ලෝකයේ විවිධ රටවල යම් යම් කාලවකවානුවලදී රාජ්‍ය පෙරළි, රාජ්‍ය කුමන්ත්‍රණ, කැරලි කෝලාහල, ජාතිවාදි අරගල, ආගම්වාදී අරගල - කුලවාදී අරගල හා විවිධාකාරයේ නොසන්සුන්තාවන් ඇති වූ අයුරු ඉතිහාසය පිරික්සීමේ දී පැහැදිලිව ඉස්මතු වී දක්නට ලැබේ. ඒවායින් සමහර සුළු පරිමාණ ඒවා වන අතර සමහරක් මහා පරිමාණ සිද්ධීන්ය. කැත්තෙන් පොල්ලෙන් කඩුවෙන් පටන්ගත් අරගල වර්තමානය වන විට අත්බෝම්බ, බිම්බෝම්බ, වාහන බෝම්බ, මිනිස් බෝම්බ, මිසයිල, න්‍යෂ්ථික අවි ආදිය දක්වාත් සාමාන්‍ය තුවක්කුවෙන් පටන් ගෙන ඒ.කේ. 47 වැනි ආයුධ හා ඉතා කුඩා පරිමාණයේ නවීන පිස්තෝල වැනි ආයුධ දක්වාත් විහිදී පැතිරී ගොස් ඇත.
ඒ අතර “ත්‍රස්තවාදය” යන වචනය ඉතා ප්‍රබලව ලොවපුරා නිරතුරුව භාවිතවන ආකාරයද දක්නට ලැබේ. හැම රටක්ම වාගේ ත්‍රස්තවාදයෙන් බැටකන අයුරුත් අහිංසක ජීවිත සිය දහස් ගණනින් නිරපරාදේ බිලිවන අයුරුත් සිහිපත් වනවිට සාමය කැමති ජනතාවගේ හදවතට දැනෙන්නේ බලවත් වේදනාවකි. මිනිස් ජීවිතයක වටිනාකම නොදත් අමනුෂ්‍යයන් වැනි පිරිසක් සිදුකරන මෙම ම්ලේච්ඡ ක්‍රියා හිතක් පපුවක් ඇති කිසිවෙකුට අනුමත කළ නොහැක. සාධාරණිකරණය කළ නොහැක. භීතිය, සංත්‍රාසය මතුවී සමස්ත සමාජයම අක්‍රිය කරවන මෙම දරුණු ව්‍යාධිය අප රටට ද බෝවී ඔඩු දුවමින් තිබෙන අයුරු දකින විට ඇතිවන්නේ මහත් කම්පාවකි. වේදනාවකි.
මෙවන් සමාජ පසුතලයක ඉතිහාසය ආවර්ජනය කරන විට 1971 අප්‍රේල් කැරැල්ල අපගේ මතකයට නැගේ. ජනතා විමුක්ති පෙරමුණ හෙවත් එකල ‘චේගුවේරා කල්ලිය’ යනුවෙන් හැඳින්වූ එම බලවේගය අප රටේ පාලන තන්ත්‍රයට විරුද්ධව පටන්ගත් කැරැල්ල අවසන් වූයේ කැරලිකරුවන් පමණක් නොව අහිංසක මිනිසුන්ගේ ජීවිතද විශාල ප්‍රමාණයක් තුවක්කුවට හා බෝම්බයට ගොදුරු කරවමිනි. පොලිස් ස්ථාන කීපයකට හිටි හැටියේ පහර දෙමින් රටේ පාලනය පැහැරගැනීමට අසාර්ථක උත්සාහයක නිරතවීම නිසා එම ශෝචනීය තත්ත්වය උදාවිය. රජය විසින් එම තත්ත්වය පාලනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අවුරුදු කිහිපයක්ම ගතවනතුරු යටපත් වූ ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්ත ක්‍රියා නැවත මතුවූවේ 1987 වර්ෂයේ සිටයි.
ඒ වන විට තහනම් සංවිධානයක් වශයෙන් රහසේ නැවතත් ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට සංවිධානය වූ ඔව්හු ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමත් පළාත් සභා ක්‍රමය බිහිවීමත් සමග තම අදහස් මුදුන් පමුණුවා ගැනීම සඳහා විප්ලවීය ගැටුම්කාරී ක්‍රියාවන්හි නිරතවීමට පටන් ගත්හ. 1987 ජූලි 27 වැනි දින ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළ දවසේ රටපුරා ඇති වූ ගිනිතැබීම විනාශ කිරීම් ඇතුළු කඩාකප්පල්කාරී ව්‍යසනකාරී සෑම ක්‍රියාවකටම ජේවීපී ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධ වූයේ සාමාන්‍ය ජනතාවගේ ද සහභාගිත්වය ඇතිවයි. හැම නගරයකම පාහේ බස් ඩිපෝ, ගොවිජන සේවා මධ්‍යස්ථාන රජයේ කාර්යාල ලංගම බස් ඇතුළු පොදු දේපළ විශාල වශයෙන් වැනසූ ඔවුන් රජයේ මැති ඇමතිවරුන් ප්‍රධාන පෙළේ නිලධාරීන් ආදීන් පසුපස හඹා ගියේ ඔවුන්ද ඝාතනය කිරීමේ අරමුණ ඇතිවය. ඉන්දු - ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති කළ පළාත් සභා ඡන්දය පවත්වන ලද්දේ ඉතා දරුණු භීෂණයක් මධ්‍යයේය.
1987 අවසාන භාගයේ පැවති පළාත් සභා ඡන්දයේදී සමහර දිස්ත්‍රික්කවලට අපේක්ෂකයින් පවා ඉතා අපහසුවෙන් තෝරා ගත්තේ ජේවීපී මරණ තර්ජනය ඔවුන් කරා යොමුකර තිබූ නිසාය. ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට මරණ තර්ජන එල්ලකර සමහරුන් ඝාතනය කළ නිසාම එකල රජයෙන් අපේකෂකයින්ට අවි ආයුධ හා ආරක්ෂක නිලධාරීන් පවා ලබාදීමට සිදු විය. බොහෝ අපේක්ෂකයින් ඉතා භයෙන් එම තරගයට ඉදිරිපත් වූ අතර එම පළාත් ඡන්දයේදී ඡන්දය භාවිත කළ අහිංසක ජනතාවටද නොයෙකුත් හිරිහැර විඳින්නට සිදුවිය. ත්‍රස්තයන් අතින් ඝාතනය වූ ප්‍රමාණය ද අතිවිශාලය. කෙසේ වුවද ප්‍රධාන වශයෙන් හම්බන්තොට - මාතර - ගාල්ල - කළුතර දිස්ත්‍රික්ක ප්‍රධාන කොට ලංකාව පුරා සෑම දිස්ත්‍රික්කයකම අහිංසක ජනතාව ඝාතනය කිරීම් - හැඳුනුම්පත් පැහැර ගැනීම්, දේපළ විනාශ කිරීම් ආදිය බහුල වශයෙන් සිදු විය. ඒ සිදුවීම්වල උච්චතම අවස්ථාවන් 1988 හා 1989 වර්ෂවලදී ඉතාමත් බරපතළ ආකාරයෙන් සිදුවිය. 1988 ජනාධිපතිවරණය අවසානයේදී රැස්වීම්වලට පවා ජනතාව පැමිණියේ ඉතාම ස්වල්ප වශයෙනි. පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණයද අඩුමට්ටමක පැවතිණි. 1989 මහමැතිවරණයේදීද එලෙසම විය. මුලින් ඡන්දය ප්‍රකාශ කළ අය වෙඩි තබා මරුමුවට පත් කළ අතර මළ සිරුර දණහිසින් ඉහළට ඔසවා ගෙනයාමද තහනම් විය. අවමඟුලකට සහභාගි විය හැකිව තිබුණේ ඉතා සීමිත සංඛ්‍යාවකටය. මානුෂීය අයිතිවාසිකම් පවා නැති කරමින් ඉතා ම්ලේච්ඡ ත්‍රස්තවාදයක් ඔවුන් ක්‍රියාත්මක කරමින් සිටි අවධියකදී තමයි අපට 1989 පෙබරවාරි 02 දින පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඉදිරිපත් වීමට සිදු වූයේ. ඉතා දරුණු භීෂණයක් පැවති සමයක ඡන්දයකට ඉදිරිපත්වීම දැඩි ජීවිත අවදානමක් වුවත් මම ද ඒ මැතිවරණයට ඉදිරිපත් වුණෙමි. ඡන්ද කාලයේදී දරුණු භීෂණ ක්‍රියා රැසක් සිදු වූ අතර දිනෙන්දින සිදුවන මිනිස් ඝාතන ප්‍රමාණයද ඉහළ ගියේය. කෙසේ වුවද ඡන්දය දා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයද ඉතා අවම මට්ටමක පැවතියේය.
මෙම භීෂණය මධ්‍යයේ 1989 පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළ මා හට මාස 3 ක් යෑමටත් මත්තෙන් ජේවීපී ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වන්නට සිදුවිය. ඡන්දයෙන් ජයග්‍රහණය කළ මා හට එකල මන්ත්‍රීවරුන්ට කොළඹින් ලබා දුන් නිවාස පහසුකම් අනුව මා හට ලැබුණේ ශ්‍රාවස්ති මන්දිරයේ කාමරයකි. අප හට ආරක්ෂාව සඳහා පොලිස් කොස්තාපල්වරුන් 4 ක් හෝ 5 ක් ලබා දී තිබූ අතර සෑම මන්ත්‍රීවරයෙකුටම එම ආරක්ෂාව ලබා දී තිබුණි. නාඳුනන එම ත්‍රස්තයින් කොතැනක කවරාකාරයෙන් ත්‍රස්ත ක්‍රියා සිදුකරයිද යන සැකය නිසා සෑම මන්ත්‍රීවරයකුම තම ගම් ප්‍රදේශවලට ගියේ ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙනයි.
මා ද ඒ අනුවම කටයුතු කළ අතර මන්ත්‍රී තනතුරට පත් වී මාස 2 කින් එළඹි සිංහල අලුත් අවුරුද්දට මා සිටියේ කොළොන්නාව හිඹුටාන ප්‍රදේශයේ මාගේ බිරිඳගේ නිවසේය. ශ්‍රාවස්තියේ සිට 1989 අප්‍රේල් 12 වැනි දා හිඹුටාන නිවසට ගිය මම එම මාසයේම 15 වැනිදා හම්බන්තොට මාගේ නිවසට ගොස් ඡන්ද දායකයින් මුණගැසීමට සැලසුම් කරගෙන සිටියෙමි. ඒ අනුව 12, 13, 14 හිඹුටාන නිවසේ සිටි මම අප්‍රේල් 15 වැනිදා උදේ 10.00 ට පමණ හම්බන්තොට බලා පිටත්වීමට සූදානම් වී සිටියෙමි.
මාගේ ආරක්ෂකයෝ හතර දෙනෙක්ද මා සමග සිටියහ. මෙසේ සිටින අතරතුර 15 වැනිදා උදාවූ අතර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හිසතෙල් ගෑම යෙදී තිබුණේ එදින උදේ 9.36 ට යි. උදේ පටන්ම රතිඤ්ඤා හඬ දස අතින් ඇසුණි. ඒ එදින හිසතෙල් ගෑමේ නැකත නිසාත් බොහෝ තැන්වල පවත්වන බයිසිකල් සවාරි ආදී අවුරුදු උත්සව නිසාත්ය. මේ සියලු වටපිටාව අතුරින් එකල පැවති වාතාවරණය නිසා මාගේ සිතේ ඇති වූ සිතිවිල්ලක් වූයේ ත්‍රස්තයන් මා හටද කොයි මොහොතක හෝ ප්‍රහාරයක් එල්ල කරාවිද කියාය. විශේෂ හේතුවක් නැතත් මැති ඇමතිවරුන් හා ප්‍රධාන නිලධාරීන් මරාදැමීම ඔවුන්ගේ එක අරමුණක් විය. සාමාන්‍ය වැසියන් මරා දැමීම මෙන්ම මෙම අරමුණද ඔවුන්ගේ එක් අදහසක් විය. ඒ කෙසේ වෙතත් තෙල්ගෑමේ නැකත උදාවීමට තව ඇත්තේ ස්වල්ප වේලාවකි. මා හා බිරිඳගේ පියා හා තවත් මාමා කෙනෙකු මැද සාලයේ රූපවාහිනියට දෙනෙත් යොමාගෙන සිටියෙමු. බිරිඳ කාමරයේ සිටියාය. ආරක්ෂක නිලධාරීහු මා සමග හම්බන්තොටට යාමට සූදානම් වූහ. හරියටම උදේ 9.36 උදා විය. හැම තැනම රතිඤ්ඤා පත්තු විය. ඒ සමග ඉදිරිපස නවතා තිබූ මාගේ වාහනයේ ඉදිරිපස වීදුරුවට වෙඩි පහරක් හෝ ගල් පහරක් වැනි යමක් වැදුණි. ක්‍ෂණයකින් තුවක්කු අමෝරා ගත් දෙදෙනෙක් තාප්පයෙන් පැන ගේ ඇතුළට එන අයුරු මම දුටුවෙමි. එවිටම මාගේ හිතට දැනුණේ මාව ඝාතනය කිරීමට මොවුන් එන බවකි. මම ඉතා ඉක්මනින් අසල තිබූ කාමරයට පැන දොර වසා ගත්තෙමි. දැන් මට ඇසෙන්නේ ගෙදර මැද සාලයේ මහා වෙඩි හඬකි. මා කාමරයට පනිනවාත් සමගම බිරිඳගේ පියාට කෑ ගසා මා කීවේ “ඔන්න මරන්න එනවා. ඇතුළට යන්න” කියාය. නමුත් ඔහු ඇතුළට යාම වෙනුවට ඉදිරියට ගොස් ඔවුන්ට කීවේ “වෙඩි තියනව නම් මට වෙඩි තිය න්න. පුතාට වෙඩි තියන්න එපා” යනුවෙනි. ඔවුන්ද තාත්තාට වෙඩි තියාගෙනම ගේ ඇතුළේ මැදසාලයට ඇවිත් වෙඩි හත අටක් හැම පැත්තටම එල්ල කළ අතර ගෙදර ඉදිරිපිට තිබූ කාමරේ හම්බන්තොට යාමට සූදානමින් සිටි පොලිස් රාළහාමිලා ත්‍රස්තයින්ට පෙරළා වෙඩි තැබූහ. ඔවුන්ටත් සිදු වූ දේ කුමක්දැයි සිතාගන්නට බැරි සෙයකි. ඒ නිසාත් මුළු ගේම වෙඩි වැදීමෙන් දූවිල්ලෙන් වැසී ගොස් තිබූ නිසාත් හරියට ඉලක්කයට වෙඩි තියන්න බැරි වෙලා තියෙනවා. ත්‍රස්තයින් දෙදෙනාගෙන් එකෙකුගේ කකුලට වෙඩි වැදිණි. ඔහුත් උස්සාගෙන අනිකා ඔවුන් පැමිණි මෝටර් සයිකලෙන් ගිහින් තිබේ. මේ සිද්ධියෙන් මා කොහොම හරි බේරුණා. මගේ බිරිඳගේ පියා මරණයට පත් විය. ඔහු සමග සිටි තවත් මාමා කෙනෙකුටද තුවාල විය. සිද්ධිය ආරංචි වූ විගස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා විදේශ අමාත්‍ය රංජන් විජේරත්න මහතා සියලු ආරක්ෂක පහසුකම් තවත් වැඩි කළේය. රංජන් විජේරත්න මැතිතුමා දැඩි අධිෂ්ඨානයක් ඇති අයෙකි. ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහාම කැප වූ අයෙකි. එදා ඔහු ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කරන්නට දිවි හිමියෙන් කැපවන බව කී අයුරු මට මතකය.