පළාත් පාලන මැතිවරණයෙන් පසුව මතු වූ දේශපාලන වාතාවරණය හමුවේ එම ඡන්ද ප්‍රතිඵලය ගැන නොයෙකුත් අර්ථ නිරූපණ ඉදිරිපත් විය. එය ආණ්ඩුවේ පාර්ශ්වයන්ගේ පරාජයක් බවට සමහරු පැවසූ අතර රජයේ තවත් සමහරු තමන් ජයගෙන ඇතැයි කීමට නොයෙක් ගණන් හිලව් පෙන්වමින් යම් කිසි වින්දනයක් ලැබූහ. මේ කතා බස් සියල්ලම අතරේ සිදුව ඇති දෙය වටහාගත් රාජ්‍ය නායකයෝ මෙම මැතිවරණ ප්‍රතිඵලය මගින් ජනතාව තමන්ට අනතුරු හැඟවීමක් කර ඇතැයිද එනිසා නව වැඩසටහනක් ඔස්සේ ඉදිරියට යාම සඳහා ප්‍රබල අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කරන බව පැවසූහ.
එසේ පැවසුවා පමණක් නොව පසුගියදා එවැන්නක් සිදු කෙරුණි. ඇමතිවරුන් හය දෙනෙකුගේ විෂයන් මාරුවී තිබුණු අතර එය සමහරුන්ගේ සිත් රිදීමකට හේතුවූ බවක්ද පෙනුණි. කෙසේ වුවත් එම ඇමති සංශෝධනය, පැවැති තත්ත්වය තවත් නරක අතට හැරවීමට සමත් සිදුවීම් මාලාවක ආරම්භය වී ඇති බව පෙනී යයි.
මෙහිදී අපේ සිහියට නැගෙන්නේ “එකක් කඩතොලු මකා ගන්නට ගොසින් සිදුවුණු කාරියා - දහක් කඩතොලු” හදාගත්තැයි ඉඳුරුවේ ආචාරියා පැරණි කියමනය. අගමැතිතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට එතුමාගේ පක්‍ෂයේම කණ්ඩායමක් සූදානම්වන බවට ආරංචි පැතිරෙමින් තිබේ. පළාත් පාලන මැතිවරණ පරාජය මෙන්ම, ඇමති මණ්ඩල සංශෝධනයේදී සිදුවූ සිත් රිදීම්ද එයට බලපාන්නට ඇතැයි ජනතාව අනුමාන කරයි. මෙම පසුබිම හමුවේ අපේ මතකය යොමුවන්නේ ඇමති මණ්ඩල සංශෝධනවලට යාම නිසා අපහසුතාවන්ට මුහුණ දුන් අවස්ථා කීපයක් කෙරෙහිය.
එයින් එක් රසවත් සිදුවීමක් වාර්තාවන්නේ අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල්ම යුගයෙනි. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මහතා 1952 මාර්තු 22 වැනිදා හදිසි අනතුරකින් දිවංගත වීම ශ්‍රී ලාංකේය ජන සමාජය කම්පනයට පත් කරන්නක් විය. ජනයා සංවේගයෙන් මුසපත් වූහ. ළදරු නිදහස් ලංකා රාජ්‍යය අගමැතිතුමාගේ අභාවය නිසා අනතුරට පත් වේදෝ යන බිය බොහෝ දෙනා තුළ හට ගැනුණේ නිරායාසයෙනි. ජාතියේ පියා යැයි විරුදාවලි ලැබූ මෙම ප්‍රතාපවත් නායකයාගේ අඩුව පුරවන්නට සමත් නායකයකු එතුමාගේ ඇමති මණ්ඩලයේ සිටී ද යන්න ජනතාවගේ සැකයට යොමුවූ කරුණක් විය. සභානායක ධුරය සහ සෞඛ්‍ය හා පළාත් පාලන ඇමතිවරයාද ලෙස කටයුතු කරමින් රජයේ දෙවැන්නා ලෙස පෙනී සිටි ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මේ වන විට සිටියේ විරුද්ධ පක්‍ෂයේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නමින් නව දේශපාලන පක්‍ෂයකට නායකත්වය දෙමින් සිටියේය. අගමැති අභාවය සිදුවනවිට සභානායක ධුරය දරමින් සිටියේ සර් ජෝන් කොතලාවල මහතාය. රජයේ දෙවැන්නා වූ ඒ මහතා අගමැතිධුරය බලාපොරොත්තුවීම නිවැරදි විය. එහෙත් ඉක්මනින් කිපෙන සුලු නාහෙට නාහන පුද්ගලයෙකු වූ සර් ජෝන් එම තනතුරට නොගැළපෙන බව බොහෝ දෙනා කීහ. මෙම පසුබිම හමුවේ දිවංගත අගමැතිතුමාගේ වැඩිමහල් පුතණුවන් වූ ඩඞ්ලි සේනානායක මහතාගේ නම කරළියට පැමිණියේය.
ඉතා නිහතමානී, ආකර්ෂනීය ගතිගුණවලින් හෙබි අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කෙනෙකු වූ ඩඞ්ලිගේ පත්වීම ගැන බොහෝ දෙනා සතුටට පත්වූහ. මෙවැනි තත්ත්වයකට තුඩු දීමට තවත් හේතුවක් වූවේ ප්‍රබල කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු වූ කර්මාන්ත සහ කර්මාන්ත ඇමති ජී. ජී. පොන්නම්බලම් මහතා සහ අධිකරණ අමාත්‍ය සර් ලලිත රාජපක්‍ෂ මහතාද කිසිම හේතුවක් නිසා කොතලාවල මහතා යටතේ පාලනයකට සහභාගී නොවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමය. එමෙන්ම ආණ්ඩු පක්‍ෂයේ තවත් මන්ත්‍රීන් තිස් දෙනෙකු පමණ ජෝන් කොතලාවල මහතා අගමැති නොකරන්නැයි අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිගෙන් ඉල්ලීමක් කළ බවද කියැවේ. ඩී. ඇස්. සේනානායක මහතා දිවංගත වනවිට අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිවරයා සිටියේ එංගලන්තයේය.
ඔහු ආපසු පැමිණෙන තුරු නව අගමැතිවරයා පත් කිරීම වැඩබලන අග්‍රාණ්ඩුකාර සර් ඇලන් රෝස් විසින් කල් දමන ලදී. මෙම දින කීපයෙන් පසු ජෝන් කොතලාවල මහතාට තනතුර අහිමි කරමින් ඩඞ්ලි සේනානායක මහතා අගමැතිවරයා ලෙස පත්වීම් ලැබීය. සර් ජෝන්ට යකා වැහුණි. මද කිපුණු හස්ති රාජයෙකු මෙන් වියරුවෙන් දඟලන්නට විය. අගමැතිධුරය තමාට නොදෙන්නේ නම් අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිට වෙඩි තබා මරා දමන බවට තර්ජනය කළේය. “ඕකා තමයි සේරම කළේ - ඕකා සෝල්බරියා නෙමෙයි - දියබරියා. හොඳයි මම බලාගන්නම්” කියමින් පාරම් බෑවේය.
නිර්මල ප්‍රජාතන්ත්‍රවාදියෙකු සහ විශිෂ්ට ගණයේ දේශපාලනඥයෙකු වූ ඩඞ්ලි සේනානායක මහතා තනතුරු ලෝභියෙකු නොවීය. ඔහු අගමැතිකම භාර ගත්තේ නොකමැත්තෙනි. ඇමති මණ්ඩලය සංශෝධනය කිරීමේ දී සර් ජෝන් කොතලාවල මහතාට ද කලින් පැවති රජයේ දැරූ රජයේ වැඩ සහ මංමාවත් අමාත්‍යධුරය පිරිනැමීමට තරම් යුක්ති ගරුක විය. එහෙත් සර් ජෝන්ට මෙම තත්ත්වය දරා ගත නොහැකි විය. දින කීපයක් ඇතුළත “අගමැති පොරය” නම් වූ පොත් පිංචක් පළ කළ සර් ජෝන් දීර්ඝ විදේශ සංචාරයක් සඳහා ඇමරිකාවට ගියේය. “අගමැති පොරය” නිකුත් වීමෙන් පසු අගමැති ඩඞ්ලි සේනානායක මහතාගේද ඉවසීමේ සීමාව ඉක්ම ගියේය. තමාට අපහාස කරමින් ලියා ඇති මෙම කූට ලේඛනය ගැන කෝපයට පත් ඩඞ්ලි සේනානායක මහතා ඇමරිකාවේ ලංකා තානාපති සර් ක්ලෝඞ් කොරෙයා මහතාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් “සර් ජෝන් වෙතින් ඉල්ලා අස්වීමක් ලබාගෙන තමා වෙත එවන්නැයි” නිර්දේශ කළේය. සර් ජෝන් සිටින්නේ කොහේදැයි සොයා බැලූ තානාපතිවරයාට දැනගන්නට ලැබුණේ ඔහු මැක්ෂිකෝ රාජ්‍යයේ වෙසෙන බවයි. විනීත ආචාරශීලී මහත්මයකු වූ සර් ක්ලෝඞ්, නිසි රාජ්‍ය තාන්ත්‍රික වත් පිළිවෙත්වලට අනුව කටයුතු කරමින් අගමැතිතුමාගේ ඉල්ලීම ඇමතිවරයාට සැලකර සිටියේය. කෝපයෙන් වියරු වැටුණු සර් ජෝන්ගේ ප්‍රතිචාරය මේඝ ගර්ජනයක් බඳු වූ හෙයින් තානාපතිවරයාට දැනුණේ තම කන් අඩි පැලී ගියාක් මෙනි. සර් ජෝන් තම ග්‍රාම්‍ය ස්වරයෙන් ප්‍රකාශ කර තිබුණේ “ඉල්ලා අස්වීම ගහගන් තොගේ...” යනුවෙනි. මෙහි සඳහන් කළ නොහැකි එම පරුෂ වචනයෙන් සර් ජෝන් කියා තිබුණේ ඉල්ලා අස්වීම තානාපතිවරයාගේ අධෝමාර්ගයේ රඳවා ගන්නා ලෙසය. මෙම සියලු කරුණු තමා වෙත වාර්තා වුවද අගමැතිවරයා සියල්ල අමතක කර දැමීය. කෝපයට පත් සර් ජෝන් කිසි විටෙකත් තම සිත් තැවුල අමතක කර නොදැමීය. ජනතාවගේ වරමකින් තොරව රටේ අගමැතිධුරය දරන්නේ යැයි ප්‍රසිද්ධියේ කියාපාන්නට විය. ඩඞ්ලි සේනානායක මහතා එය පිළිගෙන 1952දී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීය. අති විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර පිහිටුවන ලද රජයේ ද අමාත්‍යධුරයක් සර් ජෝන්ට ද පිරිනැමුවේය. ඇමති මණ්ඩල සංශෝධනයක් නිසා ඇතිවූ සිත් රිදීමක් එසේ දුර දිග ගිය බව ඉතිහාසයේ සඳහන් වේ.
හවුල් ආණ්ඩු පිහිටුවා පවත්වාගෙන යාම වූකලී දැළි පිහියෙන් කිරි කන්නාක් වැනි අමාරු කටයුත්තකි. රජය පිහිටුවන විට එකිනෙකා කෙරෙහි පවතින සුහද බව, ළෙන්ගතුකම හා සමගිය කෙටි කලකදීම අතුරුදන් වේ. සුළු වශයෙන් පටන් ගන්නා නොරුස්නාකම්, කුල මල කියා ගැනීම් දක්වා දුරදිග යයි. එය අර්බුදයේ මුල වේ. මෙය සමීකරණයක් මෙන් නියත සත්‍යයකි. 1956 දී ඉතා සමගියෙන් ඔල්වරසන් මැද පිහිටුවා ගත් මහජන එක්සත් පෙරමුණ රජයේ ඉරණම තීන්දු වූයේ ද ඒ ආකාරයටය. ඇමති මණ්ඩලයේ කටයුතු කරමින් සිටි විප්ලවකාරී සමසමාජ පක්‍ෂයේ අමාත්‍යවරුන් දෙදෙනා වූ ආහාර සහ කෘෂිකර්ම ඇමති පිලිප් ගුණවර්ධන සහ කර්මාන්ත සහ ධීවර ඇමති පී. එච්. විලියම් සිල්වා යන මහතුන් දෙදෙනා රජයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා රජයේ දක්‍ෂිණාංශික ඇමතිවරු දහදෙනෙක් කැබිනට් වර්ජනයක් ආරම්භ කළහ. මෙම ඉල්ලීම ඉටු කිරීමට අගමැති බණ්ඩාරනායක මහතා තුළ කැමැත්තක් නොවුණි. එහෙත් තම රජයේ බලවත් කණ්ඩායමක් ඉදිරිපත් කරන මෙම බලපෑම නොසලකා සිටීමට ඔහුට නොහැකි විය. 1959 මැද භාගයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කුරුණෑගල සම්මේලනයේ දී ප්‍රකාශයක් කරමින් පෙර කී ඇමතිවරුන් දෙදෙනා ඉවත් කර කැබිනට් සංශෝධනයක් ඇති කිරීමට සූදානම් බව පැවසීය. 1959 මැයි මස 19 වැනිදා පිලිප් සහ විලියම් ඇමතිධුරවලින් ඉවත් කරන ලදී. පනස් හයේ මහා මැතිවරණයේ දී බලයට පත්වූ මහජන එක්සත් පෙරමුණු රජය එතෙකින් නිමාවට පත් වූ අතර එය තනිකර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රජයක් බටව පත්විය.
පිලිප් සහ විලියම් රජයේ ඇමතිධුරවලින් නෙරපා හැර ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුකළ වහාම කිරිඇල්ල මන්ත්‍රිනි කුසුමා ගුණවර්ධන මිය, හොරණ මන්ත්‍රී සාගර පලන්සූරිය, මස්කෙළිය මන්ත්‍රී සූරියසේන ජිනදාස, දැදිගම මන්ත්‍රී ඇම්. පී. හේරත්, හම්බන්තොට මන්ත්‍රී ලක්ෂ්මන් රාජපක්‍ෂ, බෙලිඅත්ත මන්ත්‍රී ඩී. ඒ. රාජපක්‍ෂ, මැද කොළඹ තුන්වැනි මන්ත්‍රී ඇම්. ඇස්. තේමිස්, මහනුවර මන්ත්‍රී පී. තෙන්නකෝන්, නිවිතිගල මන්ත්‍රී ඩී. එෆ්. හෙට්ටිආරච්චි යන මන්ත්‍රීවරු විපක්‍ෂයට එක්වූහ. මෙම ඇමති මණ්ඩල සංශෝධනයට අනුව අමාත්‍ය ධුර පහත සඳහන් අයුරින් වෙනස් විය. කර්මාන්ත සහ ධීවර ඇමති - ජේ. සී. ඩබ්. මුණසිංහ මහතා (හලාවත මන්ත්‍රී), ස්වදේශ ඇමති - ටී. බී. ඉලංගරත්න (ගලහ මන්ත්‍රී) පළාත් පාලන සහ නිවාස ඇමති - විමලා විජේවර්ධන මිය, සෞඛ්‍ය ඇමති පදවියට ඒ. පී. ජයසූරිය (සෙනෙට් මන්ත්‍රී), රජයේ වැඩ ඇමති හෙන්රි අබේවික්‍රම මහතා (බද්දේගම මන්ත්‍රී) කම්කරු අමැති ඇම්.පී. ද සොයිසා (අම්බලන්ගොඩ බළපිටිය පළමුවැනි මන්ත්‍රී) සංස්කෘතික හා සමාජසේවා ඇමති - ජයවීර කුරුප්පු මහතා වශයෙනි. කැබිනට් සංශෝධනයක් සිදුවූ නමුදු විශාල මන්ත්‍රී පිරිසක් රජයෙන් ඉවත්ව යාම නිසා රජයට බහුතර බලය අහිමිවන ආකාරයක් දැක ගත හැකිවිය. වමේ මන්ත්‍රීවරු රජයෙන් ඉවත්ව ගිය අතර දක්‍ෂිණාංශය බලවත්වීමේ ප්‍රවණතාවක් මතුවිය. බණ්ඩාරනායක අගමැතිතුමා මරා දැමීම දක්වා විහිදී ගිය එම ක්‍රියා කලාපය සමස්ත රටම විපතට හෙළන්නක් වූ බව සම කාලීන දේශපාලන ඉතිහාසයේ සටහන්ව ඇත.
බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයෙන් පසුව අගමැතිධුරය හිමිවූයේ එවකට අධ්‍යාපන ඇමති පදවිය දැරූ විජයානන්ද දහනායක මහතාටය. ඔහු අග්‍රාමාත්‍ය පදවිය ලැබූ දින සිට කටයුතු කළේ ශ්‍රී ල.නි.ප. යට හිතකර ප්‍රතිපත්තියක පිහිටා නොවේ. ආරම්භයේ සිටම තමාගේ නායකත්වයෙන් පක්‍ෂයක් ආරම්භ කිරීමට ඔහු කටයුතු කළේය. බණ්ඩාරනායක අගමැතිතුමාගේ සමීප සගයන් වූ එම රජයේ ජ්‍යෙෂ්ඨයෝ එම ක්‍රියා පිළිවෙත අනුමත නොකළහ. රජය තුළ විශාල මතභේද ඇතිවිය. මෙයට මුහුණදීම සඳහා අගමැතිවරයා කළේ කැබිනට් සංශෝධන ඇති කිරීමය. දිනපතාම පාහේ මධ්‍යම රාත්‍රියේ ගැසට් නිවේදන නිකුත් කරමින් පොකුරු පිටින් ඇමතිවරුන් නෙරපා දැමීම ඔහුගේ සිරිත විය. ඇමතිවරුන් පමණක් නොව උප ඇමතිවරුන්ද බුරුතු පිටින් ඉවත් කළ අතර ඇමති මණ්ඩලය නිතිපතා සංශෝධනය වීම සිදු විය. ඒ පිළිබඳ අතීතය මදක් විමසීමට ලක් කළහොත් පෙනී යන්නේ මේ අයුරිනි. 1959.12.08 වැනිදා ස්වදේශ කටයුතු ඇමති ටී. බී. ඉලංගරත්න, සෞඛ්‍ය ඇමති ඒ. පී. ජයසූරිය, ගමනාගමන හා විදුලි බල ඇමති මෛත්‍රීපාල සේනානායක, කම්කරු ඇමති ඇම්. පී. ද සොයිසා, සංස්කෘතික හා සමාජසේවා ඇමති පී. බී. ජි. කළුගල්ල යන මහත්වරුන් සහ ගමනා ගමන සහ විදුලිබල උපඇමැති හියු ප්‍රනාන්දු යන මහත්වරු අගමැතිවරයා විසින් ඉවත් කරනු ලැබීය.
එහි දෙවැනි පියවර වශයෙන් 1960 ජනවාරි හයවැනිදා තවත් ඇමති පිරිසක් ඉවත් කිරීමට අගමැති දහනායක මහතා ක්‍රියා කළේය. එදින වෙළඳ ඇමති ආර්. ජී. සේනානායක, කර්මාන්ත සහ ධීවර ඇමති ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ, රජයේ වැඩ ඇමති හෙන්රි අබේවික්‍රම, තැපැල් ගුවන් විදුලි හා ප්‍රවෘත්ති ඇමති සී. ඒ. ඇස්. මරික්කාර්, සෞඛ්‍ය උපඇමති කේ. ඩී. ගුණරත්න, මුදල් උපඇමැති දයා ටී. පැස්කුවල්, ජනසතු සේවා උපඇමති ඇන්ඩෘ දිසානායක, ආහාර හා වෙළඳ උපඇමති ඩී. බී. මොන්නෑකුලම, පළාත් පාලන හා නිවාස උපඇමති වී. ටී. ජී. කරුණාරත්න යන මහත්වරුන් තනතුරුවලින් ඉවත් කෙරුණි. අවසාන භාගය වනවිට රජයේ බහුතර බලය ද අහිමිව නීතිපතා ඉදිරිපත්වන්නට වූ විශ්වාසභංග යෝජනා රැල්ලකට මුහුණ දී ගත නොහැකිවුණු අගමැති දහනායක මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතාට උපදෙස් දුන්නේය.
ආණ්ඩු තුළ බල අරගල සමනය කිරීම සඳහාත් වෙනත් අර්බුද නිරාකරණයටත් ඇමති මණ්ඩල සංශෝධන සිදු කළත් ඒවා හොඳ අතට මෙන්ම නරක අයුරින්ද විසඳී ගිය අන්දම ඉහත පෙන්වූ නිදසුන්වලින් පෙනී යයි. දේශපාලන ක්‍ෂෙත්‍රය යනු හුදෙක්ම බලය සඳහාම සිදුවන අරගලයක් වන නිසා තවත් බොහෝ කාලයක දී වුවද මෙවැනි සිදුවීම් අපට දක්නට ලැබෙනවා නිසැකය.
සෝමසිරි වික්‍රමසිංහ