දියවන්නාවෙන් වයඹ මහ පුටුවට


උතුරේ යුද්ධයට විසඳුමක් වශයෙන් බලය විමධ්‍යගත කළ යුතුය යන සංකල්පයක් නොයෙකුත් බලපෑම් මත පිළිගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මේ පිළිබඳව ඉන්දියානු රජයද උනන්දුවක් දැක්වීය. දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවීම සම්බන්ධ යෝජනාවක් කරළියට පැමිණියේ ඒ අනුවය. මෙම ආයතන ව්‍යුහය බෙදුම්වාදයට උඩගෙඩි දෙන ඊළාම් රාජ්‍යයකට පාර කැපෙන සාපරාධී ක්‍රියාවකැයි විරුද්ධවාදීහු මත පළ කළහ. නොයෙකුත් විරෝධතා දැක්වූහ. එපමණක් නොව 1987-1988 සහ 1989 යන වසරවල සන්නද්ධ කැරැල්ලක් දක්වා එම තත්ත්වය මෝරා ගියේය. එම ගැටුම්කාරී තත්ත්වය හේතුකොට ගෙන දහස් ගණනකගේ ජීවිත අහිමි විය.


පළාත් සභාව යනු පාර්ලිමේන්තුවට වඩා ගරුත්වයෙන් බලතල අතින් මෙන්ම දේශපාලන ඉදිරි ගමන වශයෙන්ද පහළ ආයතනයක්ය යන්න කාගේත් පිළිගැනීමය. දිසා ඇමැති ධුරයක්ද දරමින් ස්ථාවර දේශපාලන ගමන් මගක යෙදී සිටියදී වයඹ පළාත් සභාවට නායකත්වය දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන ලෙස එම පක්ෂයේ නායකත්වය විසින් ජයවික්‍රම පෙරේරා මහතාට ඇරයුම් කරන ලදී. තවත් වසර ගණනාවක් පවතින රජයක නොබෝ දිනයකින් බලාපොරොත්තු විය හැකි කැබිනට් අමාත්‍ය ධුරයන් සහ එයින් තවදුරටත් කරළියේ ඉහළට යාමට ඇති හැකියාව පෙනී පෙනී තිබියදී පක්ෂයේ ඉල්ලීම ඔහු පිළිගත්තේ මරණ වරෙන්තුව භාරගත්තාක් මෙන් අවදානමක් සහිතවය. එම සටන දිනූ ඔහු වයඹ මහ ඇමැතිවරයා වී සේවය කළේය.


1994 දී නැවතත් පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඉදිරිපත්ව ජය ලබා විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. ජයවික්‍රම පෙරේරා මහතා දිස්ත්‍රික්කයේ පළමුවැන්නා ලෙස මනාප ඡන්ද ලැබීමට සමත් විය. ඉන් පසුව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ රජයේ වාරිමාර්ග සහ ජල කළමනාකරණය පිළිබඳ ඇමැති තනතුර දැරීය. කාලය ගෙවී ගියේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ දින සියයේ රජයේත් පසුව 2017 මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා යටතේත් අමාත්‍ය ධුර හෙබවූ ජයවික්‍රම පෙරේරා මහතාට තම පාර්ලිමේන්තු දිවියේ හතළිස් වසර සම්පූර්ණ වීම ආසන්නයේදී බුද්ධ ශාසන අමාත්‍ය ධුරයද ලැබුණි. තනතුරු සොයා ඒ මහතා ගියා නොව ඇමැති ධුර ජයවික්‍රම පෙරේරා මහතා සොයා පැමිණියේය. ඔහු කිසිවිටකත් තනතුරු ඉල්ලා නාහෙන් අඬා නැත.

 

එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරය යනු එම පක්ෂයේ නායක ධුරයයි. ඩී. ඇස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, සර්. ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන ආදී කෘතහස්ත නායකයන් දැරූ එම තනතුර පසුකාලීනව වෙනසකට ලක්විය. කෙසේ වුවත් එම පදවියේ ගෞරවය හීන වූවේ නැත. ඒ සා දැවැන්ත පතාක යෝධයන් දැරූ යූ.ඇන්.පී සභාපති ධුරය ජයවික්‍රම පෙරේරා මහතාට හිමි වීමට ඔහුගේ කාර්යශූරත්වය, විශ්වසනීයත්වය සහ සේවයට ඇති ඇපකැපවීමද නායකත්වය විසින් සලකන්නට ඇතුවා නිසැකය.


පානදුරා වාදයෙන් මිෂනාරීන් පරදවා බෞද්ධ පක්ෂය ලැබූ ජයග්‍රහණයේ යශෝරාවය බටහිර ලෝකයට පැතිරී ගියේ වේගයෙනි. ඇමරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ඔහුගේ පිරිවර සමග මෙරටට පැමිණියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. යටත් විජිත යුගයෙන් පසු බෞද්ධ ප්‍රබෝධය ඇති කරලීම සඳහා ඕල්කට් තුමා ඉටු කළේ මහඟු මෙහෙවරකි. විශේෂයෙන් බෞද්ධ අධ්‍යාපනය ආරම්භ කිරීම ගැන සඳහන් කළ යුතුය. කොළඹ ආනන්ද විදුහල පිහිටුවා එකල පැවැති මිෂනාරී ආධිපත්‍යයට අභියෝග කළේ ඕල්කට් තුමාය. ආනන්දයෙන් පසු නාලන්දා විදුහල නමැති ශාස්ත්‍ර නිකේතනයද පිහිටුවන ලදී. එකල රටේ ගිහි බෞද්ධ නායකයාවූත් පඬිවරයෙකු වූත් පී. ද ඇස්. කුලරත්න නාලන්ද ශාඛාවේ විදුහල්පතිවරයා වූවේය. එතුමා විසින් ගොඩනගන ලද විශිෂ්ට සම්ප්‍රදායයන් සහ ප්‍රතිපත්ති මත සිය ගණන් දේශප්‍රේමීන් නාලන්දයෙන් බිහිවීම ඇරඹුණි. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ චරිතය ගොඩනගන්නේ නාලන්දා විදුහල් මාතාව විසින් වීම සුවිශේෂී සිදුවීමකි. එකල එහි ආචාර්යවරයෙකුව සිටි ඒ. ටී. ආරියරත්න නම් අති දක්ෂ සැලසුම්කරුවාගේ නිර්මාණයක් වූ සර්වෝදය ව්‍යාපාරයට සම්බන්ධවීමට පෙරේරා මහතාට අවස්ථාව ලැබුණි. සමාජ සේවා කටයුතු සහ මහජනතාව සමග කටයුතු කිරීමේ ආභාසය ලැබීමට එය හේතු වූවා නිසැකය. 1958 වර්ෂයේදී බිංගිරියේ කනතොළුව ග්‍රාමයේ පීඩිත ජන කොටසක් වෙනුවෙන් පදිංචියට නිවාස, දිය ලබා ගැනීමට ළිං කැපීම ආදී මහා ශ්‍රමදාන ව්‍යාපාර සංවිධානය කරමින් ගෙන ගිය ව්‍යාපාරය මෙරටට අලුත්ම අත්දැකීමක් විය.


ඉන්දියාවේ විනෝහා භාවේ නමැති චින්තකයෙකු දියත් කළ භූදාන් ව්‍යාපාරයට සමගාමීව ආරම්භ කෙරුණු මෙම සර්වෝදය ව්‍යාපෘතිය ජයවික්‍රම පෙරේරා මහතාටත් එහි ක්‍රියාකාරීන්ටත් සමාජය පිළිබඳව හා සමාජ සේවය ගැන වටිනා අදහස් ලබාගැනීමට මහෝපකාරී විය. එමෙන්ම නාලන්දා විද්‍යාලයේ දිදුලන ක්‍රිකට් තරුවක් වූ වර්තමාන ඇමැතිවරයා එමගින් ලබාගත් විනය හා ශික්ෂණය ඔහුගේ දීර්ඝ දේශපාලන ඉනිමේ පසුබිම ශක්තිමත් කිරීමටද හේතු වන්නට ඇත. මෙතැන් පටන් දිගහැරෙන්නේ එම දීර්ඝ කතාවයි. කැපවීම, ඉවසීම හා දේශපාලන සංයමය නොමැත්තෙකුට දිගු දේශපාලන ගමනක් නැත යන්න බොහෝ අයට එමගින් වටහා ගැනීමට හැකිවනු නිසැකය.

 

 

 

 

 

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ