පාර්ලිමේන්තුවට තේරී පත් වන ජනතා නියෝජිතයන්ගෙන් ඇතැම් දෙනා පාරම්පරික ධනවත්හු වෙති. සමහරු ව්‍යාපාරිකයෝය. ඇතැම්හු ඡන්ද දායකයන් විසින්ම ලබාදුන් පරිත්‍යාග හා අනුග්‍රහ නිසා පොහොසත් වූවෝය. මේ අතරින් තවත් සමහරෙක් පාර්ලිමේන්තු බලය තුළින්ම වත් පොහොසත් වූවෝය.
කෙසේ වුවද තම වත්කම් හා බැරකම් හෙළි කිරීමට ඔවුන් බැඳී සිටින අතර අනිසි ලෙස උපයා ගත් හා නීතියෙන් පිට මහජන මුදල් වැය කර භාණ්ඩාගාරය කාබානිසියා කළ මැතිඇමැතිවරුන් පිළිබඳව දෝෂාභියෝග කොතෙකුත් ඇසේ. වත්කම් හෙළිකර නිර්දෝෂි වන ලෙස ඇතැම් මැති ඇමැතිවරුන්ට දේශපාලන බලවතුන් කොතරම් අවවාද කළත් ඔවුන් එම නියෝග ගණන් නොගන්නා අවස්ථා බොහොමයකි. ඇතැමුන් නීතියට හිස නමන බව පෙන්වමින් වත්කම් බැරකම් ලේඛනයන් බාර දෙන නමුත් ඒවා කෙතරම් දුරට සත්‍යදැයි දන්නේ දෙවියන් පමණි.
1969 සැප්තැබර් මස දී මැති ඇමැතිවරුන්ගේ වත්කම් හෙළි කිරීමේ පනතක් අගමැති ඩඞ්ලි සේනානායක ආණ්ඩුවට විසින් ගෙන එන ලදී. මේ පිළිබඳව ජාතික පුවත්පත් මගින් පුළුල් ප්‍රචාරයක් දෙන ලදී. 1969 සැප්තැම්බර් 06 වැනිදා මෙසේ පළ කෙරිණ. පනතට පෙර වත්කම් හෙළි කරනු (ලංකාදීප) මැති ඇමැති වත්කම් හෙළිකරනු (දිනමිණ) වත්කම් හෙළි වීම හරියයි. (දවස)
අගමැති ඩඞ්ලි පෞද්ගලිකව මැති ඇමැතින් හමු වී ඒ ගැන සහය ඉල්ලා සිටියේ මෙසේ කියමිනි. එය ඉල්ලීමක් මෙන්ම අණක් ද විය.
“නීති සම්පාදනය කරලා අනුමත වෙන්න කලින් වත්කම් හෙළි කරන එක ඇඟට ගුණය”.
ඒ සමගම රාජ්‍ය නිලධාරින්ගේ ද වත්කම් බැරකම් ලබා ගැනීමට 50 වසරකට පෙර කළ උත්සාහයන් එදා මෙන්ම අදටත් සාර්ථක වී නැත. වත්කම් බැරකම් හෙළි වුණා නම් රාජ්‍ය ආදායම ඉහළ යා හැකිව තිබූ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මාණ්ඩලික ශ්‍රේණියේ මෙන්ම ඉහළ ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන වත්කම් චෝදනාවලට තවම පිළිතුරු නැත. ඒවා සාක්ෂි නොමැති නඩු බවට පත්ව තිබේ.
වත්කම් ලේඛනයට අඩංගු වන්නේ බැංකු මුදල්, ස්වර්ණාභරණ, දෑවැදි, වාර්ෂික ආදායම, මෝටර් රිය වැය නිශ්චල හා චංචල අගයන් ලෙස එදා දැක්විණි.
ඡන්දයට පෙර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ඉල්ලා ඡන්ද කොමසාරිස්වරයා පවා නියෝග පනවා තිබිණ. අවසානයේ දී එක් අපේක්ෂකයකුගේ වත්කම් ජනතාවට දැන ගන්නට ලැබුණේ විරුද්ධ පාක්ෂිකයාගේ ඡන්ද වේදිකාවේ දීය.
2015 මහ මැතිවරණයේ දී රාජපක්ෂවරුන්ගේ වත්කම් බැරකම් පිළිබඳව ජනතාව දැන ගත්තේ එක්සත් ජාතික පෙරමුණු ඡන්ද වේදිකාවේදීය. රාජපක්ෂ අච්චර හොරකම් කළා. මෙච්චර හොරකම් කළා. සුදු වෑන්වලින් ඇවිත් පැහැර ගෙන ගියා. රජයේ මුදල් අවභාවිතා කළා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. රත්තරන් පොලු නැව් පිටින් හැංගුවා. ජම්බෝ යානා ගත්තා. රත්තරන් අස්සයෝ ගත්තා. යුද්ධයේ අවසන් කාලයේ අහිංසක ජනතාව මැරුවා. පවුලේ අයට රාජ්‍ය දේපළ ගසා කෑමට දුන්නා.
වැනි චෝදනා රැසක් රාජපක්ෂවරුන්ට එල්ල විය. ඔවුන්ගේ වත්කම් බැරකම් පිළිබඳව සෙවීමට පරීක්ෂණ සභා පවා පත් කර නීතිය හමුවට ගෙන යනු ලැබිණ. එහෙත් මේ චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හෝ ඔවුන් සිරගත කිරීමට හෝ වන්දි ලබා ගැනීමට කිසිදු නීතියකට මෙතෙක් නොහැකි වී ඇත.
1977 සිට පුරා වසර 17ක් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ දූෂණ වංචා අල්ලස නාස්තිය මහජන දේපොළ අවභාවිතය වැනි චෝදනා ලිපි ගොනුවලට පමණක් සීමා වූයේ කුමන ප්‍රාතිහාර්යකින් ද? ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට රජ කරමින් එකිනෙකා පිළිබඳ ලිපි ගොනු දඩමීමා කර ගැනීම හැර වත්කම් හෙළි වීමක් සිදු වී නොමැති බව විචාරකයන්ගේ මතයයි.
මේ වන විටත් මැති ඇමැතිවරුන් 08 දෙනකුගෙන් වත්කම් බැරකම් ඉල්ලා ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මගින් දැනුම්වත් කර ඇත. තව දින 21 ක් තුළ ඒවා ලබා නොදුනහොත් අල්ලස් හා දූෂණ කොමිසම ඉදිරි පිටට ඔවුන් ගෙන එන බවට ද අනතුරු හඟවා ඇත.
ඔවුන් නම් නවීන් දිසානායක, හරින් ප්‍රනාන්දු, මනෝ ගනේෂන්, එම්. හලීම්, අකිල විරාජ්, රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක සහ සජිත් ප්‍රේමදාස යන ඇමැතිවරුය. මේ බව මාධ්‍ය මගින් ද ප්‍රසිද්ධියට පත් කර ඇත.
නිදහසට පසු 1977 දක්වා මෙරට පාලනය කළ දේශපාලනඥයන්ට ජනතාවට හෙළි කිරීමට හෝ ඔවුන්ගෙන් වසන් කිරීමට තරම් වත්කමක් හෝ බැරකමක් නොවීය. ඔවුන්ට පම්පරාවෙන් ලැබුණු මන්දිර තැන්පත් ධනය වාහන හා ඉඩ කඩම් හැර කිසිවක් නොවිණ.
එදා ඇතැම් මහජන නියෝජිතයන්ට වාහන හෝ අතමාරු පරිත්‍යාග කර තිබුණේ ජනතාව ඔවුන් කෙරේ අනුකම්පා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. රත්නපුරේ රතු තරුව ලෙස විරුදාවලි ලැබූ සරත් මුත්තෙට්ටුවේගම වැනි නිරහංකාර ජනතා නියෝජිතයෝ එදා ඕනෑ තරම් සිටියහ.
ඔහු සතු දේපළක් ලෙස ඉතිරිව තිබුණේ 1960 ගණන්වල සිට මිය යන තුරුම පාවිච්චි කළ පරණ ජීප් රියත් ඔහු මරු තුරුලට ගොස් විනාශ වී ගිය ඩැට්සන් රියත් පමණි. රියැදුරු සිටිය දී තනිවම වාහනය පදවා ගෙන යාමට තරම් චාම් සරල ගති පැවතුම් ඔහු සතුව තිබිණ. රියැදුරාට ද සහෝදරත්වයෙන් සැලකූ සරත් අප්පො රියැදුරා අසනීප වී සිටිය දී තනිවම රිය පදවාගෙන ගොස් තම රාජකාරි කටයුතු තමාම කර ගත්තේය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයන් හිදී ද එවැනි චාම් සරල ගති පැවතුම් ඇති මන්ත්‍රීවරුන් රැසක් පිළිබඳව සුන්දර තොරතුරු අපට හමුවෙයි. අගමැති ඩඞ්ලි සේනානායකයන් දේශපාලනයෙන් විශ්‍රාම යන විට ඔහුගේ බැංකු පොතේ වූයේ රුපියල් 212 ක් වැනි සොච්චම් මුදලකි. රහස් ගිණුම් නොවිණ.
අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි වූ පසු ඇය නිවසට ගියේ උපන්දා සිට තමන් සතුව තිබූ පාරම්පරික ඉඩකඩම් ජනතාවට පවරා දීමෙනි. ඉඩම් සීමා පනත යටතේ ඇය සතු වූයේ අක්කර 50ක ඉඩම් ප්‍රමාණයකි. විරුද්ධවාදීන් ඇයට කෙතරම් චෝදනා කළත් මුදල් අයථා ලෙස පරිහරණය කළ බව හෝ හොර ගිණුම් සැඟවූ බවක් හෙළි නොවිණ.
අද ඇතැම් දේශපාලනඥයන්ගේ මෙතෙර හා එතෙර බැංකු ගිණුම් හිටි අඩියේ පිරී ඉතිරී ගොස් තිබීම ගැන ද නිතර අසන්නට ලැබේ. ඒවා සාධාරණ ලෙස උපයා ගත් මුදල් ද කොන්ත්‍රාත්වලින් හෝ කොමිස්වලින් ලැබුණු මුදල් ද එසේත් නොමැති නම් මත්ද්‍රව්‍ය හෝ නීති විරෝධී කටයුතුවලින් ලැබූ ඒවා ද එන්.ජී.ඕ. සංවිධානවලින් හෝ කොටි සංවිධාන ඇතුළු ජාත්‍යන්තර බලවේගවලට සහයදීම නිසා ලැබූ සන්තෝසම් දැයි බරපතළ සැකයක් නීති බලධාරීන් තුළත් මහජනතාව තුළත් ඇති වී පැවතිණ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වත්කම් බැරකම් හෙළි නොකළ ඇමැතිවරුන් අට දෙනා පිළිබඳව අල්ලස් හෝ දූෂණ මර්දන කොමිසමට පසුගිය 10 වැනිදා පැමිණිලි කර ඇත්තේ ඔවුන් ජනාධිපතිවරයාගේ නියෝගයන්ට පිටුපා ඇති බව පළ කරමිනි.
මෙතෙක් වත්කම් හා බැරකම් වාර්තා ඉදිරිපත් කළ පිරිස අතර කතානායක කරු ජයසූරිය, රාජ්‍ය ඇමැතිවරුන් වන බුද්ධික පතිරණ හා අනෝමා ගමගේ ද නියෝජ්‍ය ඇමැතිවරුන් වන කරුණාරත්න පරණවිතාන හා එඞ්වඞ් ගුණසේකර ද වෙති.
කෙසේ වෙතත් දේශපාලන ඩීල් හා උපක්‍රම අනුව වත්කම් බැරකම් වාර්තා යටපත් වීම නොවැළැක්විය හැක්කකි. මෙම වාර්තාව සැංගුව ද නීතියෙන් ඔවුන්ට දිය හැකි උපරිම දඬුවම වන්නේ රුපියල් 1000ක දඩය හෝ වසරක සිර දඬුවමකි. එබැවින් එම පනත සංශෝධනය කිරීමට ඉක්මනින් පියවර ගැනීමට අල්ලස් හා දූෂණ මර්දන කොමිසම කටයුතු කරයි. එදා රුපියලක් පවා රජයට වංචා කිරීම හෝ අල්ලස් ගැනීම සපුරා තහනම් වූ අතර ඔප්පු වුවහොත් නීතියෙන් හෝ දේශපාලන බලාධිකාරියෙන් මන්ත්‍රීවරයාට සහ ඔහුගේ ගෝල බාලයන්ට ගැලවීමක් නොවීය.
අල්ලස් චෝදනාවට වැරදිකරුවන් වූ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට බණ්ඩාරනායක යුගවල දී දඬුවම් විඳින්නට පවා සිදු විය. එහෙත් අද කෝටි ප්‍රකෝටි ගණනක් නීත්‍යානුකූලව උපයා ගත් බවට සහතිකයක් නොමැති මුදල් බැංකු ගිණුම්වල සංසරණය වන යුගයකි.
කළු සල්ලිකාරයන් හා පාතාල සාමාජිකයන් මෙන්ම අයි.එස්.අයි.එස්. එල්.ටී.ටී.ඊ. වැනි ත්‍රස්ත සංවිධාන අතපය දිග හැර මොනර කොළ විසි කරන සමයක බලලෝභී දේශපාලනඥයන්ගේ වත්කම් ගැන කියනුම කවරේද?
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි