය ශිෂ්‍ය ත්‍රිමාවිතාන, බන්ධුවර්ධන හා රංජිත් පෙරේරා පැහැර ගැනීමට ලක් විය. මෙම පැහැරගැනීමට පැමිණි ජීප් රථයේ අංකය 32ශ්‍රී679 ලෙස හඳුනාගෙන තිබිණි. කළුපටිධාරී කරාටේ ක්‍රීඩයෙකුවූ ත්‍රිමාවිතාන සන්නද්ධ පිරිසට අභියෝග කරමින් හැකි නම් ආයුධ ඉවත ලා තමන් සමඟ අතින් පයින් ගනුදෙනු බේරා ගැනීමට එන්නැයි අභියෝග කළ බව ඇසින් දුටුවන් පවසන ලදී.


සන්නද්ධ පිරිස ත්‍රිමා ඇතුළු තිදෙනා ජීප් රථයේ දමා ගෙන දේශපාලනඥයෙකුගේ පෞද්ගලික වත්තකට රැගෙන ගිය බවට සාක්ෂි ඉදිරිපත් විය. එහිදී දරුණු ලෙස වධ දී මරා දමන ලද සිසුන් තිදෙනාගේ සිරුරු රාත්‍රියේම මහ මඟ දමා ගොස් තිබිණි. පසුදින පොලිසිය විසින් මෙම මළසිරුරු මල්ලක්කාව සුසාන භූමියේ වළදමන ලදී.


ත්‍රිමාවිතාන පැහැරගැනීම සිදුවීමත් සමඟම ඒ බව කොළඹ වෛද්‍ය පීඨයේ සිටි සහෝදර සිසුන්හට දැන ගැනීමට ලැබිණි. වහාම එවකට පීඨාධිපතිව සිටි මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා හමුවීමට ඔහුගේ නිවසට ගිය වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියකාරී නියෝජිතයන් මෙම පැහැරගැනීම පිළිබඳ පීඨාධිපතිතුමා දැනුවත් කර ත්‍රිමාවිතාන නිදහස් කර ගැනීමට ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටියහ. ඒ අවස්ථාවේ රත්නපුර උසස් පොලිස් නිලධාරීන් දුරකථනයෙන් ඇමැතූ කෝදාගොඩ මහතා ඔවුන් පැහැර ගත් දේශපාලනඥයා පිළිබඳව ද දැනුම්වත් කර සිසුන් බේරා ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියේය.


කෙසේ වුවද මෙම ඉල්ලීම ක්‍රියාත්මක නොවූ අතර දේශපාලකයාගේ නොනිල මිනීමරුවන් එදින රෑ ත්‍රිමාවිතාන ඇතුළු පිරිස ඔහුගේ පෞද්ගලික වත්ත තුළදී මරා දමන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණි.


ත්‍රිමාවිතාන සොයා ගැනීම සඳහා වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් පීඨාධිපතිගේ විශේෂ අවසර පතක් සමඟ රත්නපුර ප්‍රදේශයට පිටත්ව ගියහ.


ත්‍රිමාවිතාන, බන්ධුවර්ධන හා රංජිත් පෙරේරාගේ මළ සිරුරු ඥාතීන් විසින් හඳුනාගන්නා ලදී. ඔවුනගේ මළ සිරුරු ඥාතීන්ට භාර දී අවම ජන සහභාගීත්වයකින් අවසන් කටයුතු කරවීමට රජය උත්සාහ කරන ලදී. මේ අතර දැඩි ලෙස කෝපයට හා කම්පාවට පත් කොළඹ වෛද්‍ය පීඨ සිසුන් ත්‍රිමාගේ මෘත දේහය අවසන් ගෞරවය සඳහා පීඨයට ලබා දිය යුතු බවට රජයට බල කරන ලද්දේය. එහෙත් එය නොසලකා එම මෘත ශරීරය ඔහුගේ ගම් ප්‍රදේශයට ගෙන යාමට ආණ්ඩුව විසින් උත්සාහ දරන ලදී.


මේ අවස්ථාවේ වෛද්‍ය ශිෂ්‍යාවන් බහුතරයක් වන ලෙස ශිෂ්‍ය කණ්ඩායමක් කොළඹ ජාතික රෝහලේ උඩුමහල මත නැඟී උපවාසයක් අරඹන ලදී. දැඩි ආවේගයෙන් සිටි සිසුහූ පිරිසක් ලාම්පුතෙල් ගැලුම් කිහිපයක් සමග වෛද්‍ය පීඨ ගොඩනැගිලි තුළට ඇතුළු වී වෛද්‍ය පීඨය සමඟම තමන් ගිනි තබාගන්නා බවට තර්ජනය කළහ. වෛද්‍ය ශිෂ්‍ය ඝාතනයෙන් මුළු රටම කම්පාවට පත්ව සිටි මොහොතේ ජේ. ආර්. ජයවර්ධනට ජාතික ආරක්ෂක මණ්ඩලයේ පාලනය පවා අහිමි විය. ආරක්ෂක මණ්ඩලයේ බහුතරයේ තීරණය පරිදි ත්‍රිමාවිතාන සොයුරාගේ මෘත දේහය වෛද්‍ය සිසුන් වෙත බාර දෙන ලදී. එසේම අවසාන කටයුතු සඳහා කිසිදු බාධාවක් නොකිරීමට ද තීරණය කරන ලදී. 


මෘත ශරීරය බාර ගත් වෛද්‍ය සිසුන් අවසාන කටයුතු සඳහා රජයට කොන්දේසි ඉදිරිපත් කරන ලදී.


ඒවා නම්,


01. අවසාන කටයුතු පවත්වනු ලබන්නේ සතියේ දිනයක බව.

02. අවමඟුල් පෙරහැර කොළඹ ප්‍රධාන වීදි ඔස්සේ ගමන් කරවන බව.

03. ඇඳිරි නීතිය පැනවීමකින් හෝ අන් ක්‍රමයකින් ජනතාව සහභාගීවීම නොවැළැක්විය යුතු බව.

04. ඇඳිරි නීතිය පැනවුව හොත් ඇඳිරි නීතිය අවසන් වන තුරු අවමඟුල් කටයුතු නොපවත්වන බව.

 

සිසුන්ගේ මේ සියලු කොන්දේසිවලට ආරක්ෂක අමාත්‍යාංශය එකඟ විය. 1988 ඔක්තෝබර් 29 වැනි දින කොළඹ අධිකරණ වෛද්‍ය අංශයේ සිට වෛද්‍ය පීඨයට රැගෙන ආ ත්‍රිමාගේ මෘත දේහය අවසන් මහජන ගෞරව සඳහා තෙදිනක් වෛද්‍ය පීඨ ශිෂ්‍ය විවේකාගාරයේ තැන්පත් කර තබන ලදී. 


ත්‍රිමා විතානගේ ඝාතනය මහජනතාව වෙත සිදු කළ බලපෑම කොතෙක්ද යත් ඔහුගේ මෘත දේහය තැන්පත් කිරීම සඳහා අවශ්‍ය වීදුරු ආවරණයක් යොදන ලද විශේෂ පෙට්ටිය රන්සිවිගෙය හා අනෙකුත් අවමඟුල් භාණ්ඩ සියල්ලක්ම නොමිලේ ලබා දෙන ලදී. කෲර ලෙස මරා දමන ලද වෛද්‍ය සිසුවාට අවසන් ගෞරව දක්වනුවස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වෛද්‍ය පීඨය ඉදිරිපිට පෝලිම් ගැසී ඇතුළු වූ අතර අවසාන දින (1988 ඔක්තෝම්බර් 31) මෘත දේහය අවසන් කටයුතු සඳහා ගැනීමට සිදුවූයේ ත්‍රිමාගේ මෘත දේහයට අවසන් ගෞරවය දැක්වීමට අපහසු වූ වැඩි පිරිසකගේ බාධා මධ්‍යයේය.


ත්‍රිමාගේ අවසන් කටයුතු සඳහා වෛද්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා සහභාගී වූහ. සරසවි ශිෂ්‍යයකුගේ අවමංගල්‍යයක් සඳහා එක් රැස් වූ වැඩිම ජන ගඟ වූ ලක්ෂ තුනකට අධික ජනකායක් රැගත් අවමඟුල් පෙරහැර ලිප්ටන් වටරවුම, මහජන පුස්තකාල හන්දිය, තර්ස්ටන්, තුන්මුල්ල, තිඹිරිගස්යාය, නාරාහේන්පිට හරහා කොළඹ කනත්ත වෙත පැමිණි අතර මෘත දේහය කොළඹ කනත්ත වෙත ළඟා වෙන විට අවමඟුල් පෙරහැරේ අවසන් කොටස තිඹිරිගස්යාය හන්දියේ තිබිණි.


ත්‍රිමාවිතානගේ භෂ්මාවශේෂ රැගත් රිය පෙරහැර පසුදිනක ඔහුගේ නිවෙස වෙත ළඟා වූ අතර එම භෂ්මාවශේෂ මංජුසාව නිවස අසල තැන්පත් කරන ලදී.

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්