දුම්රියට රන් මසු ගෙනා රම්පාල යුගය


 

පසුගිය සතියේ ක්‍රියාත්මක වූ දුම්රිය වැඩවර්ජනය නිසා රටම මහත් අවුලකට මුහුණ දුන් බව පෙනී ගියේය. විශේෂයෙන්ම අගනුවර කේන්ද්‍ර කරගත් රාජ්‍ය සේවයේ සිට පෞද්ගලික අංශයේද කාර්යාල කටයුතු මුළුමනින්ම අඩපණ වූ ආකාරයක් දක්නට ලැබුණි. දුම්රිය මගින් නොකඩවා කොළඹට ප්‍රවාහනය කෙරෙන මගී සංඛ්‍යාව දිනකට ලක්ෂ ගණනකි. එම පිරිසට ගමනාගමන පහසුකම් අහිමි විය. මේ බොහෝ දෙනා කලින් මුදල් ගෙවා වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගත් මගීහුය. දුම්රියට ගාස්තු ගෙවා තිබියදී නැවත බස්වලට මුදල් ගෙවා සමහරු කොළඹ පැමිණියහ. එසේ පැමිණ කාර්යාලවලට වාර්තා කළ රජයේ සේවක බොහෝ දෙනෙක් තමන් විඳි දුෂ්කරතා සහ සවස ආපසු යන අන්දම ගැන සාකච්ඡා කළහ. දිවා ආහාරයෙන් පසු බොහෝ දෙනා ආපසු ගමන් ඇරඹූහ.

වර්ජකයන්ගේ ඉල්ලීම්වල සාධාරණ අසාධාරණ බව කීමට අපට අවබෝධයක් නැත. එහෙත් මේසා විශාල ශ්‍රම හානියකට මුල්වන අන්දමේ විනාශයක් වළක්වා ගැනීම වගකිව යුත්තන්ගේ වගකීම වේ. විශේෂයෙන් ණය කන්දක් ගෙවීමට ඇතැයි කියවෙන වකවානුවක සහ රට දියුණු කිරීමට විදේශීය ආයෝජකයන්ට නොකඩවා අත වනන මෙවැනි යුගයක කාර්මික සාමය කඩවෙන මෙවැනි කරුණු ගැන නොඇසූ කන්ව සිටීම වගකිවයුත්තන්ට තරම් නොවේ. දුම්රියට ‘සීසන්’වලට මුදල් ගෙවා නැවත බස්වලටද මුදල් ගෙවා මා කාර්යාලයට පැමිණෙද්දී මා වැනිම වැඩිහිටි මගියෙකු කෝපයෙන් යුතුව පැවසූ වදනක් මගේ සිත් ගත්තේය. ඔහු කීවේ ‘මෙවැනි දවසක රම්පාල මහත්තයා සිටියා නම්’ කියාය. එනිසා රම්පාල මහතා කව්ද? මිය ගොස් දශක කීපයක් ගතව තිබියදීත් මහජනයාට එතුමා මතක් වෙන්නේ ඇයි? යන හේතූන් දක්වමින් මෙම ලිපිය සම්පාදනය කිරීමට මම පෙලඹුනෙමි. ඉංජිනේරු කටයුතුවලට නම් කුලසිංහ, පුරාවිද්‍යාවට නම් පරණවිතාන, භාෂා ක්ෂේත්‍රයේ නම් මලලසේකර, දුම්රිය නම් රම්පාල යැයි පිළිගැනුණු යුගයක් විය. ඔවුහු එම ක්ෂේත්‍රයන් ගැන ප්‍රාමාණික දැනුම ඇති අති විශිෂ්ටයෝ වූහ. දුම්රිය ක්ෂේත්‍රය පිළිබඳව එහි සාමාන්‍යාධිකාරී බී. ඩී. රම්පාල මහතා සතුව තිබුණු දැනුම කෙනෙකුට වචනයෙන් විස්තර කළ නොහැකි බව සඳහන්ව තිබේ. එය අතිශයෝක්තියක් නොවේ. දුම්රිය නිපදවන බි්‍රතාන්‍ය සමාගමක ප්‍රධාන ඉංජිනේරුවරුද එසේ පැවසූහ. එනිසාම බි්‍රතාන්‍ය රාජකීය ඉංජිනේරු ආයතනයේ ගෞරවනීය සාමාජිකත්වය පිරිනැමීමෙනි. සවිස්තරව පැවසුවහොත් එම සිද්ධිය මෙසේය. 1953 වසරේදී රම්පාල මහතා දුම්රිය සාමාන්‍යධිකාරිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එංගලන්තයේ නිෂ්පාදිත ඊඍඹී්‍ය ඊ්ඨභ්ඛඛ :ක්‍්ීඵ - 1* ්ෂ්-්ෂ් දුම්රිය ඇන්ජින් 25ක් ලංකා දුම්රිය සේවය සඳහා ගෙන්වනු ලැබීය. ඒවා ලංකාවට ගැළපෙන පරිදි සකස් කිරීමට එරටින් ඉංජිනේරුවන් පිරිසක් මෙරට පැමිණීමට නියමිතව තිබුණි. මෙරට පවතින දේශගුණය, උෂ්ණත්වය ආදී පරිසර සාධකවලට අනුව එම ඉන්ජින් සකස් කළ යුතුව තිබුණි. මෙම දුම්රිය යන්ත්‍ර පරීක්ෂාවට ලක් කළ සමාන්‍යධිකාරීවරයා ඒවායේ පවතින අඩුපාඩු හා දෝෂයන් ඔහුට අසු වී නොපමාව සකස් කර තිබුණි. ඉංග්‍රීසි ඉංජිනේරුවන්ගේ පැමිණීම අවශ්‍ය නොවුණි.


මෙම වර්ගයේ යන්ත්‍රයක් යෙදූ දුම්රියක් වරෙක මාතර බලා ධාවනය වූවේය. එය පදවාගෙන ගියේ ද රම්පාල මහතාමය. මාතරට ගොස් ආපසු පැමිණෙද්දී ගාල්ල ආසන්නයේදී දුම්රිය නැවතුණේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙනි. එහි සිටි අනෙක් වගකිව යුත්තන්ගේ මතය වූවේ වෙනත් කළ හැකි දෙයක් නොමැති නිසා එය දුම්රිය මාර්ගයේම තිබෙන්නට හැරීම යෝග්‍ය බවයි. එහෙත් තවත් දුම්රිය එම මාර්ගයේ ගමන් කළ යුතු නිසා එසේ තැබීමට ඉඩකඩක් නොවීය. රම්පාල මහතා තම ප්‍රායෝගික ඥානය උපයෝගී කොට ගත්තේය. වහාම කෙනෙකු, ළඟ තිබුණු කඩයකට යවා ගෙන්වා ගත් කොහු ලණු කීපයක් නියමිත ආකාරයට යන්ත්‍රයට ඇතුළු කර තාවකාලිකව දුම්රිය ගමන් කරවීමට සැලැස්වූවේය. එය ඇත්ත වශයෙන්ම ඇදහිය නොහැකි ක්‍රියාන්විතයකි. මෙය වාර්තාවූ විට බි්‍රාතාන්‍ය සමාගම පුදුමයට පත් විය. එය රාජකීය ඉංජිනේරු සංගමයටද දැනුම් දෙන ලදුව, රාජකීය සංගමයට ඇතුළත් කර ගන්නා ලදී.


කොළඹ ආසන්න කුඩා ගමක පාසලක මුල් ගුරුවරයෙකුගේ පුතෙකු වශයෙන් ජන්ම ලාභය ලැබූ රම්පාල ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ ආනන්ද හා නාලන්ද විද්‍යාලවලිනි. පසුව එවකට පැවති යුනිවර්සිටි කොලීජියට ඇතුළු වූ ඔහු පුහුණු වන ආධුනික ඉංජිනේරුවරයෙකු හැටියට අධ්‍යාපනය ඇරඹීය. ඒ පුහුණුවේ තවත් පියවරක් වශයෙන් 1931 දී රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු අංශයට බැඳුණේය. තෙවසරක පුහුණුවෙන් පසු රැකියාව ස්ථිර කරන ලදී. දිනයේ කටයුතු නිමවා ගාල් කිරීමට රත්මලාන අංගණය වෙත පැමිණෙන දුම්රිය ඇන්ජින් ඉංජිනේරුවන් විසින් පරීක්ෂා කර බලා සුදු  ඉහළ නිලධාරීනට දිනපතා වාර්තාවක් සැපයීමේ නියෝගයක් එකල ක්‍රියාත්මක වුණි.

එකල පැවතියේ ගල් අඟුරු බලයෙන් දුවන දුම්රිය යන්ත්‍ර නිසා මෙසේ පැමිණෙන දුම්රිය අධික තාපයකින් යුක්ත විය. එනිසා ඉංජිනේරුවන් මෙම යන්ත්‍ර පරීක්ෂාවට ගියේ නැත. කාර්මිකයන් ලවා පරීක්ෂණ වාර්තාවක් ලබාගෙන එයට අත්සන් තැබීම ඉංජිනේරුවෝ සිරිතක් කොටගෙන සිටියහ. පුහුණු කාලයේ සිටම රම්පාල කිසි දිනක එසේ කළේ නැත. අඬු, මිටි, යතුරු රැගෙන, ගිනි ගොඩක් මෙන් රත්ව තිබෙන ඇන්ජිමට නැගී එහි සෑම අස්සක මුල්ලකම ඇණයේ මුරිච්චියේ සිට පරීක්ෂා කර බැලුවේය. එමගින් ඔහුගේ ප්‍රායෝගික දැනුම වර්ධනය කර ගත හැකි වූ බව රම්පාල මහතා ප්‍රකාශ කර ඇත.


ඔහු යාන්ත්‍රික අංශයේ ඉංජනේරුවෙකු වුවද අනෙකුත් අංශ ගැන අවබෝධයක් ලබාගැනීමට ද තිබුණේ පුදුමාකාර වූ උනන්දුවකි. සාර්ථක දුම්රිය ඉංජිනේරුවෙකුට එය අත්‍යාවශ්‍ය ගුණාංගයක් බව ඔහු දැන සිටියේය. එනිසා ඇප කැපවීමෙන් යුතුව නොයෙක් දේ ප්‍රගුණ කළේය.


ඔහු විදුලිය ගැන එම ක්ෂේත්‍රයේ ඉංජිනේරුවෙකුට වඩා දැනගෙන සිටියේය. කලක් ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු තැන ලෙස සේවය කළ ඒ මහතා 1955 දී ලංකා දුම්රිය සේවයේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත්වීම් ලැබුවේය. එය මෙරට දුම්රිය සේවයේ සන්ධිස්ථානයක් වූ බව පැරැන්නෝ දනිති.

 

 


මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ