දි.මු. ගේ රියැදුරා අයර්ලන්ත ගරිල්ලෙක්


 

 

මෙරට හිටපු අගමැතිවරයෙකු මෙන්ම කැබිනට් ඇමැතිධුර කීපයක්ම දැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ආචාර්ය දි. මු. ජයරත්න මුල් වරට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත් වූයේ 1970 පැවැති මහ මැතිවරණයෙනි. එදින සිට (1977 දක්වා වූ කාලය තුළ) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටි විසේකාර මන්ත්‍රීවරුන් අතරින් එක් අයකු වූ ඔහු 1977 දී තම ගම්පොල අසුනෙන් පැරදුණේය. 


එපමණක් ද නොව එවර ගම්පොළ දොළුවේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් වූ දි. මු. ට මාස ගණනාවක් රිමාන්ඞ් භාරයේ පසුවීමට ද සිදු වී තිබුණේය. පසුව අධිකරණයෙන් ඇප ලැබුණ ද ඉන් අනතුරුව සිදු වූ බොහෝ දෑ ගැන ඔහු පසුවූයේ දැඩි කලකිරීමකිනි. 


“දැන් ඉතින් මේ රටේ හිටිය ඇති. ටික කාලයකට හරි රටින් පිට වෙලා ඉන්න ඕනෑ”යි සිතූ දිමු එංගලන්තයේ ලන්ඩන් නුවරට ගියේ තමන්ගේ පෞද්ගලික විදයමිනි. 


1977 දී අපේ ආණ්ඩුව පරදින්න කලින් මහා බි්‍රතාන්‍යයේ තිබුණු පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සමුළුවට සහභාගී වෙන්න යන අපේ නියෝජිත කණ්ඩායමට අගමැතිතුමිය මාවත් පත් කරලා තිබුණා. ඒ සමුළුවට යන කොට අපි හැමෝටම අවුරුදු පහකට වීසා ලැබුණා. ඒ වෙන කොට එයින් අවුරුදු දෙක හමාරක් විතර ගෙවිලා තිබුණ විතරක් නෙවි මගේ මන්ත්‍රීකමත් නැතිවෙලා තිබුණා. ඒත් මගේ වී.අයි.පී. පාස් පෝට් එක නිසා හීතෲ ගුවන් තොටුපොළේදී මට රජ සැලකිලි ලැබුණා. ඉතින් මමත් කියන්න ගියේ නැහැ මම දැන් මන්ත්‍රී කෙනෙක් නොවිය කියලා යි කියන හිටපු අගමැතිවරයා සඳහන් කරන අන්දමට ලන්ඩන් නගරයට ගිය මුල් සතියේ දින කීපයක් ඔහු තම මිත්‍රයෙකු සමග නතර වී සිටියේය. තම මිත්‍රයා තමන් වෙනුවෙන් මෙලෙස කරදර වීම නොරිස්සූ ඔහුට අවශ්‍ය වූයේ ලන්ඩන් නගරයෙන් කුමන හෝ රැකියාවක් සොයාගෙන කිසිවෙකුට බරක් නොවී ඉතිරි වී තිබෙන තම වීසා කාලය ගෙවා දැමීමටය. 


“මචං උඹට පුළුවන් නං මට මොකක් හරි පොඩි රස්සාවක් හොයලා දීපන්.” ඔහු එසේ කියද්දී මුලින් මිත්‍රයා අකැමැති වුවද පසුව ඔහුගේ පෙරැත්තය නිසාම එක්තරා ආනයන අපනයන සමාගමක සුළු රැකියාවක් සොයා දුන්නේය. ග්‍රීක ජාතිකයෙකු සතු එම අපනයන සමාගමෙන් තමන්ට දිනකට පවුම් දෙක හමාරක වැටුපක් ලැබුණු බව හෙතෙම පවසයි. 
ඒ කාලේ හැටියට පවුම් දෙක හමාරක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් සීයක් විතර ඇති. ඒ ග්‍රීක් කාරයාගේ පවුලේ අයත් වැඩ කෙරුවේ එතනමයි. ඒ ළමයි උදේට ඉස්කෝලේ යනවා. හවසට ඇවිත් තාත්තාගේ ආයතනයේ වැඩ කරනවා. අර ග්‍රීක් කාරයා ඒ ළමයින්ටත් පඩි ගෙව්වා. දැන් ඒ ළමයින් මාත් එක්ක හරි එකතුයි. තවමත් මම නැවතිලා හිටියේ මගේ යාළුවගෙ ගෙදර වුණත් අපේ කොම්පැණියේ අයිතිකාරයා මට නතර වෙන්න කියලා කාමරයක් දුන්නා ඒ ගොල්ලන්ගේ ගෙදරම. ඒ අය මම තමන්ගේ ගෙදර නතර වෙලා ඉන්නවට කුලියක් ගත්තෙත් නෑ. ඒ නිසා මට එංගලන්තයේ වර්ක් පර්මිට් එකක් ගන්නත් ඒ අය මට හරියට උදවු කෙරුවා. දැන් අපේ කොම්පැණිය ළඟ තියෙනවා රෙස්ටොරන්ට් එකක් මම රෑට ගෙදර යනකොට කන දෙයක් අරගෙන ගියේ එතනින් තමයි කියන දි. මු. ට එම ආපන  ශාලා හිමිකරුගෙන් ද තවත් උදවුවක් ලැබුණේය. 


තමුසෙ හවස වැඩ ඇරිලා ඇවිත් අපේ රෙස්ටොරන්ට් එකේ වැඩ කරනවා. මම තමුසෙට දවසකට පවුමක් ගෙවන්නං යි කී සුද්දා දි. මු. ට එහි අර්ධකාලීන රැකියාවක් ලබා දුන්නේය. ඒ අනුව ඔහුගේ දෛනික ආදායම ද ඉහළ ගියේය. 


මේ අතර රෙස්ටෝරන්ට් එකේ වැඩ කළ සුදු කොල්ලෝ හතර පස් දෙනා ද ඔහු සමග මිත්‍රත්වයෙන් පසුවූහ. ඔවුන් අතර සිටි වයස අවුරුදු 18 ක් පමණ වු සුදු කොල්ලා දි. මු. කෙරෙහි දැක්වූයේ විශේෂ සැලකිල්ලකි. ඒ සඳහා මුල් වූ එක් හේතුවක් වූයේ ඔවුන් දෙදෙනාම එකම වීදියක පදිංචි වී සිටිමයි. ඒ අනුව ඔවුන් දෙදෙනාම රෑට වැඩ ඇරී ගෙදර ගියේ ද එකටය. දි. මු. ට මතක ඇති අන්දමට ඔහු ප්‍රසන්න පුද්ගලයෙකි. 


සර්ට නරක ද පොඩි කාරෙකක් ගත්තොත්? 


ලන්ඩන් නගරයට හිම වැටෙන දිනයක රෑ තම නවාතැන් පොළ දක්වා පයින් ගමන් කරමින් සිටින අතර තුර අර සුදු කොල්ලා එසේ විමසන ලද්දේ තම වැඩිහිටි මිත්‍රයාගේ හිම කබායේ රැඳී තිබුණු හිම කැටි පාරේ පහන් කණුවල විදුලි එළියට දිලිසෙන අයුරු දකිමිනි. ඔහු දවස් දෙක තුනක්ම එසේ ඇසූ විට එම අදහස දි. මු. ගේ හිතටද තදින් කා වැදුණේය. ඒ වන විට ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් ඔහු සතුව තිබුණ ද ඊට හරස් වූ ලොකුම බාධකය වූයේ දි.මු.ට රිය පැදවීමට නොහැකි වීමයි. සර් පොඩි කාරෙකක් ගන්න මම එන්නං ඩ්‍රයිවර් හැටියට. 


සුදු කොල්ලා එසේ කී විට දි. මු. ගේ සිතට ද සහනයක් දැනුණේය. ඊට පස්සෙන්දා අපේ කොම්පැණියේ අයිතිකාරයා එක්ක මගේ ඒ අදහස ගැන කිව්වම මිනිහ පොරොන්දු වුණා ටිකක් පරණ කාරෙකක් අඩු මිලට හොයලා දෙන්න. කිව්වත් වගේ ඊට පහුවදාම එයා හොයලා දුන්නා ෆියට් කාරෙකක් මිල පවුම් 1200 යි. එයාලා දන්නා අඳුනන කෙනෙක් නිසයි මට ඒ තරම් අඩු මුදලකට කාරෙක ගන්න ලැබුණෙයි කියන දි. මු. තමන්ගේ මිත්‍ර සුදු කොල්ලාට කියා එම වාහනය තම නවාතැනට ගෙන ගියේය. 


“සර් මේ මුදලට කාරෙක වටිනවා. වැඩිය දුවලත් නැහැ”යි කී ඔහු ඒ රෑම ලන්ඩන් නගරයේ කිලෝ මීටර් දහයක් හෝ පහළොවක පමණ දුරක් ගමන් කළේ දි. මු. ද ඉදිරිපස අසුනෙහි තබා ගෙනය. පසුදා සිට ග්‍රීක ජාතිකයාගේ නිවසේ සිට ඔහුගේ ආයතනය දක්වා වූ කිලෝ මීටරයක පමණ දුර ප්‍රමාණය දි. මු. ගමන් කළේ තමන්ගේ වාහනයෙනි. සුදු කොල්ලා රිය පදවා ගෙන ගියේය. එහෙත් දි. මු. ඔහුට ඒ සඳහා වැටුපක් නොගෙවන ලද්දේ ඔහුගේ රියදුරු රැකියාව උදේ හවා කිලෝ මීටරයක පමණ දුරකට සීමා වී තිබුණු බැවිනි. 


මේ අතර ඔවුන්ගේ කොම්පැණිය සෙනසුරාදා සහ ඉරිදා දිනවල වසා තැබුණේය. එහෙයින් එහි සියලුම සේවකයන්ට සති අන්තයේ දින 2 ක් නිවාඩු ලැබුණේය. ඔවුන් වැඩ කළ රොස්ටොරන්ට් එක විවෘත කෙරුණේ ද පස්වරු 5.00 න් පසුවය. එහෙත් සති අන්ත දින දෙකේදීම උදෑසන සිට සවස 4.00 ට පමණ වන තුරු එංගලන්තයේ බොහෝ ප්‍රදේශවල සිත් පුරා සංචාරය කළේය. 


අපි වේල්ස් .වලට ගියා. මොකද වේල්ස්වල තිබුණා සිංහල කපුවෙකු පවත්වාගෙන ගිය කතරගම දෙවියන්ගේ දේවාලයක්. ඊළඟට අපි ග්ලැඞ්ස්ටන්වලට ගියා. ස්කොට්ලන්තෙට ගියා. කොන්වෙස්ටර්වලට ගියා. එංගලන්තයේම තියෙන ප්‍රාන්තවලට ගිය දවස්වල හවස් වෙන කොට ආපහු එනවා. ඒ සැරේ අපි යුරෝපයේ වෙනත් රටවලටත් ගියා. මොකද මම බටහිර ජර්මනියට නැගෙනහිර ජර්මනියට ගියා. ප්‍රංශය, බෙල්ජිම, ඕලන්දය සහ ස්විට්සර්ලන්තයටත් ගියා. ඒ සේරම ගමන් ගියේ මගේ කාරෙකේ. සුදු කොල්ලා තමයි ඩ්‍රයිවර්. ඒ විදියට රටින් රට යන්න වීසා අවශ්‍ය වුණත් මගේ වී.අයි.පී. පාස් පෝට් එක නිසා වීසා ගැනීම මහ ලොකු ප්‍රශ්නයක් වුණෙත් නෑ. 


හිටපු අගමැතිවරයා සඳහන් කරන අන්දමට ඒ අයුරින් යුරෝපයේ රටවල් ගණනාවකට ගියත් ගිය ඉක්මනින් ආපසු ආවේය. ඔවුන් එසේ කළේ අතේ මිටේ තිබූ මිල මුදල් හිඟකමටත් වඩා වැඩි දිනක් ප්‍රමාද වුව හොත් තමන් නිතරව සිටි රැකියා අහිමි වී යාමට ඉඩ තිබුණු බැවිනි. 


දිනක් දිමුත් ඔහුගේ සුදු ජාතික රියැදුරු කොලුවාත් සමග මෙවැනි සංචාරයක යෙදී ආපසු එන අතර හැටන් නමැති නගරයේදී පොලිස් නිලධාරින් කීප දෙනෙකු විසින් ඔවුන්ගේ වාහනය නතර කරන ලදහ. ඉන්පසු ඔවුන් දෙදෙනා පොලිසියට කැඳවා ගෙන ගිය ඔවුහු දිමුත් රියැදුරාත් කාමර දෙකක් තුළට දමා දොරගුලු දැමූහ. 


ඊට පස්සේ ගියේ කොහේද? මොකටද ගියේ? කොහේද නතර වුණේ? මඟ වියදම් දුන්නේ කවුරුන්ද? ආදී වශයෙන් මගෙන් දීර්ඝ කට උත්තරයක් ගත්තා. ඊට පස්සේ ආයෙමත් අපි දෙන්නා කාමරවලට දමා දොර අගුලු දාලා ඒ අය යන්න ගියා”යි කියන දි. මු. සඳහන් කරන්නේ ඊට පැයකට පමණ පසු ඔවුන් ආපසු පැමිණ තමන් සමග ඉතා සුහද ලෙස කතා කළ බවය. තමන් ශ්‍රී ලංකාවේ හිටපු මන්ත්‍රීවරයෙකු බව ඒ වන විට ඔවුහු දැන සිටියහ. 


ඇයි අපි මේ විදිහට පොලිසියෙන් රඳවා ගත්තේ? 


දි. මු. එම පොලිස් නිලධාරිගෙන් ඇසූ විට ඔහු කියා සිටියේ එම වාහනය පැදවූ රියැදුරා අයර්ලන්ත ගරිල්ලකු බවට ලැබුණු තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදු වූ බවයි. 


සර් දන්නවද? ඒ හාදයා මිනීමැරුම් කීපයකටක් සම්බන්ධ බවටත් සැකයක් තිබෙනවා. එංගලන්තයේ හැටන් නගරයේදී එම පොලිස් නිලධාරියා කී ඒ කතාව ඇසීමෙන් දිමුගේ ඇගේ මයිල් කෙළින් විය. ඊට හේතු වූවේ එංගලන්තයේ නොයෙකුත් ප්‍රාන්තවල විනාශකාර බෝම්බ පිපිරීම් ඇතුළු බලවත් විනාශයක් සිදු කළ අයර්ලන්ත ගිරිල්ලන් ගැන ඔහු කාලයක සිටම අසා තිබූ බැවිනි. 


එසේ වුවද තමන්ගේ රිය පැදවූ සුදු කොල්ලා මිනීමැරූ අයර්ලන්ත ගරිල්ලෙකුයි හෙතෙම කිසි සේත්ම විශ්වාස නොකළේය. අන්තිමේදී ඔහු අයර්ලන්ත ජාතික ගරිල්ලෙකැයි ඔහුට පිළිගැනීමට සිදු වූයේ තමන් ඉදිරියේ ඔහුම ඒ බව පිළිගත් බැවිනි. 


“හැබෑ ද තමුසෙ අයර්ලන්ත ගිරිල්ලෙක්ය කියලා කියන්නේ”යි දිමු ඇසූ විට ඔහු හිස ඉහළටත් පහළටත් හරවමින් ඒ බව සනාථ කළේය. 


දැන් තමුසේ හිරේ දමාවි. සමහර විට මරා දමන්නත් බැරි නෑ යි දිමු කී විට ඉතින් මොකෝ? මම නැති වුණත් මගේ තැනට හෙට තව කවුරුහරි කෙනෙක් ඒවි. ඒ ඇවිත් මම වැඩ අවසන් කරපු තැනින් එයා පටන් ගනීවි යි කී සුදු කොල්ලා වියරු සිනාවක් මුවගට නංවා ගත්තේය. වසරකටත් වැඩි කාලයක් තමන්ගේ රියැදුරු වශයෙන් කටයුතු කළ මේ විශ්වාසවන්ත සේවකයා අතිභයානක අයර්ලන්ත ගරිල්ලෙකැයි දැන ගත් දිමුට උතුර දකුණ පවා අමතක විය. අන්තිමේදී තම රියැදුරා හැටන් නාගරික පොලිසියේ රඳවා ගනිද්දි දිමු පෙරළා ලන්ඩන් නගරයට පැමිණියේ පොලිස් නිලධාරියෙකු විසින් පදවන ලද තමන්ගේම වාහනයෙනි.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය අන්තර්ජාලයෙනි