නිතරගයෙන් පත්වූ පළමු මුස්ලිම් මන්ත්‍රී


 

එදා පුත්තලම ආසනය, පුත්තලම් කළපුව අසබඩින් ආරම්භ වී යාපහුව දක්වාත් වන්නි හත්පත්තුවේ උඩරට ප්‍රදේශය හා දෙමළ හත්පත්තුව පුරාත්, විහිදී ගිය බිම් ප්‍රමාණයකින් සමන්විත විය.


මුස්ලිම් හා කතෝලික ආගම් අදහන ධීවරයන් බහුලව පදිංචිව සිටි මෙහි බෞද්ධ ගොවියෝද සෑහෙන පිරිසක් වූහ. වන්නි හත්පත්තුවේ ගොවි ජනතාව හේන් ගොවිතැනින් ජීවිතය සරිකර ගත් අතර එතරම් පහසුකම් භුක්ති විඳි පිරිසක්ද නොවූහ.


අධ්‍යාපන පහසුකමක්ද හරිහැටි නොතිබූ පුත්තලමින් කිව හැකි අන්දමේ උගතුන් බිහි නොවීමේ හේතුවෙන්, මොරටුවේ ඉපිද කොළඹ පදිංචිව උසස් අධ්‍යාපනය ලත් කුරුණෑගල, ප්‍රදේශයේ ඉඩම් රාශියක් හිමිව තිබූ ශ්‍රීමත් හෙන්රි ද මෙල් 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වී සිටියේය.


කාලයාගේ ඇවෑමෙන් වන්නි හත්පත්තුවෙන් බිහිවූ රටේ මහතෙකු වශයෙන් රාජ්‍ය සේවයේ යෙදුණු ජේ. එච්. ඉලංගන්තිලක, 1936 දී පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී හෙන්රි ද මෙල් වැඩි ඡන්ද 600 කින් පමණ පරාජය කොට පුත්තලම මන්ත්‍රීවරයා විය.


එහෙත් 1936 සිට 1947 දක්වා දීර්ඝ කාලීනව පැවති දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පූර්ණ කාලීනව වැජඹීමට වාසනාවක් නොමැතිවූ මන්ත්‍රී ඉලංගන්තිලක, 1943 දී අභාවප්‍රාප්ත වූයෙන්, පැවති අතුරු මැතිවරණයේදී තරඟබිමට අවතීර්ණ වූයේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විදුහල්පතිව සිටි යූ. බී. වන්නිනායක හා පුත්තලම නීතිඥයෙකු වූ එච්. ඇස්. ඉස්මයිල්ය. තියුණු තරඟයක්වූ මෙයින් ඉස්මයිල්ට වාසි සහගත තත්ත්වයක් මුලින් පෙන්නුම් කළද ඡන්ද ප්‍රතිඵලය වූයේ යූ. බී. වන්නිනායක වැඩි ඡන්ද 200 කින් පමණ පුත්තලම ආසනය ජය ගැනීමය.


1947 පළමු වැනි මහ මැතිවරණය ඉලක්ක කරගෙන යළි ඡන්ද කොට්ඨාස බෙදීම මත, පුත්තලමද කොට්ඨාස දෙකක්වූ අතර අලුතින් ඇතිවූ ඡන්ද කොට්ඨාසය වූයේ නිකවැරටියයි.


මේ අනුව මුහුදුබඩ මුස්ලිම්වරුන් බහුලව විසූ පෙදෙස පුත්තලම වශයෙන්ද දෙමළ හත්පත්තුව හා වන්නි හත්පත්තුව සිංහලයන් බහුල ආසනයක් වශයෙන් නිකවැරටිය නමින්ද බෙදුණි.


පළමුවරට තරග කොට යූ. බී. වන්නිනායකට පරාජය වූ එච්. ඇස්. ඉස්මයිල්, 1947 මහ මැතිවරණයෙන් නිතරඟයෙන් පත්වූ මුල්ම මුස්ලිම් මන්ත්‍රී වශයෙන් ඉතිහාස ගතවූ අතර අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායකගේ හදිසි අභාවයෙන් පසු අගමැති පදවියට පත් ඩඞ්ලි සේනානායක පාර්ලිමේන්තුව විසුරුවා හැර පවත්වන ලද 1952 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වශයෙන් ඉදිරිපත්ව වැඩි ඡන්ද 6588 කින් ජය ලැබීය. 
ප්‍රතිඵල මෙසේ විය.


එච්. ඇස්. ඉස්මයිල් - එජාප ඡන්ද 9117


ඇස්. පී. ඩී. ප්‍රනාන්දු - ස්වාධීන - 2529


1947 පැවති පාර්ලිමේන්තුවේ ආහාර උප ඇමති වූ ඉස්මයිල් කාරක සභාවේ උප සභාපති පදවියද දැරූ අතර 1952 පාර්ලිමේන්තුවේදී උප කතානායක පදවියටද පත්විය.


අනතුරුව 1956 දී රටේ මුල්ම දේශපාලන විපර්යාසය ඇතිවී අගමැති සර් ජෝන් කොතලාවලගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජය බලයෙන් ඉවත් කර එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ බලයට පත්වූ අවස්ථාවේදී පුත්තලම ආසනයට ස්වාධීනව තරඟ කළ එච්. ඇස්. ඉස්මයිල්, එයින් ජයගෙන කතානායක පදවියටද පත්වූ අතර 1960 දී දේශපාලනයෙන් විශ්‍රාම ලැබීය.

 

 

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර
ඡායාරූප : අන්තර්ජාලයෙනි.