වැල්ලවායේ රෝහණ විජේවීරගේ සහභාගිත්වයෙන් රැලියක් පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් එම රැලියට විජේවීර සහභාගි වූයේ නැත. විජේවීරගේ නොපැමිණීම පිළිබඳව සාකච්ඡාවක් පියසේනගේ නිවසේ පැවැත් විය.
මෙම සාකච්ඡාවට වැල්ලවාය මොනරාගල සහෝදරයින්ද, බදුල්ල නියෝජනය කරමින් ජයතිලක සිල්වාද සහභාගි වූහ. විජේවීරගේ නොපැමිණීමේ හේතුවට අමතරව සාකච්ඡා වූයේ කල්ලි වාදය හා මර්දනයට මුහුණ දෙන ආකාරයයි. නුසුදුසු ලේකම්වරු පිළිබඳවද සාකච්ඡා විය.
ඩී. එම්. ආරියසේන මහතා - මේ දිනවල අපේ අනුගාමිකයෝ බරපතළ ලෙස නොසන්සුන් වෙලයි හිටියෙ. ආරක්ෂාවට තිබුණ ආයුධ සමහරක් අත් අඩංගුවට ගෙන තිබුණා. අත් අඩංගුවට ගන්න අයට පොලිසිය පහර දුන්නෙ තිරිසන් විදිහටයි. සමහරුන් මරා දමා ඇති බවට කටකතා පැතිරිල. අහිංසකයින්ටත් මර්දනයෙන් ගැලවීමක් නැහැ. බහුතරයේ අදහස වුණේ පොලිසියට හසු වී මැරුම් කනවට වඩා සටන්කර මිය යාම සුදුසුයි කියලයි. බොහෝ දෙනෙක් කීවෙ විප්ලවයේ ආරම්භය පමාකිරීම පක්ෂයට විනාශයක් බවත්, පක්ෂය තීන්දුවකට එන්නේ නැතිනම් ස්වාධීන තීරණයක් ගෙන මොනරාගල දිස්ත්‍රික්කයෙන් පහරදීම ආරම්භ කළ යුතු බවයි.
ඊළඟ දිනයේදි ප්‍රාදේශීය නායකයින් වෙනුවෙන් රැස්වීමක් දඹගහවෙලට නුදුරු ජනපදයක පවත්වන ලදී. එම රැස්වීමට විජේවීර සහභාගි විය. අම්පාර දිස්ත්‍රික් ලේකම් නිශ්ශංක විජේවර්ධන, මොනරාගල ලේකම් අයි. ඩී. ප්‍රේමසිරි ගමගේ මොනරාගල බණ්ඩාර, වැල්ලවායේ සෙනෙවිරත්න, බදුල්ල සරත්, අජිත්. අනුර හා ජයතිලක සිල්වා රැස්වීමට සහභාගි වීමට පැමිණ සිටියහ. මෙම රැස්වීම නිසා ඉක්මන් පහර දීමක හෝඩුවාවක් සාමාජිකයින් තුළ පෝෂණය විය.
1971 පෙබරවාරි 27 වැනි දින අගනුවර හයිඞ්පිටියේ පැවති ජ.වි.පෙ රැලිය නැරඹීමට දුර බැහැරද නොසලකා වැල්ලවායෙන්ද පිරිස සහභාගි වූහ. ඒ කැපවීම එබඳුය (එය අවසාන රැලිය වෙතැයි කිසිවෙකුදු නොසිතන්නට ඇත) එම රැලිය ඔවුන්ගේ විප්ලවීය ජීව ගුණය ඉහළ දැමීමට සමත්විණ.
ඩී. එම්. ආරියසේන - එම රැස්වීමේදී විජේවීර සහෝදරයා කීවේ, විප්ලවය කවදද කියා අපේ අය අහනවා. ප්‍රතිගාමියො ඔලොක්කුවට අහනවා ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කරන්න තීරණය කරන්නෙ කවදාද? එදාට විප්ලවය ආරම්භ වෙන බවයි.
විජේවීර සහෝදරයා මේ රැස්වීම අවසන් කළේ රුසියන් විප්ලවය සිහි ගන්වමින් “ගජබාව අවුරෝරාවක් වේවා. ඇවිලන් බැරැක්කය පෙත්‍රෝගෑඞ් ගැලිසරණියක් වේවා” යනුවෙන් පවසා රුසියන් විප්ලවය ආසන්නයේ ලෙනින් ඉදිරිපත් කළ සටන් පාඨයක්වන කම්කරුවන්ගේ ගොවීන්ගේ හා සෙබළුන්ගේ විප්ලවය දිනේවා යන්න සිංහලෙන් මෙන්ම රුසියන් බසින්ද හඬගා කියමිනුයි.
ඩී. එම්. ආරියසේන මහතා මෙසේ කියයි. 1971 මාර්තු මුලදි විජේවීර සහෝදරයා රට වටේ නිරීක්ෂණ චාරිකාවකට යන ගමන් වැල්ලවායටත් ආවා. ඒ පැමිණීම සන්නද්ධ අරගලය ඇරඹීමට පෙර සූදානම් කිරීමක් ලෙසයි අපි දැක්කෙ. මාර්තු 12 උදේ විජේවීර සහෝදරයා අම්පාරට යන්න කෙලී සේනානායක සමඟ පිටත් වුණා. එදා රෑ අම්පාර උහනදි ප්‍රේමතිලකගේ නිවස පොලීසියෙන් වටලා කෙලී සේනානායක, ප්‍රේමරත්න, ප්‍රේමතිලක, බටපොල ලාල් සෝමසිරි සහෝදරවරුන් සමග රෝහණ විජේවීර අත්අඩංගුවට ගත්තා. මෙය අත්අඩංගුවට ගැනීමක්ද, අත්අඩංගුවට පත්වීමක්ද යන්න පිළිබඳව විවිධ මත සාමාජිකත්වය තුළ පැතිරුණි. 1971 මාර්තු 16 වැනි දින සංවිධානාත්මක පිරිසක් විසින් මොනරාගල කච්චේරිය ගිනි තැබීමට දරන ලද උත්සාහයක් පිළිබඳව පුවත් පත් වාර්තාකර තිබිණි. එම සිදුවීම බැරවූයේද ජ.වි.පෙ ගිණුමටය.
එදිනම බණ්ඩාරනායක අගමැතිනිය ජාතිය අමතමින් පැවසුවේ “මේ රට මුදවා ගැනීමට බව පවසමින් රහස් සංවිධානයක් ක්‍රියාත්මක වෙන බව අපි දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් නිසා අපි මේවට ඉඩ දුන්නා. රැස්වීම් තියන්න පුවත් පත් හා පත්‍රිකා මුද්‍රණය කරන්න. බෙදා හරින්න අපි ඉඩ දුන්නා. එහෙත් බිහිසුණු අවි ආයුධ එකතු කර ජනතාව බිය වැද්දීමට හෝ රට අවුල්කර රාජ්‍ය බලය අල්ලා ගැනීමට ඉඩ දිය නොහැකි” බවයි.
අගමැතිනිය ජාතිය ඇමතීමෙන් පසු ඉක්මන් තීන්දුවට නොඑළඹුණහොත් එන පොට හොඳ නැති බව අපිට තේරුණා. ආරියසේන මහතා පවසයි.
රටේ පනවා ඇති හදිසි නීතිය තුළින් වේගවත්වන මර්දනයට පිළිතුරු නොසපයා විප්ලවය පමා කිරීමෙන් සංවිධානය හා ගෙන ගිය මතවාදය දියාරු විය හැකි බවට මතයක් මොනරාගල දිස්ත්‍රික්කය තුළ ඇතිවුණේ මේ අතරදීය.
විප්ලවයක් නොකෙරුණාට විප්ලවය කළ යුතු ආකාරය පිළිබඳව අපි දැනුවත් වෙලයි හිටියෙ. ගමෙන් නගර වටලා මූල කඳවුරු සෑදිය යුතුයි. එකවර විසිරුණු පහර දීමක් කර රජයේ මර්මස්ථාන මෙල්ල කරමින් රාජ්‍ය බලය ගැනීම හෝ කියුබන් ක්‍රමයට පහරදීම අසාර්ථක වුවහොත් කැලෑවට පසු බැස නැවත සංවිධාන වීම එම ක්‍රමයයි.
නොසන්සුන් වාතාවරණය මැද කෙටි දිනකදි දිස්ත්‍රික් ලේකම් ප්‍රේමසිරි ගමගේ සහෝදරයාගේ නායකත්වයෙන් දිසා කමිටුව රැස්විය. මූලිකවම සාකච්ඡා වූයේ කල්ලිවාදය හා මර්දනය නිසා ඇති වී තිබෙන පසුබෑමයි. මර්දනය ඉවසීමට අපහසු බැවින් විප්ලවීය ජීව ගුණය රඳවා ගැනීම සඳහා පහර දීම ආරම්භ කිරීම සුදුසු බව සියල්ලන්ගේම අදහස විය. නායකත්වය කැලඹිලි ඇති කිරීමට නිසි තීරණ නොගැනීමෙන් රාජ්‍ය ත්‍රස්තවාදය ශක්තිමත් වෙන බවට කරුණු ඉදිරිපත් විණි. බදුල්ලෙන් පැමිණි ජයතිලක සිල්වාගෙ අදහස වූයේද ස්වාධීන තීරණයක් ගෙන හෝ පහර දීම සිදු කළ යුතු බවයි. එමඟින් දැනට නිද්‍රාශීලිව සිටින නායකත්වයට එම තීන්දුවට අවනත වීමට සිදුවෙනු ඇති බවයි. නැතහොත් ඔවුන් ප්‍රතික්ෂේප වේවි. නව නායකත්වයක් බිහි වේවි.
දීර්ඝ සාකච්ඡාවකින් පසු අප්‍රේල් 5 දින උදේ 4.30 ට පහර දීම ඇරඹීම සුදුසු බවට යෝජනාව සැකසිණි. යෝජනාව පක්‍ෂ නායකත්වයට යොමු කිරීමේ වගකීම දිස්ත්‍රික් ලේකම් ප්‍රේමසිරි සහෝදරයාට බාරවිය.
ප්‍රේමසිරි සහෝදරයා එම යෝජනාව ජ.වි.පෙ දෙවැනි නායකයා වූ විජේසේන ජී. විතාන හෙවත් සනත් සහෝදරයාට යොමු කළේ දේශපාලන මණ්ඩලයේදී සාකච්ඡා කිරීම සඳහාය. අදාළ යෝජනාව දේශපාලන මණ්ඩලයේ සාකච්ඡාවට යොමු කරන බව දැන් වූ ඔහු දිනය හා පහර දිය යුතු වෙලාව වෙනස් නොකරන බවත් පැවසීය. වෙනසක් කිරීමට සිදු වුවහොත් ඉතා ඉක්මනින් දැනුම් දෙන බවද සඳහන් කළේය.
1971 අප්‍රේල් 02 වැනි දින ගංගොඩවිල විදුදය සරසවියේ සංඝාරාමය තුළ පැවති දේශපාලන මණ්ඩලයේ විශේෂ රැස්වීමට සහෝදරවරු නව දෙනෙක් සහභාගි වූහ.
විජේසේන ජී. විතාන හෙවත් සනත්, නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල, ඩබ්ලිව්. ටී. කරුණාරත්න හෙවත් ඉන්කම් ටැක්ස් කරු, ජේ. උයන්ගොඩ හෙවත් ඌ මහත්තයා, ලයනල් බෝපගේ හෙවත් ලයියා. එස්. වි. ඒ. පියතිලක, අනුර රන්ජිත් කුරුකුලසූරිය, සුනන්ද දේශප්‍රිය හා සුසිල් වික්‍රම සහභාගි වූ නායකයින්ය. ධනපාල, සිසිල් චන්ද්‍ර හා ලක්ෂ්මන් මහදුවගේ සහභාගි නොවූහ.
මර්දනයට මුහුණ දීමට අපහසුනම් පහරදීම මිස ගතහැකි වෙන ක්‍රියා මාර්ගයක් නොමැති බව විජේවීර යාපනේ සිරගෙදර සිට පණිවිඩයක් එවා තිබිණි. ඒ අනුව මොනරාගල දිස්ත්‍රික් යෝජනාව සාකච්ඡාවිය. අප්‍රේල් 06 දින සිට සෑම වැදගත් ස්ථානයකටම හමුදාව යෙදවීමට ආණ්ඩුව අදහස් කරගෙන සිටින බවට හමුදා ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ලැබී ඇති බව විජේසේන ජී.විතාන පැවසීය. අප්‍රේල් 05 දින සරසවි සිසුන්ට නිවාඩු වාරය ලබා දීමට බලධාරීන් තීරණය කර තිබිණ. එම කරුණු මුල්කරගෙන පහරදීම ආරම්භ කිරීම එදින සුදුසු යැයි යෝජනා විය.
සරසවි සිසුන්ට පහරදීම සඳහා සහභාගි වීමට ඉඩ ලැබෙන පරිදි 05 දින උදේ 4.30 වෙනුවට රාත්‍රී 11.30 සුදුසු යැයි අවසාන නිගමනයකට එළඹෙන ලදි. පහරදීම අරඹන දිනය හා වෙලාවන් කල්තියා හෙළිදරවු වීම වළක්වනු සඳහා පොලිස් කමිටු ලේකම් වරුන්ට අප්‍රේල් 04 දින දැන්වීමටත්, සාමාජිකයින්ට අප්‍රේල් 05 දින දැන්වීමට තීරණය විය.
ඉතිරිය ලබන සතියට...
ගණේමුල්ල බුද්ධි බොල්ලත