1970 මැයි 27 වැනි දින පැවැති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂවලින් සැදුම්ලත් සමගි පෙරමුණ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව වන 151 න් 115 ජයගත් අතර එය තුනෙන් දෙකක ජයග්‍රහණයක් ඉක්මවන්නක් විය.
එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි වූයේ මන්ත්‍රී ධුර 17 ක් පමණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති වශයෙන් දිවුරුම් දුන් අතර, ජේ.ආර්. මහතා විපක්ෂනායක ලෙස තේරීපත්විය. 1973 අප්‍රේල් 13 වැනි දින ඩඞ්ලි සේනානායක මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකකම හිමිවූයේ ජුනියස් රිචඞ් ජයවර්ධන මහතාටය.
1970 මහ මැතිවරණයේදී සමගි පෙරමුණු මැතිවරණ ප්‍රකාශනය අනුව නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම ප්‍රථම කාර්ය වූයෙන් ඒ සඳහා ව්‍යවස්ථාදායක ඇමැති ධුරයක්ද පිහිටුවා ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා එහි ඇමැතිවරයා ලෙස පත් කළේය. එසේම මැතිවරණ ප්‍රකාශනයට අනුව සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස නම්කර අගමැතිනිය විසින් මන්ත්‍රීවරු සියලු දෙනා රාජකීය විද්‍යාලයේ නව රඟහලට රැස්කර ව්‍යවස්ථාවක් සැකසීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේ ඒ වෙනුවෙන් විටින් විට රැස්වීම් පවත්වමිනි. මෙම ක්‍රියාවලිය සඳහා වසර දෙකක් පමණ ගතවූ අතර අද මෙන් නොව එළිපිටම සියලු සාකච්ඡා සිදුවිය. අවසානයේ 1972 මැයි 22 නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කොට එදින සිට ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් වෙන්වූ නිදහස් ස්වාධීන ස්වෛරී ජනරජයක් බවට ප්‍රකාශයට පත්කළේය. ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමත් සමග “ලංකාව” ශ්‍රී ලංකාව බවට පත් විය. ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණය ලෙස වූ බි්‍රතාන්‍ය ප්‍රිවි කවුන්සිලය අහෝසි කර ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉහළම අධිකරණය වූ අතර රැජිනගේ නාමයෙන් දිවුරුම් දීම අහෝසි විය. මහජන මන්ත්‍රී මණ්ඩලය ජාතික රාජ්‍ය සභාව ලෙස නම්වූ අතර බි්‍රතාන්‍ය රැජිනගේ නියෝජිත ලෙස තිබූ අග්‍රාණ්ඩුකාර ධුරය අහෝසිකර ජනාධිපති ලෙස ඔහු නම් කළේය.
ජනාධිපති තනතුර නාම මාත්‍ර එකක් වූ අතර විධායක බලයක් ඊට හිමි නොවීය. මේ සියල්ලටම වඩා වැදගත් කරුණක් වූයේ ජාතික රාජ්‍ය සභාවේ නිල කාලය 1972 සිට අවුරුදු 05 දක්වා දීර්ඝ කරන විධිවිධානයන් ව්‍යවස්ථාවට ඇතුළු කිරීමයි. ඒ අනුව 1970 සිට 1977 දක්වා බලයේ සිටීමට සමගි පෙරමුණු ආණ්ඩුව කටයුතු සලසා ගත්තේය. ලංකාවේ පාර්ලිමේන්තුවේ හෙවත් මන්ත්‍රීවරුන්ගේ නිල කාලය මහජන මතය නොවිමසා දීර්ඝ කරගත් ප්‍රථම අවස්ථාව මෙය විය. ප්‍රජාතාන්ත්‍රික සමාජය මෙම ක්‍රියාව හෙළාදුටු අතර ප්‍රජාතන්ත්‍රීය ආයතනවල පැවැත්මට මෙය හානිදායක බව ඇතැම් උගතුන් මෙන්ම පක්ෂ නායකයින්ද පෙන්වා දුන්නද එම ව්‍යවස්ථා වගන්තිය වෙනස් කිරීමක් නොකරන ලදී.
මෙසේ පාර්ලිමේන්තුවේ එනම් මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය අවුරුදු 02 කින් දීර්ඝ කිරීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ නායක විපක්ෂනායක ජේ. ආර්. ජයවර්ධන මහතා 1975 මැයි 27 වැනිදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහු ප්‍රකාශ කරන ලද්දේ මෙදින සිට මන්ත්‍රීධුරය දැරීමට තමාට ජනතා වරමක් නොමැති නිසා එම වරම ලබාගැන්මට ජනතාව අතරට යන බවයි. ජනතාව අතර මතයක් ගොඩනැගීම සඳහා වූ අරමුණ ජයගැන්මට ජේ. ආර්. එවර සමත්විය. 1975 ජූලි මස 18 වැනි දින නැවත මැතිවරණය දකුණු කොළඹ ආසනය සඳහා පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවිය. ජේ. ආර්. ජයවර්ධන මහතා එසේ ඉල්ලා අස්වීමෙන් පසු පැවැත්වූ අතුරු මැතිවරණයේදී වැඩි ඡන්ද 25,806 කින් නැවත දකුණු කොළඹ ආසනයට තේරීපත්විය. එම ඡන්දයේ ප්‍රථිපල මෙසේය.
ජේ. ආර්. ජයවර්ධන - එජාප - 36,919
ජේ. ආර්. පී. සූරියප්පෙරුම-ස්වාධීන - 11,113
එම්. අම්බලවානර් - ස්වාධීන - 856
සිරිතුංග ජයසූරිය - ස්වාධීන - 354
ආනන්ද ගුණසේකර - ස්වාධීන - 280
හෙන්රි දිසානායක - ස්වාධීන - 214
ආනන්ද වක්කුඹුර - ස්වාධීන - 171
එල්. ඕ. එල්. උපාලි - ස්වාධීන - 72
එච්. ජී. එස්. එස්. සමන්තිලක - ස්වාධීන - 62
වැඩි ඡන්ද - 25,806
අද මැතිවරණ කල් දමන මානසික තත්ත්වයන් ඇති පාලකයින්ට එක්සත් ජාතික පක්ෂ නායකයා එදා ආදර්ශයෙන්ම නිසි කලට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය බව රජයට අභියෝග කළේ එසේය. මෙය අද දේශපාලනඥයින්ට ආදර්ශයකි.
බණ්ඩාරගම සමරසේන මුදලිගේ