දි.මු.ගේ ගෝරනාඩුව


කලකට ඉහත මෙරට රාජ්‍ය සේවයට අදාළ උසස් නිලධාරීන් පත් කෙරුණේ සුදුසුකම් සහ ජ්‍යෙෂ්ඨත්වය අනුවය. එකල ඒ සඳහා කිසිදු දේශපාලන බලපෑමක් නොතිබිණි. ඒ අනුව එකල සිටි රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි කටයුතු අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධීනව පවත්වාගෙන යාමට ඉඩ ලැබුණේය.


එකල මැති ඇමැතිවරුන්ගේ වගකීම වූයේ රාජ්‍ය පරිපාලනයට අදාළ ව්‍යවස්ථාමය කටයුතු පාර්ලිමේන්තුව මගින් සම්පාදනය කිරීමය. එහෙත් කල්යාමේදී එම ක්‍රමවේදය වෙනස් වූයේ රාජ්‍ය පරිපාලන කටයුතුවලට දේශපාලන ඇඟිලි ගැසීම් ඇතිවීමෙනි.


මුල් කාලයේ රජයේ අමාත්‍යංශවලට ලේකම්වරුන් පත් කෙරුණේ ජ්‍යෙෂ්ඨත්වය අනුවය. එහෙත් 1965 දී පත්වූ එජාප ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන මහතා තම අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් ආනන්ද තිස්ස ද අල්විස් මහතා පත්කර ගත්තේ එතෙක් පැවැති රාජ්‍ය සේවා ක්‍රමවේදය පවා ඉක්මවා යන අයුරිනි. ඔහුගේ අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්වූ අල්විස් මහතා අඩුම වශයෙන් රාජ්‍ය සේවයට අයත් තැනැත්තෙකු ද නොවීය.


“මගේ අමාත්‍යංශයේ ලේකම් හැටියට පත්කරගන්න ඕනෑ මට විශ්වාසවන්ත කෙනෙක්...” යි කියමින් තමන්ගේ එම ක්‍රියාව සාධාරණීකරණය කළ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ තර්කය නිශේධ නොකළ අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා ද එම තීරණය අනුමත කළේය. කෙසේ වෙතත් එම සිද්ධියෙන් පසු රජයේ අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමේදී නව සම්ප්‍රදායක් බිහිවූ අතර ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමට පෙර ඒ පිළිබඳව අදාළ ඇමැතිවරුන්ගේ අදහස් විමසීමක්ද නිල නොවන මට්ටමින් සිදුකෙරුණේය.


ඒ අනුව පත්වූ ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් රාජ්‍ය සේවයෙන් මෙන්ම ඉන් බැහැරව ද පත්කෙරුණේ ඒ ඒ ඇමැතිවරුන්ගේ අභිමතය පරිදිය. 1970 දී පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුව මෙන්ම 1977 දී පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව මගින්ද එම ක්‍රමවේදය අනුගමනය කර තිබුණේය.


කෙසේ වෙතත් 1988 දී මෙරට ජනාධිපති ධුරයට පත්වූ රණසිංහ ප්‍රේමදාස මහතා අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමේදී අනුගමනය කර තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයකි. ඒ අනුව ඔහු තම කැබිනට් සගයන් සියල්ලටම අමාත්‍යංශට සඳහා ලේකම්වරුන් පත්කරන ලද්දේ ස්ව කැමැත්තටය. ඒ පිළිබඳව අදාළ ඇමැතිවරුන්ගේ අදහස් විමසා බැලීමක් සිදු නොකළ ප්‍රේමදාස ජනාධිපතිවරයා හැමවිටම කටයුතු කර තිබුණේ තමන්ට විශ්වාස රාජ්‍ය නිලධාරීන් අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස පත් කිරීමටය.


“ඔන්න මම තමන්ගේ අමාත්‍යංශයට හොඳ ලේකම්වරයෙක් එව්වා. එයත් එක්ක සහයෝගයෙන් වැඩකරන්න...” යි ඔහු තම කැබිනට් සගයන්ට අණ කළේය. ඒ අනුව එකල සියලුම ඇමැතිවරුන්ට සිදුවූයේ ජනාධිපතිතුමා විසින් එවා තිබූ ලේකම්වරුන් සමග සහයෝගයෙන් වැඩ කිරීමටය. එසේ වූයේ ලොක්කාගේ අණට අකීකරු වුවහොත් තමන් සත-ු ඇමැති ධුරය පවා ගිලිහී යාමට ඉඩ ඇති බව ඔවුන් විසින් අවබෝධ කරගෙන සිටි බැවිනි.


කෙසේ වෙතත් 1994 දී බලයට පත්වූ චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය රජයේ අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමේදී අනුගමනය කර තිබුණේ ඊටත් වඩා වෙනස් අමුතුම ක්‍රමවේදයකි. ඒ අනුව ඇය තමන්ගේ හිතවත් ඇමැතිවරුන්ට පමණක් තමන් කැමැති ලේකම්වරයෙකු පත්කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබාදුන්නාය. එහෙත් තවත් ඇමැතිවරුන් පිරිසකගේ අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත්කර තිබුණේ අදාළ ඇමැතිවරුන්ගෙන් ඒ ගැන විමසීමක් පවා නොකරය.


එහිදී චන්ද්‍රිකා ජනාධිපතිනිය ක්‍රියාත්මක කරන්නට ඇත්තේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට ලැබී ඇති බලතල විය හැකිය. කෙසේ වෙතත් ඇයගේ එම ක්‍රමවේදය නිසා සිත් රිදවා ගත් ඇමැතිවරුන් පිරිසක්ද එකල සිටියහ.


“වතාවක් මගේ අමාත්‍යාංශයටත් මගෙන් කිසිම විමසීමක් නොකර ලේකම්වරයෙකු පත්කර එවා තිබුණා.... යි කියන හිටපු කැබිනට් ඇමැතිවරයෙකු සහ අග්‍රාමාත්‍යවරයෙකු ද වන දි. මු. ජයරත්න මහතා සඳහන් කරන්නේ එම ලේකම්වරයා බොහෝ අවස්ථාවලදී තමන්ගෙන් කිසිදු විමසීමක් නොකර තම හිතුමතයට අනුව කටයුතු කරතැයි පෙනී ගිය බවය.


එම ලේකම්වරයා තමන් විසින් දෙන ලද උපදෙස් පැහැරහරිමින් හා ඒ සඳහා විවිධ හේතු දක්වමින් කටයුතු කර තිබුණේ තමන් ජනාධිපතිනියගේ හිතෛෂීවන්තයෙකු බව අන්‍යයන්ටද ඒත්තුගැන්වෙන අයුරිනි. දි.මු. ජයරත්න මහතා ඒ ගැන කීපවතාවක්ම අවවාද කළද හෙතෙම ඒවා කනකටවත් නොගත්තේය. ඔහු එහිදී තම නිදහසට හේතු දක්වන ලද්දේ ජනාධිපතිතුමියගේ උපදෙස් පරිදි තමන් එසේ කළ බව කියමිනි.


“ඒ වුණාට මමනේ මෙතන ඇමැතිවරයා. ඒ නිසා තමුන්නාන්සේ වැඩ කරන්න ඕනෑ මගේ උපදෙස්වලට අනුවයි.”


දි.මු. එසේ කීවේ තමන් කිසිදු අවස්ථාවක නීතියට පිටින් කටයුතු කර නැතැයි දැන සිටි බැවිනි. කෙසේ වෙතත් තම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊට පසුව ද තම උපදෙස් පිළිබඳව නොතකා හැර ඇතැයි දි. මු. ජයරත්න මහතාට පෙනී ගොස් තිබුණේය. ඒ අනුව ඔහු කළේ තමන් සතු සියලුම පෞද්ගලික බඩුමුට්ටු අකුළාගෙන තම අමාත්‍යංශයෙන් වහාම එළියට බසින්නැයි එම ලේකම්වරයාට නියෝග කිරීමය.


“එහෙම කොහොමද කරන්නෙ? මම මේ තනතුරට පත් කෙරුවේ ජනාධිපතිතුමියනේ...” යි කී එම ලේකම්වරයා තම රාජ ඌෂ්ණය පෙන්වද්දී දිමුට උන්හිටිතැන් පවා අමතක විය.


“මේ උන්නැහේ තමුන්නාන්සේ කවුරු පත් කෙරුවත් මට කමක් නෑ... මම තව සැරයක් කියන්න කලින් වහාම එළියට බහිනවා...”
ඇමැතිවරයා එසේ කියද්දී එන පොට හොඳ නැතැයි අවබෝධ කරගත් එම නිලධාරියා තමන්ගේ අඩුම කුඩුම ටිකත් පොදිබැඳගෙන අමාත්‍යංශ කාර්යාලයෙන් එළියට බැස්සේය. තමන් විසින් එවන ලද ලේකම්වරයාට එලෙස ආපසු යන ලෙස කීවේ ඇයි දැයි ජනාධිපතිනිය තමාගෙන් විමසනු ඇතැයි දි. මු. ජයරත්න මහතා සිතුව ද ඒ ගැන කිසිවක් නොවිමසූ එතුමිය ඒ වෙනුවට වෙනත් අයෙකු ඔහුගේ අමාත්‍යංශය වෙත එවා තිබුණා ය.