ධාන්‍යගාරයක සිහිනය දුටු ජනතා පුත්‍රයා


 

රට, ජාතිය, ආගම වෙනුවෙන් අප්‍රමාණ ධනයක් වැය කරන ලද්දේ වී නමුදු ඇෆ්. ආර්. සේනානායක මැතිතුමා කිසිදු අනාගත දේශපාලන අපේක්ෂාවකින් යුතු කෙනෙකු නොවීය. එතුමා සාකල්‍යයෙන්ම පරහිතකාමී සමාජ සේවකයෙක් වූවේය. එතුමා නිරන්තරයෙන්ම දේශපාලනය කෙරෙහි යොමු කරනු ලැබුවේත් ධෛර්ය දුන්නේත් බාල සොහොයුරු ඩී. ඇස්. සේනානායකයන්ටය. 


1915 ජාති භේදවාදී අරගලයෙන් පසු එවකට ජාතික දේශපාලන නායකත්වයේ සිටි පුරෝගාමීන් වූ සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම්, සර්. ඩී. බී. ජයතිලක, ඩබ්ලිව්. ඒ. ද සිල්වා, ජේම්ස් පීරිස් ආදීන් සමග එක්ව ලංකා ජාතික සංගමය නමැති දේශපාලන සංවිධානය පිහිටුවා ගැනීමටද ඩී. ඇස්. සේනානායක  මහතා විශාල කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රී ලංකාවට ජාතික නිදහස ලබාගැනීම සඳහා වූ අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරී සංවිධානය වූවේ එයයි. සර් බාරොන් ජයතිලකයන් හැරුණු විට එහි දෙවැනි නායකයා ලෙස කැපී පෙනුණේ ඩී. ඇස්. සේනානායක මහතාය. 


ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මීගමුව ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් 1924  ඔක්තෝබර් 15 වැනි දින ප්‍රථම වරට තෝරා පත්කර ගැනු ලැබූ ඩී. ඇස්. සිය අභාවය සිදුවූ 1952 මාර්තු 22 වැනි දින දක්වා ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමට සමත් විය. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් මෙරට ජනතාවට යහපත් හා නිදහස් පාලන ක්‍රමයක් දිනා ගැනීම සඳහා අරගලයක නිරත වෙමින් සිටි අතර ඩොනමෝර් කොමිසමේ නිර්දේශ මත රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීමෙන් පසු 1931 දී මිනුවන්ගොඩ ආසනයේ රාජ්‍ය මන්ත්‍රීවරයා වශයෙන් නිතරඟයෙන් පත්විය. එම පාලන ක්‍රියා පටිපාටියට අනුව කෘෂිකර්මික කටයුතු පිළිබඳ විධායක කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත්වීම නිසා කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ධුරය එතුමා අතට පත්විය. වනගතව පැවති රජරට පැරණි ශිෂ්ටාචාරය නැවත මතුකර ගැනීමටත් ආහාරය අතින් මෙරට ස්වයංපෝෂිත බවට පත්කිරීමටත් මෙතුමා විශාල කාර්යභාරයක් ඉටුකළේය. මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය, කන්තලේ, පදවිය, ගිරිතලේ ආදී විවිධ ජනපද වාරිමාර්ග යෝජනා ක්‍රම අලුතෙන් ඇතිකර දැනට ඇතිව තිබෙන මහා සංවර්ධනයේ නියමුවා වූවේය. දුර දැක්මකින් යුතුව ආරම්භ කරන ලද එම ව්‍යාපාර නොවන්නට ජාතික ගැටලුව මෙන්ම ජනතාවගේ ආහාර ප්‍රශ්නයද අදට වඩා විශාල අර්බුදයක්වීමට හොඳටම ඉඩතිබුණි. දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවටද මිනුවන්ගොඩ ආසනය වෙනුවෙන් පත්වූ සේනානායක මහතා සර් බාරොන් ජයතිලක මහතාගේ ඉවත්වීමෙන් පසු එම මන්ත්‍රී මණ්ඩලයේ සභානායක ධුරයටද පත්විය. එවකට ලංකා ජාතික  සංගමයේ නායකයා බවටද සලකනු ලැබීය. 


නිදහස පිණිස වූ අරගලයේ ප්‍රබලතම නායකයකු වශයෙන් අනෙකුත් දේශප්‍රේමීන් සමග කරන ලද ඉල්ලීම් බලපෑම් සහ තවත් නොයෙකුත් උපක්‍රමයන් නිසා සෝල්බරි කොමිසන් සභා වාර්තාව අනුව ඩොමිනියන් රාජ්‍ය ක්‍රමය තුළ ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තු ක්‍රමය සහිත වගකීමේ ආණ්ඩු ව්‍යුහයක් ලබා ගැනීමට එකී නායකත්වය සමත් විය. ඒ අනුව 1947 පැවති මැතිවරණයෙන් එතුමා නායකයා වශයෙන් ක්‍රියාකළ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම නිසා ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වීම් ලැබීය. එනිසාම ‘ජාතියේ පියා’ වශයෙන් විරුදාවලි ලැබීමටද ඩී. ඇස්. සේනානායක මහතා භාග්‍යවන්ත විය.


ඒ මහතා කන්ද උඩරට ඉතා පැරණි පෙළපතකින් පැවත එන ආර්. ආර්. දුනුවිල මහතාගේ සහ ග්‍රේස් දුනුවිල කුමාරිහාමිගේ දියණිය වූ එමිලි මෝඞ් (මොලී) දුනුවිල මෙනෙවිය සමග යුගදිවි ඇරඹීය. මෙම විවාහයෙන් ඩඞ්ලි සහ රොබට් යන පුතුන් දෙදෙනකුගේ සුරතල් බැලීමට වාසනාව අත්විය. 


රටේත් ජනතාවගේත් යහපත උදෙසා විශාල සේවාවක් ඉටු කරමින් විශේෂයෙන් තමන් වඩාත්ම ඇලුම් කළ විෂයය වූ කෘෂිකර්මාන්තය දියුණු කිරීමත් ශ්‍රී ලංකාව ආහාර අතින් ස්වයංපෝෂිත කිරීමත් අරබයා අනුපමේය සේවාවක් ඉටු කළ මෙම නායකයා ශාරීරික ව්‍යායාම පිරිස අසුපිටින් ගමන් කරමින් සිටියදී ගෝල්ෆේස් පිටියේදී ඇද වැටීමෙන් 1952 මාර්තු 22 වැනිදා දිවංගත විය. 


ප්‍රතාපවත් රූපකායක් සහ මනා පුද්ගල පෞරුෂයකින් හෙබි ඩී. ඇස්. සේනානායක මැතිතුමා යුරෝපීය ඇඳුමින් සැරසී සිටියත් මුළුමනින්ම දේශීය සහ ගැමි චින්තනයෙන් පෝෂණය ලබා සිටි බව නොරහසකි. 


එතුමාගේ දේශීය චින්තනය පිළිබඳව මගේ පෞද්ගලික අත්දැකීමක් මගින් සඳහන් කිරීම කාලෝචිත යැයි සිතමි. සේනානායක පවුලේ වත්මන් අනුප්‍රාප්තිකයන් වෙතින් මා වෙත භාර කෙරුණු කාර්යයක් ඉටුකරනු සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරයක යෙදුනෙමි. 


මට පැවරුණු කාර්ය වූයේ පොළොන්නරුවේ ගොවි ජනපදවල  පැරණිම ඉඩම්ලාභීන් තවමත් ජීවත්ව සිටීනම් ඒ අය හමුවී පැරණි තොරතුරු එක්රැස් කිරීමයි. 


මට මග පෙන්වූ තරුණයා ඇලහැර ව්‍යාපාරයේ දිය බෙදුම නගරයට ආසන්න ඉහකුළුවැව නමැති ගම්මානයට මා කැඳවාගෙන යනු ලැබීය. ඉඩම්ලාභියා නොබෝ දිනකට පෙර මියගොස් සිටි අතර මට හමුවුයේ ඔහුගේ බිරිඳයි. ඇය මට කී කතාවක් මෙසේය.

“ලග්ගල ප්‍රදේශයේ නාය යෑමකින් අවතැන්ව සිටියදී තැන්නේ රටේ මහත්තයාගේ නිර්දේශ පරිදි ඉඩම් ලබා ඉහකුළුවැවට පැමිණි මෙම ගොවි පවුලේ අය වගාවෙන් ලබන ලද ආදායමෙන් ඉක්මන් දියුණුවක් ලැබූහ. නිතර ගොවිජනපදවල සංචාරය කරමින් ඉඩම්ලාභීන්ගේ දුක සැප සොයා බැලීම සේනානායක කෘෂිකර්මාන්ත ඇමැතිතුමාගේ සිරිත විය. දියුණුව ලබන ගොවීන්ට මහත් සේ ආදරය කළ එතුමා ඔවුන් හමුවී තොරතුරු විමසා සාර්ථකත්වයට සුබ පැතීම  අගය කළේය. මේ අතරවාරයේ ආසන්නතම කන්නයේ ආදායමෙන් රුපියල් එක්දහස් පන්සියයක් එකතු කරගත් ලග්ගල සිට පැමිණි ඉඩම්ලාභියා අම්පාර ප්‍රදේශයට ගොස් පැරණි ට්‍රැක්ටරයක් මිලදී ගෙනාවේ තවත් විශාල ආදායමකට මග පාදා ගනිමිනි. ගිරිතලේ පාසලක් ආරම්භ කිරීමේ උත්සවයකට පැමිණි ඩී. ඇස්. සේනානායක ඇමැතිතුමා පුරුදු පරිදි අවට ගම්මාන කීපයක ගොවි නායකයන් මුණ ගැසීමට ගියේය. ඉහකුළුලැව ගොවි මහතා සතුටින් උද්දාමයට පත්විය. “ඇමැතිතුමනි, ඔබතුමාගේ සහාය නිසා අප ලොකු දියුණුවක් ලැබුවා. මේ කන්නයේ ආදායමෙන්  ට්‍රැක්ටරයකුත් ගත්තායි” කීවේ ඇමැතිතුමාගෙන්  


විශාල ප්‍රශංසාවක්    බලාපොරොත්තුවෙනි. මිදුල මැද නවතා තිබුණු ට්‍රැක්ටරය ළඟට ගිය ඩී. ඇස්. සේනානායක මහත්මා එහි තහඩුවට අතින් තට්ටු කොට ප්‍රකාශ කළේ ‘මේකෙන් මුත්‍රා ටිකක්වත් පොළවට වැටෙන්නේ නෑනෙ බං’ කියාලු. නව යාන්ත්‍රික ක්‍රමවේදයකට ට්‍රැක්ටරයක් පාවිච්චි කරමින් ගොවිතැන් කටයුතු සිදුකිරීම අවශ්‍ය වුවත් මී ගවයකුගෙන් ලැබෙන පොහොර ටිකේ වටිනාකම එතුමා අගය කළේ එසේය. දේශීය චින්තනය ගැන මෙයටත් වඩා නිදසුන් අවශ්‍ය වේද? 


ආහාරයෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම තම එකම සිහිනය කරගත්, මේ රට පෙර දිග ධාන්‍යාගාරය ලෙස ඔසවා තැබීමත් අරබයා කැපවීමෙන් කටයුතු කළ ඩී. ඇස්. සේනානායක මැතිතුමාගේ අභාවයෙන් වසර හැටපහක් සපිරෙන මෙම මොහොතේදී එතුමාගේ උදාර ප්‍රතිපත්ති මෙනෙහි කිරීමටත් ඒ අනුව කටයුතු කිරිමට ආදර්ශයට ගැනීමත් රටවාසී සැමගේ යුතුකමක් බව සිහිපත් කරවමි.

සෝමසිරි වික්‍රමසිංහ