ගල් අඟුරු ඉන්ධන ලෙස යොදාගෙන දුම්රිය ධාවනය කිරීම යල් පැන ගිය ක්‍රමයක් බව රම්පාල මහතා අවබෝධ කරගෙන සිටියේය. එය සේවකයන්ට මහත් දුක් දෙන ක්‍රමයක් වූවා පමණක් නොව මගීන්ටත් බාහිර ජනතාවටත් ගෙන දුන්නේ දැඩි පීඩාවකි. එමෙන්ම ආර්ථික අතින්ද එය පාඩු ගෙන දෙන්නක් විය. ඒ නිසා එම යුගයේ දියුණු රටවල ක්‍රියාත්මක වූ ඩීසල් ඇන්ජින් සහ බලවේග කට්ටල ක්‍රම මෙරටට හඳුන්වා දුන්නේය.
සේවක විනය ඉහළින්ම අගය කළ එතුමා සටන් ක්‍රියාමාර්ගවලින් තොරවම හැකි පමණ සේවක වරප්‍රසාද ලබා දීමට කටයුතු කළේය. ඔහු තද පාලකයෙකු වූ බවද සත්‍යයකි. එයට ප්‍රධාන හේතුව වූයේ කිසිදු සේවකයෙකුට හෝ නිලධාරියෙකුට බොරුවකින් වංචාවකින් ඔහු රැවටිය නොහැකි වීමය. දුම්රිය සේවයේ මුල සිට අගටම සෑම දෙයක්ම සාමාන්‍යාධිකාරිවරයා දැන සිටියේය.
ප්‍රධාන නගර දක්වා ශීඝ්‍රගාමී දුම්රිය සේවා හඳුන්වා දෙනු ලැබුවේද රම්පාල මහතා විසිනි. 1955 ඔක්තෝබර් මස විසිහතර වැනිදා රුහුණු කුමාරි දුම්රිය මාතර දක්වා ධාවනය කිරීම එහි පළමු පියවර විය. පසුව උඩරට මැණිකේ, උත්තර දේවි, සමුද්‍ර දේවී දුම්රියන්ද ධාවනයට එක් කළේය. ‘රුහුණු කුමාරි’ මාතර බලා ගිය මංගල ගමනේදී එය පදවාගෙන ගියේත් රම්පාල මහතා බවද සඳහන්ය. රට පුරා දුම්රිය ස්ථාන පිළිවෙළකට පිරිසිදුව තබා ගැනීම ගැනද නව සාමාන්‍යාධිකාරිවරයා උනන්දුව දැක්වීය. ඒ පිළිබඳව තරඟ සංවිධානය කර ජයග්‍රාහක දුම්රියපොළවලට තෑගි පිරිනැමීම්ද සංවිධානය කළ බව කියවේ. මෙම ක්‍රමය අනුව සෑම දුම්රිය පොළක්ම අලංකාර අන්දමට තිබුණු බව පැරැන්නන්ට මතකය.
රම්පාල මහතා ටයි කෝට් හැඳගෙන කාර්යාලයේ රැඳී සිටි සාමාන්‍යාධිකාරීවරයෙකු නොවීය. ශීත කාමරවල විදුලි පංකා යට සුවපහසු අසුනක් හොබවමින් නිදිකිරා වැටුණේ නැත. ඔහු නිතරම සිටියේ ක්ෂේත්‍රයේය. එක්කෝ දුම්රිය අංගණයකය. නැතිනම් ධාවනය වන දුම්රියක් තුළය. නිතරම පාහේ දුම්රිය පොළවලට ගිය ඔහු නොයෙක් දේ සොයා බැලුවේය. අපිරිසුදු ස්ථාන දුටු විට තමාම පිරිසිදු කළේය. එනිසා සේවකයන්ට වැඩ මගහැර සිටිය නොහැකි විය. විනයගරුක නොවූ ආයතන ක්‍රියා පටිපාටියට විරුද්ධව ක්‍රියා කරන අය ගැන සුපරීක්ෂාකාරී විය.
එකල කඩුගන්නාව කන්ද තරණය කිරීමට දුම්රියට බොහෝ දුෂ්කර කාර්යයක් විය. ඒ ලිසස්නසුලු බව නිසාය. එයට ප්‍රතිකර්මයක් ලෙස දුම්රියෙන් රේල් පීල්ල මතට ස්වයංක්‍රීයව වැලි වැටෙන ක්‍රමයක් ඔහුම නිර්මාණය කර තිබුණු බව කියවේ. පරිපාලන රෙගුලාසි සහ මුදල් රෙගුලාසි ගැන මනා අවබෝධයක් තිබුණු නිසා කිසිදු නිලධාරියෙකුට වංචා කිරීමට ඉඩක් ලැබුණේ නැත. දිනපතා දුම්රිය කාලසටහන නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සාමාන්‍යාධිකාරිවරයා සුපරීක්ෂාවෙන් සිටියේය. යම් විටක දුම්රිය පමාවක් සිදු වූවේනම් අදාළ නිලධාරියා වාර්තාවක් එවිය යුතු විය. එය තමාගේ මේසය මතට ලැබී නොතිබුණොත් දැඩි දඬුවම් ලැබීම නියත බව නිලධාරීහු දැන සිටියහ. එනිසා දුම්රිය ප්‍රමාදවීම් සිදු වූයේ ඉතා කලාතුරකිනි. එයින් මගී ජනතාවට විපුල ඵල ප්‍රයෝජන අත්වූයේය.
දිස්ත්‍රික්කවලට ප්‍රධාන දුම්රිය පොළවල් වූ යාපනය, මහනුවර, ගාල්ල, අනුරාධපුර, ත්‍රිකුණාමලය ආදී දුම්රිය ස්ථාන නවීකරණය කිරීමට රම්පාල මහතා ක්‍රියා කළේය. එමෙන්ම දුම්රිය මාර්ගයේ එකල විශාල වංගු සහිත වූ මාන්කුලම් සහ එfඬ්රමුල්ල වැනි ස්ථානවල වංගු ඉවත් කර මාර්ගය සකස් කළේය.
උගත්කමට සුදුස්සාට වඩා කුහක දේශපාලනය බලවත් වීම මෙරට සමාජයට සිදුවූ මහත් ව්‍යසනයකි. මෙවැනි තත්ත්වයකදී සෘජු නිලධාරීහු තනතුරු හැර දමා රාජ්‍ය සේවයට ආයුබෝවන් කීහ. මේසා විශාල සේවයක් දුම්රිය සේවයට ලබා දුන් බී.ඩී. රම්පාල මහතාගේ ඉරණම වූයේද එවැන්නකි. 1970 බලයට පත් සමහර දේශපාලකයන්ගේ අනිසි බලපෑම් සහ ඇඟිලි ගැසීම් නොඉවසූ රම්පාල මහතා සේවයෙන් විශ්‍රාම ගත්තේය. ඔහුගේ දක්ෂතාව මැනවින් දැන සිටි අගමැති ජේ. ආර්. ජයවර්ධන මහතා ඒ මහතාට උපදේශක මට්ටමින් සේවය කරන ලෙස කරන ලද ඇරයුම පිළිගෙන නැවතත් දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූවේය. එහෙත් එහි කටයුතු කළ හැකි වූයේ මාස කීයපක් පමණකි. එවකට ගමනාගමන ඇමතිවරයා සමග ඇති කර ගත් මතභේදයක් නිසා ඔහු සදහටම දුම්රිය දෙපාර්තමේන්තුවට ආයුබෝවන් කීවේය.
යටත්විජිත සමයේදී හෙන්රි වෝඞ් සහ මැකන්සි යන ආණ්ඩුකාරවරුන්ගේ උනන්දුව මත ලංකා දුම්රිය සේවය ආරම්භ වූ බව අපි දනිමු. ජී. පී. ග්‍රීන් මහතා ප්‍රථම සාමාන්‍යධිකාරීවරයා විය. ඔහුගේ දැඩි කැපවීම මත එම සේවය ස්ථාපිත වූ බවද පැරණි වාර්තාවන්හි දක්නට ලැබේ. එවක් පටන් වසර එකසිය පනහක් පමණ කාලයක් යම් පමණ මහජන සේවයක් සැලසීමට දුම්රිය සේවයට හැකි වූ බවද කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කරන්නෙමු. එහෙත් දුම්රියේ ස්වර්ණමය යුගය වන්නේ බී. ඩී. රම්පාල මහතා සාමාන්‍යාධිකාරී ධුරය දැරූ වකවානුව බව තතු දන්නෝ පවසති. රම්පාල මහතාට දුම්රියේ විශ්වකර්මයා යන විරුදාවලිය ලැබුණේ ඒ නිසාය. මගේ බස්රියේ මිතුරාට මෙන් තවත් බොහෝ කාලයක් ගතවන තුරුත් කරුණු දත් අයට දුම්රිය අසීරුවකට පත් වූ හැම විටම රම්පාල නාමය සිහිපත් වනු නිසැකය. ඒ ඔහුගේ කීර්තිමත් සේවය නිසාමය.
සෝමසිරි වික්‍රමසිංහ