නායකයාට පිටුපා ජයගත් මන්ත්‍රීවරු


 

1956 මැතිවරණයෙන් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සියලු ප්‍රගතිශීලි දේශපාලන බලවේග එක මාවතකට ගෙන මහජන එක්සත් පෙරමුණ ලෙස මැතිවරණයට ඉදිරිපත්ව ජනතා ජයග්‍රහණයන් ලැබුවත් ආණ්ඩුව තුළ සිටි දක්ෂිණාංශික බලවේග පිලිප් ගුණවර්ධන මහතා ඇතුළු ප්‍රගතිශිලි බලවේග ආණ්ඩුවෙන් ඉවත් කරලීමට 1959 වනවිට සමත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1959 සැප්තැම්බර් 26 වැනිදා බණ්ඩාරනායක මහතාට සිය ජිවිතයෙන් වන්දිගෙවීමට සිදුවිය.


එදා ආණ්ඩුවෙන් ඉවත් වූ මාක්ස්වාදී නායකයකු වූ පිලිප් ගුණවර්ධන 1960 මාර්තු මහ මැතිවරණයට මහජන එක්සත් පෙරමුණ නාමය යටතේ කරත්ත රෝද සලකුණින් ඡන්ද කොට්ඨාස 145 න් 89 කට තරග කළේය. ඉන් 10 ක් ජයගැන්මට පිලිප් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණට හැකිවිය. 


1. අවිස්සාවේල්ල - පිලිප් ගුණවර්ධන
2. හොරණ - රත්නසිරි වික්‍රමනායක
3. කොලොන්නාව - කේ. ඊ. පෙරේරා
4. අම්බලන්ගොඩ - පී. එච්. විලියම් ද සිල්වා
5. හිනිදුම - එම්. එස්. අමරසිරි
6. හබරාදුව - ප්‍රින්ස් ගුණසේකර
7. හක්මන - රෝයි රාජපක්ෂ
8. මුල්කිරිගල - ජෝර්ජ් රාජපක්ෂ
9. තිස්සමහරාම - ලක්ෂ්මන් රාජපක්ෂ
10. නිවිතිගල - ඩී. එෆ්. හෙට්ටිආරච්චි


එම මැතිවරණයේදී ඡන්ද කොට්ඨාස 145 න් බහු මන්ත්‍රී කොට්ඨාස සමග මන්ත්‍රීධුර 151 තිබූ අතර වැඩිම ජයග්‍රහණයක් ලැබූ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ මන්ත්‍රීධුර 50 කි. ශ්‍රී.ල.නි.ප යට මන්ත්‍රීධුර 46 හිමි විය. ෆෙඩරල් පක්ෂයට 15 හා ලංකා සම සමාජ පක්ෂ හා මහජන එක්සත් පෙරමුණට 10 බැගින් ලැබිණ. මේ අනුව කිසිදු තනි පක්‍ෂයකට පාර්ලිමේන්තු බහුතරය නොලැබුණ නමුත් එක්සත් ජාතික පක්ෂ නායකයා වූ ඩඞ්ලි සේනානායක මහතා රජයක් පිහිටුවීමට හැකිබව ප්‍රකාශ කළේය.


අභිනව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම 1960 මාර්තු 30 වැනිදා පැවැත්වූයේ කථානායකවරයකු තෝරා ගැන්මටය. මෙහිදී ඇල්බට් ඇෆ් පීරිස් මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ අතර ශ්‍රීලනිපයෙන් ටී. බී. සුබසිංහ මහතාගේ නම යෝජනා කළේය. ආණ්ඩු පක්‍ෂයේ ඇල්බට් ඇෆ් පීරිස් පරදා ටී. බී. සුබසිංහ වැඩි ඡන්ද 33 කින් කතානායක ලෙස පත් වූ අතර ඉන් අධෛර්ය නොවූ අගමැතිවරයා 1960 අප්‍රේල් 06 වැනිදා හතරවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය උත්සවශ්‍රීයෙන් ආරම්භ කළේය. අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක රාජාසන කථාව පැවැත් වූ අතර එම රාජාසන කතාවට ස්තුති යෝජනාවක් ඉදිරිපත් කිරිම 1960 අප්‍රේල් 22 වැනිදා සිදුවූයේ රාජාසන කථා යෝජනා පිළිබඳව වූ විවාදය අවසානයේදීය. මෙහිදී මහජන එක්සත් පෙරමුණ පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් තීරණය කරන ලද්දේ රාජාසන කථා ස්තුති යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීමටය. එම අදහස එක් අතකින් ආණ්ඩුවට සහයදීමක් විය. විපක්‍ෂයෙන් ඉදිරිපත් කළ රාජාසන කථාවේ සඳහන් යෝජනා මෙම සභාව පිළිනොගනී යන විපක්‍ෂ යෝජනාව ඉදිරිපත් වූ විට මන්ත්‍රීවරු 10 දෙනාගෙන් තිදෙනෙක් ඊට පක්‍ෂව ඡන්දය පාවිච්චි කළහ. 


මහජන එක්සත් පෙරමුණේ තීන්දුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ තිදෙනා මෙසේය.


1. රත්නසිරි වික්‍රමනායක - හොරණ
2. රෝයි රාජපක්‍ෂ - හක්මන
3. ජෝර්ජ් රාජපක්‍ෂ - මුල්කිරිගල


ඉතිරි මන්ත්‍රීවරු නායකයා සමග කිසිදු පක්‍ෂයට ඡන්දය දීමෙන් වැළකී සිටි නමුත් විරුද්ධ පක්‍ෂයේ එනම් ශ්‍රීලනි පක්‍ෂයේ සංශෝධනයට පක්‍ෂව ඡන්ද 86 ක් හා විපක්‍ෂව ඡන්ද 61 ක් ලැබීමෙන් විපක්‍ෂ යෝජනා ජය ගත්තේය. ඒ අනුව ඩඞ්ලි සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව දින තිහක් තුළදී බිඳ වැටුණි.


ඒ අනුව 1960 ජුලි 20 දින නැවැත මහ මැතිවරණයන් පැවැත් වූ අතර ඉහත මන්ත්‍රීන් 10 දෙනාගෙන් තිදෙනෙක් පක්‍ෂයෙන් ඉවත් වූ අතර ඔවුන් තිදෙනා  ජයගත්හ.


1. හොරණ රත්නසිරි වික්‍රමනායක - ස්වාධීන
2. හක්මන රෝයි රාජපක්ෂ - ශ්‍රිලනිප
3. මුල්කිරිගල - ජෝර්ජ් රාජපක්‍ෂ - ශ්‍රිලනිප


මහජන එක්සත් පෙරමුණෙන් තරග කළ හිටපු මන්ත්‍රීවරු දෙදෙනෙක් හා තවත් මන්ත්‍රීවරයෙක් ජයගත්හ.


1. පිලිප් ගුණවර්ධන - අවිස්සාවේල්ල
2. ලක්‍ෂමන් රාජපක්‍ෂ - තිස්සමහාරාම


කොට්ටාව ආසනය රොබට් ගුණවර්ධන මහතා අභිනවයෙන් මහජන එක්සත් පෙරමුණෙන් ජයගත්තේය. පහත සඳහන් මන්ත්‍රීවරු පරාජයට පත් වූහ.


1. කොළොන්නාව - කේ. ඊ. පෙරේරා
2. අම්බලන්ගොඩ - පී. එච්. විලියම් සිල්වා
3. හිනිදුම - එම්. එස්. අමරසිරි
4. හබරාදුව - ප්‍රින්ස් ගුණසේකර
5. නිවිතිගල - ඩී. එෆ්. හෙට්ටිආරච්චි


1960 ජූලි මහ මැතිවරණයෙන් ශ්‍රිලනිප ආසන 75 ලබා ආණ්ඩුවක් පිහිටුවන ලද අතර ඊළඟ ප්‍රබලම පක්‍ෂය වූ එක්සත් ජාතික පක්‍ෂයට ලබාගත හැකිවූයේ මන්ත්‍රීධුර 30 කි.


1965 මැතිවරණය වන විට මහජන එක්සත් පෙරමුණෙන් ආසන 60 තරග කළත් ජය ගත හැකි වූයේ එක් ආසනයක් පමණි. 1960 මාර්තු මැතිවරණ සිට ප්‍රගතිශිලි බලවේග හා එක් වූ අපේක්ෂිතයින් දිගටම ජයගත් අතර පසු කලෙක ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුරට පත් දිවංගත රත්නසිරි වික්‍රමනායක මහතාද මෙසේ මහජන එක්සත් පෙරමුණෙන් දේශපාලන අත්පොත් තැබූවෙකි.

 

 


බණ්ඩාරගම - සමරසේන මුදලිගේ
ඡායාරූප : අන්තර්ජාලයෙනි