දෙනවක හාමිනේට ආර්.එස්.ගෙන් ටොක්කක්


මැතිසබය  රසවත් කළ කවට කථිකයා-2

 

 

 

කැලණියේ ආර්. එස්. ගේ නම කථික ලැයිස්තුවේ ඇත්දැයි බලා රැස්වීම්වලට යන පිරිසක් ද එදා දේශපාලන රසවතුන් අතර විය. ඔහුගේ හඬට හා අංග චලනවලට ඒතරම් ඉල්ලුමක් විය. උපහාසයත් අර්ථ රසයත් එකට කැටි වූ ආර්. එස්. ගේ කතාව න්‍යාය පත්‍රයට වැටුණේ සිරිමාවෝ මැතිනියගේ කතාවෙන් අනතුරුවය. ආර්. එස්. ගේ කතා ඇසීමට පමා වී රැස්වීමට පැමිණි අය ද වූහ. 


ණය අයවැය ලේඛනය යන වදන් වැල දේශපාලන ශබ්ද කෝෂයට ආවේ යූ.ඇන්.පියේ. අයවැය ලේඛන ගණනාවක් අසා සිටි ආවේගශීලී වූ ආර්. එස්. ගේ මුවිනි. ආර්. එස්. ආවේගශීලී වූ අවස්ථාවල තම ප්‍රතිපත්තිවලට පටහැණිව ක්‍රියා කළ මධ්‍ය සංවිධානයේ ලේකම්වරුන්ට පවා බැණ එළවා ගත් අවස්ථා වූ බව ඔහුගේ පෞද්ගලික ලේකම් සෝමරත්න ගුණතිලක කියයි. 


ආර්. එස්. ට පෞද්ගලික හා සම්බන්ධීකරණ ලේකම්වරු දෙදෙනෙක් සිටියෝය. සෝමරත්න ගුණතිලක හා ප්‍රවීණ කවියකු හා ලේඛකයකු වූ ආරියවංශ පතිරාජය. ආරියවංශ පතිරාජ දක්ෂ පරිවර්තකයෙකි. ඔහු දිවංගත ධර්මසේන පතිරාජයන්ගේ සහෝදරයාය. සෝමරත්න ගුණතිලක ද නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රසිද්ධය. 
ආර්. එස්. වටා කලාකරුවෝ හා මාධ්‍යවේදියෝ රොදබැඳගෙන සිටියහ. ලංකාදීප මාධ්‍යවේදී ධර්මසිරි ජයකොඩි හා කවියකු හා මාධ්‍යවේදියකු වූ සියඹලාපේ දයානන්ද ඒ අතර වූහ. 


ආර්. එස්. පුවත් මවන ඇමැතිවරයකු වූ අතර ඔහුගේ රසබර නැවුම් කතා හා පුවත්වලින් දිනමිණ දවස හා ලංකාදීප වැනි ජාතික පුවත්පත් පිරී තිබිණි. 


65 - 70 ඩඞ්ලි සේනානායක යුගයේ විකල්ප පුවත්පත් වූ ඇත්ත, ජනදින වැනි ප්‍රකාශනවල පවා ආර්.එස්.ගේ අපූරු කතා පළ වී තිබිණි. 


‘කවදහරි ඩඞ්ලි උන්නැහේගේ නමත් ඉතිහාසගත වේවි’ ආර්. එස්. ජනතාවට කීවේය. 


“ඒ කොහොමද ඇමැතිතුමා, රටටම නොමිලේ බත් දුන් පියා කියල ද” ජනතාව ඇසූහ. 


‘නෑ ඕයි. පාන්පිටි පරාක්‍රමබාහු කියලා. හැබැයි මම නම් දාන නම පින් පියා කියලයි.’ ආර්. එස්. පහත් හඬින් කීවේය. ඩඞ්ලිගේ කතාබහ ඇත්ත පුවත්පතේ පළ වුණේ පචබාහු ද ග්‍රේට් යන සිරස්තලය යටතේය. 


1970 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන යුගයේ දී දරුණු සබන් හිඟයක් ඇති විය. මෙයට හේතුව කුමක් වුවත් සබන් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය නිසා ජනතාවට දැඩි අපහසුතා ඇති විය. විපක්ෂය මෙම සබන් හිඟය තම ප්‍රධාන ආයුධය කර ගත්තේය. 


විපක්ෂයේ සිටි එජාපයට හිතවත් කලාකරුවෝ මැතිනියගේ ආණ්ඩුව උපහාසයට ලක් කරමින් සංදර්ශන පැවැත්වූ අතර ප්‍රවීණ නිළියක වූ දෙනවක හාමිනේ එජාප වේදිකාවට නැග්ගේ සර්වාංගයම කසමිනි. 


‘මේ කෙහෙල්මල් සබන් හිඟේ නිසා 


නා ගන්නවත් නෑ. ඇඟම කසනවා’ 


ඇගේ රංගනය දැක බඩ අල්ලාගෙන ප්‍රේක්ෂකයෝ සිනාසුනහ. විපක්ෂය විසින් පුළුල් ප්‍රචාරයක් දෙනු ලැබූ මෙම සිද්ධිය ආර්. එස්. ට ද සැලවිණි. ශ්‍රීලනිප වේදිකාවේදි ඔහු එම නිළිය පතුරු ගැසීය. 


‘ඔය දෙනවක හාමිනේගේ කැසිල්ල ඊයේ පෙරේදා පටන් ගත්ත එකත් නොවෙයි. ඕකිගෙ කැසිල්ල අරින්න සබන් බාර් ගණන් තිබුණත් මදි. තමුන්නාස්සේලා කලබල වෙන්න නම් එපා.’ ආර්. ඇස්. දෙනවක හාමිනේ ඇමතුවේ ‘දෙනවකො හාමිනේ’ යන යටි අරුතිනි. 


ආර්. එස්. කතෝලික ජනතාවට වැඩියෙන් සලකන බවට මෙම කාලයේ බෞද්ධයන්ගෙන් දෝෂාරෝපණ නැගිණ. කැලණිය, වරාගොඩ ශාන්ත පාවුලු දෙව් මැඳුරට අයත් භූමි භාගයේ බාලිකා මහා විදුහල පිහිටියේය. අද එය ජාතික විද්‍යාලයක් ලෙස කැලණියේ ප්‍රචලිත වී පවතී. 


එම විදුහල රජයට පවරා ගනු ලැබූ දෙස් විදෙස් විද්වතුන්ට අධ්‍යාපනය ලබා දුන් පාසලකි. මෙම බාලිකාවට සිසුවියන් ඇතුළත් කර ගැනීමේදී බෞද්ධ දැරියන්ට කුඩම්මාගේ සැලකිලි ලැබෙන බවත් ඉගෙනුම ලබන දැරියන්ට පවා සැලකිලි ලැබෙන්නේ දෙවිදිහකට බවත් මව්පියෝ දොස් නැගූහ. 


තවත් පිරිසක් බෞද්ධ ගම්මානය මැද කතෝලික පල්ලියක් හැදෙනවාට ද එරෙහිව පෙත්සම් අත්සන් කළහ. මෙම පෙත්සම භාර දුන්නේ ආර්. එස්. ටය. පෙත්සම දුටු ආර්. එස්. ගේ කට කොනට සිනහවක් නැගුණි. 


‘ඇයි ඇමැතිතුමා ප්‍රශ්නයක් ද?’ 


‘ඔව් ඕයි. කැලණියේ පල්ලිය හදනවටයි බෞද්ධ ළමයි නොගන්නවටයි පෙත්සම් ගහලා’


ආර්. එස්. කිතුනුවකු නිසා ඔහු ද දැනුම්වත්ව මෙම කටයුතු කෙරෙන්නේ යැයි බෞද්ධ මව්පියෝ සැක කළහ. එබැවින් ආර්. එස්. ද මෙම චෝදනාවේ විත්තිකරුවකු කර

අගමැතිනියට දැවැන්ත පෙත්සමක් යැවීමට කටයුතු කෙරිණි. 


එනපොට හොඳ නැති බව වැටහුණු ආර්. එස්. බෞද්ධ මව්පියන් සමග ආරවුලට යනවාට වඩා විකල්ප පිළිතුරක් කල්පනා කළේය. 


‘බලනවකො අලුත් බාලිකා විද්‍යාලයක් පටන් ගන්න පුළුවන් තැනක් ගැන.’ 


ආර්. එස්. හිතවතුන්ට කියා යැව්වේය. මඳ කලකින් ඉඩමක් ගැන ඔහුට ඔත්තුවක් ලැබිණ. 


එහෙත් එතැන ජේ. ආර්. විසින් නිවාස ව්‍යාපෘතියක් හැදීමට වෙන් කර තිබූ බවත් ආරංචි විය. 


වහා ක්‍රියාත්මක වූ ආර්. එස්. මැතිනියට ද දක්වා එම ඉඩම අත්‍යවශ්‍යතාව මත පවරාගෙන කැලණිය බෞද්ධ බාලිකා විදුහල සඳහා මුල් ගල් තබා වැඩ ඇරඹීය. 


නිතරම කිරිබත්ගොඩ ඉදි කෙරෙන බාලිකා විද්‍යාලය ගැන පෞද්ගලිකව ගොස් සොයා බැලු ආර්. එස්. ට හිටපු කැලණිය අධ්‍යාපන නිලධාරී පී. පියසේන මහතාගේ මග පෙන්වීමද ඉතා උපකාරයක් විය. 


‘ඇමැතිතුමා, මොකක්ද අපි බාලිකා විද්‍යාලට දාන නම?’ පස් කන්ද මත සිට වැඩ නිම වන පාසල් භූමිය දෙස බලමින් පියසේන මහතා ඇසීය. 


‘අපි දාමු විහාර මහා දේවි බාලිකා විද්‍යාලය කියල’ ආර්. එස්. ගත්කටටම කීවේය. එම නම කැලණිය ඉතිහාසය අනුව ද ඉතා ගැළපෙන බව බෞද්ධ ජනතාවද එකහෙළා අනුමත කළෝය. 


ආර්. එස්. ගැන තිබු සැකය හා අවිශ්වාසය බෞද්ධ මව්පියන්ගෙන් තුරන් වී ගියේය. ආර්. එස්. තුළ සැඟව තිබු බෞද්ධ සංකල්ප එසේ එළිදරව් විය. 


මෙතෙක් කිසිදු බෞද්ධ පාලකයකුගේ ඇස නොගැටුණු හදවතට නොදැනුණු මොළයට නොතේරුණු කාලීන බෞද්ධ අවශ්‍යතාවක් ආර්. එස්. ට සිහි විය. එනම් ඓතිහාසික කැලණි පූජා භූමිය ලියාපදිංචි කර සංවර්ධනය කර සසුනට පිදීමේ කටයුත්තයි. 


1958 දී සම්මත වූ පරිදි 1963 දී ඇරඹූ කැලණි පූජා බිමෙහි පළමු අදියරට අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මුල් ගල් තැබූ අතර අද වන විට කැලණිය ශුද්ධ නගරයේ කටයුතු සර්ව සම්පූර්ණව පවතී. ආර්. එස්. ගේ තන්වැසි නුවණ හා ප්‍රාදේශීය ක්‍රියාකාරීත්වය නිසා එම කටයුතු දේශපාලන බලපෑම්වලින් තොරව සිදු කෙරුණු බව ජනතාව සිහි කරති. 


ආර්. එස්. ගේ රස වෑහෙන කතා තැනට සුදුසු විය. 60 - 70 යුගය තුළ ජනප්‍රියම චරිත වූ ටී. බී. ඉලංගරත්න, එස්. කේ. කේ. සූරියආරච්චි, තමරා කුමාරි, මෛත්‍රිපාල සේනානායක, පී. ආර්. රත්නායක, ජේ. ඩී. එල්. ලියෝ වැනි මන්ත්‍රීවරු ඔහුගේ සමකාලිකයෝ වූහ. 


දේශපාලන රැස්වීම්වල න්‍යාය පත්‍රය සකස් කරන විට සුදුස්සාට සුදුසු කතාව දීම ශ්‍රීලනිපයේ සම්ප්‍රදාය විය. සෙනග ඇද ගැනීමේ කතා ලැබෙන්නේ ආර්. එස්. ට, සූරියආරච්චිට සහ ස්ටැන්ලි තිලකරත්නටය. පතී යනුවෙන් පතිරාජට ද සෝමේ යනුවෙන් සෝමරත්නට ද ඇමතූ ආර්. එස්. ගැමි බසින්ම ඡන්ද දායකයන්ට ඇමැතීමටත් ඔවුන් සමග අස්සක් මුල්ලක් නෑර ආරක්ෂාවකින් තොරව ගමන් කිරීමටත් ප්‍රිය කළේය. ඒ නිසා ගම්මුන්ට ආර්. එස්. ගරු මන්ත්‍රීතුමා හෝ ගරු ඇමැතිතුමා ලෙස නොව ගොවියකු වූ සයිමන්ගේ පුත් සොලමොන් විය. 


ආර්. එස්. ගේ ජනප්‍රියත්වය වැළැක්වීමට ප්‍රතිගාමීහු නොයෙක් උපක්‍රම කළහ. ඔහුගේ ආගම, උගත්කම, මුඛරිකම ගැන මෙන්ම ගමට වැඩක් නොකළ බව කියමින් අපහාස කළහ. 
ඊට හේතු සොයා බැලු ආර්. ඇස්. ට කැලණියේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න පිළිබඳව අවබෝධ විය. වැඩ කරන ජනතාවගේත් තරුණ පරපුරේත් දැවෙන ප්‍රශ්න දෙකක් කෙරේ ඔහුගේ අවධානය යොමු විය. 


එනම් රැකියා ප්‍රශ්නය හා නිවාස ප්‍රශ්නයයි. අනතුරුව ඔහු තමා බලයේ සිටි කාලය තුළ එම ගැටලු නිරාකරණය කිරීම සඳහා ව්‍යාපෘති රැසක් ඇරඹීය. මෙතෙක් මෙරට තිබූ ටයර් ඒකාධිකාරිය බිඳ හෙළා සෝවියට් දේශයේ ආශිර්වාදය ඇතුව කැලණිය ටයර් සංස්ථාව ඇරඹීය. විශාල තරුණ පිරිසකට එහි රැකියාව ලැබිණ. 


‘ඩන්ලොප්, මිචලින් පප්පලා ඉවරයි මින් පසු පුප්පලා’ මැයෙන් මෙම පුවත ඇත්ත පත්‍රය ඇතුළු මාධ්‍යවල පළ විය. 


අනතුරුව මෙරට තෙල් නිෂ්පාදන ඒකාධිකාරය බිඳ හෙළමින් සපුගස්කන්දේ තෙල් සංස්ථාව ඇරඹුවේ ආර්. ඇස්. යුගයේය. ඊට අනුබද්ධ පොහොර සංස්ථාව ඇරඹු ආර්. ඇස්. කුඩා කර්මාන්ත හා කෘෂි කර්මාන්ත දියුණුවට අනුග්‍රහය දැක්වීය. 


ටයර් සංස්ථාව පිහිටුවීමට තිබුණේ හොරණ ආසනයේ වැලිවිට ය. එය කැලණියට ගෙන යාමට ආර්. එස්. කැබිනෙට්ටුව තුළ ද ඉන් පිටතදීද මහා සටනක් කළේය. සිංහාරමුල්ල, උස්වත්ත, පෙතියාගොඩ, ජුවන් පුල්ලේගෙවත්ත සහ හුණුපිටිය නිවාස යෝජනා ක්‍රම තුනම ආර්. ඇස්. ගේ ධෛර්ය හා මානව දයාව විහිදා පෙන්වන සාධක ය. 

 


මතු සම්බන්ධයි.

 

 


සටහන සහ ඡායාරූපය :
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාආරච්චි