දේශපාලන පන්දු කෙළිය


 

 

ජයග්‍රහණයත් පරාජයත් ක්‍රීඩාවට පොදුය. දේශපාලන පිටියේදී සිදුවන්නේත් එයමය. කිහිපවරක් තරග කළත් පරාජය වන චරිත වරෙක අතිවිශිෂ්ට ලෙස ජයග්‍රහණය කරයි. පරාජය වී ඇපද රාජසන්තක වන දේශපාලනඥයෝ වාසනාවන්ත කාලයේදී විජයග්‍රහණය ලබා රජපුටුවට පවා පත් වෙති.


ජයග්‍රහණය ලබා වසර ගණන් රට පාලනය කර ජාත්‍යන්තර සම්මානයට පවා ලක්වූ දේශපාලනඥයෝ ගෙදර යන්නේ දූෂණ, වංචා හා අපරාධ පිළිබඳ චෝදනාවලට අපහාස විඳ ඡන්දයෙනුත්  පරාජය වෙමිනි. පිටියේ අපූරු දස්කම් පෑ ක්‍රීඩකයෝද අවාසනාවන්ත ලෙස සමුගනිති.


ශ්‍රී ලංකාවේ දේශාපාලනඥයන්ගේ  ක්‍රීඩා ඉතිහාසය දෙස බැලීමේදී ළමාවියේ සිටම ක්‍රීඩාවට දස්කම් දැක්වූ චරිත රැසක් හමුවෙයි. ඩී. ඇස්. සේනානායක, බණ්ඩාරනායක, ඇන්. ඇම්. පෙරේරා, කේ. බී. රත්නායක, ජෝර්ජ් රාජපක්‍ෂ, කොල්වින් ආර් ද සිල්වා, අර්ජුන රණතුංග, ගාමිණී දිසානායක, වී. ඒ. සුගතදාස වැනි දේශපාලනඥයෝ ඒ අතර වෙති.
1964.04.24 වැනිදා දවස පත්‍රය දේශපාලනඥයන් අතර වූ ක්‍රිකට් තරගයක් මෙසේ වාර්තා කළේය.


“අනුර පුතාට ඇන්. ඇම්. පරාදයි” එහි උධෘතය විය.


“ඊයේ (23) නුවරඑළියේ පැවති දේශපාලනඥයන් අතර ක්‍රිකට් තරගයෙන් ඇන්. ඇම්. පෙරේරාගේ නායකත්වයෙන් යුතු වූ කණ්ඩායම අගමැති පුත් අනුර බණ්ඩාරනායක නායකත්වය ඉසිලූ කණ්ඩායමට පරාජය විය. මෙම තරගය පැවතියේ සිරිමාවෝ අගමැතිනිය පදිංචිව සිටි ‘ද ලොජ්’ නිවාසයේ ක්‍රීඩා කණ්ඩායම සහ මන්ත්‍රී නිල නිවාසය පිහිටි ජෙනරල් ප්‍රදේශයේ කණ්ඩායම අතරය.


ද ලොජ් කණ්ඩායමට ඇතුළත් වූ පිරිස අතර සිරිමාවෝ මැතිනියගේ සොහොයුරා වන සීවලී රත්වත්ත, කාරක සබා උප සභාපති අයි. ඒ. කාදර්, ලෙස්ලි ගුණවර්ධනගේ පුත් සුරේන් ගුණවර්ධන හා මානෙල් උඩුරාවණ මහත්මිය ද වූහ. ජෙනරල් කණ්ඩායමට සමසමාජ පක්‍ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, රත්ගම මන්ත්‍රී ඩී. ඊ. තිලකරත්න, යටිනුවර මන්ත්‍රී යූ. බී. විරසේකර, පානදුර මන්ත්‍රී ලෙස්ලි ගුණවර්ධන සහ සුරේන් වික්‍රමසිංහද ඇතුළත් වූහ.


මෙම ක්‍රිකට් තරගය සංවිධානය කළේ ප්‍රබල වාමාංශික දේශපාලනඥවරියක වූ විවියන් ගුණවර්ධන මහත්මිය විසිනි. මෙම සීමිත ඕවර් ක්‍රිකට් තරගයේදී අනුර මෙහෙය වූ ද ලොජ් පිල ලකුණු 35ක්ද, ඇන්. ඇම්. මෙහෙය වූ ජෙනරල් පිල ලකුණු 20ක්ද ලබාගත්හ. තරගය විනිශ්චය කළේ අයි. ඒ. කාදර් මහත්මිය හා යූ. බී. වීරසේකර මහත්මියයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ දීප්තිමත්  ශිෂ්‍ය නායකයකු වූ දොන් ස්ටීවන් සේනානායක හෙවත් මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායකයන්ගේ  තරුණ විය තුළ ක්‍රීඩා කෞශල්‍යය  විදහා පෑ අවස්ථා රැසක් විය.


ඉගෙනීමට වඩා එතුමා පාසල් ක්‍ෂේත්‍රය තුළ  ප්‍රචලිතව සිටියේ ක්‍රීඩා ශූරයකු ලෙසිනි. මල්ලවපොර, ක්‍රිකට්, පාපන්දු, වොලිබෝල්, ටෙනිස් සහ බොක්සිං ක්‍රීඩා ඉසව් සඳහා දැඩි ඇල්මක් දැක්වූ එතුමා 1900 - 1902 කාලයේ එහි ක්‍රීඩා ශූරත්වය විදහාපෑවේය. නමුත් මියයනතුරුම ඔහුගේ විනෝදාංශය වූයේ අසුන්පිට යාමය.  
1952 මාර්තු මස 21 වැනිදා ගෝල්ෆේස් පිට්ටනියේදී ඩී. ඇස්. සේනානායක අගමැතිවරයා අසුපිටින් වැටී බරපතළ තුවාල ලැබූ අතර 22 වැනිදා අභාවප්‍රාප්ත වූ එතුමාගේ දේහය මහජන ගෞරවය පිණිස නියෝජිත මන්ත්‍රී මණ්ඩල ශාලාවේ තැන්පත් කරන ලදී.


තරුණ බණ්ඩාරනායක පාසල් වියේ සිටම ක්‍රීඩාභිලාෂියකු වූ අතර ඔහුගේ ප්‍රියතම  ක්‍රීඩාව වූයේ ටෙනිස් ය. 1924 දී ඔක්ස්පර්ඞ් සරසවියේදී ක්‍රීඩා දස්කම් දැක්වූ එතුමා කොළඹ ලෝන් ටෙනිස් සමාජයේ සාමාජිකයෙකු විය. දේශපාලනය නිසා ක්‍රීඩාවෙන් ඈත්වනතුරුම ටෙනිස්, බිලියඞ්ස් සහ අසුන්පිට යාම ප්‍රිය කළ අතර බල්ලන් ඇති කිරීම විනෝදාංශ විය.
එංගලන්තයේදී හා මෙරටදී එතුමා දිනූ ටෙනිස් ක්‍රීඩාව සඳහා  ලැබූ රිදී කුසලාන එතුමාගේ පුස්තකාලයෙහි විය. කවුරුත් නොදන්නා තොරතුරක් වුවද තරුණ බණ්ඩාරනායක වෙඩි තැබීමේ ශූරයකු ද විය. මහවලතැන්න වලව්වේ බිත්තියේ සවිකර තිබූ මීහරක් හිස සහ අලි හොඬවැල ඊට නිදසුන්ය. මීහරකා යාල වනයේදී ද අලියා පලාතුපානේදී ද රදලවරුන්ගේ පෙළැන්තිය වෙනුවෙන් දිවි පිදූහ.


නයාට අඳුකොළ මෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් ලංකා සමසමාජ පක්‍ෂයත්  මිතුරු වූයේද ක්‍රිකට් ක්‍රීඩාව තුළිනි. ඇන්. ඇම්. තම පාක්‍ෂිකයන් කිහිප දෙනෙකු සමග නුවරඑළිය අගමැති බංගලාවට ගියේ හදිසි අවශ්‍යතාවකට මැතිනිය හමුවීමටය.


එහිදී අහම්බයෙන් තරුණ අනුර බණ්ඩාරනායක සමග ක්‍රිකට් ගැන කතා බහකට යොමුවිය. අගමැති බංගලාව ආශ්‍රිත ක්‍රීඩාපිටියේ  ඔවුහු  ක්‍රිකට් ක්‍රීඩා කළහ. ක්‍රීඩාව නිමාවනවිට ඇන්. ඇම්. හා අනුර අතර දැඩි මිත්‍රත්වයක් ඇතිවූයේ සමසමාජ පක්‍ෂයේ සුහදත්වය ආණ්ඩුවට හිමිවීමෙනි. පසු කාලයේදී ඇන්. ඇම්. සමග ලංකා සමසමාජ පක්ෂයේ කොල්වින් ආර් ද සිල්වා සහ අනිල් මුණසිංහ යන මහත්වරු මැතිනියගේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර පවා බාරගත් අතර එම එකමුතුව නිසා රැජිනගේ පාලනයෙන් මිදුණු අපේ රටට ස්වාධීන ස්වෛරී ජනරජ භාවය හිමිවිය.


මේ පිළිබඳ තොරතුරු දිවංගත  මාධ්‍යවේදී එස්. තිල්ලෙයිනාදන් ලියූ පනස් වසරක පාර්ලිමේන්තු වාර්තා කරණය ග්‍රන්ථයේ  සඳහන්ව තිබිණ. මිතුරු දම එතැනින් නතර නොවුණි. පක්‍ෂ දෙක අතර සමගිය පවත්වාගන්නට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කර ගැනිණි. 1970 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමත් කොළඹ නගර සභා කණ්ඩායමත් අතර ක්‍රිකට් තරගයක් විය. පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා වූයේ ඩඞ්ලි සේනානායකය. ඒ වනවිට එතුමා විපක්‍ෂය නියෝජනය කළේය. ඩඞ්ලිගේ කණ්ඩායමට ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා නම් කෙරිණ. එය දෛවෝපගත සිද්ධියක් වූයේ එජාපය සහ සමසමාජය සතුරු පක්‍ෂ බැවිනි.

ඒ මදිවාට ඩඞ්ලිගේ කණ්ඩායම වෙනුවෙන් තරග කිරීමට ආචාර්ය ඇන්.එම්. පෙරේරා ද නම් කෙරිණ. එය කොල්වින්ට ලොකු සැනසීමක් විය. ශ්‍රීලනිපය වෙනුවෙන් ඩඞ්ලිගේ කණ්ඩායම නියෝජනය කළේ ජෝර්ජ් රාජපක්‍ෂ සහ  අනුරාධපුර මන්ත්‍රී කේ. බී. රත්නායකය.


තරගයේ ප්‍රතිඵල සඳහන් නොවෙතත් හොඳම පන්දු යවන්නා ලෙස ඇන්. ඇම්. පත්වූ බව නොරහසකි. අර්ධ  ශතක ගත් අය අතර ඩඞ්ලි සේනානායක, කේ. බී. රත්නායක සහ ජෝර්ජ් රාජපක්‍ෂ වූහ. ක්‍රීඩාව නිමවූ අවස්ථාවේ පක්‍ෂවල කොයි කවුරුත් පාසල්  ළමුන් මෙන් උඩ පැන නටා සින්දු කියමින් විනෝද වූ බව සඳහන් වේ.


ක්‍රීඩා කටයුතුවලට කෙළින්ම එක්නොවුණත් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා දිරිදුන් දේශපාලනඥයෝ බොහෝය. ක්‍රීඩා ඇමැතිකමකට පත් නොවුණද ක්‍රීඩාංගණ ඉදිකිරීම්, ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම් වැනි  කටයුතුවලදී ඔවුන් උපකාර කළ අවස්ථා ඇත. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය වී.ඒ. සුගතදාස ක්‍රීඩාංගණය වැනි මහා පරිමාණයේ හා ප්‍රාදේශීය ක්‍රීඩාංගණවලට දේශපාලනඥයන්ගේ නම් යොදා ඇත්තේ එබැවිණි. මෙම ක්‍රීඩාංගණවලට සම්බන්ධ කි්‍රීඩා සංගම්වලින් මෙහෙයවන තරගාවලි සඳහා ද ඉන් පිරිනැමෙන කුසලාන සඳහා ද යොදා ගැනෙන්නේ ඊට උපකාර කළ දේශපාලනඥයන් අභියෝග සහ අනුස්මරණ කුසලාන නමිනි. මෑතක් වනතුරු ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනු  ලැබුවේද දේශපාලනඥන් විසිනි.
1965 නොවැම්බර් මස 20 වන දින සවස රත්නපුරේ ක්‍රීඩාංගණයේ පාපන්දු ක්‍රීඩා තරගයක් සංවිධානය කර තිබිණි. ඒ රතුතරු - ක්‍රීඩා සමාජය හා රත්නපුර පොලිසිය අතරය. රතු පිල ජය ලබන ලකුණු පහළ වන්නට විය.


ඒ මොහොතේ ඔවුන්ට එල්ල වූයේද නොසිතූ ප්‍රහාරයකි. නරඹන්නන්ටද හොඳහැටි ගුටි වැදුණ අතර ඔවුහු හිස හැරුණු අත දිව ගියහ. එම මොහොතේ එම කලබලය සමතය කිරීමට එතැනට කඩා වැදුණේ සරත් මුත්තෙට්ටුවේගමය.


එතුමා එම ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාය. එතුමා දුටු විගස පොලිස් ක්‍රීඩකයන් පලාගිය අතර සරත් තුවාල ලැබූ ක්‍රීඩකයන් ගෙන ගොස් රෝහලට ඇතුළත් කළේය. පහරදුන් අයට එරෙහිව රත්නපුර මහේස්ත්‍රාත්  අධිකරණයේ නඩු පැවරීය. පොලිස් ක්‍රීඩකයන් පස් දෙනෙක් විත්තිකරුවෝ වූහ. මේ අතර තමන්ට පහර දුන් බව කියා රතුතරු පිලේ තවත් ක්‍රීඩකයෙක් පොලිසියට එරෙහිව පැමිණිලි කළේය. රතුතරු පිල වෙනුවෙන්  සරත් පෙනී සිටි අතර පොලිස් ක්‍රීඩකයන් සමාව ඉල්ලූ බැවින් නඩු දෙකම සමථයකට පත් වින.
මෙම පොලිස් පහරදීමට එරෙහිව ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ රත්නපුර ශාඛාවේ මෙහෙයවීමෙන් රත්නපුර නගර සභාවේදී විශේෂ රැස්වීමක් කැඳවන ලද අතර සරත් මුත්තෙට්ටුවේගමට එහි මුලසුන පිරිනැමුවේ පක්‍ෂ භේදයකින් තොරවය. එවකට රත්නපුර එජාප මන්ත්‍රීවරයා වූ ධනපාල ආටිගල නියෝජනය කරමින් නීතිඥ තිලක් ගුණරත්න ඊට සහභාගි විය. පොලිස් පහරදීම ගැන උණුසුම් කතා පැවැත්විණ.


“මේක ක්‍රීඩා සමාජයට විතරක් නෙවෙයි. මානව හිමිකම අගයන සාමකාමී සමාජයටම කරපු පහරදීමක්. පොලිස් බලය තිබුණා කියලා අසාධාරණයට දිනන්න ඉඩ දෙන්න බෑ.
කථිකයෝ එකහෙළා පැවසූහ. එවලේ රත්නපුර නගර ශලාව වෙත ගල් වරුෂාවක් එල්ල විණ. එහි වහලය හා දොර ජනෙල් විනාශ විය. ගල් ප්‍රහාරය ආවේ රත්නපුර පොලිස් තනිකඩ නිවාසය දෙසිනි. දීර්ඝ නඩු විභාගයකින් පසු ඊට අලාභය නගර සභාව වෙත අයකර ගැනීමටත් පොලිස් දෙපාර්තමේන්තුව  වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදීමට සැලසීමටත් උසාවිය මගින් නියෝග ලැබිණ. ඒ සරත් මුත්තෙට්ටුවගම මන්ත්‍රීවරයාගේ දක්‍ෂ නීති උපක්‍රම මගිනි.


එසේ නොවන්නට නගර සභා රෙගුලාසි අනුව ශාලාව කුලියට ගත් රතුතරු ක්‍රීඩා සමාජයට වරද පිළිගෙන අලාභ ගෙවීමට සිදුවීමට තිබිණි.


රටේ පෞරුෂත්වයේ ජීවනාලිය බඳු ක්‍රීඩාවට එරෙහිව එල්ලවන බාධා අවහිර වෙනුවෙන් දේශපාලනඥයන් නිසි ලෙස පෙනී සිටින්නේ නම් මේ රටේ ක්‍රීඩාව ඉහළටම ඔසවා තැබීම අසීරු නොවන බව පසුගියදා මලල ක්‍රීඩකයන් ජාත්‍යන්තරයේ ලැබූ ජයෙන් තහවුරු වේ.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි