වලව් ලෙන්දොර
ජනතාවට විවර කළ
මිණිපුර රතු තරුව- 07
1977 මහ මැතිවරණයේ පශ්චාත් සමය සරත් ඇතුළු ප්‍රගතිශීලි ජනතාවට සංක්‍රාන්ති සමයක් විය. හයෙන් පහක ඡන්ද බලයක් හා විධායක ජනපති බලයක් සහිත ජේ. ආර්. ජයවර්ධන පාලනය යටතේ මුල් සතියේම සිදු කෙරුණු ප්‍රහාරාත්මක පළිගැන්වීම්වලට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවිය.
පරාජිත මන්ත්‍රීවරු ගමට නොගොස් සැඟවී සිටියද සරත් කලවාන ඡන්ද ප්‍රතිඵලය නොඅසාම වහා ගමට යාමට පිටත් විය.
‘මං පරාදයි’ ඒත් දැන් මෙතනට වෙලා ඉඳලා හරියන්නේ නෑ. එහෙ මිනිස්සුන්ට මොනව වෙලාද දන්නෙ නෑ. මේ වෙලාවෙ මං එතන ඉන්නම ඕන.
ඒ වනවිටත් සරත්ගේ ආධාරකරුවන්ගේ නිවස ගිනිතබා පහරදී දේපොළ කොල්ලකෑම අරඹා තිබිණ. බරපතළම පළිගැනීමට ලක්වු ප්‍රධාන ආධාරකරු වූ ඇල්බින් ෆොන්සේකාගේ දේපොළ කොල්ල කෑ සාහයිකයන් 09 දෙනෙකුට නඩු පැවරූ සරත් ඔවුන්ට බරපතළ වැඩ ඇති සිරදඬුවම් ලබා දුන්නේය.
සරත් පරදවා කලවාන අසුන දිනුවේ අබේරත්න පිලපිටිය මහතාය. ජයග්‍රහණය භුක්ති විඳීමට ඉඩදී නිහඬව සිටි සරත්ට ඡන්ද සමයේ අභූත චෝදනා එල්ල කර මුද්‍රණය කර තිබූ කැලෑ පත්තර කිහිපයක් ඇස ගැසිණ. සරත් වංචාකාරයෙක් යයි එහි විය.
‘පුතා කොච්චර සල්ලි ගියත් කමක් නෑ අපි මුන්ට විරුද්ධව පෙත්සමක් දාන්න ඕනෑ’ පියාවූ රටේ මහත්මයා පුතාවූ සරත් දිරිගැන්විය. ඒ අනුව පැවරූ ඡන්ද නඩුවෙන් සරත්ට අපහාසයක් වූ බව නිසැකවම ඔප්පුවීම නිසා උසාවිය අබේරත්න පිලපිටියට අසුන අහිමි කළේය.
සරත්ට එරෙහි අභූත චෝදනා නම් විදේශ විනිමය වංචා කිරීම, කෘෂිසේවා මධ්‍යස්ථානයට වෙන්කළ රජයේ මුදල් පරිහරණය හා සරත්ගේ මාමණ්ඩිය වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ගෙනැවිත් දුන් භයානක අවි ආයුධ ළඟ තබා ගැනීමයි. මෙම චෝදනා පදනම් විරහිත බව ඔප්පු විය.
එම තීන්දුවට එරෙහිව පිලපිටිය විසින් 1980.01.28 දින අභියාචනාධිකරණය වෙත පෙත්සමක් යොමු කළත් පළමු තීන්දුවම සනාථ විය. ඉනුත් නොනැවතී පිලපිටිය මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියේය. එම ඇපෑලද ගාස්තුවටත් යටත් කර ප්‍රතික්ෂේප කෙරිණ.
මෙසේ තුන් වරක් අබේරත්න පිලපිටියට කලවාන අසුන නීතියෙන් අහිමි කළද ආණ්ඩුවේ නීතිඥ උපදෙස් අනුව ඔහු කළේ පිට පිට තුන් මසක් මැතිසබයට නොපැමිණ මන්ත්‍රීධුරය අවලංගු කර ගැනීමයි. ඉන්පසු ඔහු කලවාන චිට් මන්ත්‍රී ලෙස අසුන් ගත්තේය.
‘අසුන අහිමි වෙලත් පිලපිටිය මැතිසබේ’
සමාජවාදී පත්තර එය වාර්තා කළ අයුරුය. මෙම නීති විරෝධී ක්‍රියාව පිළිබඳව දිගින් දිගටම තර්ක විතර්ක ගලා එද්දී පිලපිටිය තම අසුනෙන් බැහැර නොවුණේ ආණ්ඩුවේ බලය පෙන්වමිනි.
කොටින්ම කලවාන අතුරු මැතිවරණයට නාමයෝජනා ගනිද්දී ඔහු සිටියේ තම අසුනේය. ඒ කතානායක බාකීර් මාකර් මහතාගේ අවසරය අනුවය. මෙලෙස මැතිවරණයකින් මේ කතානායකගේ නියෝගයක් පරස්පරවීම නිසා අසුන්ගෙන සිටින මන්ත්‍රීවරු පත්වී එන මන්ත්‍රීටද එකම මන්ත්‍රී ආසනය සඳහා අසුන් දෙකක් පැනවිමට රජය තීරණය කළ බව අගමැති නිවේදනය කළේය.
උත්තරීතර විය යුත්තේ පාර්ලිමේන්තුවද ජනතාවද යන තර්කය මෙන්ම පිළිගත යුත්තේ කථානායකගේ තීරණයද උසාවි නියෝගය දැයි යන තර්කය උණුසුම් විවාදයක් බවට පත්විණි.
අවසානයේ සුදුස්සාට සුදුසු තැන ලැබිණි. කලවාන අතුරු මැතිවරණයෙන් කොමියුනිස්ට් පක්ෂයේ සරත්ට ඡන්ද 13,419ක්ද ස්වාධීනව තරග කළ ලයනල් ගුණසේකරට ඡන්ද 11,016ක්ද ලැබිණි. සරත් දෙවන වරටත් පාර්ලිමේන්තු ආවේ එසේය. ඊට එරෙහිව දෙවන අපේක්ෂක ලයනල් ගුණසේකර ඉදිරිපත්කළ පෙත්සමද ගාස්තුවටත් යටත් කර නිෂ්ප්‍රභ කෙරිණි.
1980 රත්නපුර මහ නගර සභා ඡන්දය දිනුයේ යු.ඇන්.පියයි. එයින් උද්දාමවූ ඔවුහු වීදි පුරා සැරිසරමින් ප්‍රීති ඝෝෂා කළහ. ඔවුන් ඉදිරියට ආවේ පොලිස් රියකි.
‘රංචු ගැහිල යන්න එපා. කොමියුනිස්ට් කාර්යාලෙ ඇතුළෙ බෝම්බ තියාගෙන කට්ටියක් ඉන්නවාලු.
මෙය ඇසූ පිරිස විසිර ගිය අතර පොලිසිය වරකාතොට කොමියුනිස්ට් කාර්යාලය වටලා තුවක්කුවක් සහ කළු පැහැති දියරයක් සහිත බෝතලයක් අත්අඩංගුවට ගත්තේ පාක්ෂිකයන් තිදෙනෙක්ද සමගය.
‘ස්වාමීනි මෙන්න තුවක්කුවේ නීත්‍යානුකූල බලපත්‍රය. සැකකාරයගෙ ගෙදර තිබිලයි ඒක පොලිසියම හොයාගෙන තියෙන්නේ. අනිත් එක මේ බෝතලේ තියෙන්නේ ඇසිඞ් නොවෙයි තනිකර ඇල් වතුර.
මෙසේ පැවසූ නීතිඥ සරත් ඇසිඞ් බෝතලයෙන් බිඳක් තම අතට හෙළා උසාවියට පෙන්විය. 1981 නොවැම්බර් 24 දින සරත් මුත්තෙට්ටුවගම නමැති රතු තරුව ජනිත කළ උදාර පියා අභාවප්‍රාප්ත විය.
සරත් මුත්තෙට්ටුවගම යනු හැම අර්බුදයකටම අත දමන්නට නොගිය කට ඉස්සර නොකළ තන්වැසි නුවණින් ඉලක්කයටම ප්‍රහාර එල්ල කර ජය ලැබුවෙකි. අයුක්තිය දුටු තැන අධිකරණ නීතියට සිවිල් නීතියට පාර්ලිමේන්තු නීතියට හෝ පක්ෂ සම්මුතින්ට එරෙහිව ගිය රැඩිකල් චරිතයකි.
සරත් පාර්ලිමේන්තුවේ ඉඟුරු කල්ලියේ නිල නොලත් රජතුමාය. සරත්ගේ අවසන් කතාව පැවැත්වූයේ රත්නපුර නගර ශාලාවේ කොමියුනිස්ට් තරුණ සමුළුවේය. ඉන්දියාව අමනාප කරගෙන මේ රටේ ත්‍රස්තවාදි ජනවාර්ගික අර්බුදය විසඳන්න බෑ. විදේශ හමුදා උපදේශකයන්ට කෝටි ගණන් මුදල් වැය කිරිම අපරාධයක්. ඒ සරත්ගේ හඩයි.
1980 මහ වැඩවර්ජනය සාධාරණීකරණය කරමින් වර්ජකයන් සමග සටන් පුවරු ඔසවාගෙන සරත් වීදියට බැස්සේය. රු. 300කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ජූලි වර්ජකයන් වර්ජනයට අවතීර්ණ වූ අතර රජය කළේ නිර්දය අයුරින් ඔවුන් සියල්ලන් නෙරපා දැමීමය. ඉතා අසරණ වූ රජයේ සේවකයෝ දිවි නසා ගැනීමටද පෙළඹුණහ.
ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් පිටතත් තමා මියෙන තුරාම සටන් කළා. එකම මහජන නියෝජිතයා ලෙස සරත් නම් කළ හැකිය. ඔහු පෙළපාළිවල පමණක් නොව ඔවුන් හා උපවාසයටද එක්විය. වරක් කුසගින්නේ සිටි වර්ජකයන්ද කැටුව රත්නපුර නගර ශාලාවේ පැවැති ග්‍රාමෝදය සභාපතිවරුන්ගේ රැස්වීමට කඩා පැන බලෙන් වේගවත් කථාවක් පැවැත්විය.
80 වර්ජන සටනේදී පොදු සේවක සංගමයේ ඩී. සෝමපාල නම් කම්කරු නායකයා මරාදමුණු ලැබිය. ඔහුගේ මරණ පරීක්ෂණයට සරත් ඉතසිතින් ඉදිරිපත් විය.
‘සරත් කලවාන මන්ත්‍රීවරයා බව මාත් පිළිගන්නවා. එතුමා අවංකවම දේශපාලනයේ යෙදුණා. අපගේ නිවාස වැඩසටහනටද දායක වූ ජාති මාමකයෙක් මෙසේ පැවසුවේ අගමැති ප්‍රේමදාසයන්ය.
ජනනායකයකු සතුවිය යුතු සියලු ලක්ෂණ සපුරා තිබුණ ද සරත්ගේ ජීවිත කාලය පුරා සිදුවු හැල හැප්පීම් හා සතුරු උවදුරු නම් නිමක් නොවිණ. ඒ මදිවාට මාරක රිය අනතුරු කිහිපයක්ද දෛවයේ සරදමක්සේ ඔහු පසුපස හඹා ආවේය. එවැනි අනතුරු ගණන 09 කි.
පළමුවැන්න 1951 රත්නපුර පුළුඟුපිටියේදී හිතුවක්කාර ලෙස රටේ මහත්තයාගේ ‘ඩෙමිලර්’ වර්ගයේ රිය පදවා වූ අනතුරය. ඉන් සරත්ගේ දිවි බේරුණි. දෙවනුව 1959 දී ඔහුගේම පෝඞ් ප්‍රියට් රිය ලොරියක ගැටීමෙන් සුළු තුවාල ලැබීය. එය විකුණා ගත් රියද බටුහේනේදී පෙරළිණි.
1960 දී පැල්මඩුල්ලට නුදුරු සන්නස්ගමදී ඔහුගේ ජීප් රිය අනතුරට ලක්වූ අතර එම වසරේම ඔහු තම ෆොක්ස්වැගන් රිය පදවාගෙන ගාල්ලේ සිට කොළඹට එද්දී බම්බලපිටිය වටරවුමේදී රිය අනතුරට ලක්විය.
1970 දී කලවාන මන්ත්‍රීධුරය දරද්දී බොරැල්ලේ සේනානායක වටරවුමේදී සිදුවූ අනතුරින් සරත් බරපතළ තුවාල ලැබ දිවි ගලවා ගත්තේය. 1977 දී බදුල්ලේ හාළිඇලදී රැස්වීමක් අමතන්නට යද්දී කඳු පල්ලම් සහිත මාර්ගයෙන් ලෙස්සා වාහනය විනාශ වූයේ සරත් බේරෙමිනි.
දෛවය ඔහුට නියම කර තිබූ පරිදි මාරාන්තික ඡන්ද සටන්වලින් ජයගත් සරත් මුත්තෙට්ටුවේගම නමැති රැඩිකල් මානවවාදී තරුණ නායකයා 1986 මැයි 18 දා රාත්‍රී රත්නපුර නව නගරයේ සිදුවූ නමවන මාරක රිය අනතුරින් සමාජවාදී ජන සමාජයේ දහසක් පැතුම් මිලින කර සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කළේය. උතුරේ සටන් පවා නතර කර ඒ අභිත ජනතා පුත්‍රයාට බුහුමන් පවත්වන ලදී.
මිණිපුර සිරිසේනයන්ගේ “තිස්වසරක සටන් ඉතිහාසය” ග්‍රන්ථය ඇසුරිනි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි