දෙරටක් රැවටූ අමුතු ගිවිසුම


 

1986 වසරේ අගභාගයේදී හා 1987 වසරේ මුලභාගයේදී උතුරේ කොටි සංවිධානය දිවයිනේ ස්ථාන කීපයක කාල බෝම්බ පිපිරීම් ඇතුළු මනුෂ්‍ය ඝාතන රාශියක්ම සිදුකර තිබුණේය. ත්‍රිකුණාමලයත් - කොළඹත් අතර ධාවනය වෙමින් තිබූ බස් දෙකක් නතර කළ කොටි ත්‍රස්තවාදීන් එම බස්වල සිටි නිරායුධ මගීන් 130ක් ඝාතනය කිරීමත් කොළඹ - පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළේ කාල බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් වැසියන් 160 දෙනෙකුට මරු කැඳවමින් හා තවත් විශාල පිරිසකට බරපතළ තුවාල සිදුකිරීමත් කොටින් විසින් සිදු කෙරුණේ එම කාලය තුළය.


අනෙක් අතට එම තිරස්චීන මනුෂ්‍ය ඝාතන සිදුකර තිබුණේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඒක පාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබියදී වීම විශේෂත්වයක් විය. එවකට සිටි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එම සටන් විරාමය ප්‍රකාශයට පත්කර තිබුණේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවෙන් කරන ලද ඉල්ලීමකට කන්දීමක් වශයෙනි. ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් එවැනි ඉල්ලීමක් කර තිබුණේ “අන්න ලංකාවේ ආණ්ඩුව උතුරු - නැගෙනහිර වෙසෙන දෙමළ වැසියන්ට හිරිහැර කරනවා......යි”කියමින් තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලනඥයන් ඉන්දීය මධ්‍යම රජයට පැමිණිලි කර තිබූ බැවිනි.


එහෙත් දෙමළ බෙදුම්වාදීන්ගේ එම ම්ලේච්ඡ  ක්‍රියාවන් තවදුරටත් ඉවසාගෙන සිටීමට නොහැකි වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එවකට සිටි ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුළත් මුදලි මහතා තමන් වෙතට කැඳවුවේය. 


“ලලිත් මේක තවදුරටත් ඉවසගෙන ඉන්න බෑ. ඉන්දියාවට කුදගහගන්න කියලා අපි මොකක්හරි ටෆ් ඇක්ෂන් එකක් ගන්න ඕනෑ.....!”යි කීවේය.


ඇතුළත්මුදලි මහතා ඒ වනවිටත් යුද හමුදා ප්‍රධානීන්  සමග එක්ව නව යුද මෙහෙයුමක් සැලසුම් කර තිබුණේය. එපමණක් නොව එම යුද මෙහෙයුම භාරව කටයුතු කිරීම සඳහා සුදුසුයැයි  හැඟෙන ආඥාපතිවරුන්ද තෝරාගෙන සිටියේය. ඉතිරිව තිබුණේ ලොක්කා අණ දුන් වහාම මෙහෙයුම ඇරැඹීමය. එය නම්කර තිබුණේ වඩමාරච්චි මෙහෙයුම වශයෙනි.
එම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වූයේ උතුරේ ඊසාන දිග වෙරළ ප්‍රදේශයට පහරදී එහි  කොටි බලය විනාශ කර කොටින්ට පිටස්තර රටවලින් ලැබෙන යුද ආධාර වළක්වාලීමය. එමගින් ඊසාන දිග වෙරළ ප්‍රදේශයේ කොටි බලය අඩපණ කළ විට ඔවුන්ට තවදුරටත් යාපනය අල්ලා ගෙන සිටීමට නොහැකි වනු ඇතැයි ඇතුළත්මුදලි මහතා අනුමාන කළේය.
“ඔව්, ඒක හොඳයි. ඒ විදියට කරගෙන යන්න.....!’ කියමින් ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබාදී  තිබුණේ එය ඒ මොහොතේ කළ හැකි සුදුසුම ක්‍රියාව යැයි ඔහුටද පෙනීගිය බැවිනි. ඒ අනුව වඩමාරච්චි මෙහෙයුම ඇරඹුණු අතර ඊට සහභාගි වූ භට පිරිස් කොටින්ගේ වෙඩි ප්‍රහාරවලටද නොබියව මුහුණ දෙමින් ඉදිරියටම ගමන් කළහ.


ජාතික ආරක්‍ෂක ඇමති ලලිත් ඇතුළත් මුදලි මහතා වඩමාරච්චි  මෙහෙයුම ඇරඹුණු මුල් දින කීපය තුළ ඔහු දවසේ වැඩි කාලයක්  රැඳී සිටියේ යුද හමුදා මූලස්ථානයේ පවත්වා ගෙන ගිය මෙහෙයුම් මැදිරිය තුළය. 


වඩමාරච්චි යුද මෙහෙයුම ඉතා සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබියදී එවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ ජේ. එන්. ඩික්සිත් මහතාගෙන් ලලිත් ඇතුළත් මුදලි මහතා වෙත හදිසි දුරකථන ඇමතුමක් ලැබුණේ මේ අතරතුරය.


“ඇමැතිතුමනි, වඩමාරච්චි මෙහෙයුම නතර නොකෙරුණොත් අපේ රටට බරපතළ ලෙස මේ ප්‍රශ්නයට මැදිහත්වීමට සිදුවෙන්න පුළුවන්. ඒ බව ඔබේ ජනාධිපතිවරයාටත් කියන්න!’ යි කියමින් ඔහු කළේ ඉල්ලීමක්ද? නැත්නම් නියෝගයක්ද යන්න ඇතුළත් මුදලි මහතාට සිතා ගැනීමට පවා නොහැකි විය. එහෙත් ඒ ගැන ජේ. ආර්. ජයවර්ධන මහතාට දැනුම්දීමට නොගිය ඔහු නිහඬව බලා සිටියේය. ඊට හේතුවූයේ වඩමාරච්චි මෙහෙයුම තවත් සතියක පමන කාලයක් පැවතුණහොත් අනිවාර්යෙන්ම කොටින්ගෙන් යාපනය අර්ධද්වීපය බේරා ගැනීමට හැකි වන බව පෙනී ගොස් තිබීමය.


කෙසේ වෙතත් ඩික්සිත් ඒ වවිට තම රාජ්‍ය නායකයාට දැනුම් දී තිබුණේ තමන්ගේ ඉල්ලීමට ශ්‍රී ලංකාවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙතැයි තමන් නොසිතන බවය. ඒ මොහොතේ රජිව් ගාන්ධි ඇමැතිවරයාටද ශ්‍රී ලංකාවට වඩා වැදගත් වූයේ  තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලනඥයන්ගේ  හොඳ හිතය. ඒ අනුව ඔහු තම රටේ ගුවන් හමුදා ප්‍රධානීන්ට නියෝගයක් දුන්නේය.


එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තර නීතිය පවා අමු අමුවේ උල්ලංඝනය කරමින් ඉන්දීය ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා පහක් මිරාජ් - 2000 වර්ගයේ යුද ගුවන් යානා 4ක ආරක්‍ෂාව යටතේ පැමිණ යාපනය අර්ධද්වීපයට ඉහළ අහසේ සිට වියළි ආහාර ටොන් 22ක් හෙළීමය.


ඉන්දියාව විසින් කළ එම චණ්ඩිකම ඇතුළත්මුදලි ඇමැතිවරයාගේ පමණක් නොව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පවා දැඩි උදහසට ලක්වුවද ඊට එරෙහිව ඔවුන්ට කළ හැකි කිසිවක් නොතිබිණි. එහෙත් ඉන්දියාව කළ එම මැදිහත්වීම කොටි නායක ප්‍රභාකරන්ගේ සිතට දැඩි උත්තේජනයක් ගෙන දුන්නේය. ඔහුගේ අදහස වූයේ ඉන්දියාවේ තමිල්නාඩුව පමණක් නොව මධ්‍යම ආණ්ඩුවද තමන්ගේ පැත්තේ සිටින බවය. මේ අතර උතුරු - නැගෙනහිර සම්බන්ධයෙන් ඉන්දියාවෙන් අනවශ්‍ය බලපෑමක් සිදුවීමට ඉඩ ඇතැයි සැක සිතූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වඩමාරච්චි මෙහෙයුම වහාම නතර කරන්නැයි හමුදාවට නියෝගයක් නිකුත් කළේය.


ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුළත් මුදලි මහතා තම රාජ්‍ය නායකයාගේ එම තීරණය අසා දැඩි  විමතියට පත්විය. එසේ වූයේ ඒ වනවිටත් වඩමාරච්චි මෙහෙයුම ඉතා සාර්ථක ලෙස සිදුකෙරමින් තිබූ බැවිනි. තවත් සතියක්  එම මෙහෙයුම සිදුකරගෙන ගියහොත් ඒ වනවිට කුඩා ඉඩ ප්‍රමාණයකට කොටුවී සිටි කොටි නායකයා ඇතුළු ඔහුගේ සමීපතමයන් පවා කොටුකරගැනීමට හැකි වෙතැයි  ඇමැතිවරයාට පෙනී ගොස් තිබුණේය.


“ඉතින් ලොක්ක කියනවා නං මොනව කරන්නද? යි කියාගත්  ඇතුළත් මුදලි ඇමැතිවරයා තම රාජ්‍ය නායකයාගේ නියෝගය අකුරටම ක්‍රියාත්මක කරමින් වඩමාරච්චි මෙහෙයුම වහාම නතර කරන්නැයි හමුදා ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. එමගින් සිදුවූයේ රජයේ හමුදා භටයන්ගේ චිත්ත  ධෛර්යය පිරිහීයාම සහ කොටි සංවිධානයේ දුබලවෙමින් පැවැති යුද ශක්තියට නව උත්තේජනයක් ලැබීමය.


මේ අතර 1987 ජූලි මාසයේ මැද භාගයේ එක්තරා දිනයක ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජේ. එන්. ඩික්සිත් මහතා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හමුවී එක්තරා රහස්‍ය ලිපියක් භාර දුන්නේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා විසින් එවා තිබූ එම රහස්‍ය ලිපියේ සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ උතුරේ  ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා උදව් කිරීමට ඉන්දියාව සූදානම් බවය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මගින් සපුරාලිය යුතු කරුණු කීපයක් ගැන එමගින් අවධාරණය කර තිබුණේය.   


ඉන්දීය රජයේ එම යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තුළ විවිධ මතභේද හට ගැණුනද ජේ. ආර්., රෝනී සහ ගාමිණී වැනි ප්‍රබලයන්ගේ අභිමතය මත එය පිළිගැනීමට සෙසු පිරිසට සිදුවිය. අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස, සෞඛ්‍ය ඇමැති ගාමිණී ජයසූරිය මෙන්ම ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුළත් මුදලි යන මහත්වරුන්  සිටියේද ඒ ගැන දැඩි අප්‍රසාදයකිනි.


වෙනකක් තබා අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා එම කාලය තුළ විදෙස්ගතව සිටියේද රජීවි ගාන්ධි විසින් යෝජනා කර තිබූ කරුණු කාරණා පිළිගැනීමට විරෝධය පළකිරීමක් වශයෙනි. 


කෙසේ වෙතත් අන්තිමේදී දෙරටේ රාජ්‍ය නායකයන් අතර ඩික්සිත් ගේ මාර්ගයෙන් එකඟත්වයක් ඇතිකරගෙන තිබුණේ 1987 ජූලි මස 31 වැනිදා යෝජිත ගිවිසුමට කොළඹදී අත්සන් තැබීමටය.


එම කාල සීමාව තුළ අග්‍රාමාත්‍ය ප්‍රේමදාස මහතා විදේශගතව සිටියේ ‘අපි ඕවට නෑයි.....’ නොකියා කියමිනි. ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුළත් මුදලි මහතා නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. මේ අතර එම ජූලි 29 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා විශේෂ ගුවන් යානයකින් කටුනායකට පැමිණෙන විට දෙරටේ රාජ්‍ය නායකයින්ගේ ආරක්‍ෂාව සඳහා ‘බ්ලැක් කැට්ස් ’නමින් හැඳින්වෙන විශේෂ ආරක්‍ෂක භට පිරිසක් රැගත් ඉන්දීය නෞකා දෙකක් කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා තිබුණේ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීමට සූදානම්වය. ඊට හේතු වූයේ යෝජිත ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධතාවක් මතුවී  මුළු රටම ගිනියම්ව තිබීමය. 
දෙරට අතර ගිවිසුම අත්සන් කෙරෙන දා මුළු කොළඹ නගරය පුරාම ඇඳිරිනීතිය පනවා  තිබුණේය. එහෙත් රටේ බොහෝ පෙදෙස්වල ලංගම බස් හා රජයේ දේපළ ගිනි තැබීම් ඇතුළු කඩාකප්පල්කාරී ක්‍රියාවන් රැසක්ම සිදුවිය. මුළු රටම එලෙස ගිනි ගනිමින් තිබියදී ජූලි මස 31 වැනිදා නියමිත පරිදි දෙරට අතර යෝජිත ගිවිසුමට අත්සන් තබන ලද්දේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත් විසිනි.


ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීම ගැන කොටිනායක ප්‍රභාකරන් සිතුවේ එය තමන්ගේ ජයග්‍රහණයක් වශයෙනි. ජේ. ආර්. ජයවර්ධන මහතා ඊට සමාන අදහසක්  දැරුවා විය හැකිය. කෙසේ වෙතත් අන්තිමේදී සිදුවූයේ එම දෙපාර්ශවයේම ශක්තිය බාල කරමින් ඉන්දීය සාමසාධක හමුදාවක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට ගොඩබැස්සීමට රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරය සමත්වීමය.


මේ අතර තම කර්තව්‍ය  අවසන් කර ආපසු යාමට සූදානම් වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ගෞරව දැක්වීම සඳහා කොළඹ ජනාධිපති මංදිර පරිශ්‍රයේ පැවැති ආචාර පෙළපාළියේදී කෝපයෙන් සිටි නාවික හමුදා භටයෙකු තම තුවක්කු බඳින් රජිව් ගාන්ධිට පහර දුන්නේය.  ඔහු එසේ  කළේ තම රටට සිදුකළ එම බලහත්කාරකමට  විරෝධය පළ කිරීමක් වශයෙනි.

 

 

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි