මෙරට නිදහස් සටන් ව්‍යාපාරයේ පුරෝගාමී නායකයාද ප්‍රථම අගමැතිවරයාද වූ ඩී. ඇස්. සේනානායක මැතිතුමාගේ සහ කන්ද උඩරට කීර්තිමත් පරපුරක සාමාජිකාවක වූ මොලී දුනුවිල ආර්යාවද දෙමාපියන් ලෙස ලබා 1911 ජූනි මස 19 වැනිදා මෙලොව එළිය දුටුවේය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මෙරටට පැමිණීමෙන් පසු සිය පියාණන්ගේ ආභාසය මත පොදු ජන මෙහෙවර සඳහා පා තැබුවේය. නිදහස සඳහා ගෙන යන සටන තවදුරටත් වේගවත් කිරීමටත් පූර්ණ නිදහස් රාජ්‍යයක් දෙසත් හඬ නැගු තරුණ පුරෝගාමීන් අතර කැපී පෙනෙන නායකයෙකුවූ ඩඞ්ලි තම මිතුරු ජේ. ආර්. ජයවර්ධනයන්ද සමග ලංකා ජාතික සංගමයේ සම ලේකම්ධුරය දැරීය.
1936 දී දෙවැනිරාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී දැදිගම ආසනය වෙනුවෙන් තරග කර ජය ලබා ප්‍රථම වරට නීති සම්පාදන කෘත්‍යයට සම්බන්ධ වන විට ඔහුගේ වයස අවුරුදු විසි පහ ඉක්මවූවා පමණි. ඉන් පසු 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී දීද දැදිගම මන්ත්‍රීවරයා ලෙසින් පත්ව ඩී. ඇස්. සේනානායක කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම ඇමතිවරයා බවට පත්වූවේය. එතෙක් කලක් සිය පියා විසින් දරණ ලද එම ධූරය යටතේ රජරට ගොවි ජනපද ව්‍යාපාර ඇති කිරීම, ගොවියාගේ තත්ත්වය උසස් කිරීම සහ ආහාර ද්‍රව්‍යයන්ගෙන් මෙරට ස්වයංපෝෂිත කිරීම වැනි උත්තුංග පරමාර්ථ වෙනුවෙන් පූර්ණ කාලය කැප කළේය. විවාහ ජීවිතයක් ගැන පවා උනන්දුවක් නොදක්වමින් මහජන සේවයට ඇප කැප වූ මෙතුමා 1952 මාර්තු මස 22 දින සිදු වූ සිය පියාගේ අභාවයෙන් පසු අගමැති ධුරයට පත් කර ගන්නා ලද්දේ හුදෙක්ම පාක්‍ෂිකයන්ගේ සහ ජනතාවගේ ඉල්ලීම පරිදිය. ඩඞ්ලි සේනානායක චරිතය ගැන සඳහන් කරන විට නිසැකව කියවෙන සුප්‍රසිද්ධ හර්තාල් කථාව කරළියට නැගෙන්නේ මෙම අවස්ථාවේදීය. එතුමා පක්‍ෂයේ නායක ධුරයෙන් පමණක් නොව දේශපාලන ක්‍ෂේත්‍රයෙන්ම ඉවත් වූවේය. බලයේ රැදී සිටිමින් ආත්මාර්ථය සලසා ගැනීම කිසිවිටෙකත් අපේක්ෂා නොකළ නායකයෙකු විය. ඩඞ්ලි සේනානායක මහතා ඉවත්ව යාමෙන් පසු එම තනතුර හිමිවූයේ සර් ජෝන් කොතලාවල මහතාටය.
කලබලකාරයෙකු මෙන්ම හිතට එන ඕනෑම දෙයක් ප්‍රසිද්ධියේ කියාපෑමේ පුරුද්දක් ඇති සර් ජෝන් කොතලාවල මහතා දේශපාලනයට අවශ්‍ය විනය ගරුක බව සංයමය හා ඉවසීම නොමැති අයෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසුලුවේය. එම කරුණු සහ රටේ උද්ගත වූ කාලීන දේහපාලන සාධකද හේතුකොටගෙන 1956 මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට හිමිවූයේ ආසන අටක් පමණි. එම තත්ත්වය නිසා යූ.ඇන්.පියේ බොහෝ ප්‍රබලයෝ පක්‍ෂය හැර ගොස් නව රජයේ තනතුරු භාර ගත්හ. ගිලෙන නැවෙන් මීයන් පැන යන්නාක් මෙන් සිදු වූ එම ක්‍රියාදාමය පක්‍ෂයට බලවත් පාඩු ගෙන දුන්නේය. දේශපාලන පොර පිටියේ කවදත් දක්නට ලැබෙන සංසිද්ධියක් වූ මෙම ප්‍රවණතාව එදා බලවත් ලෙස දක්නට තිබුණි. එහි ප්‍රතිඵලය වූවේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් වැනි සිදුවීමකි. මේ තත්ත්වය සලකා පාක්‍ෂිකයෝ කම්පා වූහ යූ.ඇන්.පීය නැවත ජයග්‍රහණයක් අත්කර ගැනීඹ සිහිනයක් ලෙස බොහෝ පාක්‍ෂිකයෝ අනුමාන කළහ. වහාම සුදුසු පියවරක් ගත යුතු බව ඔව්හු තීන්දු කළහ. විපක්‍ෂ නායකත්වයද අහිමිව එහි පසු පස ආසන පේළියේ ඉතා සුළු කණ්ඩායමක් බවට පත්ව සිටි. එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායමට නායකත්වය දීමට සර් ජෝන් මැති සබයට පැමිණියේ නැත. ඔහු එංගලන්තයේ ගොවිපොළක් පවත්වාගෙන යමින් විනෝදකාමී දිවියක් ගත කරමින් සිටියේය.
‘කළල ගිලුණු මත වරනිදු ගොඩ ගනින තුමුල බලැති ගිජිදෙකු හැර අත් තෙවන’ යැයි කීවාක් මෙන් පරාජයේ මඩ ගොහොරුවක කරවටක් එරී සිටි එ.ජා.පය නමැති හස්ති රාජයා ගොඩ ගැනීමට ඩඞ්ලි සේනානායක මහතා පෙරමුණට කැදවාගෙන ඒම අවශ්‍ය විය. 1957 දී පාක්‍ෂිකයන්ගේ ආරාධනාව බලවත් ලෙසම නැගෙන්නට වූයෙන් නැවතත් අකමැත්තෙන් වුවත් දේශපාලන කරළියට පැමිණීමට එතුමාට සිදුවිය. පක්‍ෂයට නව ප්‍රතිපත්ති මාලාවක් හදුන්වා දෙමින් ඒ වන විට ධනපති පන්තියේ පක්‍ෂයක් යැයි මුල් බැසගෙන තිබුණු මතය වෙනස්වෙන ආකාරයේ ප්‍රතිශෝධනයක් සිදු කළේය. ජිනදාස නියතපාල, ආර්. ප්‍රේමදාස වැනි තරුණ පෙළක් ඉදිරියට ගෙන සිදු කළ ප්‍රතිසංස්කරණ නිසා 1960 මාර්තු මැතිවරණයේදීම වැඩිම ආසන සංඛ්‍යාව දිනාගත් පක්‍ෂය වශයෙන් එක්සත් ජාතික පක්‍ෂයඉදිරියට මෙහෙයවීමට ඔහුට හැකිවිය. අග්‍රාණ්ඩුකාරවරයාගේ ඇරයුම පරිදි අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට එකඟවූවා වුවත් බහුතර බලය නොමැති වූ නිසා වැඩි කල් රජය පවත්වාගෙන යාම අපහසු විය. එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක් වූ වාමාංශික පක්‍ෂද රජයක් පිහිටුවීමසඳහා උත්සාහ කිරීමේදී බලය පිහිටුවීඹ සඳහා අවශ්‍ය තීරණාත්මක සාධකය වූවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරමින් ආසන දොළහක් අතැතිව සිටි ෆෙඩරල් පක්‍ෂයයි. එම සහාය ලබා දීමට නම් මෙවැනි කොන්දේසි සපුරාලිය යුතුයැයි එම පක්‍ෂය දෙපාර්ශවයටම කේවෙල් කිරීම ඇරඹුවේය. එහෙත් එවැනි රටට අහිතකර ඉල්ලීම් ෆෙඩරල් පක්‍ෂයට ලබා දීමෙන් තම බලය රැක ගැනීමට ඩඞ්ලි සේනානායක මහතා ඉදිරිපත් වූවේ නැත. “සක්විති රජකම ලැබුණත් රට පාවා නොදෙමි” යන ප්‍රසිද්ධ ප්‍රකාශය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එතුමා උපදෙස් දුන්නේය.
එක්දහස් නවසිය හැටේ ජූලි මහා මැතිවරණයෙන් බලය අහිමිව විපක්‍ෂ නායක ධූරය භාරගත් ඩඞ්ලි සේනානායක මහතා දිගින් දිගටම ඒකාධිපති සහ අත්තනෝමතික ප්‍රතිපත්තිවලට එරෙහිව තමන්ගේ ජාතික වගකීම නිසි පරිදි ඉටු කළේය. 1964 දී කරළියට පැමිණි පුවත්පත් මණ්ඩල පනත සහ පුවත්පත් ආයතන රජයට පවරා ගැනීම පිළිබද පනත ක්‍රියාත්මකවීම වැළැක්වීම සඳහා ගෙන ගිය දැවැන්ත සටන මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ කතා කිරීමේ නිදහස අහිමි කිරීමට ගන්නා ප්‍රයත්නයක් ලෙස මෙරට ඉතිහාසයට එක්ව ඇත. එම ක්‍රියාන්විතය කෙතරම් උපායශීලි සහ බලවත්වූවේද යක් පැවති රජයේ දෙවැන්නාද ඇතුළුව මන්ත්‍රීවරුන් දාහතර දෙනෙක් රජයෙන් වෙන්කරගෙන බලගතු රජයක් පාර්ලිමේන්තුවේ රාජාසන කථා විවාදයේදී පරාජය කර එය බිද දැමීමට සමත්වූවේය.
එයින් පසු 1965 මාර්තු 22 වැනිදා මැතිවරණයක් පැවැත්වීමට සිදු වූ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රජයක් පිහිටුවීමට සමත්විය. විවිධ මත දරන පක්‍ෂ ගණනාවකින් සමන්විත වූ එම රජය පවත්වාගෙන යාමේ පොදු සාධකය වූවේ ඩඞ්ලි සේනානායක මහතාගේ අවංක බව සහ බලකාමී නොවීම බව එකල විරුද්ධවාදීහුද පැවසූහ. ශ්‍රීලංකාවාසී සමස්ත ජනතාවටම සතියකට සහල් සේරුව බැගින් නොමිලේ ලබා දීමට ඒ මහතා කටයුතු කළේය. ඒ නිසා ‘බත් දුන් පියා’ යන විරුද නාමයක්ද එතුමාට හිමිවිය.
පෙර රජ දරුවන්ගේ යුගයෙන් පසු මෙරට ක්‍රියාත්මක කරන ලද සුවිශාලම සංවර්ධන යෝජනා ක්‍රමය වූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කිරීමේ පරම ගෞරවය හිමිවන්නේද ඩඞ්ලි සේනානායක මහතාටය. ප්‍රතිවාදීන්ගේ නොයෙකුත් බාධාකිරීම් මධ්‍යයේ එම ක්‍රියාදාමය සාර්ථක කර ගැනීම උදෙසා එතුමා දැක්වූ උනන්දුව හා අප්‍රතිහත ධෛර්ය ඉතිහාසයට එක්ව ඇත.
එහෙත් මෙරට දේශපාලනයේ යථාර්ථය නැවත වරක් පසක් කරමින් 1970 මැතිවරණයේදී ඔහුගේ රජය පරාජයට පත්විය. සමු දීමේ කාලය එළඹ ඇති බව නිවැරදිව වටහාගත් ඩඞ්ලි සේනානායක මහතා තමාට හිමි වූ විපක්‍ෂ නායක ධුරය සිය නියෝජ්‍ය නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට පවරා දී විපක්‍ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් තමන් වෙත පැවරී තිබුණු ඓතිහාසික කාර්යභාරය උපරිම අයුරින් ඉටුකළ මෙම ජනතා පුත්‍රයා 1973 අප්‍රේල් මාසයේදී බරපතළ ලෙස රෝගාතුර විය. එම මොහොතේ එතුමාගේ ඡන්ම පත්‍රය රැගෙන හිතවතෙක් දෛවඥ හිමි නමක් වෙත ගියේය. හඳහන පිරික්සා බැලූ දෛවඥ හාමුදුරුවෝ මෙය හිමිකරු අද දවස පසු කරන්නේ නැතැයි කීවේ එහි අයිතිකරු කව්දැයි නොදැනය. හඳහන රැගෙන ගිය හිතවතා දේශපාලනඥයෙකු වූවේය. ඒ නිසා හාමුදුරුවෝ මෙය කාගේ හඳහන දැයි කියන ලෙස ඇවිටිලි කළහ. නොකියාම බැරිතැන මෙය ඩඞ්ලි සේනානායක මහතාගේ බව ඔහු පැවසීය. තම පපුවට ගසා ගනිමින් වැලපුණු හාමුදුරුවෝ තම සේවය ලබා ගැනීමට පැමිණ සිටි අනෙක් පිරිස ගැනද නොතකා දුවගොස් ආවාස හෙට වැදී දොර වසාගෙන දිගින් දිගටම වැලපුණහ. මේ කථාව හඳහන රැගෙන ගිය දූතයා වූ ජිනදාස නියතපාල මහතා ඔහුගේ සමකාලීන දේශපාලනඥයෙකු වූ ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා සමග පවසනු මම අසා සිටියෙමි. ඩඞ්ලි සේනානායක මහතාගේ ජනප්‍රිය බවට නිදසුන් වශයෙන් එම සුළු කතාව ප්‍රමාණවත්ය. ඔහු අදටත් අපේ සිහියට නැගෙන්නේ ඒ නිසාය.
සෝමසිරි වික්‍රමසිංහ