දේශපාලන ලෝකය හෙල්ලූ “වැසිකිළි කුමන්ත්‍රණය”


 

පසුගිය මාර්තු පස්වැනිදා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා පැවැත් වූ දීර්ඝ දේශනයේදී සඳහන් වූ එක් විශේෂ කරුණක් කෙරෙහි අපේ අවධානය යොමුවිය. ඒ වැසිකිළි පිළිබඳවය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගුවන්තොටුපොළ, වරාය ආදිය තැනුවත් එම දිස්ත්‍රික්කයේ පවුල් ලක්ෂයකට පමණ පිරිසකට වැසිකිළි පහසුකම් නොමැති බවත් ඒ අයට වැසිකිළි තනාගැනීමට උපකාර කිරීමට මුදල් වෙන්කරන  බවත් සමරවීර මහතා ප්‍රකාශ කළේය. එය කදිම අදහසක් බවට කිසිදු සැකයක් නොමැත. මිනිස් දිවියේ ඉතා වැදගත් අවශ්‍යතාවක් වන මෙම පහසුකම ඇති කිරීමට අවධානය යොමුවීම අගය කළ යුත්තකි.


අපේ දේශපාලන ක්ෂේත්‍රයේ වැසිකිළි යන වචනයෙන් අරුත් ගැන්වුණු සිදුවීම් කීපයක් අපේ මතකයට නැගේ. එවැන්නක් සිහිපත් කිරීමට මෙම අවස්ථාව අතිශයින්ම කාලෝචිතය. එයින් පළමුවැන්න දේශපාලන සිදුවීමක් නොවේ. එහෙත් එය මෙම මාතෘකාවට අතිශයින්ම අදාළ වේ.


අනගාරික ධර්මපාල තුමා කිසි ලෙසකින්වත් දේශපාලකයන්ගේ ගණයට අයත් නොවන ජාතික වීරයෙකුගේ මට්ටමින් අවිවාදයෙන් පිළිගන්නා දේශප්‍රේමියෙකි. බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට නතුවීමෙන් පසුව මේ රටේ බහුතරයක් දෙනා ඔවුනට බියෙන් නිවටව නියාලුව මර නින්දේ පසුවුණ යුගයක ඔවුන් එම කුසීත බවින් මුදවාගෙන ජාතික නිදහස පිළිබඳ පණිවුඩය ඔවුන්ගේ හදවත් තුළට ඇතුළු කිරීම සඳහා මහා සටනක් ගෙන ගියේ ධර්මපාල තුමාය. රටට නිදහස ලබා ගැනීමට මෙන්ම විදේශ පාලනයන් යටතේ විනාශ වී ගිය බෞද්ධ සිද්ධස්ථාන යළිත් නගා සිටුවීමට එතුමා කැපවී ක්‍රියා කළේය. බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා මඟින් අනුරාධපුර අටමස්ථානය වෙනත් බලවේගවලින් නිදහස් කර ගැනීමට ධර්මපාල තුමා දැරූ ප්‍රයත්නය අති ප්‍රශංසනීයය. වැනසී ගොස් තිබුණු සාහිත්‍යය, කලාව, දේශීය, කර්මාන්ත සාරධර්ම පමණක් නොව හොඳ පුරුදු ගැනද එතුමා සිංහල ජනයාට මග පෙන්වූ බව එතුමාගේ ලිපි ලේඛන පරිශීලනයේදී අපට වටහා ගත හැකිය. මහාබෝධි සංගමය පිහිටුවා තම පාරම්පරික ධනය විය පැහැදම් කරමින් සිංහල බෞද්ධයා නමින් පුවත්පතක් පවත්වාගෙන යමින් මෙම හොඳ පුරුදු ජනතාවට කියා දීමට ධර්මපාල තුමා ක්‍රියා කළේය. වැසිකිළි යාමේදී අනුගමනය කළ යුතු හොඳ පුරුදු ගැන එතුමා දක්වා සිටියේ මෙසේය. 


1. වැසිකිළියේදී කතා නොකළ යුතුයි.


2. වර්චස් සමග මූත්‍ර මිශ්‍රවීමෙන් උපදින වාතය ඉතා විෂයි. ශරීර කෘත්‍යයෙන් පසුව එම ප්‍රදේශය පිස දමා ජලයෙන් පිරිසිදු කොට සෝදාගත යුතුය.


3. ඉන්පසු මැට්යෙන් හෝ සබන්වලින් අත් පිරිසිදු කර සෝදා ගත යුතුය. 


4. මනුෂ්‍යයන් ඉදිරිපිට හෝ ප්‍රසිද්ධ ස්ථානවල හෝ හිටගෙන මූත්‍රා නොකළ යුතුය.

 


මෙම කෘත්‍යය ගැන පමණක් නොව සමාජයේදී කටයුතු කළ යුතු ආකාරය ගැන සිංහල බෞද්ධයා පුවත්පත් මඟින් සහ ප්‍රසිද්ධ දේශන මගින්ද ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ බව සඳහන් කළ යුතුය. එම මාතෘකා අතර ගිහි දින චරියාව, ආහාර අනුභව කළ යුතු ආකාරය, බුලත්විට කෑම, මහා මාර්ගයේදී, ගමනේදී හැසිරිය යුතු ආකාරය, ප්‍රසිද්ධ සභා රැස්වීම්වලදී කටයුතු කළ යුතු අයුරු, දෛනික ජීවිතයේදී ස්ත්‍රීන් කළ යුතු දේ, ළමයින් කළ යුතු දේ, තරුණ පෙළ කළයුතු දේ ආදී වශයෙන් අනගාරික ධර්මපාල තුමා සඳහන් කර ඇත. පෙර සඳහන් කළ උපදෙස්ද ඒ අතර වේ. ශිෂ්ට සම්පන්න විනයගරුක සහ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීමේ අවංක අපේක්ෂාවෙන් යුතුව එතුමා මේ සෑම දෙයක්ම කළ බවද මෙහිලා සඳහන් කළ යුතුය. 


මෙරට ප්‍රථම පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වූවේ 1947 දීය. එකල පාලක පන්තියට ප්‍රබලව අභියෝගය එල්ලවූවේ ලංකා සමසමාජ පක්ෂයෙනි. මාක්ස්වාදය අනුව ප්‍රකාශ කෙරෙන ආයුධ සන්නද්ධ අරගලයක් හරහා ක්‍රියාත්මක කෙරෙන විප්ලවයක් මඟින් ගොවි කම්කරු සමාජවාදී රාජ්‍යයක් ඇති කිරීම එම පක්ෂයේ ප්‍රතිපත්තිය ලෙස ප්‍රකාශ වී තිබුණි. බුදු සමය විසින් අනාදිමත් කාලයක් තිස්සේ හැඩගස්වන ලද අවිහිංසාවාදී ප්‍රතිපත්තියක ගැලී සිටි ශ්‍රී ලංකාවාසී ජනසමාජය ලේ හලන ජීවිත විනාශ කරන විප්ලවවාදී දර්ශනයකට නැඹුරු කර ගැනීම එතරම් පහසු කටයුත්තක් වූවේ නැත. විශේෂයෙන්ම මාක්ස්වාදී පාලනයක් පැවති සෝවියට් රුසියාවේදී එහි පාලක ජෝසප් ස්ටාලින් විසින් අනුගමනය කරන ලද ආගම් විරෝධි ප්‍රතිපත්තිය මෙරට මාක්ස් විරෝධීහු උදාහරණ ලෙස දැක්වූහ. නොයෙක් ආගම්වල පූජකවරු මාක්ස්වාදීන්ගේ ආගම් විරෝධි ප්‍රතිපත්තිය ගැන නොයෙක් අර්ථකථන ලබා දුන්හ. ජන හදවත්වලට දැනෙන ආකාරයට නොයෙක් උදාහරණ ලබාදෙමින් එය විග්‍රහ කළහ. එයින් ජනප්‍රියම කියමනක් වූවේ “සමසමාජ කාරයන් බලයට පත්වූවහොත් රුවන්වැලි මහා සෑය කඩා එම ගඩොල් වලින් ජනයාට වැසිකිළි තනා දෙනු ඇත” යන්නයි. 


යටත් විජිතවාදී පාලනය යටතේ නොසලකා හැරීමට ලක්ව තිබුණු රුවන්වැලි සෑ රදුන් පසු කලෙක පස් ගොඩැල්ලක් බවට පත්ව තිබුණි. මෙම තත්ත්වය ගැන මහත් සංවේගයට පත්වූ නාරංවිට සුමනසාර හිමි, කටුනායක ඇවරිවත්තේ රන්සිරිනෙල් පෙරේරා කුමාරසිංහ මහතා මහනුවර දානපතියෙකු වූ සර් බෙනට් සොයිසා ආදී ජනප්‍රධානීන් එක්ව සංගමයක් පිහිටුවා එම පස්ගොඩැල්ල නැවතත් දුටුගැමුණු රජතුමාගේ යුගයේදී පැවති අන්දමට ප්‍රතිසංස්කරණය කරවා එවකට ප්‍රධාන බෞද්ධ නායකයා වූ සර් ඩී. බී. ජයතිලක මහතා අතින් කොත් පැලඳවීම සිදු කර බෞද්ධ ජනයාගේ වන්දනා මානය සඳහා භාරදී තිබුණේ මෙයට වසරකට දෙකකට පෙර සමීප අතීතයේදීය. බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ ඔවුන්ගේ සදා පූජෝපහාරයට ලක්වන රුවන්වැලි මහා සෑය කඩා බිඳ එහි ගඩොල්වලින් වැසිකිළි තනන බවට ගෙන ගිය ප්‍රචාරය බෞද්ධයන්ගේ හදවතට ඇනුණු හී පහරකට දෙවැනි නොවීය. එනිසා ජනතා ප්‍රතිචාරයද එබඳු විය. තම ජනතාවටත් වඩා අගය කරන පුදබිම කඩා වැසිකිළි තනන මාක්ස්වාදීන් බලයට පත්කිරීමට බෞද්ධයෝ එකඟ නොවූහ. කළ යුතුදේ ඔවුහු කළහ.


හමුදා කුමන්ත්‍රණයක් සිදුවන්නට ගියේ යැයිද එය මැඩ පවත්වන්නට ආණ්ඩුව සමත්වූවේ යැයිද කියමින් 1966 දී එවකට මෙරට හමුදාපතිව සිටි රිචඞ් උඩුගම මහතා සහ ප්‍රකට ධර්මදේශකයෙකු වූ පූජ්‍ය පණ්ඩිත හේන්පිටගෙදර ක්‍දාණසීහ හිමියන්ද ඇතුළු හමුදාවේ තවත් සුළු නිලධාරින් පිරිසක් අත්අඩංගුවට ගත් බව ප්‍රකාශයට පත්විය. මෙම පරීක්ෂණ සිදුවෙද්දී ඤාණසීහ හිමියන්ගේ දායකයෙකු වූ ඇල්. වී. පොඩි අප්පුහාමි හෙවත් දොඩම්පේ මුදලාලි සිරභාරයට ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්වීමෙන් මහත් ආන්දෝලනයක් හටගත්තේය. ඔහු ප්‍රශ්න කිරීම සඳහා රඳවා සිටියේ පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ හතරවැනි තට්ටුවේය. පසු දින අලුයම දක්නට ලැබුණේ ඒ මහතාගේ ප්‍රාණය නිරුද්ධවූ සිරුර ඒ අසල බිම පතිතව ඇති ආකාරයයි. ඒ පිළිබඳව විභාග කළ කොටුව අතිරේක මහේස්ත්‍රාත් වින්ස්ටන් ස්වර්ණාධිපති මහතා තීන්දුව දෙමින් ප්‍රකාශ කළේ මෙය සියදිවි නසාගැනීමක් බවයි. එහෙත් දොඩම්පෙ මුදලාලිගේ සොහොයුරු ඇල්. වී. ස්ටීවන් මහතා සිය නීතිඥයන් වූ සිදත් ශ්‍රී නන්දලෝචන සහ සරත් මුත්තෙට්ටුවගම යන මහත්වරුන් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් මෙය දිවිනසා ගැනීමක් නොවන බවත් පොලිස් පරීක්ෂකයෙකු වන රාහුල සිල්වා තම සහෝදරයාට බලවත් ලෙස පහරදී ඇති බවත් පසුව ඔහු හතරවැනි තට්ටුවෙන් බිමට දමා ඇති බවත් ඒ ගැන සාක්ෂි තිබෙන බවත් කියා සිටියේය. එය විභාග කළ අධිකරණය තවත් අධිකරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන ලදී. මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හමුදාවේ සාජන්ට් හොඳමුනි සාජන්ට් බණ්ඩාර කෝප්‍රල් හෙන්ද්‍රික් සිංfක්‍දා් ආදීන් රඳවා සිටියේ දොඩම්පෙ මුදලාලි සිටි කාමරයට යාබද කාමරයේය. රාහුල සිල්වා ඔහුට පහර දුන් බවත් මරහඬ දෙමින් පෙර දින රාත්‍රියේ කෑ ගසනු තමන්ට ඇසුණු බවත් කියා සිටියහ. ඒ අනුව පෙර කී මහේස්ත්‍රාත් වින්ස්ටන් ස්වර්ණාධිපති මහතා ඉදිරිපත්වූ සාක්ෂි අනුව මෙය මිනීමැරුමක් බව තීන්දු කළේය.

 


මෙය විශාල දේශපාලන කැලඹීමකට හේතුවූ බව පෙනී ගිය අතර එය රජයට බලවත් පහරක් විය.


මෙම කුමන්ත්‍රණය බෙහෝ දෙනා විසින් හඳුන්වනු ලැබුවේ වැසිකිළි කුමන්ත්‍රණය යනුවෙනි. හුදෙක්ම දේශපාලන පළිගැනීමක් මත පදනම්ව ගෙතූ කරුණක් වූ නිසා එය අධිකරණයේ ඔප්පු කිරීම අතිශය දුෂ්කර කරුණක් විය. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් නොමිලයේම පෙනී සිටියහ. ඒ සියලු දෙනාම ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ආසන දිනාගත් බවද මෙහිලා සඳහන් කළ යුතුය. කේ. සී. සිල්වා මහතා (කටාන), ස්ටැන්ලි තිලකරත්න මහතා (කෝට්ටේ), සරත් මුත්තෙට්ටුවගම මහතා (කලවාන), වීරසිංහ ද සිල්වා මහතා (බළපිටිය), මංගල මුණසිංහ මහතා (බුලත්සිංහල), කොල්වින් ආර්. ද සිල්වා මහතා (අගලවත්ත) ආදීන් එයින් කීපදෙනෙකි. එයින් කොල්වින් ආර්. ද සිල්වා මහතා 1970 රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමතිවරයා ලෙසද පත්වූ අතර ස්ටැන්ලි තිලකරත්න මහතා කතානායක ධුරයටත් පත්විය. අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මහතා හබරාදුවට පත්විය. දීර්ඝ කාලයක් පැවති මෙම නඩු විභාගය අවසානයේ සියලුම විත්තිකරුවෝ නිදහස් වූහ. මෙම වැසිකිළි කුමන්ත්‍රණය නිසා හිටපු හමුදාපති රිචඞ් උඩුගම මහතාට හමුදාපති පදවිය අහිමිවූ බවද සඳහන් කළ යුතුය. එහෙත් 1970 මහා මැතිවරණයේදී ඒ මහතා මාතලේ ආසනය ශ්‍රී.ල.නි.පයෙන් ජයග්‍රහණය කළේය.


ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය 1977 දී හයෙන් පහක අති විශාල ජනවරමක් ලබා බලයට පත්විය. ඒ මහතා විශ්‍රාම ලැබීමෙන් පසු නායකත්වයට පත් ආර්. ප්‍රේමදාස මහතාද පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් රට පාලනය කළේය. ඒ අනුව පුරා දාහත් වසරක් එම රජය පැවතියේය. මෙසේ දීර්ඝ කාලයක් පැවති එම රජය පෙරළා දැමීම සඳහා විපක්ෂය නොයෙකුත් විරෝධතා ව්‍යාපාර දියත් කරනු දක්නට ලැබුණි. එයින් ප්‍රධාන තැනක් ගත්තේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් පාද යාත්‍රාවයි. මෙහි සංවිධාන කටයුතු ගැන සාකච්ඡාවෙද්දී මහින්ද රාජපක්ෂ මහතා අවධාරණයෙන් කියා සිටියේ කොළඹ සිට යන මෙම පාද යාත්‍රාව අවසන් දින කතරගමට පැමිණීමේදී ලක්ෂයක්වත් ජනතාව සහභාගි විය යුතු බවයි. කොළඹින් පිටත්වීමේදීත් අඩුම තරමින් විසිදහසක් වත් සිටීම අවශ්‍ය බවද කීවේය. මෙම සාකච්ඡාවට සහභාගිවෙමින් සිටි අනුර බණ්ඩාරනායක මහතා විමසුවේ මෙතරම් විශාල සෙනගකට “ටොයිලට් පහසුකම්” සපයන්නේ කෙසේද කියාය. රාජපක්ෂ මහතාගේ පිළිතුර වූවේ “එහෙම ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. මොකද අපි දිගටම යන්නේ වැල්ල දිගේනේ” යනුවෙනි.


මංගල සමරවීර මුදල් ඇමතිතුමා අයවැය ඉදිරිපත් කිරීමේදී සඳහන් කළ වැසිකිළි හිඟයට හේතුවද පෙර කී හේතුවම වන්නට පුළුවන. කෙසේ වුවත් සඳහන් කළ යුතු තවත් කරුණක් ඇත. වැසිකිළි තරම්ම අපවිත්‍ර ක්‍රියාකලාපයෙන් යුතු දේශපාලකයෝ අපේ රටේ සිටියහ. දැනුත් ඇතැයි කියන්නෝද වෙති. අල්ලසින්, දූෂණයෙන් බේබදුකමින්, දුරාචාරයෙන්, මැරකමින්, වංචාවෙන් ගඳ ගහන මෙවැනි පුද්ගලයෝ දේශපාලන ක්ෂේත්‍රය වනසති. එය එසේ නොවී පිරිසිදු තැනක් බවට පත්වේවායි අපි පතන්නෙමු.

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි