කොට්ඨාස පදනම් කරගෙන මන්ත්‍රීන් තෝරන ක්‍රමය ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම අරඹන ලද්දේ 1931 සර්වජන ඡන්ද බලය ආරම්භ වී රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය ආරම්භ කිරීමත් සමගය. එහෙත් 1947 වන තෙක් දේශපාලන පක්ෂ ක්‍රමය වැඩිදියුණු නොවූ බැවින් තනි තනි පුද්ගලයා මැතිවරණයට ඉදිරිපත් වූයේ තම තමන්ගේ ජනප්‍රියත්වය, ප්‍රභූත්වය පදනම් කර ගෙනය. 1931 ආණ්ඩුක්‍රමය තුළ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ලංකාව බෙදා ඡන්ද කොට්ඨාස 50ට මන්ත්‍රීන් තෝරා ගැනීමට 1931 ජූනි මාසයේ මැතිවරණ පැවැත්විණි. එහිදී මන්ත්‍රීන් 08 දෙනෙක් නිතරගයෙන් පත්වූහ.
1. මිනුවන්ගොඩ ආසනය - ඩී. එස්. සේනානායක
2. කැලණිය ආසනය - සර් ඩී. බී. ජයතිලක
3. වේයන්ගොඩ ආසනය - ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක
4. හැටන් ආසනය - පැරී සුන්දරම්
5. බදුල්ල ආසනය - ඩී. එච්. කොතලාවල
6. දැදිගම ආසනය - ඒ. ඇෆ්. මොලමුරේ
7. රුවන්වැල්ල ආසනය - ජේ. එච්. මීදෙනිය අධිකාරම්
8. බළන්ගොඩ ආසනය - ජේ. සී. රත්වත්ත අධිකාරම්
දකුණු කොළඹ ආසනය සඳහා පත්වූ එස්. ඩබ්. දහනායකගේ මරණය නිසා 1935.06.07 වැනි දින පැවැති අතුරු මැතිවරණයෙන් දොස්තර ඊ. ඒ. කුරේ ද නිතරගයෙන් තේරී පත්විය. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අවුරුදු 05ක නිල කාලය අවසන් වීමෙන් පසුව 1936 පෙබරවාරි - මාර්තු මාසවල පැවැති දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට කොට්ඨාස 50 සඳහා පැවැත්වූ මැතිවරණයේදී මන්ත්‍රීවරු 07 දෙනෙක් නිතරගයෙන් පත්වූහ.
1. මිනුවන්ගොඩ - ඩී. එස්. සේනානායක
2. කැලණිය - සර් ඩී. බී. ජයතිලක
3. වේයන්ගොඩ - එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක
4. කයිට්ස් - ඩබ්. දොරේසාමි
5. කුරුණෑගල - ජේ. ඇල්. කොතලාවල
6. හලාවත - ජී. සී. එස්. කොරයා
7. අනුරාධපුරය - එච්. ආර්. ප්‍රීමන්
1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් පසු අතුරු මැතිවරණ විසි හතරක් පවත්වනු ලැබීය. එම අතුරු මැතිවරණවලදී ද 1936.10.26 පැවැති බදුල්ල අතුරු මැතිවරණයෙන් ඩී. එම්. කොතලාවල මහතා නිතරගයෙන් පත්විය. 1946.07.14 පැවැති හම්බන්තොට අතුරු මැතිවරණයෙන් ඩී. ඒ. රාජපක්ෂ මහතා ද පත්වූයේ නිතරගයෙනි.
1947 මහ මැතිවරණය වන විට ලංකාව ඡන්ද කොට්ඨාස අසූ නවයකට බෙදා බහු ආසන සමග මන්ත්‍රීවරු 95 දෙනෙක් තෝරා ගත යුතු වූ අතර, එම 1947 මහ මැතිවරණය පවත්වන ලද්දේ දින 19ක් මුළුල්ලේය. 1947 ජූලි 23, 25, 26, 27, 28, 30 අගෝස්තු 1, 4, 6, 8, 9, 10, 11, 13, 15, 16, 17, 18, 20 එම දින 19 යි. මේ වන විට දේශපාලන පක්ෂ ක්‍රමය දක්නට ලැබූ අතර, ඒ ඒ පක්ෂවලින් අපේක්ෂකයින් තරග කිරීම ආරම්භ විය. මෙම මැතිවරණයේදී පුත්තලම ආසනයට එ.ජා. පක්ෂයෙන් ඉදිරිපත්වූ එච්. ඇස්. ස්මයිල් මහතා නිතරගයෙන් පත්වූයේ කිසිදු පක්ෂයක් ඔහු හා තරගයට ඉදිරිපත් නොවූ බැවිනි.
1960 සිට ඡන්ද කොට්ඨාස සංඛ්‍යාව 145 වූ අතර, බහු ආසන සමග මන්ත්‍රීවරු 151ක් තෝරා ගත යුතු විය. 1965 මැතිවරණය පවත්වන දිනය 1965 මාර්තු 22 වැනිදා නාමයෝජනා භාරගනු ලැබුවේ 1965 ජනවාරි 11 දිනදීය. එහිදී දකුණු කොළඹ බහු ආසනය සඳහා ප්‍රබල පක්ෂ දෙකක ප්‍රබල නායකයින් දෙදෙනෙක් නිතරගයෙන් පත්වූහ. මෙය දුර්ලභ අවස්ථාවක් වූයේ පක්ෂ දෙකක දෙදෙනෙක් නිතරගයෙන් පත්වීමයි.
1. එක්සත් ජාතික පක්ෂය - ජේ. ආර්. ජයවර්ධන
2. ලංකා සමසමාජ පක්ෂය - බර්නාඞ් සොයිසා එසේ තේරී පත්වූ දෙදෙනාය.
එම මැතිවරණයේදී එ.ජා. පක්ෂය වැඩි ආසන ගණනක් ලබාගනිමින් තවත් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී ආණ්ඩුවක් පිහිටවනු ලැබීය. නිදහසින් පසු එතෙක් ආණ්ඩුවක් තම නිල කාලය සම්පූර්ණ කළ ආණ්ඩුව එය විය.
1970 මැයි 27 වැනි දින පැවැති මහ මැතිවරණය සඳහා නාමයෝජනා ගැනීම 1970 අප්‍රේල් 23 සිදුවූ අතර, වැලිමඩ ආසනය සඳහා ශ්‍රීලනිපයේ ආර්. එම්. බණ්ඩාර මහතා එහිදී නිතරගයෙන් තේරී පත්විය. වෙනත් පක්ෂයකින් හෝ ස්වාධීනව වෙනත් කිසිදු අපේක්ෂකයකු ඉදිරිපත් නොවීම ඊට හේතුව විය. 1977 මැතිවරණයෙන් පසු කේවල ඡන්ද කොට්ඨාස ක්‍රමය අහෝසි වී සමානුපාතික මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වීම සමග නිතරගයෙන් මන්ත්‍රීන් පත්වීම අහෝසි විය.
බණ්ඩාරගම - සමරසේන මුදලිගේ
ඡායාරූප : අන්තර්ජාලයෙනි