දොස්තරට විනිසුරුගෙන් කාරයක්


 

අධිකරණ ක්ෂේත්‍රය පිළිබඳව මේ දිනවල විවිධ අන්දමේ පුවත් වාර්තා දිනපතාම අසන්නට ලැබේ. උසාවි නියෝග කඩ කිරීම් ගැන වාර්තා නොවන දිනයක් නොමැති තරම්ය. විවිධ වැරදි පිළිබඳව අධිකරණය හමුවට නොපැමිණි පුද්ගලයින්ට වරෙන්තු නිකුත් කිරීම ද නිතර අසන්නට ලැබේ. වරෙන්තු ආපසු කාඳවීම්ද ඒ අතර වෙයි.

 

අධිකරණය හමුවේ සාක්කිදීම සඳහා කැඳවීමට උසාවි නියෝගයක් නිකුත් කළ විට උසාවියට නොපැමිණීමද වරදක් බවට පත්වේ. එය අධිකරණය හෑල්ලුවට ලක්කිරීමක් ලෙස පිළිගැනීමද අධිකරණ සම්ප්‍රදාය වී ඇත. සාක්කි දීමට උසාවියට පැමිණෙන ලෙස විනිසුරුවරයකුගෙන් නියෝගයක් නිකුත් කර තිබුණේ මාතර රෝහලේ එවකට හිටපු වෛද්‍යවරයකුටය. විනිසුරුවරයා නඩු විභාගය ආරම්භ කළේය. එහෙත් සාක්කිදීම සඳහා වෛද්‍යවරයා නොපැමිණි බැව් විනිසුරුවරයාට දැනුම් දෙනු ලැබීය. වහාම ඔහු සේවය කරන රෝහලට දුරකථන ඇමතුමක් දෙන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.


දුරකථන පණිවුඩය ලැබීමෙන් පසු වෛද්‍යවරයා ප්‍රමාදවී උසාවියට පැමිණියේය. නියම වේලාවට උසාවියට නාවේ මන්දැයි විනිසුරුවරයා වෛද්‍යවරයාගෙන් නිදහසට කරුණු විමසීය. විනිසුරුවරයා ඇමතූ වෛද්‍යවරයා කියා සිටියේ තමාට රෝගීන් බැලීමේ රාජකාරී පැවරී ඇත්තේ ඒ වෙලාවට බවය.


“මට වාට්ටුවල සිටින රෝගීන් පරීක්ෂාකර බලා ඔවුන්ට බෙහෙත් නියම කිරීමට තියෙනවා” යයි වෛද්‍යවරයා කරුණු ඉදිරිපත් කළේය.


“පැයක් ප්‍රමාද වුවහොත් ඒ ලෙඩුන් මැරෙනවාද?”යි විනිසුරුවරයා නැවත වෛද්‍යවරයාගෙන් විමසීය. එයට ද පිළිතුරු දුන් වෛද්‍යවරයා කියා සිටියේ තමාට පැවරී ඇති ප්‍රධාන රාජකාරිය වන්නේ රෝගීන් බැලීම බවය.


උදේ නමයට උසාවි ඇවිත් සාක්කි දී ආපසු යෑමට කිසියම් වැඩපිළිවෙළක් යෙදිය නොහැකිදැයි එවර විනිසුරුවරයා වෛද්‍යවරයාගෙන් විමසීය. එයට පිළිතුරු දුන් වෛද්‍යවරයා තමාට එසේ ඒමට හැකියාව තිබෙන නමුත් ඒ සඳහා රජයෙන් අමතර වියදමක් දැරීමට සිදුවනු ඇති බව පැවසීය. සැතපුම් භාගයකට වඩා වැඩිදුරක් ගමන් කිරීමට සිදුවන්නේ නම් තමාට මෝටර් රථයක් සඳහා ගාස්තු අය කිරීමට හැකි බැව් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. එයට විසඳුමක් ලබාදුන් විනිසුරුවරයා උසාවියෙන් තමාටදී ඇති මෝටර් රථය රෝහලට එවීමට හැකි බවත් එමගින් නියමිත වේලාවට පැමිණීමට හැකි දැයි වෛද්‍යවරයාගෙන් විමසීය. වෛද්‍යවරයා එයට එකඟවිය. අනතුරුව වෛද්‍යවරයාගෙන් සාක්කි සටහන් කරගැනීම සිදු කෙරිණි.


මෙම නඩු විභාගය සිදුකරනු ලැබුවේ 1934 ජනවාරි නම වැනිදා මාතර පොලිස් උසාවියේ විනිසුරුවරයා ලෙස සේවය කළ ජේ. ලුවී පෙරේරා නම් මහතෙකි. සාක්කිකරු වූයේ මාතර අධිකරණ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ එච්. ඊ. ෂොක්මන් නමැති වෛද්‍යවරයෙකි. මෙම විනිසුරුවරයාගේ ක්‍රියාව පිළිබඳව 1934 ජනවාරි 11 වැනිදා දිනමිණ පුවත්පත මගින් මහත් ප්‍රසිද්ධියක් ලබාදී තිබිණි. එදා දිනමිණ ප්‍රධාන පුවත බවට පත්වූ එම පුවත ඒ අයුරින්ම මෙසේය.


නඩුකාර මහතාගේ රථය දොස්තර මහතාට පාවිච්චි කරන්නට ඉඩදීම.


කෝන්ගලදී මන්නෙන් කෙටූ විත්තිකාරයා සිරගෙට යැවීම.


මාතර පොලිස් නඩුකාර තැන්පත් ජේ. ලුවී පෙරේරා මහතා අධිකරණය පිළිබඳව වෛද්‍ය නිලධාරී තැන්පත් දොස්තර එච්. ඊ. ෂොක්මන් මහතාට ආමන්ත්‍රණයකොට “මහත්මයාට සාක්ෂිදීම සඳහා උසාවියට පැමිණෙන්නට සිදුවන දවස්වලදී මගේ මෝටෝ රථයෙන් ගමන් කළ හැකිය. එය පූර්වාභාග 8.55ට ආරෝග්‍යශාලාව ළඟ නවත්වා තබනු ලැබේ යයි කීවේය. උසාවියේ පහසුවත් ගමන් බිමන් වියදම් ඌනත්වයත් ඇති කිරීම සඳහා මෙම තීරණයට බැසගත් බව සැලකිය යුතුය.


පිහියා ඇනුම් නඩුවක් සම්බන්ධයෙන් අද දොස්තර ෂොක්මන් මහතා පොලිස් උසාවිය ඉදිරියට පැමිණිය යුතුව තිබුණේය. නමුත් නියමිත වේලාවට ඒ මහතා උසාවියේ නොසිටීමෙන් ටැලිෆෝන් පණිවුඩයක් යවන ලදී. ඒ පණිවුඩය ලැබ දොස්තර මහතා උසාවියට පැමිණියේය.


නඩුකාර මහතා:- දොස්තර මහතාණනි, තමුසේට උදේ වරුවේ තිබෙන වැඬේ මොකක්ද?
දොස්තර මහතා:- වාට්ටු බලන්නට ගොස් ලෙඩුන් පරීක්ෂා කර බලා බෙහෙත් නියම කිරීමයි.


නඩුකාර මහතා:- පැයක් ප්‍රමාද වුණාම ඒ ලෙඩුන් මැරෙන්නේ නැහැ.
දොස්තර මහතා:- උදෑසනම මට කරන්නට තිබෙන පළමුවැනි වැඬේ ලෙඩුන් බැලීමයි.


නඩුකාර මහතා:- උදේ නමයට උසාවියට ඇවිත් සාක්කි දී ආපසු යෑමට යම්කිසි වැඩ පිළිවෙළක් ඇතිකරගන්නට බැරිද?
දොස්තර මහතා:- සැතැප්ම භාගයකට වැඩියෙන් ගමන් කරන්නට සිදුවුවහොත් මට මෝටර් රිය ගාස්තුවක් අයකර ගැනීමට බලය තිබේ.


නඩුකාර මහතා:- මහත්මයාට සාක්ෂි දීම සඳහා උසාවියේ මෝටර් රථයෙන් ගමන් කළ හැකිය. එය පූර්ව භාග අටයි පනස් පහට ආරෝග්‍යශාලාව ළඟ නවත්වා තබනු ලැබේ.
දොස්තර මහතා:- උසාවියට උදව් කිරීමට නිතරම සූදානම්ව සිටින හෙයින් ඒ ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ.
නඩුකාර මහතා:- බොහොම ස්තූතියි.


මීට පසුව දොස්තර ෂොක්මන් මහතා නඩුව සම්බන්ධයෙන් සාක්කි දුන්නේය. මේ වනාහී 1933 දෙසැම්බර් මස නව වැනි දින කෝන්ගලදී මන්නෙකින් කොටා කේ. මතෙස්හාමි නැමැති මිනිසෙකුට තුවාල කරන ලදැයි කෝන්ගල සීතාවක ලියනගේ ඩිංගිරි අප්පු නැමැති මිනිසෙකුට විරුද්ධව හක්මන පොලිසියේ සී. මුණසිංහ, සැරයන් තැන විසින් පවරන ලද නඩුවකි. පැමිණිලිකාරයා සාක්කි දෙමින් මෙසේ කීය. ඉහත කී දින සවස හතරයි තිහට පමණ මම පැඟිරි වගයක් මිටි බඳිමින් සිටින විට විත්තිකාරයා මට අයිති ගවයකු ඔහුගේ වත්තට ගෙනගිය බැව් මගේ දියණිය ඇවිත් මා සමඟ කීවා. මම ගොස් විත්තිකාරයාගෙන් ඒ ගැන ප්‍රශ්න කළවිට විත්තිකාරයා මා දෙසට පැන මන්නෙන් මට පහර දුන්නායි කීවේය.


නඩු විභාගයෙන් පසු නඩුකාර මහතා විත්තිකාරයා වරදකාරයා කොට ඔහුට බරපතළ වැඩ සහිතව මාස හතක් දඟගෙයි සිටීමට නියම කරමින් මෙසේ කීය.


“අද උදේ නඩු ලේඛනය දෙස බැලූවිට පිහියා ඇනුම් නඩු කීපයක් තිබෙනු දක්නට ලැබුණා. මේ අන්දමේ අපරාධවලට තදින් දඬුවම් පැමිණවීමෙන් මැඬ පැවැත්විය යුතු බව මගේ හැඟීමයි” ප්‍රකාශ කළේය යනුවෙන් පුවත්පතේ පළකර තිබිණ.