දේශපාලන දැලේ පැටළුණ කලාකරුවෝ


“ඇත්ත වසා කොටි නළවා කකා බූන්දි දැන්නම් තොත්ත බබා වගේ ඉන්නව රජිව් ගාන්ධි”


දේ ශපාලන වාද බයිලා කලාව ඇරඹුවේ ප්‍රවීණ බයිලා ගායක තොටළඟ කුසුම්පාලය. ඔහු කලක් කොළොන්නාවේ නගර සභාව නියෝජනය කළේය. 1977 සිට හිටපු කතානායක එම්. එච්. මොහොමඞ් හා ගාමිණී දිසානායක මැති ඇමැතිවරුන්ගේ අනුග්‍රහයෙනි.


පණ්ඩිත් රත්නජංකර් 1952 දී මෙරටට ආවේ ගුවන්විදුලි ගායන ශිල්පීන් වර්ගීකරණය කිරීම සඳහාය. තොටළඟ කුසුම්පාල එදා ඒ ශ්‍රේණියේ බයිලා ගායකයකු ලෙස තේරිණ. වරක් ජනපති ආර්. ප්‍රේමදාසයන් ඇරයුමින් සරමද කලිසම ද යන මාතෘකාව යටතේ වාද බයිලා විවාදයකට එක්වූ බව ඔහු සඳහන් කරයි.


කලාකරුවන් සමග දේශපාලනඥයන් සමීපව කටයුතු කළ අවස්ථා මෙන්ම පවතින දේශපාලන වාතාවරණයට එරෙහිව නැගී සිටි කලාකරුවන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවූ අවස්ථා ඉතිහාසයේ බහුලය. 71 අප්‍රේල් කැරලි සමයේද 80 දශකයේ භීෂණ සමයේද එවැනි අතිදක්ෂ කලාකරුවෝ රැසක් එසේ දිවි පිදූහ. ඔවුන්ගේ දේශපාලන මතවාද හා ක්‍රියාවන් කුමක් වුවත් සිවිල් පුරවැසියන් ලෙස මුහුණ දෙන්නේ එකම ප්‍රශ්නවලටය. එනිසා සමාජ ක්‍රමය වෙනස්කිරීමේ නොනිමෙන පිපාසයෙන් ඔවුහු දේශපාලන කඳවුරුවලට බැඳෙති.


වාමාංශික නායකයකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා දේශපාලන වේදිකාවේ ප්‍රබල චරිතයක් වූ අතර සිංහල සිනමාවේ ද ආරම්භක නළු භූමිකාව රැඟුවේය.
සමගි පෙරමුණු ආණ්ඩුවේ වෙළෙඳ අමාත්‍ය ධූරය පවා ඉසිලූ ටී. බී. ඉලංගරත්න දක්ෂ ලේඛකයෙකු හා රංගධරයකු විය. නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ වී. ටී. ජී. කරුණාරත්නද සුදු කළු සිනමාවේ රංග ශිල්පියෙකු විය. හෙළ සිනමාවේ පතාක යෝධයකු වූ ගාමිණි ෆොන්සේකාගේ සිනමා දිවියේ කඩඉම වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත්ව අවසානයේ නියෝජ්‍ය කතානායක ධූරය ඉසිලීමයි.


මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ප්‍රතිභාපූර්ණ නිළි මාලනි ෆොන්සේකා මෙන්ම ප්‍රතිභාපූර්ණ නළු රවින්ද්‍ර රන්දෙනිය ද මන්ත්‍රී පදවි ඉසිලූහ. තැපැල් අමාත්‍යධූරය ඇතුළු වගකිවයුතු ඇමැති පදවි රැසක් දැරීමට ප්‍රතිභාපූර්ණ නළු ජීවන් කුමාරතුංග සමත් විය. මේ අය හැර පළාත් පාලන හා පළාත් සභා මට්ටමින් මන්ත්‍රීධූර රැසක් දැරීමට වේදිකා ටෙලි හා සිනමා ක්ෂේත්‍රවල කලාකරුවෝ සමත් වූහ.

50 - 60 දශකවල ප්‍රබල ජනමාධ්‍යයක් වූ කවිය තුළින් තම ජනතා ප්‍රසාදය දිනාගත් කාලකරුවෝ රැසක් පසු කලෙක දී දේශපාලන ක්ෂේත්‍රයට පිවිස නමක් දිනාගත්හ. පාර්ලිමේන්තුව හා සබාගැබ කවියෙන් එකලු විය.


සෝමවීර චන්ද්‍රසිරි ටී. බී. තෙන්නකෝන් පතිරාජ තෙන්නකෝන්, ටී. බී. ඒකනායක වැනි මැති ඇමැති චරිත ඒ අතර වෙති. ප්‍රාදේශීය දේශපාලනඥයන් අතරද දයාරත්න රණේපුර, වජිර පැල්පිට වැනි ප්‍රබල කවියෝ රජ කළහ.


මන්ත්‍රීධූර නොඉසිලුවද දේශපාලන කරළිය හෙල්ලූ කලාකරුවෝද වූහ. විශේෂයෙන් කාටුන් චිත්‍ර මගින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ විචාරයට ලක්කළ ශිල්පීහුද වූහ. යුනුස් මොටාගෙදර වනිගරත්න, ඩබ්. ආර්. විජේසෝම, තලංගම ප්‍රේමදාස, කේ. කරුණාදාස, අමිත අබේසේකර එදා දේශපාලකයන් දැනුම්වත් කළ අතර අද පුවත්පත් වලින්ද කාලීන දේශපාලන කාටුන් පළවෙයි.


ආදරවන්තයන්ගේ චරිත රඟපෑ සිනමාවට පැමිණි විජය කුමාරතුංග නම් ප්‍රතිභාපූර්ණ නළු ගායන ශිල්පියා සතුව තිබූ ජනතාවාදී අදහස් හා ඒවා ක්‍රියාවට නැංවීමට ඔහු ගත් දේශපාලනික ක්‍රියාමාර්ග නිසා ධනපති පාලකයන්ගේ සතුරකු බවට පත්විය.


එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක හා සිරිමා බණ්ඩාරනායක යන සිරිලක අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාගේ දියණිය සමග විවාහවී දේශපාලනයේ නව ගැම්මක් ගැනීමට ගිය එම කලාකරුවාට අයත් වූයේ අන්තවාදී දේශපාලනයේ ගොදුරක් වීමේ ඉරණමයි.


කවියන් ගැන සිහිපත් කිරීමේ දී වාග් කෞශල්‍යයෙන් අනූන කෘතහස්ත කවියකු වූ පී. මල්ලගොඩ ගැනද නොකියාම බැරිය. ඔහුගේ මුළු ජීවිතයම කැපකළේ දේශපාලනය වෙනුවෙනි.


විශේෂයෙන් ජේ. ආර්. ජයවර්ධන ජනපති සමයේදී ඔහු ලියූ කවි පන්ති රැසක් නිසා රාජ උදහසට ලක්විය. පුවත්පත්වලින් ඔහුගේ කවි වාරණය වන විට කවිපොත් මුද්‍රණය කර තම විරෝධය එදා පාඨකයාට කියා දුන්නේය. එහි ප්‍රතිඵලය වූයේ 41 වතාවක් රහස් පොලිස් මූලස්ථානයට කැඳවා ප්‍රශ්න කිරීමය. නූතන දේවදත්ත ඔහු ලියූ විවේචනාත්මක කෘතියකි.
දිවංගත සිනමා අධ්‍යක්ෂ ජෝදේව් ආනන්ද්ගෙන් පුවත්පත් කලාවේදියකු ඇසූ ප්‍රශ්නයකට දුන් පිළිතුර මෙසේය.


“1983 වන විට මා ඉන්දු ලංකා සම නිෂ්පාදන දෙකකට දායකවී සිටියා. ඒවා නම් ‘පයිලට් ප්‍රේමනාත් සහ රත්නත්තින් රත්නමේ’ අඩි 15,000ක් පමණ රූගත කළා. කළු ජූලිය නිසා වැඩ නතර කළා. ඉතිරි දර්ශන ඉන්දියාවේ කරන්න අවසර ලැබුණේ නෑ. මුදල් සියල්ල අපතේ ගියා.”

 


කළු ජූලිය නිසා මගේ වාහනයත් නිවසත් විනාශ වුණා. මා ඉන්දීය සිනමාවෙන් ආභාසය ලැබූවත් කවදාවත් කොපි චිත්‍රපට කළේ නෑ. කළු ජූලියෙන් විනාශ වුණේ මේ රටේ සිනමාවයි. හැඳල විජය චිත්‍රාගාරයට ගිනි තැබීම නිසා වටිනා දුර්ලභ චිත්‍රපට සේයාපට රැසක් දැයට අහිමිවූ අතර සිංහල සිනමාව දශක ගණනාවක් පසුබැස්සේය.
ඇන්. ඇම්. හා ලේක්හවුසිය අතර මතවාද හා මතභේද තිබූ බවත් ආචාර්ය ධනපාල බාලගේ පුන්කළස ශාස්ත්‍රීය සංග්‍රහයට හෙළිකර තිබිණ (2010.01.31)


මහියංගණ සෑයේ ගඩොල්වලින් වැසිකිළි හැදූ බවක් ආචාර්ය ඇන්. ඇම්. ප්‍රසිද්ධ රැස්වීමක කර තිබූ කතාවක් අසත්‍ය බව දිනමිණ පුවත්පත මහියංගණ නායක හාමුදුරුවන් ලවා ප්‍රකාශ කර තිබුණා. එම පුවත්පත් තමාගේ ප්‍රතිරූපයට වූ පාඩුවට හිලව්වන්නට 1973 දී ලේක්හවුසිය පවරාගන්නට ඇතැයි මට සිතෙනවා.


ලේක්හවුසිය පවරා ගැනීමට ඇන්. ඇම්. ගෙන ආ යෝජනාවට බණ්ඩාරනායක මැතිනිය කැමති වුණේ නැහැ. 


එහෙත් එය ඉටුවනතුරු වාමාංශිකයන්ට නින්ද ගියේ නෑ. ඇන්. ඇම්. ගේ බලපෑම නිසයි එම පියවර ගත්තේ ආචාර්ය බාලගේ පවසා තිබිණි.


1956 මැතිවරණයේ දී ලේක්හවුස් පුවත්පත් සර් ජෝන් කොතලාවලට සහය පළකළ අතර ඩී. බී. ධනපාලයන් කර්තෘත්වය දැරූ ලංකාදීපය සහය දුන්නේ බණ්ඩාරනායකයන්ටය. ලේක්හවුස් සහ ලංකාදීප පුවත්පත් සාහිත්‍ය කලාපෝෂණයේදී දේශපාලන භේදයෙන් තොරව එම කාර්ය ඉටු කළ බව ආචාර්ය බාලගේ පවසා තිබිණ. කාල්මාක්ස්ගේ දෘෂ්ටිකෝණයෙන් බැලූවිට අපට විශාල සමාජ පරාසයක් හඳුනාගන්න පුළුවන්. සිග්මන් ෆ්‍රොයිඞ්ගේ දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් එය විශාල සාගරයක් වගේ පෙනේවි. මේ ලෝක දෙක එකට ග්‍රහණය කර නවකතා ලියන්න කෙනෙක් තවම පහළ වී නෑ.


ඒ මහගත්කරු කේ. ජයතිලකගේ අදහසයි. හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, මහාචාර්ය සරච්චන්ද්‍ර, ජයලත් මනෝරත්න, ආර්. ආර්. සමරකෝන්, ගුණසේන ගලප්පත්ති වැනි නාට්‍ය කරුවන්ගේ නිර්මාණ තුළ සමාජ අසාධාරණය පිළිබඳ හැඟුම් දනවනසේ පෙරළිකාර මත ගැබ්විය.


මෙම කතා නැරඹීමට රඟහල වෙත පැමිණි මෛත්‍රීපාල සේනානායක හා ටී. බී. ඉලංගරත්න වැනි පේ්්‍රක්ෂකයෝ මුදල් දී ප්‍රවේශ පත්‍ර ලබාගත්හ. දිවංගත දයාරත්න රණේපුර කවියා සමාජ අසාධාරණය ගැන කියූ රණරාව බැලීමට රහසේ පැමිණි සමසමාජ නායක ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ප්‍රසංගය අවසානයේ දී රණේපුර වැලඳ ගත්තේය.
“සහෝදරයා කරන්නේ ශ්‍රේෂ්ඨ වැඩක්. අපිට දේශන සියයකින් කියාගන්න බැරි දේවල් සහෝදරයා එක කවි පන්තියකින් කියනවා. එහෙම තමයි වෙන්න ඕන.”


ඒ දැඩි මතධාරී දේශපාලනඥයන් පවා කවිය සංගීතය නිබන්ධය හා රැඟුම ඉදිරියේ මෙල්ලවන බවට කදිම නිදසුනකි.


දේශපාලනයට පිවිසුණු කලාකරුවන්ගෙන් සිනමාවට සේවයක් සිදුවී තිබේදැයි හිටපු අමාත්‍යවරයකු මෙන්ම ප්‍රතිභාපූර්ණ නළුවකු වන ජීවන් කුමාරතුංගගෙන් විමසීමු.
“කලාකරුවෙක් දේශපාලනයට එන්නෙ සිනමාවට සේවය කරන්න විතරක් නොවෙයි. දේශපාලනයේ දී එයා තමන් පත්කළ ජනතාවට වගකියන්න ඕනෑ. රටට පුළුල් සේවයක් කරන්න එයා බැඳී ඉන්නවා.” ජීවන් පවසයි.


මෙතෙක් කලාකරුවන් දේශපාලනයට පිවිසුණු තරමට කලාවේ හෝ කලාකරුවාගේ ප්‍රගතියක් සිදුවී නැතැයි තෘප්තිමත් විය නොහැකිය. මේ පිළිබඳ අපූරු අර්ථකතනයක් කළේ ප්‍රවීණ රංගධර ජෝ අබේවික්‍රම.


පක්ෂවල පාට වලින් විතරයි මිනිස්සු වෙනස්. කලාකරුවන්ට කලාව තියෙද්දි පක්ෂවලට ආවඩන්න ඕනෑ නෑ. මාත් ඒකාලෙ එහෙම කළා තමයි. නමුත් අද හිතෙනවා ඒවා පුස්සක් කියලා. කලාකරුවා ඉන්නේ දේශපාලනඥයාට වඩා ඉහළ තලයක. ජනතා විශ්වාසය අතින් කලාකරුවා උතුම්.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාආරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි