ජූලියා අල්වාරෙස් (Julia Alrarez) නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද In the time of butterfies කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.
මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් In time of Butterfies කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ.
තිස් හතරවැනි කොටස
අප නායකයා ඉදිරියේ වාඩිවී සිටියේ බියමුසු හැඟීමෙන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. අප අවිනිශ්චිතව බලා සිටියදී ඔහු අප දෙස නොබලාම තම පුද්ගලික සහායකයා වූ ඩොන් මැනුවල් වෙත හැරුණි. ඩොන් මැනුවල් ඩි මෙරයා සත්ව සමින් කළ කවරයක් දිග හැර එහි වූ මිරැබල් පවුලේ හැම දෙනාගේම අත්සන් සහිතව නායකයා වෙත ඉදිරිපත් කර තිබූ ලිපිය කියැවීය.
“මට පෙනෙනවා සිංඤෝරිතා මිනර්වා මෙයට අත්සන් තබා ඇති බව..” යි ඔහු පැවසුවේ මා එහි නොසිටි අයුරිනි. අම්මාගේ නම කියවා බැලූ නායකයා ඇයට චිචේරියස් සමඟින් ඥාති සබදතාවයක් තිබේදැයි විමසුවේය.
“ඇයි, චිචේ කියන්නෙ මගේ මාමා!” යි අම්මා පැහැදිලි කළාය. තමා හමුදාවේ ගෙවූ මුල් යුගයේ ටෘජිලෝ දැන හඳුනා සිටි බවට ටිටෝ චිචේ පුරසාරම් දොඩා තිබිණ.
“චිචේ ඔබට ගරුකළා නායකතුමා. ඔහු නිතරම කියනවා මුල් කාලෙදිම ඔබ නායකයෙකුගේ ලක්ෂණ පෙන්වූ බව”
“මම ඩොන් චිචේට හුඟාක් කැමතියි” ටෘජිලෝ පැවසුවේ බුහුමන් ගැන විනෝදයට පත් වෙමිනි. ඔහු තරාදියේ දාදු කැට යුගලක් එසවූයේ එහි සමබරතාව අවුලට පත් කරමිනි. “මං හිතන්නේ ඔහු කවදාවත් ඔබට මේ සම්බන්ධ කතාව කියලා නැතිව ඇති”
අම්මා මඳ සිනහවක් පෑවාය. ඈ කිසිවිට තම මාමාගේ සූදු ක්‍රීඩාව අමතක නොකළාය. “ඒ චිචේ සූදු ක්‍රීඩාවට ඇලුම් කළ බව ඇත්ත” “චිචේ හරියට වාංචා කරනවා” තාත්තාට කියැවුණි. “මං ඔහු එක්ක සෙල්ලම් කරන්නේ නැහැ”
අම්මා ඇස්වලින් පියාගේ සිදුරක් විදින අයුරින් බැලීමක් යොමු කළාය. මේ කුණාටු මුහුදේ ඈ එල්ලීමට වෑයම් කළ කඹය ඔහු කපා දමමින් තිබුණි.
“මම එයින් පිළිගන්නේ ඔබ සෙල්ලම් කිරීමට කැමතියි කියලා ඩොන් එන්රිකේ...” ටෘජිලෝ තාත්තා දෙසට යොමු වූයේ නපුරු ලෙසිනි.
තාත්තා අම්මා දෙස නෙත් යොමු කෙරුවේ ඈ ඉදිරියේ එය පිළිගැනීමට මැළිකමිනි.
ටෘජිලෝ තමා අත තිබූ දාදු කැට දෙස නෙත් යොමු කළේය.
“ඒ චිචේ? ඔහු කොලොම්බස් ගුහාවෙන් අස්ථි කෑල්ලක් සොරකම් කරගෙන මේවා හදල මට ගෙනැත් දුන්නේ මම යුද හමුදා ප්‍රධානියා හැටියට නම් කරපු වෙලාවෙදියි.”
අම්මා උනන්දුවට පත් බව පෙන්වීමට වෑයම් කළාය. නමුත් ඈ කිසිවිට ඇගේ කරදර ගෙන එන මාමාට ප්‍රිය කෙරුවේ නැත. හැම මසකම පිහි ආරවුලක්, මුදල් ආරවුලක්, බිරිය සමඟ ආරවුලක් හෝ අනියම් බිරියකගේ ආරවුලක් ලෙස ඔහු කරදර මැවීමට සමත් වූවෙකි.
ටෘජිලෝ දාදුකැට යළි හිස් තරාදි තැටියට දැමුවේය. ඒ දෙපැත්ත සමබර නොවන බව මට පෙනී ගියේ එවිටය. සත්‍ය වශයෙන්ම මගේ කිසිදු හොඳක් කිව නොහැකි මාමා ඔහුට දෙන්නට ඇත්තේ වැරදි ප්‍රමාණවලින් සෑදූ දාදු කැටය.
“මිනිස් දත් අපොයි” තාත්තා මිමුනුවේය. ඔහු කුඩා අස්ථි දාදුකැට දෙස බැලුවේ භීතියෙනි.
අම්මා තාත්තාව හිසින් දැක්වූවාය. “ඔහු ගැන සමාවෙන්න ජෝන්. ඔහුට සනීප නැහැ” ඇගේ දෑස් කඳුළින් පිරුණි. ඈ අතේ ගුළිකරගෙන සිටි හිස බඳින ලේන්සුවෙන් ඇස් පිස දැමුවාය.
“ඩොන් එන්රිකේ ගෙදර ගිහින් ටික දවසකින් යථා තත්ත්වයට ඒවි. නමුත් මෙය ඔබ හැම දෙනාටම පාඩමක් වේවි..” ඔහු මවෙත හැරුණි. නැටුමේදී දුටු මනමාල සිනාව ඔහුගෙන් තුරන්ව තිබිණ. “විශේෂයෙන් ඔබ සිංඤෝරිතා ඔබ සතිපතාම සැන් ෆ්‍රැන්සිස්කෝවේ ලා මාසා ආණ්ඩුකාරයා හමුවිය යුතු බවට සටහනක් මම තැබුවා.”
මා යමක් කීමට පෙරාතුව අම්මා මැදට පැන්නාය. “මගෙ දූරු හැමදෙනාටම උවමනා කරන්නේ යහපත්, පක්ෂපාතී රට වැසියන් වෙන්නටයි.”
එල් ජෙෆේ මදෙස බලා සිටියේ මගේ පොරොන්දු අපේක්ෂාවෙනි. මට උවමනා දෙය වෙනුවෙන් කතා කිරීමට මම සිතුවෙමි. “ජෙෆේ, එදා නැටුම් සාදය දවසේ අපි කතා කරපු දේ ඔබට මතකද දන්නෙ නැහැ..?” අම්මා මවෙත ඇස යොමනු මට දැනිණ.
නමුත් එල්ජෙෆේගේ උනන්දුව කෝපයක් වුණි. “අපි හුඟාක් දේවල් කතා කෙරුවා” “මා අදහස් කෙරුවෙ මට නීති විද්‍යාලයට යාමට උවමනා වීම ගැනයි.”
ඔහු සිය කෙටි කර කපන ලද බුරුසුවක් වැනි උඩු රැවුල පිරිමැද්දේ හාස්‍ය මුසුවය. ඔහුගේ ඇස තරාදි තැටිය වෙත යොමුවුණි. ඔහුගේ දෙතොල හෙමිහිට ප්‍රයෝගකාර සිනහවකට ළඟා වුණි. “මම ඔබට කියන්නම් කරන දේ. මා ඔබේ ඉල්ලීමට දාදුකැට උඩ දාන්න දෙන්නම්. ඔබ දිනුවොත් ඔබේ කැමැත්ත ඉටුවෙයි. මම දිනුවොත් මගේ දිනුම ලැබේවි.”
ඔහුට වුවමනා කුමක්දැයි මට අනුමාන කළ හැකිවිය. නමුත් මා ඔහුගේ රහස දැනගත් බැවින් ඔහු පැරදවීමට හැකිවනු ඇතැයි මට සිතිණ. “මම දාන්නම්” මා පැවසුවේ වෙව්ලන හඬින්ය. ඔහු සිනාසී අම්මා දෙස බැලුවේය. “මං හිතන්නේ ඔබේ පවුලේ තවත් චිචේ කෙනෙක් ඉන්නවා”
මා විගසින් වැඩිබර දාදුකැට දෙක ගෙන එය මිට මොලවාගෙන සොලවන්නට වීමි. ටෘජිලෝ සෙලවෙන තරාදිය වෙත නෙත් යොමු කළේය. එහෙත් මා අත තිබූ දාදුකැට නොමැතිව බරින් වැඩි යුගල හඳුනාගැනීමට ඔහු අසමත් විය.
“ඉදිරියට යන්න” යි ඔහු පැවසුවේ මදෙස විමසිලිමත්ව බලමිනි. “වැඩිම අංකයට ජය ලැබෙනවා” මම දාදුකැටය අත තුළ තබා සෙලවූයෙමි.
මා දාදුකැට අතහැර ටෘජිලෝ දෙස බැලුවේ මුහුණින් මතුවන සතුට වළකා ගන්නට වෑයම් කරමිනි.
ඔහු ශීතල, නපුරු දෑස් එක එල්ලේ මවෙත යොමු කර මොහොතක් බලා සිටියේය.
“ඔබට සවිමත් අතක් තිබෙන බව මා දන්නවා”
ඔබ මා කම්මුල් පහර දුන් කම්මුල අත ගෑවේ මා කෑලිවලට කපා දමන අන්දමේ බ්ලේඞ් තලයක් වැනි තියුණු සිනහවක් පාමින්ය. අනතුරුව තරාදියේ ඉතිරිව තිබූ දාදුකැටය දෙස නොබැලූ ඔහු මගේ මාමා දුන් දාදුකැට යුගල අතට ගත්තේය. ඔහු ඒවා සොලවා අත හැරියේය. සුපුරුදු ප්‍රථිඵලය ලැබුණි.
“සමානයි” මා පැවසුවේ ඔහුගේ නෙත් දෙස එක එල්ලේ බලමිනි. “දැනට”
“ඔවුන්ගේ නිදහස් කිරීමට අත්සන තබන්න” යි ඔහු ඩොන් මැනුවෙල්ට කීය. “ඩොන් චිචේට මගේ සුබපැතුම් පිරිනමන්න.” ඔහු අම්මාට පැවසුවේය. අනතුරුව ඔහු අත වැනූ සැණින් අප ඉවත්ව යා යුතු වුණි.
ඔහු දාදුකැට නැවත තබන විට මම ඇදවූ තරාදිය දෙස බැලුවෙමි. ඒවා සමබරව තිබෙන අයුරු මගේ සිතෙහි ඇඳුණි. ඔහු එක් පසෙකද මා අනෙක් පසද විය.
අප අගනුවරින් පිටත්වන විට යළි වැස්ස ඇරඹී තිබිණ. පොද වැස්ස කෙමෙන් සැඩ වර්ෂාවක් බවට පත්විය.
අප රිය කවුළු ඉහළට තල්ලු කර තිබූ බැවින් ඇතුළත තෙත් බවින් යුතු හා වාෂ්පශීලී බවට පත්විය. පිටත බැලීමට උවමනා වූ විට වීදුරු පහත් කිරීමට සිදුවුණි.
ඬේ ඬේ හා ජැමිටෝ අගනුවර රැදුණේ ඔවුන් අලුතින් ඇරඹීමට සිතා සිටි අවන්හලට උවමනා කරන දෑ ගැනීමටය. ටික කලකට ඉහතදී ඬේඬේ පුද්ගලිකව මා හා කියූ පරිදිම අයිස්ක්‍රීම් වෙළඳාම වැනි වැනී යාමකි. කුඹුරු යායේ හා වතුරට හසුවූ සතුන් ගැන සෙවීම සඳහා පෙඩි්‍රටෝට පෙරදා ගමට යාමට සිදුව තිබිණ. ඔහුට ඔහුගේ වගාබිම් මෙන්ම අපේ ඒවාද බලා ගැනීමට සිදුව තිබිණ. එබැවින් රියෙහි සිටියේ අම්මා, මා හා පැටි්‍රයාත් පිටුපස අසුනට වී දොඩවමින් ගිය තාත්තාද පමණි.
පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර