දේශපාලන පොරපිටිය කලඹවන මුස්ලිම් විවාහ නීතියේ පුරාණය


 

 

මානව සංහතියේ පැවැත්ම සහතික කෙරෙන බැඳීම හඳුන්වන නාමය වන්නේ විවාහයයි. ශිෂ්ට සම්පන්න සමාජයක චිරස්ථායි පැවැත්ම රඳා පවතිනුයේ විවාහ නිසා ගොඩනැගෙන පවුල නම් ඒකකය මගිනි. යහපත් පවුල් ඒකක රැසක් එක් වීමෙන් යහපත් සමාජයක් ගොඩනැගෙන බව විද්වත්හු ප්‍රකාශ කරති. ඒ නිසා ඕනෑම සමාජයක මෙම විවාහය නමැති සංසිද්ධිය කෙරෙහි හිමිවනුයේ සුවිශේෂී තැනකි. ජාති, ආගම් වශයෙන් සැලකූ විට විවාහය සහ විවාහ ජීවිතය ගැන විශේෂ අවධානය යොමුකර තිබීමත් ඒ පිළිබඳ ව්‍යවස්ථා පනවා තිබීමත් දැකගත හැකිය.


මෑතක දී ඇතිවූ පාස්කු ප්‍රහාරය නිසා මතු වූ වාස්තවික තත්ත්වයන් මත විශේෂයෙන්ම මුස්ලිම් විවාහ නීතිය ගැන මහත් වූ සංවාදයක් මේ දිනවල සමාජගතව තිබේ.
මෙරට දේශපාලන ලෝකය මහත් කම්පනයකට පත් කළ පාස්කු ප්‍රහාරයත් එයට සමගාමීව මතුවුණු තවත් බොහෝ කරුණු කාරණාවන් ද නිසා මුස්ලිම් විවාහ නීතිය පිළිබඳව ද කතාබහක් මතු විය. ඒ ගැන ආගමික නායකයන් පමණක් නොව දේශපාලන නායකයෝ ද ජනමාධ්‍ය මගින් නොයෙක් විට අදහස් දැක්වූහ. මුස්ලිම් ජන සමාජයේ වෙසෙන අදාළ වගකිවයුත්තන්ගේ සාමූහික තීරණයක් මත අවශ්‍ය නම් වෙනස්කම් සිදුකළ යුතු බව ඔවුහු අදහස් දැක්වූහ. චාරිත්‍ර වාරිත්‍ර සහ ආගමික ඉගැන්වීම් මත පදනම් වූ මෙවැනි කරුණු විසඳාගත යුතු වන්නේ ඒ ආකාරයෙනි.

 

 


සමහර අය පිළිගැනීමට අකමැති වුවත් ශ්‍රී ලාංකීය ජනතාව බහුවිධ සමාජයකි. ආගම් කීපයක් අදහන ජනවර්ග කීපයක් ජීවත් වන සමාජයකි. එහි සාමකාමීව සහෝදරත්වයෙන් සහ සංහිඳියාවෙන් යුතුව දිවි ගෙවීමට නම් අන්‍යොන්‍ය ගරුත්වය පුදකිරීම සිදුවිය යුතු අතර සහෝදර ජාතීන්ගේ සංස්කෘතිය පිළිබඳව යම් පමණකට හෝ අවබෝධයක් ලබා සිටීම ඉතා වැදගත්ය. ඒ නිසා එය දේශපාලන කටයුතු කෙරෙහි ද සිදුකරනුයේ අතිමහත් බලපෑමකි. නොයෙකුත් කටකතා, ප්‍රවාද පැතිරී ඇත්තේ එම අවබෝධය නොමැතිකම නිසාය.
ඉස්ලාම් විශ්වාසයට අනුව ලොව බිහිවූ ප්‍රථම මිනිසා ලෙස සලකන ආදම් (අලෛ) තුමා එම බිරිඳ සමග ගත කළ ගිහි ජීවිතයේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ මිනිස් සංහතිය ඇති වූ බව සලකනු ලැබේ. එම යුගයේ විවාහය යන සංකල්පය නොතිබෙන්නට ඇත. එසේ වුවත් සැමියා, බිරිඳ සහ දරුවන් ද ඇතුළත් පවුල නමැති ඒකකය ක්‍රියාත්මක වූවාට සැක නැත. මානව වර්ගයාගේ පැවැත්ම ඉදිරියට ගෙන යාම සඳහා පවුල් ජීවිතයක් වශයෙන් සකස් කර පවුලක් වශයෙන් එක්ව ජීවත්වීමේ මානසික පෙලඹවීම අල්ලාහ් නආලා විසින් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය තුළම කාවද්දා ඇති බවත් එය සදහටම සිදුවෙමින් ඉදිරියට යන බවත් ඉස්ලාම් භක්තිකයෝ තරයේ විශ්වාස කරති.”

 

දුර ඈත අතීතයේ සිටම අරාබිවරු රණකාමී යුදවාදී පිරිසක් වූහ. එකිනෙක ගෝත්‍ර අතර මෙන්ම ආගම් නිසා ඇති වූ යුද්ධ නිසා ද ඔවුහු නිතර යුදවැදී මරා ගත්හ. මේ නිසා එකී අරාබි සමාජයේ බොහෝ කාන්තාවෝ වැන්දඹු සහ අනාථ බවට පත්වූහ. විශේෂයෙන් හිජ්රා තුන්වැනි වර්ෂයේ දී උහ්ද් සටනේ දී මුස්ලිම්වරු බොහෝ දෙනෙක් මරුමුවට පත් වූහ.

 


ඕනෑම ආගමක චාරිත්‍ර, වාරිත්‍ර සහ ශික්ෂාපද මෙන්ම නීති රීති බිහිවීමේ දී එම ආගම බිහිවන විට පැවැති සමාජ හා දේශපාලන වටපිටාව මහත් සේ බලපාන බව අපි අත්දැකීමෙන් දනිමු. නිදසුනක් ලෙස සලකන්නේ නම් අපට බොදු දහම ඇතිවූ පසුබිම ගැන සලකා බැලිය හැකිය. සොලොස් මහා ජනපද පිහිටි දඹදිව් රාජ්‍යයේ මගධය කෘෂිකාර්මික ප්‍රදේශයක් වූවේය. ශුද්ධෝදන ධෝතෝධන ආදී නාමයන් පවා ඒ අනුව සැකසුණු පාලි නාමයන් බව විද්වත්හු පෙන්වා දෙති. එමෙන්ම බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේලාට එතුමන් පලඳින සිවුර සකස්කර ගැනීමට උපදෙස් දී ඇත්තේ ද කුඹුරක ලියැදිවල හැඩයට අනුවය. වසර දෙදහස් පන්සියයකට පසුවත් බුද්ධ ශ්‍රාවකයෝ එම නියමය පිළිපදිති.
ඉස්ලාම් ආගම ලොවට බිහිවූයේ ශිෂ්ට සම්පන්න නොවූ ආධ්‍යාත්මක ගුණ වගාවෙන් තොර වූ කාන්තාරවාසී නපුරු මිනිස් කොට්ඨාසයක් අතර බව මෙහිලා සඳහන් කිරීම එම ආගමිකයන්ට කරන අසාධාරණයක් නොවේ. එම කෘර ජන සමාජය යහමගට ගෙන යහපත් මිනිසුන් බවට පත් කිරීමේ පරම අධිෂ්ඨානය අල්ලාහ් නආලා තුළ පැවතුණි. මහම්මත් නබිතුමා මගින් කුරානය ලෝකයට පහළ කිරීමට අල්ලා නආලා කටයුතු කළේ එබැවිනි. එය එසේම ඉටු වූ බව ද කියනු ලැබේ. නබිතුමාගේ ධර්මය පිළිගැනීමට පවා මෙම කාන්තරවාසී අරාබිවරු මුලින් එකඟ නොවූහ. ඔවුහු නබිතුමාට විරුද්ධව යුද වැදුණහ. එතුමා මක්කම සිට මදීනාවට පැන ගියේය. ඒ ධර්මය රැකගැනීමට මෙන්ම තම ජීවිතය ආරක්ෂා කර ගැනීමටත්ය. ඉස්ලාමය ලැබීමට පෙර අරාබි සමාජයේ දුරාචාරය, මංකොල්ලය, ගස්ගල් වන්දනාව, ස්ත්‍රී දූෂණය, නිමක් නොවන ආකාරයේ බහුභාර්යා සේවනය පැවැති බව සත්‍යයකි. එය එම සංස්කෘතියේ අංගයක් බවට පත්ව තිබුණි. එම යුගයේ විසූ සමහර ගෝත්‍ර නායකයෝ බිරින්දන් සිය ගණනින් තම අඹු තනතුරෙහි තබා ගත්හ. මෙවැනි තත්ත්වයන් දකුණු ආසියාවේ නොයෙක් රටවල ද පැවැති බව පොත්පත්වල සඳහන් වේ. ශ්‍රී ලංකාවේ පවා සමහර රජවරුන්ට අන්තඃපුර පැවැති බවත් ඒවායේ රජුට අභිමත පරිදි බිරින්දන් සිටි බවත් කියවේ. රන්දෝලිය, රිදී දෝලිය, යකඩ දෝලිය ආදී වශයෙන් අදටත් අප භාෂාවේ ඉතිරිව ඇති වචනවලින් සිහියට නැගෙන්නේ එම බහුභාර්යා සංකල්පයයි. ඒ නිසා සීමා රහිතව අරාබි සමාජයේ පැවැති කාන්තා පරිහරණය එක්තරා සීමාවකට පැමිණවීම සහ අවම කිරීම උදෙසා යමෙකුට කාන්තාවන් හතර දෙනෙකු පමණක් විවාහ කර ගත හැකියයි අනුබලයක් දී තිබේ. මෙය එකල සමාජයේ පැවැති අසීමාන්තික විවාහ මැඩ පැවැත්වීමට ගත් ප්‍රයත්නයක් ලෙස හඳුන්වා දී තිබේ.

 

 


දුර ඈත අතීතයේ සිටම අරාබිවරු රණකාමී යුදවාදී පිරිසක් වූහ. එකිනෙක ගෝත්‍ර අතර මෙන්ම ආගම් නිසා ඇති වූ යුද්ධ නිසා ද ඔවුහු නිතර යුදවැදී මරා ගත්හ. මේ නිසා එකී අරාබි සමාජයේ බොහෝ කාන්තාවෝ වැන්දඹු සහ අනාථ බවට පත්වූහ. විශේෂයෙන් හිජ්රා තුන්වැනි වර්ෂයේ දී උහ්ද් සටනේ දී මුස්ලිම්වරු බොහෝ දෙනෙක් මරුමුවට පත් වූහ. මේ නිසා වැන්දඹුවන් සංඛ්‍යාව අතිශයින් ඉහළ ගියේය. ඔවුන් නඩත්තු කිරීම සෙසු මුස්ලිම්වරුන්ගේ වගකීම බවට පත් විය. එමනිසා අසරණව සිටින මෙම අය වඩාත් හොඳ ඵලදායක ක්‍රමයක් වශයෙන් බහු විවාහ ක්‍රමය අනුදැන ඇතැයි කියනු ලැබේ. ස්ත්‍රීන් හතර දෙනකු විවාහ කර ගැනීමට පිරිමියෙකුට අවසර ලැබුණේ එම පසුබිම යටතේ බව විද්වත්හු පවසති. එහෙත් එම අනුමැතිය ලබා දී ඇත්තේ කොන්දේසි ගණනාවකට යටත්ව බව ද මෙහිලා සඳහන් කළ යුතුය. එමෙන්ම බහු විවාහ ක්‍රමය ඉස්ලාමය තුළ අනිවාර්ය කර නැත. එය සැමවිටම අනුබල දෙනු ලබන්නේ එක් විවාහයක් සඳහාය. ඒ නිසා බොහෝ දෙනා මත පළ කරන අයුරින් සෑම පිරිමියෙකුම බහු විවාහක විය යුතු වන්නේ නැත. එය අනුමත කෙරෙන්නේ අසාමාන්‍ය වාතාවරණයක් තුළ කෙරෙන නිවාරණයක් ලෙස තතු දන්නෝ විග්‍රහ කරති. කුමන තත්ත්වයන් යටතේ වුව ද අනිවාර්ය වූ තවත් කොන්දේසියක් පවතින බව ද අමතක නොකළ යුතුය. විවාහ හතරක් කර ගන්නා ඕනෑම පුරුෂයකු තම භාර්යාවන් සිව්දෙනාටම සමාන ආකාරයෙන් සැලකිය යුතු වීමය. එය කෑම බීම ඇඳුම් පැලඳුම්, රන් රිදී මුතු මැණික් ආදිය පමණක් නොව සමාන ආකාරයේ නිවාස හතරක් ද ඔවුනට ලැබිය යුතුය. ඒ අතින් බලන විට මෙය පහසු කාරියක් නොවනු ඇත.


විවාහයක් සිදුකිරීමට කලින් මහ්රම් නමින් හැඳින්වෙන කොන්දේසි ගැන සලකා බැලිය යුතුය. මහ්රම්වලට අනුව ඥාතිත්වය ගැළපේදැයි සලකා බැලේ. විධිමත් විවාහයක් සිදුවීමට නම් ඥාතිත්වය ගැළපීම අනිවාර්ය වේ. (1) ලේ නෑකම (2) වෛවාහික නැකම (3) කිරි උරා බීමෙන් ඇතිවූ නෑකම යන තුන් වර්ගයට අයත් කිට්ටුවරයින් අතර විවාහ හරාම් වේ. එම විග්‍රහය ඉතා පුළුල් වේ. ඒ නිසා කෙටියන් සැලකුවහොත් මෙම නොගැළපෙන ඥාතීන් අතර සිදුවන විවාහ සිදු නොවිය යුත්තේය. ඒවා ස්ථිර මහ්රාම් නම් වේ.
මුස්ලිම් නීතිය වරදවා වටහා ගැනීම නිසා අපහසුතාවන්ට ගොදුරු වූ සමහර අය සම්බන්ධයෙන් මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉතා පැහැදිලි තීන්දු ලබා දී ඇත.
මුස්ලිම් නීතිය අදාළ වන්නේ එම ආගමිකයන්ට පමණය. ඒ නිසාම එය ආගමික නීතියක් වේ. මුස්ලිම්වරයෙකු වීම සිදුවන්නේ කරුණු දෙකක් අනුවය. (1) උපතින් එම ලබ්ධිය උරුම වීම, (2) පසුව එම ආගම වැලඳ ගැනීම එම කරුණු දෙකයි. මේ දෙකොටසටම මුස්ලිම් නීතිය අදාළ වන බව සාමාන්‍ය පිළිගැනීම වුවත් එසේ ආගම වෙනස් කර ඉස්ලාම් දහම වැලඳ ගත්තේ යම් අනියම් වාසියක් ලබා ගැනීම සඳහා යැයි ඔප්පු වුවහොත් එවැනි පුද්ගලයෙකුට මුස්ලිම් නීතිය අදාළ නොවන බව මෑතක දී අධිකරණයේ දී ප්‍රකාශ වූවේ නව නීති වාර්තාවන් හි සඳහන් වන අබේසුන්දර නඩුවේදීය. මේ බව ඉන්දියාවේ දී තීරණය වූ ීණෂඛඛෑ ඪිග ධඎෑ නඩුවේ දී ද ප්‍රකාශව ඇත.

 

 


මම දීර්ඝ කාලයක් අරාබි රටක දිවි ගෙවා ඇත්තෙමි. එහිදී වටහා ගත් අන්දමට ආගමික නීතිය මෙන්ම රාජ්‍ය නීතිය ද එකක්ම වේ. ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන් පරලොව දී ලබන අන්තිම විනිශ්චය හෙවත් කියාමත් දිනය කෙරෙහි ඇති පාපයට බිය නිසා රටේ නීතියට ද අකුරටම ගරු කරයි. මෙම තත්ත්වය මත රටේ නීතියට ගරු නොකිරීම පාපයක් ලෙස එම වැසියෝ සලකති. ඒ නිසා රහසින්වත් පවක් නොකරන්නාක් මෙන්ම රහසින්වත් රටේ නීතිය කඩ නොකරති. සුළු නිදසුනක් දැක්වුවහොත් එම අරාබි රටවන ඕමාන් සුල්තාන් රාජ්‍යයේ මගී ප්‍රවාහනය සඳහා බහුලව ඇත්තේ පිකප් යනුවෙන් හඳුන්වන මෝටර් වාහන වේ. එම වාහනයක ගමන් කිරීමට නීතිමය අවසරය ඇත්තේ මගේ මතකයේ හැටියට හතර දෙනෙකුටය. මගීන් දෙදෙනෙක් රැගෙන එන වාහනයකට කිසිම හේතුවක් නිසා තවත් තිදෙනෙකු ඔවුහු නංවා නොගනිති. මිතුරන් තිදෙනෙකු එකී පිකප් රථය නැවැත්වුවත් රාත්‍රියක දී වුව ද තිදෙනෙකු නංවා ගන්නේ නැත. නීතිය පිළිපදින්නේ ඒ අයුරිනි. එමෙන්ම පොලිසිය ද එසේමය. කිසිදු විටක වරදක් කළ කෙනෙකුට සමාවක් නැත. නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරේ. කිසිම බලවතෙක් නීතිය නවන්නේ නැත. මෙම තත්ත්වය මත ජාතික විනයක් රටේ ක්‍රියාත්මක වේ. මේ මුස්ලිම් ෂරියා නීතිය ක්‍රියාත්මක නොවන රටකි. අපේ රටේ රියදුරන්ට නීතිය මතක් වන්නේ පොලිසිය දුටුවිට පමණය.

 

සෑම පිරිමියෙකුම බහු විවාහක විය යුතු වන්නේ නැත. එය අනුමත කෙරෙන්නේ අසාමාන්‍ය වාතාවරණයක් තුළ කෙරෙන නිවාරණයක් ලෙස තතු දන්නෝ විග්‍රහ කරති. කුමන තත්ත්වයන් යටතේ වුව ද අනිවාර්ය වූ තවත් කොන්දේසියක් පවතින බව ද අමතක නොකළ යුතුය. විවාහ හතරක් කර ගන්නා ඕනෑම පුරුෂයකු තම භාර්යාවන් සිව්දෙනාටම සමාන ආකාරයෙන් සැලකිය යුතු වීමය.


අරාබි රාජ්‍යවල සියලු පාලකයෝ ඒකාධිපති වූහ. නමටවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් එම කලාපයේම නැත. එහෙත් ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටකට වඩා නීතිය අකුරටම ක්‍රියාත්මක වන බව කිව යුතුය. එය මුස්ලිම් නීතියේ හොඳ පැත්තකි. ලංකාවේ ක්‍රියාත්මක වන මුස්ලිම් නීතිය මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක වන නීතිය නොවේ. ශ්‍රී ලාංකීය ජන සමාජයට ආවේණික චාරිත්‍ර වාරිත්‍ර ද ඇතුළත්ව එම නීති සම්පාදනය කර ඇත. අප මුලින් සඳහන් කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් බහු විවාහ නීතිය ගැනය. එම විවාහ නීතියේ තවත් මතභේදයට ලක්ව ඇති දේශපාලන කරළියේ රැව් පිළිරැව් දෙන මාතෘකා තවත් ගණනාවක්ම වේ. මනාලියගේ අත්සන නොයොදා සිදුකෙරෙන විවාහ වයෝ පූර්ණත්වය නොලබා සිදුකෙරෙන විවාහ, කාති උසාවි, ඒවාට හිමි බලතල, තලාක් දික්කසාදය ආදිය ඉන් කීපයකි.


එහෙත් එම සංස්කෘතියට අයත් නොවන පුද්ගලයෙකු වශයෙන් මා වැන්නෙකු එම ක්‍රියාපටිපාටිය ගැන දිගින් දිගට විස්තර කිරීම සදාචාරාත්මක නොවේ යැයි මට හැඟේ.
ශ්‍රී ලංකාවේ පොදු එකම නීතියක් ක්‍රියාත්මක වනුයේ නම් එය ඉතා හොඳ දෙයකි. එවැන්නක් සඳහා කවුරුත් එකඟව තිබීම මහත් සතුටට කරුණකි. එම කරුණු ඉක්මනින් සිදුවෙනු ඇතැයි සැවෝම අපේක්ෂා කරති. ශ්‍රී ලාංකික ජන සමාජයේ බහුවිධත්වය පිළිගනිමින් එකිනෙකාට ගරු කරමින් සුහදව ගැටලු විසඳා ගැනීම කල්පවත්නා සාමයට, සංහිඳියාවට හොඳම මග වේ. එම අමාරු ඉලක්කය වෙත යා යුතුවන්නේ ඉතා පරිස්සමිනි. එසේ නොවුවහොත් “එකක් කඩතොලු මකා ගන්නට ගොසින් සිදුවුණු ශාරියා දහක් කඩතොලු සදා ගත්තයි ඉඳුරුවේ ආචාරියා’ යි කීවාක් මෙන් සියල්ල ඛේදාන්තයකින් අවසන් වීමට ඇති ඉඩකඩ ද බැහැර නොකළ යුතු යැයි මම විශ්වාස කරමි.

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි