දි.මු. ජයරත්නගේ වාහනයෙන් වැල්ලවාය පොලිසියට ප්‍රහාරයක්


 

හිටපු අග්‍රාමාත්‍යවරයකු, ඇමැතිවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වූ දි. මු. ජයරත්න මහතා 1970 ගම්පොළ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වීමට පෙර උඩපළාත කඳුකර පහළ ගම්සභාවේ සභාපතිවරයා වශයෙන් කාලයක් කටයුතු කළේය. ඔහු ශ්‍රී.ල.නි.ප.යේ 13 වැනි සාමාජිකයා ලෙස එම පක්‍ෂයට බැඳීමට පෙර දේශපාලන වශයෙන් සම්බන්ධ වී සිටියේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ චීන පිළ සමඟය.

 

එකල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ තරුණ ශිෂ්‍යයන් සෑහෙන පිරිසක් ෂන්මුගදාසන් මහතාගේ නායකත්වයෙන් යුත් එම චීන පිලට සම්බන්ධ වී සිටියහ. එහෙත් රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවා ටික කලකට පසු ෂන්මුගදාසන් මහතාගේ චීන පිලට අයත් ශිෂ්‍යයන් අතරින් යම් ප්‍රමාණයක් ජ.වි.පෙ.ට සම්බන්ධ වූයේ එම පක්‍ෂයේ තිබූ සටන්කාමී ස්වරූපයට ආකර්ෂණය වීමෙනි. 


මේ කාලයේ චීන පිලට සහයෝගය දැක්වූ ශිෂ්‍ය පිරිස අතරින් වැඩි දෙනෙක් දි.මු.ගේ ද ගජ මිතුරන්ව සිටියහ. 


“හැබැයි ඒකටත් එක හේතුවක් තිබුණා. ඒ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් නොලැබුණු ශිෂ්‍යයන් කීපදෙනෙකුම මම අපේ ගෙදර නතර කර ගෙන හිටියා, කිසිම අයකිරීමක් නැතුව. මොකද ඒ වෙනකොට අපේ ගෙදර හිටියේ අම්මයි, අප්පච්චියි, මමයි විතරයි. 


ඉතින් මමත් අපේ පක්‍ෂයේ වැඩ කටයුතුවලට කොළඹ ගියාම දින දෙක තුනක් නතර වෙනවා. ඒ නිසා අපේ අම්මගෙයි, අප්පච්චිගෙයි තනියටත්, එක්කයි මම ඒ අය අපේ ගෙදර නතරකර ගත්තේ...” යි කියන දි. මු. ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ එම විශ්වවිද්‍යාල ළමුන් පිරිස තම නිවසේ උයා පිහාගෙන තමන්ගේ මෙන් හැසිරුණ බවය. 


කෙසේ වෙතත් මෙහිදී වැඩි දෙනෙකු නොදන්නා රහසක් ද තිබූ බව හෙතෙම පවසයි. එනම් චීන පිලට සහ ජ.වි.පෙ.ට සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුන් අතරින් කීපදෙනෙකුම ගිනි අවි පරිහරණය පිළිබඳව පුහුණුවක් ලැබූවන් වීමයි. ඔවුන්ට එම ගිනි අවි පුහුණුව ලබාදුන් පිරිස අතර සිටි එක් අයකු වූයේ දි.මු.ය. එකල තමන් ළඟ බලපත්‍ර සහිත තුවක්කුවක් තිබූ බව හෙතෙම පවසයි. 


“ඒකටත් එක හේතුවක් තිබුණා මොකද 1968 වසරේ අවසාන භාගය විතර වෙනකොට රටේ ලොකු මතයක් පැතිරුණා එවකට පැවැති එ.ජා.ප. ආණ්ඩුව 1970 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය කල් දැමීමට උත්සාහ කරනවයි කියලා. එහෙම වුණොත් ඊට විරුද්ධව නැගී සිටීමටයි රටේ වාමාංශික කණ්ඩායම් තමන් අතරින් තෝරාගත් පිරිසකට අවි පුහුණුවක් ලබා දුන්නේ. හැබැයි එ.ජා.ප. ආණ්ඩුව 1970 මහ මැතිවරණය නිසැකවම පැවැත්වීමට යන බව පැහැදිලිවීමෙන් පස්සේ අපි ඒ ගිනි අවි පරිහරණය පිළිබඳ පුහුණුව දීම නතර කෙරුවත් ජ.වි.පෙ. ඒ වැඩපිළිවෙළ දිගටම කරගෙන ගියා. ඒ විතරක් නොවේ ඒ අය බෝම්බත් හැදුවා.”
මේ වනවිට ෂන්මුගදාසන්ගේ චීන පිලෙන් කඩාගෙන ගොස් ජ.වි.පෙ.ට එක්වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තමන්ට ද ජ.වි.පෙ.ට බැඳෙන ලෙස අවස්ථා කීපයකදීම ආරාධනා කළ බව දි.මු.ට මතකය. එහෙත් ඒ සඳහා එකඟවීමට නොහැකි හේතුවක් ඔහුට තිබුණේය. 


“අනේ මල්ලිලා තරහ වෙන්න එපා! මම දැන් ගම්පොළ ආසනයේ ශ්‍රී.ල.නි.ප. සංවිධායකයා. ඒ නිසා මටනං ඔය කටයුතුවලට සම්බන්ධ වෙන්න බෑ...” යි කී ඔහු ඔවුන්ගේ එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. මේ අතර 1970 මහ මැතිවරණයේදී ගම්පොළ ආසනයට ශ්‍රී.ල.නි.ප.යෙන් තරග කළ තමන්ට චීන පිලට සම්බන්ධ සිසුන් මෙන්ම ජ.වි.පෙ. සිසුන් දෙතුන් දෙනෙකුම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ බව හෙතෙම පවසයි. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ දි. මු. ජයරත්න මහතා තම ප්‍රතිවාදී එ.ජා.ප. අපේක්‍ෂකයා වැඩි ඡන්ද 1246කින් පරාජය කරමින් ගම්පොළ ආසනය ජයග්‍රහණය කිරීමයි. 


දි. මු. උඩපළාත කඳුකර පහළ ගම්සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන කාලයේ සිටම ඔහුට පර්ජෝ - 203 වර්ගයේ මෝටර් රථයක් තිබුණේය. එහෙත් රිය පැදවීමට නොදත් ඔහු තමන්ට ගමනක් යාමට අවශ්‍ය වූ විට “වරෙන් මල්ලියේ පොඩි ගමනක් යන්න...” යි කියමින් අසල්වැසි තරුණයකු රියැදුරුකමට යොදා ගත්තේය. එසේත් නැත්නම් ඔහු ඒ සඳහා කැඳවා ගත්තේ තමන්ගේ නිවසේ නතරවී සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. 


ඔවුන්ට එම වාහනය කොතරම් හුරුපුරුදු එකක් වූවාදැයි කිවහොත් රුපියල දෙක බැගින් එකතු කර පෙට්‍රල් ගැලුමක් ගසාගෙන දිමූටත් නොදන්වා විනෝද ගමන් යාමට ද ඔවුහු පෙළඹී සිටියහ. 


“ඒ කාලේ පෙට්‍රල් ගැලුමක් රුපියල් තුනයි හතළිහයි. මගේ කාරෙකට පෙට්‍රල් ගැලුමක් දාගත්තම හැතැප්ම පනහකටත් වැඩි දුරක් යන්න පුළුවන්...” යි කියන දි. මු. ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන් මන්ත්‍රීවරයකු බවට පත්වූ පසුව ද වාහනය ගෙදර දමා කෝච්චියෙන් කොළඹ යාමට හුරුපුරුදු වී සිටි බවය.


මේ අතර 1971 අප්‍රේල් මස 5 වැනිදා පාන්දර යාමයේ වැල්ලවාය පොලිසියට නාඳුනන පිරිසක් විසින් පහරදීම නිසා රටේ බරපතළ කලබැගෑනියක් හටගෙන තිබුණේය. ඒ ගැන හාංකවිසියක්වත් නොදැන සිටි දි. මු. එදින දවල් වරුවේ තම හිතවත් ආධාරකරුවන් පිරිසක් සමඟ සාකච්ඡාවක යෙදී සිටියදී අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු අතිවිශේෂ පණිවුඩයක් මගින් දැනුම්දී තිබුණේ ආණ්ඩු පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අගමැතිනිය විසින් හදිසියේම කොළඹට කැඳවා ඇති බවය. 


ඒ අනුව වහ වහා ඇඳ පැලඳ ගෙන සූදානම් වූ ඔහුට එදිනත් සිදුවී තිබුණේ දුම්රියෙන් කොළඹ යාමටය. එසේ වූයේ ඔහුගේ විශ්වවිද්‍යාල මිත්‍රයන් පිරිසක් ඊට කලින් දා ගෙනගොස් තිබූ මෝටර් රථය ඒ වනවිටත් ගරාජය තුළ දකින්නට නොතිබූ බැවිනි.
“එහෙම නං ඉතින් මොනව කරන්නද? මම බස් එකෙන්වත් පේරාදෙණියට ගිහින් හවස කෝච්චියෙන් කොළඹ යනවා...” යි කී දි.මු. තම ඇඳුම් කැඩුම් දෙක තුනකුත් බෑගයකට දමාගෙන පාරට බසිද්දී ගම්පොළ “තුසිත මල්කරුවෝ” නමැති මිනී පෙට්ටි සාප්පුවේ අවමංගල්‍ය රථය පසුපසින් පැමිණ නතර කළේය. 


“මන්ත්‍රීතුමා මොකද මේ පයින්ම. පේරාදෙණියට යනවා නං අපි ගිහින් දාන්නං...” යි කී අවමංගල්‍ය රථයේ හිමිකරු පසුපසට ගොස් දි.මු. ට ඉදිරිපස අසුන පිරිනැමුවේය.


“ඔව්, ඉතින් එහෙමවත් යමු...” යි කී දි. මු.ට සිදුවූයේ තමන්ගේ වාහනය අනවසරයෙන් රැගෙන ගිය කොල්ලන්ට යටි හිතෙන් බණිමින් අවමංගල්‍ය රියේ ඉදිරි අසුනේ හිඳ ගැනීමටය. 


මිනී පෙට්ටි සාප්පුවේ අවමංගල්‍ය රියෙන් පේරාදෙණිය දුම්රිය පොළට ගිය දි. මු. ජයරත්න මහතා දුම්රියේ නැග කොළඹට පැමිණෙන විට මුළු රටම ගිනිගෙන තිබුණේය. එසේ වූයේ අවිගත් තරුණ පිරිසක් විසින් රටේ බොහොමයක් පොලීසිවලට පහරදී බලවත් කලබැගෑනියක් සිදුකර තිබූ බැවිනි. තම මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව ගැන සිතූ අගමැතිනිය ඒ සියලුම දෙනා ආරක්‍ෂා සහිතව කොළඹ නගරයේ පිහිටි සුපිරි හෝටල් කීපයක නතර කරවීමට ද පියවර ගෙන තිබුණාය. 


වැල්ලවාය පොලීසියට අවිගත් තරුණයන් විසින් පහර දෙන අවස්ථාවේ එහි සේවය කළ සාජන්වරයකු පසුවදා දි.මු.ට හදිසි දුරකථන පණිවුඩයක් දෙමින් කියා සිටියේ ඇඟ කිලිපොළා යන අන්දමේ කතාවකි.


“සර්ගේ 203 වාහනය ඊයේ කවුරු හරි වැල්ලවායට ගෙනැත් ටවුමෙ අතහැර දාලා ගිහින් තිබුණා. මම හිතන්නේ පොලිසියට ගහන්න කොල්ලො ඇවිත් තියෙන්නේ ඒ කාරෙකෙන් වෙන්න ඇති. කොහොම හරි මම ඒ ගැන පොත්වල සටහන් නොකර වාහනය සර්ගෙ දොළුවෙ ගෙදරට ගිහින් දැම්මා...”


“මොනවා! සාජන් මහත්තයට හොඳටම විශ්වාසද ඒක මගේ වාහනය කියලා?”


“ඇයි සර්, මමත් දොළුවෙනේ. ඉතින් මම අඳුනන්නෙ නැද්ද සර්ගෙ වාහනය...” යි එම සාජන්වරයා කියද්දී දි.මු.ගේ සිතට මුලින් කෝපයක් ද, ඒ සමඟම බලවත් කනගාටුවක් ද ඇති වූයේ නිරායාසයෙනි. එසේ වූයේ තම නිවසේ නතරවී සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිස එවන් රාජ්‍ය විරෝධී ක්‍රිියාවකට තමන්ගේ වාහනය අනවසරයෙන් රැගෙන යාමටත් වඩා එම සිසුන් පිරිසට කුමක් සිදුවන්නට ඇද්දැයි යන ප්‍රශ්නය ඔහුගේ සිතට දැඩි පීඩනයක් ඇති කළ බැවිනි. එසේම එදා වැල්ලවාය පොලිසියට පහරදීම සඳහා තමන්ගේ මෝටර් රථය අනවසරයෙන් ගෙන ගොස් තිබූ එම සරසවි ශිෂ්‍යයන් කීපදෙනා ගැන ඉන් පසු කිසිම තොරතුරක් අසන්නට නොලැබුණු බව හෙතෙම පවසයි.

නිහාල් ජගත්චන්ද්‍ර