නව ව්‍යවස්ථාවෙන් ජාතික සංහිඳියාවක්


 

එරට ප්‍රාන්ත විස්සකට අධික ප්‍රමාණයක් විමධ්‍යගත කරන ලද බලතල සහිතව මහජන ඡන්දයෙන් පත්කර ගනු ලැබූ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල සහ මහ ඇමැතිවරුන්ද ඔවුන්ගේ ඇමැති මණ්ඩලයද මගින් පාලනය කෙරේ. එම ප්‍රාන්ත සියල්ලටම බලපාන මධ්‍යම රජයක්ද වේ. මධ්‍යම රජය සමූහාණ්ඩුවකි. නාම මාත්‍රික ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය රට පාලනය කරති. ව්‍යවස්ථාදායකය සභා දෙකකින් යුක්තය.


ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ගෙන් යුත් පාර්ලිමේන්තුව ලෝක් සභා” නම් වේ. උත්තර මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාන්ත මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා පත් වේ. එමෙන්ම ඉන්දියාව සන්ධීය ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක කරයි. ෆෙඩරල් යනුවෙන් හඳුන්වනුයේ ද එම ක්‍රමයයි. මෙම ෆෙඩරල් බලතල භුක්ති විඳින ප්‍රාන්ත වෙනම රාජ්‍ය වශයෙන් වෙන්ව යාම සඳහා යුද්ධ කළ අවස්ථාවන් ද පසුගිය කාලයේ තිබුණි. පන්ජාබය සහ කාශ්මීරය දීර්ඝකාලීනව කැරලි ගසමින් වෙන්ව යාමට කළ අරගල මධ්‍යම ආණ්ඩුව බලය යොදා නිර්දය ලෙස මැඩ පැවැත්වූ ආකාරය දශක දෙක තුනකට පමණ පෙර අපි දුටුවෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මගින් ලබා දී ඇති බලතල අනුව මධ්‍යම රජය එම වෙන්වීම් මර්දනය කිරීමට කටයුතු කළේය. නිදහස් ඉන්දියාවේ ප්‍රථම අධිකරණ ඇමැතිවරයා වූ ආචාර්ය අම්බෙඞ්කාර් මහතාගේ මූලිකත්වයෙන් කෙටුම්පත් කෙරුණු ඉන්දීය නිදහස් ව්‍යවස්ථාව සකස් කිරීමේදී පීඩිත කුලයක සාමාජිකයෙකු වශයෙන් විඳින ලද අමිහිරි අත්දැකීම් පවා උපයෝගී කරගත් බව තතු දන්නෝ සඳහන් කරති.


ඉන්දියාවේ අසල්වැසියා වන බලගතු චීනය ආර්ථික වර්ධනය අතින් ධනවත් ඇමෙරිකා එක්සත් ජනපදය පසුබස්වා ඇත. පසුගිය වසර දෙක තුනේ පැවැති මහා ආර්ථික අවපාතය අවස්ථාවේදී ඇමැරිකානු ආර්ථිකය රැකගැනීමට හැකි වූවේ චීනය විසින් සපයන ලද බිලියන ගණනක ණය මුදල් නිසා බවද කියවේ. 1949 චීන ජනතාව ගස්වල කොළ පොතු අනුභව කළ බව කියනු ලැබේ.

හැත්තෑපන් කෝටියක් වූ දැවැන්ත ජනගහනයකට ආහාර සපයා දීමෙන් පසු තෙවසරක් ඇතුළත 1953 මහා ආහාර අර්බුදයේදී ලංකාවටද සහල් සැපයීමට චීනය සමත් විය. මේ සා විශාල ආර්ථික සහ සංවර්ධන ආශ්චර්යක් අත්පත් කර ගැනීමට චීනුන් දැක්වූ ප්‍රාතිහාර්ය කුමක්ද? “චීනය යනු නිදා සිටින යෝධයෙකි. ඔහු නැගිටුවන්නට එපා.” යැයි ප්‍රංශයේ නැපෝලියන් අධිරාජයා කියා ඇත. 1949 චීන සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය මගින් එම යෝධයා අවදි කර චීන ජාතික චින්තනය ප්‍රබෝධවත් කර අවුස්සාලීමට සභාපති මාඕ සේතුං සමත් විය. ඒ සඳහා උපයෝගී කරගත් මෙවලම් වූවේ චීන කොමියුනිස්ට් පක්ෂයයි.” දහසක් මල් පිබිදේවා” යන නව සංකල්පයෙන් මතු කරන ලද්දේ වැඩි වැඩියෙන් මති මතාන්තර, සංකල්ප, අදහස් බිහිවේවා යන්නයි. ඒවා අතර ඇතිවන තරගය තුළින් චීනයේ සංවර්ධනය උපරිම තලය දක්වා මෙහෙය විය හැකි බව මාඕ සේතුං තුමාගේ අදහස විය. එය සාර්ථක වී ඇත.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහා චීන දේශය ඒකීය රාජ්‍යයකි. එය පාලනය වන්නේ චීනයට අදාළ කරගනු ලැබූ මාක්ස් ලෙනින්වාදී මාඕ සේතුං චින්තනය මගිනි. සමාජවාදී සමාජයක් ගොඩනැගීම අවධාරණය කරමින්ද, නිර්ධන පන්ති ආඥදායකත්වය යටතේ විප්ලවය ගෙන යාමේ පිළිවෙත රකිමින්ද පන්ති සටන, නිෂ්පාදනය  සඳහා වූ සටන හා විද්‍යාත්මක අත්දැකීම් යන විප්ලවීය ත්‍රිවිධ ක්‍රියාකාරිත්වය ඉදිරියට ගෙන යාම අරමුණ වේ. රජයේ ඉහළම තත්ත්වය දරන්නේ කොමියුනිස්ට් පක්ෂ යයි. එය සමස්ත චීන ජනතාවගේ නායකත්වයේ හරය වන්නේය. එය කම්කරු පන්තියේ පෙරමුණ ගන්නා බව දක්වා ඇත. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සභාපතිවරයා චීන සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි අණදෙන නිලධාරියාද වේ. චීන මහජන සමූහාණ්ඩුවේ සියලු බලතල ජනතාව සතුවේ. ජනතාව, ජාතික කොන්ග්‍රස් සභාව සහ ප්‍රාදේශීය ජනතා කොන්ග්‍රස් සභාව තුළින් විවිධ මට්ටම්වලින් රාජ්‍ය බලය ක්‍රියාත්මක කෙරේ.


ආර්ථික ක්ෂේත්‍රයෙහි චීනයේ සාර්ථකත්වයේ රහස වන්නේ වැඩ කිරීම අගය කර ඇති ආකාරයයි. වැඩෙහි යෙදීම හුදෙක් සෑම නිරෝගී පුද්ගලයෙකුම සතු සම්මානනීය යුතුකමක් ලෙස ව්‍යවස්ථාවෙහිම දක්වා ඇත. රාජ්‍යය සමාජවාදී ශ්‍රමය අගය කිරීමට පොළඹවයි. පුරවැසියන්ගේ සමාජවාදී උද්‍යෝගයත් එම වැඩෙහි යෙදීමේ නිර්මාණශීලීත්වයත් උද්දීපනය කෙරේ. අබිං තොල ගාමින් අලසව නිද්‍රෝපගතව සිටි චීන මහා රාජ්‍යය දියුණුවේ අංක එක බවට පත්වූයේ ඒ අයුරිනි. පැරණි සෝවියට් දේශය, කැනඩාව, ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව ආදී සියලුම රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි දැක්වෙන්නේ ඒවා සන්ධීය හෙවත් ෆෙඩරල් ක්‍රමයේ රාජ්‍යයන් බවයි. 


ප්‍රංශ ජාතිකයන් විසින් ඇතිකරන ලද කැනඩාව 1873 තෙක් ප්‍රංශ යටත් විජිතයක් ලෙස පාලනය කරනු ලැබුණි. 1873 දී පැරිස් සම්මුතිය තුළින් ප්‍රංශය මහා බි්‍රතාන්‍යයට යටත්වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපයේ සත් අවුරුදු යුද්ධය නිමාවට පත්විය. ඉහළ කැනඩාව සහ පහළ කැනඩාව වශයෙන් කොටස් දෙකකින් සැදුම්ලත් මෙම සුවිශාල රාජ්‍යය අද වන විට එක්සත්, සමෘද්ධිමත් සහ සාමකාමී රාජ්‍යයක් ලෙස පවත්වා ගෙන යාමට හැකිවී තිබෙන්නේ මෙම ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා බව කියනු ලැබේ. මහාචාර්ය සී. ඇෆ්. ස්ට්‍රෝන්ග් නමැති විශාරදයා එය කෙටියෙන් දක්වා ඇත්තේ මෙසේය. “කැනේඩියානු ඩොමීනියන් රාජ්‍යය පිහිටුවන ලද්දේ බි්‍රතාන්‍ය උතුරු ඇමෙරිකානු පනත මගිනි. මෙය මුලින්ම යොදාගනු ලැබුවේ ප්‍රාන්ත හතරකට පමණක් වන නමුදු පසුව එය දහය දක්වා වැඩි කෙරුණි. මෙම පනත, එහි පසුවට කරනු ලැබූ සංශෝධනද සහිතව කැනේඩියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සලකනු ලැබේ. එහෙත් එය පුළුල් අරුතින් ගත් කල එම ව්‍යවස්ථාවට තවත් අණපනත්, ආඥාවන් ව්‍යවහාරයන් හා සම්ප්‍රදායන්ද අන්තර්ගතය.” මෙම පාලන ක්‍රමය ගැන ජනතාවගේ සතුට මෙසේ ප්‍රකාශ වී ඇත. හිටපු අගමැතිවරයෙකු ද වූ මැකන්සි කිංග් 1939 තරම් ඈත අතීතයේදී මෙසේ පවසා ඇත්තේ එබැවිනි. “වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රටක් වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටකට අපි අයත් වෙමු. බි්‍රතාන්‍යය සතු නිදහසට සමාන නිදහසක්, අප සියල්ලන්ම එකමුතුව සැලකිය යුතු යැයි අදහන නිදහසක් අපි හවුලේ භුක්ති විඳින්නෙමු.” ද්වි මණ්ඩල ව්‍යවස්ථා දායකයකින් සහ බි්‍රතාන්‍ය කිරීටය නියෝජනය කරන අග්‍රාණ්ඩුකාරවරයෙකුගෙන් සමන්විත පාලන ව්‍යවස්ථාවක් කැනේඩියානුවෝ පවත්වාගෙන යති. එහෙත් වසර කීපයකට පෙර ප්‍රංශ සම්භවයකින් පැවතෙන බහුතර ජනතාවක් වෙසෙන ක්විබෙක් ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් වශයෙන් වෙන්ව යාමට උත්සාහ කළ බව අපි දනිමු. එහෙත් ලේ නොසොල්වා එම ගැටලු විසඳා ගැනීමට කැනේඩියානුවෝ සමත් වූහ.


1972 මැයි මස 22 වැනි දින පනවා සම්මත කළ ශ්‍රී ලංකාවේ පළමු ජනරජ ව්‍යවස්ථාවේ හතළිස් පස්වැනි සමරුව යෙදෙන මේ වකවානුව වන විට මේ රටට අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේ මූලික කටයුතු සිදුවන බව අපි දනිමු. ජාතික සංහිඳියාව සහ සමගිය උදෙසා මෙම ව්‍යවස්ථාව මුල්තැන දෙන බවද කියා ඇත. එය වටිනා අදහසකි. ඒ අතරම අපි මේ ගැනත් සිතා බැලිය යුතු වෙමු. බහු වාර්ගික රටක සියලු ජනකොටස් එය මාතෘ භූමිය වශයෙන් සලකා කටයුතු කිරීම නිසැකවම සිදුවිය යුතු කොන්දේසියකි. අපේ රටේ සමහර ජනවර්ග හැසිරෙන්නේ මේ රට තම මාතෘභූමිය ලෙස අවංකවම සලකාගෙන නොවන බව කලකට පෙර මේ රටේ ක්‍රිකට් උන්මාදය බහුලව පැවැති කාලයේ පළවුණු මාධ්‍ය වාර්තා නිදසුන් කොට දැක්විය හැකිය. සමහර ජනවර්ග පාකිස්ථානයට සහ ඉන්දියාවට ජය පැතූ බව එම වාර්තා මගින් කියවුණි. ඒවා අසත්‍ය කතා වීමටත් පුළුවන. ඒ නිසා සෑම ශ්‍රී ලාංකේය පුරවැසියෙකුම තමන්ගේ රට මුල් තැනෙහිලා සිතිය හැකි ආකල්පමය වෙනසක් නොපමාව සිදුවිය යුතුය. යහපත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පමණටම එම ආකල්පමය වෙනසද රටක දියුණුව සඳහා අත්‍යවශ්‍ය බව මෙහිලා සිහිපත් කරවමි.
සෝමසිරි වික්‍රමසිංහ