දිවි ශතකයේදී චීනයෙන් පිදුම් ලබන “ඉඹුල්ගොඩ වීරයා”


 

චීනය යනු නිදා සිටින යෝධයෙකි. ඔහු අවදි කරන්න එපා” යැයි නැපෝලියන් බොනපාට් අධිරාජයා පැවසුවේ මෙයට බොහේ කලකට පෙරදීය. මේවනවිට එම රට දේශපාලනික ආර්ථික හා සමාජීය වශයෙන් අතිමහත් දියුණුවක් ලබා තිබේ. අතීතයේ දැඩි පීඩාවන්ට මුහුණ දෙමින් ඉදිරියට පැමිණ එම රාජ්‍යයට තමනට අමාරු සහ දුෂ්කර අවධියේ දී අසීමිත සහායක් ලබාදුන් කල්‍යාණ මිත්‍රයෙකුට ප්‍රතිමාවක් තනා උපහාර දැක්වීමට කටයුතු කරගෙන යයි.


ශ්‍රී ලංකාවේ විසූ කීර්තිමත් දේශපාලකයකුවූත්, මහත්මා දේශපාලනයට පූර්වාදර්ශයක් වූත් චීන මහජන සමූහාණ්ඩුවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම ලබාදීමටත් විශිෂ්ට සහායක් ලබාදුන් අවංක මිත්‍රයෙකුවූත් ගම්පහ හිටපු මන්ත්‍රී ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සියවැනි ජන්ම සංවත්සරය දෙසැම්බර් 01 වැනි දිනට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් එතුමාට උපහාර පිණිස චීන රජය මගින් විශාල ධනයක් වැය කොට ඉඹුල්ගොඩ මංසන්ධියේ ඒ මහතාගේ ප්‍රතිමාවක් ඉදිකිරීමේ විරල ගණයේ කෘතවේදීත්වය දැක්වීමක් එදින සිදු කෙරුණි.


චීන මහජන සමූහාණ්ඩුව යනු අද ලෝකයේ සමෘද්ධිමත්ම රාජ්‍යයකි. ලෝකයේ අංක එකේ ආර්ථික බලවතා චීනය යැයි කියන්නෝ ද වෙති. පසුගිය වසර දෙක තුන තුළ යුරෝපය සහ ඇමරිකාව කේන්ද්‍ර කර ගනිමින් හමා ගිය ආර්ථික පරිහානියේ මහා කඩාවැටීමට මුහුණ දිය නොහැකිව ලොව ආර්ථීක බලවත්තු අන්ද මන්ද වූහ. එම අවාසනාවන්ත අවස්ථාවේ දී චීනය විසින් ලබාදෙන ලද ඩොලර් කෝටි සංඛ්‍යාත ණය අත්තිකාරම නොවන්නට බොහෝ රටවල ඉරණම බොහෝ සෙයින්ම වෙනස් වන්නට තිබුණි. “එකම තීරයක් - එකම මාවතක්” යනුවෙන් චීනය අභිමානයෙන් යුතුව සමරනු ලබන්නේ ඈත අතීතයේ දී ඉපැරණි සේද මාවතේ වෙළහෙළඳාම් කරමින් පවත්වාගෙන ගිය සමෘද්ධිමත් ජීවන රටාවකි.


මෙයට හැට අට වසරකට පෙර සභාපති මා ඕ සේතුංගේ නායකත්වයෙන් චීන සමාජවාදී විප්ලවය ජය ගනිද්දී චීන මහා රාජ්‍යය බඩගින්න ලෙඩ රෝග හා මන්දපෝෂණය රජ කරන නවීන ලෝකයට කිසිසේත්ම නොගැළපෙන වැඩවසම් පාලන ක්‍රමයකට නතු වූ අන්ත දුඃඛිත රාජ්‍යයක් වූවේය. එසේ වීමට ප්‍රධානම හේතුව වූවේ යටත් විජිතවාදයේ ගොදුරු පතා ලොවපුරා ඉව අල්ලමින් ලේ රස ඔස්සේ හඹාගිය අධිරාජ්‍යවාදී ධන වැද්දන්ගේ නිමක් නොවුන කුමන්ත්‍රණ සහ සූරාකෑමයි. ලෝකයේ කිසිඳු අහිංසක රටකට තමන්ගේ පාඩුවේ ජීවත්වීමට නිදහසක් නොදුන් බි්‍රතාන්‍ය ප්‍රමුඛ ධනවාදීහු චීනය ද දස වධ බන්ධනවලට ලක්කරමින් පීඩාවට පත් කළහ. 1816 වනවිට චීනය පැවතියේ මහත් අවුල් වියවුල් රාශියකට මැදිවය. එවකට චීනයේ අධිරාජයා වූ චියෙන් ලුන් දක්‍ෂ පාලකයෙකු නොවීය. මේ වනවිට පැවති අභ්‍යන්තර බෙදීම් නිසා කැන්ටනයේ සහ පීකිං යන ස්ථාන දෙකක පාලනය කේන්ද්‍රව පැවතියේය. මේ අතර කැන්ටනය මුල් කරගත් රාජ්‍යයේ බි්‍රතාන්‍ය වෙළඳ ඒකාධිකාරය සතු කරගෙන සිටි බි්‍රතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම වඩාත් ලාභදායී වෙළඳ ශේෂයක් ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් චීනයට අබින් අපනයනය කිරීමේ ක්‍රමයක් සකස් කළේය. බොහෝ කලකට පෙර සිටම ඉතා සුළු වශයෙන් අබින් ආනයනය කිරීමේ පුරුද්දක් තිබුණි. ඒ බෙහෙත් නිෂ්පාදනය සඳහාය. ඉන්දියාව ද බි්‍රතාන්‍ය යටත් විජිතයක්ම තිබීමේ තත්ත්වය ප්‍රයෝජනය ගනිමින් බෙංගාලයේ අබින් සඳහා අවශ්‍ය මූලද්‍රව්‍ය වගා කිරීම ඇරඹූ බි්‍රතාන්‍යයෝ එයට වෙළඳපොළ සකස් කිරීමට අපේක්‍ෂා කළේ චීනයෙහිය. අබින් පාවිච්චියට ඇබ්බැහිවීමත් සමගම මෙම මත්ද්‍රව්‍ය සඳහා ඉල්ලුම අධික ලෙස වැඩිවිය. මෙය පාවිච්චිය කෙතරම් වැඩී ගියා ද කිවහොත් ආරම්භයේ දී ආනයනය කළ අබින් පෙට්ටි ගණන අවුරුද්දකට හාරසියයක් විය. 1823 වනවිට මේ ගණන පෙට්ටි පන්දහසක් ද, 1839 වන විට අබින් පෙට්ටි හතළිස් දහසක්ද දක්වා වැඩිවිය. 


චීනයේ ඉහළ නිලධාරී පැළැන්තිය මෙයට ඉතා තදින් ඇබ්බැහි වී සිටියහ. ඔවුහු මෙයට ඇබ්බැහිවූවේ ධනවත් වෙළෙන්දන් මාර්ගයෙනි. අගනුවර පිහිටි පළාතෙහි ආණ්ඩුකාරයාගේ පටන් සෑම උසස් හා පහළ නිලධාරීහු මෙම දුම් ඉරීමට පුරුදුව සිටියහ. 1839 අවසන් වූ විසි වසර තුළ අබින් නිසාවූ අයවැය වෙනස පියවීම සඳහා රිදී අවුන්ස දස කෝටියක් ගෙවීමට සිදුවිය. මේවනවිට චීනයේ අබින් උරන්නන්ගේ සංඛ්‍යාව විසි ලක්‍ෂය ඉක්මවා තිබුණි. මේවා මැඬලීමට සිටි ආරක්‍ෂක අංශ පමණක් නොව පොලීසිය සහ නඩුකාරයෝද මෙම වසංගතයට ගොදුරු කරගෙන තිබුණි.

 

 

1821 වනවිට මෙම ව්‍යසනය කෙතරම් උග්‍ර අතට හැරී තිබුණේද යත් ඔටුන්න හිමි කුමාරයා මෙසේ ප්‍රකාශ කර තිබුණි. “මේ රටේ සෑම දිස්ත්‍රික්කයකම අබින් ගුහා ඇත. මේවා සාමාන්‍යයෙන් පවත්වාගෙන යනු ලබන්නේ මහේස්ත්‍රාත්වරුන්, කොස්තාපල්වරුන් හා හමුදා භටයන් විසිනි. ප්‍රදේශයේ ධනවත් පවුල්වලින් සල්ලාල තරුණයන් රැස් කරගෙන රහසේ අබින් දුම්බීමට ඔවුහු පුරුදු කරවා ගනිති. මහේස්ත්‍රාත් උසාවිවල ලිපිකරුවන් වැඩි දෙනෙකුද මීට ඇබ්බැහිවී ඇති හෙයින් ඔවුනට ආරක්‍ෂාව සැලසෙනු නියතය. මෙතැන් පටන් අවුරුද්දක් ඉක්ම ගිය තැන මෙම පුරුද්ද දිගටම පවත්වාගෙන අබින් දුම් බොන සියලු දෙනාම මරණ දඬුවමට යටත් කරන අයුරින් දිනයක් නියම කරන ලෙස මම මහ රජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මගේ මේ වචන සිහිතබා ගන්න. තමාගේ ගිජුකමට ඉඩදී පෝරකයට නැගී මිය යනවාට වඩා සිය සයනයෙහි වැතිර මිය යන්නට හැකි නම් කවුරුත් පිළියමින් ලැබෙන දුක් කරදර විඳ දරාගනු නිසැකය.” 


මෙසේ රටත් ජාතියත් විනාශ කරමින් තම රටට පුරුදු කරන ලද අබින් භාවිතයේ කැත පුරුද්ද චීන ජන සමාජයට දරාගත නොහැකි තරමේ විනාශයක් විය. එනිසා අධිරාජයා එය තහනම් කළේය. එහෙත් එම නීතිද ක්‍රියාත්මක කිරීම අසීරු විය. මෙය මැඩපැවැත්වීම සඳහා ලින් නමැති ප්‍රධානියෙකුට බලය පවරා දුන්නේය. ඔහු දින විසි තුනක් ඇතුළත බි්‍රතාන්‍යයන් සතුව තිබූ සියලුම අබින් තොග අල්ලාගෙන විශාල වළකට දමා ගිනි තැබීය. කැන්ටන් රාජ්‍යයම අබින්වලින් නිදහස් විය.


කරදර එතෙකින් නිමාවට පත් නොවූවේය. 1840 අප්‍රේල් මාසයේ දී බි්‍රතාන්‍ය නාවික හමුදාවක් කැන්ටන් නදියේ මෝයට ළඟා විය. මෙහි අරමුණ වූවේ පසුගිය වසරේ විනාශ කරන ලද අබින් තොගයේ වන්දි ඉල්ලා සිටීමය. මෙසේ කැන්ටන් වැටලූ බි්‍රතාන්‍යයෝ තවදුරටත් රට ඇතුළතට යාත්‍රා කළහ. අනුක්‍රමයෙන් හොංකොං දූපත බි්‍රතාන්‍යයට අයත් කර ගන්නා ලද අතර චීනය අවමානයට පාත්‍ර කරනලදී. 


මෙවැනි වූ බොහෝ කරදර කම්කටොළු රැසක් මධ්‍යයේ කාලය ගෙවී ගියේය. චීන විප්ලවය ඇරඹුණි. සභාපති මා ඕ සේතුංගේ නායකත්වයෙන් යුතු කොමියුනිස්ට් පක්‍ෂය සෙසු ගොවිජන බලවේගයන් ද සමග එක්ව අධිරාජ්‍යවාදයට, වැඩවසම් රදලවාදයට මෙන්ම ධනේශ්වරයට ද එරෙහිව විප්ලවය සාර්ථක කර ගැනීමේ යෙදී සිටියේය. එයට සුන්යත් සෙන්ගේ මෙහෙයවීමෙන් පැවැති කුවෝ මිං ටෑන් බලවේගය ද එක්ව සිටි අතර පසුව චියාං - කායි - සෙක් එහි අනුප්‍රාප්තිකයා විය. අවසාන පියවරේ දී ඔහු සමාජවාදී විප්ලවයට එරෙහිව ධනවාදී පිල ගත්තේය. තීරණාත්මක සටනේදී මා ඕ සේතුං ට එරෙහිව නැගී සිටි චියාං කායි ෂෙක් විප්ලව ජයග්‍රහණයෙන් පසු තායිවාන් දූපතෙහි තම රජය අටවා ගත්තේය. මහා චීන දේශයට සාපේක්‍ෂව බැලීමේදී පැසිෆික් සාගරයේ කුඩා ගල් තලාවක් බඳු තායිවාන දිවයිනට පලාගිය චියාංගේ රජය නීත්‍යානුකූල චීනය ලෙස පිළිගැනීමට බටහිර නායකයෝ ක්‍රියා කළහ. එය අරුම පුදුම තීන්දුවක් විය. චියාං කායි ෂෙක්ගේ තායිවාන රජය නීත්‍යානුකූල චීනය ලෙස ඔව්හු පිළිගත්තා පමණක් නොව මහ බලවතුන් පස් දෙනාගෙන් එක් රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ හිමිව පැවති ආසනයේ නිශේධ බලය සහිත ඡන්දයත් චියාං රජයට හිමිකර දුන්නේය. මහජන චීනය රතු චීනය නමින් නම් කර ලෝකයේ කොන් කිරීමට ලක් කරනු ලැබීය අවුරුදු විසි ගණනනක්ම පැවතියේ මෙම තත්ත්වයයි. 


මා ඕ සේතුං සභාපති තුමාගේ නායකත්වයෙන් ජයග්‍රහණය කරනලද චීන සමාජවාදී විප්ලවය 1949 ඔක්තෝබර් 02 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. එහෙත් දකුණු ආසියාවේ බොහෝ රටවල් පවා චීනයට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම ලබාදුන්නේ නැත. මිතුරන් අවශ්‍ය මොහොතේ අසල්වැසියන් හැසුරුණේ ඒ ආකාරයෙනි. 


ශ්‍රී ලංකාවේ පැවති රජයයන් ද විදේශ ප්‍රතිපත්තිය වශයෙන් අනුගමනය කළේ බටහිර හිතවත් ප්‍රතිපත්තියකි. විශේෂයෙන් ලංකාව නිදහස ලබන විට බි්‍රතාන්‍යය සමඟ ආරක්‍ෂක ගිවිසුම් දෙකක් අත්සන් කර තිබුණි. මෙම ගිවිසුම් නිසා සෝවියට් දේශය සහ එයට පක්‍ෂපාතී රටවල් සිටියේ නොහොඳ නෝක්කඩුවකිනි.

 

 


මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ