ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්වූ ශ්‍රීමත් රිචඞ් අලුවිහාරේ මහතා ඉන්දීය ජනාධිපති වෙත සිය අක්තපත්‍ර භාරදුන් අවස්ථාව.
ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ ලංකාවේ පොලිස් සේවය ආරම්භ වූ පසු ලංකාවේ ප්‍රථම පොලිස්පතිවරයා වූයේ සර් පී. ඩබ්ලිව්. ආර්. කැම්බල් මහතාය. ඉංග්‍රීසි ජාතිකයකු වන ඔහු 1866 වසරේ සිට 1891 දක්වා පුරා වසර 25 ක් එම පදවිය හෙබවීමෙන් පසුව එතැන් සිට 1946 දක්වා ලංකාවේ ඉංග්‍රීසි ජාතිකයන් (ඔහුත් සමග) නව දෙනෙකු පොලිස්පති ධුරය හොබවා ඇත. වර්ෂ 1944 සිට 1946 දක්වා වසර දෙකක් පොලිස්පති පදවි දැරූ ලෙෆ්ටිනන්ට් කර්නල් ආර්. ආර්. එම්. බැකන් මහතා විශ්‍රාම යෑමෙන් පසු ඉංග්‍රීසි ජාතිකයන්ට මෙරට පොලිස්පති ධුරය දැරීමේ වගකීම අවසන්වී ගියේය. ඒ සමගම 1946 වසරට ලක්දිව පොලිස් ඉතිහාසයට වසර 80ක්ද සපිරුණි.
මේ යුගය වනවිට ලක්දිවට නිදහසේ අරුනළු පායා එමින් තිබූ වකවානුව විය. එය වඩාත් සංකේතවත් කරමින් ලාංකිකයෙකුට 1947 වසරේදී පොලිස්පති ධුරය හිමිවිය. ඒ අනුව එම පදවියට පත්වූ ප්‍රථම ලාංකිකයාත්, සිංහල බෞද්ධයාත් වන්නේ ශ්‍රීමත් රිචඞ් අලුවිහාරේ මහතාය. මේ වනවිට ලංකාවේ පොලිස් සේවයේ ඉතිහාසය වසර 150 ක් ගෙවී අවසානය. මෙම පොලිස් සේවාවේ ලාංකික ලකුණ වූ ප්‍රථම පොලිස්පතිවරයා දැයෙන් සමුගෙන පසුගිය දෙසැම්බර් 23 වන දිනට පුරා වසර 40 ක් සපිරුණි. කෘතගුණ දත් ජාතියක් වෙනුවෙන් පොලිස් සේවයේ එම යුගපුරුෂයා සිහිපත් කිරීම වැදගත්.
පසුගියදා උදාවුන උඳුවප් පොහෝදිනට සිරිමා බෝ රදුන් ලංකාවට වැඩම කරවා වසර 2323 ක් සපිරුණි. මෙම බෝධිය සමග විවිධ කුල නියෝජනය කරමින් එක කුලයකින් අටදෙනා බැගින් කුල දහ අටක පිරිස් සංඝමිත්තා මහතෙරණිය සමඟ ලක්දිවට සැපත් වූහ. එසේ පැමිණි බ්‍රාහ්මණ කුලයේ අය අතර සිටි බමුණෙකි ශ්‍රී රාම බ්‍රාහ්මණ රාල. ඔහුගෙන් ඇරඹුණු පරපුර වත්මන් අලුවිහාරේ පරපුර බව ඓතිහාසික සටහන් හා තොරතුරුවලින් තහවුරු වේ. සටන්කාමී, වීරෝදාර, එඩිතර පිරිසක් වශයෙන් මෙරට කීර්තියට පත් මෙම බමුණු පරපුර නියෝජනය කළ සෙන්පතියෙකි අලුවිහාරේ වනිගසේකර මුදියන්සේ යන අය. දෙවන රාජසිංහ රජතුමාගේ ජීවිතය බේරා ගන්නට දැන දැනම සතුරාට තම ජීවිතය දන්දුන් මෙතුමාගේ අභාවයෙන් පසු සියලු රාජවරප්‍රසාද හිමිවුණේ ඔහුගේ පුතණුවන්ටය.
උඩරට රාජධානියේ වීරෝදාර, එඩිතර රණශූරයන් වූ මෙම පරපුර පහතරට වැලිතොට මහා කප්පින වලව්ව, සබරගමුවේ එක්නැලිගොඩ වලව්වටද, ඌවේ කටුගහ වලව්වටද ඥාති සබඳතා ඇතිව ජීවත්වූ ජනප්රධානීන්ය.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්වූ ශ්‍රීමත් රිචඞ් අලුවිහාරේ මහතා එම මැතිනිය සමග නවදිල්ලියට සම්ප්‍රාප්ත වූ අවස්ථාව.
ශ්‍රී වික්රමරාජසිංහ රජු විසින් ඉවක් බවක් නොමැතිව උඩරට රදල නායකයන් ඝාතනයට ලක්කර දැමීමේ වියරුවේදී රාජ උදහසට ලක්ව දිවිදුන් නායකයෙකි. අලුවිහාර පරපුරේ එවකට සිටි ජන ප්‍රධානියෙකු වූ අලුවිහාරේ වනිගසේකර දිසාව, එතුමන්ගේ පුතණුවන්ද 1818 උඩරට කැරැල්ලේදී ඉංග්‍රීසීන්ට විරුද්ධව යුද වැදුන හෙයින් ඔවුනට හසුවී එල්ලා මරා දමන ලදී. හැමවිටම ජාතියේ, දේශයේ විමුක්තිය උදෙසා සටන් වැදුන මෙම අලුවිහාරේ පරපුරෙන් ඊළඟට බිහිවූ සුවිශේෂී පුද්ගලයා වන්නේ ටී. බී. අලුවිහාරේ මහතාය. ඔහු ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ විවිධ වරප්‍රසාද ලැබූ ජනප්‍රධානියෙකු විය. මාතලේ දිසාව භාර දිසා තනතුර ලද මෙතුමා 1915 ඇතිවූ ජාතිවාදී අරගලයේදී එයින් පීඩාවට පත්වූවනට වන්දි ගෙවීමට බද්දක් අයකිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව පියවර ගත්හ. මෙය අසරණ ජනතාව පෙළන ක්‍රියාවක් බව තේරුම් ගත් ටී. බී. අලුවිහාරේ මහතා මාතලේ දිසාවේ ජනතාව මෙම බද්දෙන් නිදහස් කර ගන්නට ඉංග්‍රීසි ආණ්ඩුව සමඟ සාකච්ඡා කර ජය අත්කර ගත්තේය.
මෙතුමාගේ සහ ප්‍රිය මැතිණිය වූ පානබොක්කේ පුංචි කුමාරිහාමි යන දෙපළට උපන් ප්‍රථම දරුවා වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ලාංකික පොලිස්පති ධූරයෙන් පිදුම් ලද ශ්‍රීමත් රිචඞ් අලුවිහාරේ මහතාය. 1895 මැයි මස 23 වැනිදා උපත ලද මෙතුමා මහනුවර ටි්රනිටි විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇත. පාසල් අවධියේ සිට ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු වශයෙන් දිස්ත්‍රික්කය තුළම නමක් දිනා ගන්නට වැඩි කාලයක් නොගියේය. උසස් අධ්‍යාපනයත් ලබා සිටි රිචඞ් අලුවිහාරේ මහතාට පළමුවන ලෝක යුද්ධයේදී බි්රතාන්යයේ ඉංග්‍රීසි හමුදාවට බැඳී සේවය කිරීමට අවස්ථාව ලැබිණ. ඒ අනුව විදේශ රටවල් කිහිපයක යුද සේවයේ යෙදුන මෙතුමා යුද්ධය අවසන්ව 1919 දී ලංකාවට පැමිණි පසු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් සිය මව්බිමේ රාජ්‍ය සේවයට බඳවා ගත්තේය.
ඒ අනුව පොලිස් මහේස්ත්රාත්වරයෙකු, දිස්ත්‍රික් විනිශ්චය කාරවරයෙකු වශයෙන් අධිකරණ ක්ෂේත්රයේ සේවය කළ අලුවිහාරේ මහතාට පසුව උතුරු මැද පළාතේ මහා දිසාපති පදවිය පිරිනමන්නට යෙදින. ඊට පෙර රජයේ මුදල් සැපයීම් අංශයේ නිලධාරියෙකු වශයෙන්ද සේවය කළ අලුවිහාරේ මහතාට රේගු පාලක තනතුරක්ද ලැබිණි.
1947 වසර මෙරට ඉතිහාසය සුවිශේෂී සිදුවීම් වාර්තාගත වූ වසරකි. මේ අනුව ප්‍රථම මැතිවරණය පවත්වා අගමැතිවරයෙකු පත්වීම, ඇමැති මණ්ඩලයක් නිර්මාණය වීම, නිදහස් පනත සම්මතවීම ආදිය සිදුවූ අතර ලංකාවට ලාංකික පොලිස්පතිවරයෙකුද ලැබිණි. මේ අනුව නව පොලිස්පති වශයෙන් එම පදවිය 1947 සිට රිචඞ් අලුවිහාරේ මහතාට හිමිවිය. 1948 දී මෙතුමාගේ සේවය අගය කළ බි්රතාන්ය මහ රැජින අලුවිහාරේ මහතාට “ශ්‍රීමත්” යන ගෞරව නාම ප්රදානය සහිත “නයිට්” පදවිය පිරිනමන ලදී.
වර්ෂ 1947 සිට 1955 දක්වා වසර අටක් ලංකාවේ පොලිස්පති පදවිය දැරූ ශ්‍රීමත් රිචඞ් අලුවිහාරේ මහතා එයින් විශ්‍රාම ලබා ගිය පසු 1956 වසරේ පැවති මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනුරාධපුරය ආසනය සඳහා තරග කරන ලදී. එයින් පරාජය වූ අලුවිහාරේ මහතා පසුව බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ ඉල්ලීම මත ඉන්දියාවේ ලංකා මහා කොමසාරිස් පදවියට පත්ව ඉන්දියාව බලා පිටත්විය. 1956 සිට 1961 දක්වා එම පදවිය දැරූ අලුවිහාරේ මහතා ඉන්දියාව හා ලංකාව අතර මිතුරු බව වැඩිකර ගැනීම සඳහා විශාල මෙහෙවරක් සිදුකර ඇත. විශ්‍රාම යෑමෙන් පසුව ශාස්ත්‍රීය කටයුතුවල යෙදීමට අලුවිහාරේ මහතා උනන්දු විය.
ඒ අනුව මහනුවර ඇසළ පෙරහර පිළිබඳව ශාස්ත්‍රීය ග්රන්ථයක් ලියා පළ කළේය. සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ අලුවිහාරේ මහතා වයස අවුරුදු 26 දී පමණ විවාහ දිවියට පත්විය. ලංකා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ උඩරට වෙනුවෙන් පත් කළ මන්ත්‍රී ටී. බී. එල්. මූණමලේ මහතාගේ දියණිය වූ ලුසිල් මූණමලේ මෙනවිය සමඟ විවාහ ගිවිස ගත් මෙතුමාට දියණියෝ දෙදෙනෙකු ලැබිණ. එක් දියණියක් වූයේ ඊනා අලුවිහාරේය. ඇය විවාහ වී සිටියේ හිටපු පොලිස්පතිවරයෙකු වූ ඔස්මන් ද සිල්වා මහතා සමගය. ඒ අනුව ලංකා පොලිස් ඉතිහාසයේ මාමාත්, බෑනාත් පොලිස්පති වීමෙන්ද අලුවිහාරේ පවුල වාර්තාවක් තබා ඇත. අනෙක් දියණිය වූ පිලිස් අලුවිහාරේ මෙනවිය පැටි්රක් රත්වත්ත මහත්මා සමග විවාහ වූවාය. මේ දෙපළගේ එක් පුතණුවකු වන්නේ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති හා අධ්යක්ෂ ජනරාල් චරිත රත්වත්තේ මහතාය.
ශ්‍රීමත් රිචඞ් අලුවිහාරේ මහතාගේ ඥාති සහෝදර විලියම් අලුවිහාරේ මහතාගේ පරපුරද මාතලේ දිසාවේ කීර්තිමත් දේශපාලකයන් රැසක් බිහිකළ පරපුරකි. හිටපු අමාත්‍ය ඇලික් අලුවිහාරේ මහතා සහ එතුමන්ගේ පුතණුවන් වන රන්ජිත් අලුවිහාරේ සහ වසන්ත අලුවිහාරේ දෙපළ අදද මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන නායකයන්ය.
මේ අනුව අලුවිහාරේවරු අතීතයේ සිට පාලනයේ දක්ෂ සටන්කාමීත්වයේ පරතෙරට ගිය පරපුරකි. ඒ පරපුරෙන් බිහිවූ හිටපු පොලිස්පති රිචඞ් අලුවිහාරේ මැතිතුමාගේ ශ්‍රී නාමය ලක්දිව පොලිස් නාමය තිබෙනතුරු ජීවමානව පවතිනු නිසැකය.
අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා