නිදහස් ශ්‍රී ලංකාවේ නිදහස් ශ්‍රී ලංකාවේ


 

 

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ජනවාරි තුන්වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. එහිදී ජනාධිපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. මෙය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනස්වැනි ප්‍රකාශය බවද කියවේ. මෙම කතාව අතීතයේ හැඳින්වුණේ රාජාසනයේ කථාව යනුවෙනි. 


බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එහි පාර්ලිමේන්තුව විවෘත කරන්නේ බි්‍රතාන්‍යයේ  රජු හෝ රැජින විසිනි. කුමන දේශපාලන පක්ෂයක් බලයට පැමිණ රට පාලනය කළත් එය සලකනු ලබන්නෙ රජුගේ හෝ රැජිනගේ ආණඩුව වශයෙනි. ඒ නිසා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය රජු විසින් කියවනු ලබයි. රජුගේ ආසනය රාජාසනය ලෙස සලකන කල්හි මෙම තත්ත්වය අපට වටහාගත හැකිය. අප මේවන විට නිදහස් ස්වාධීන ස්වෛරී රාජ්‍යයක දවි ගෙවමු. ශ්‍රී ලංකාව ජනරජයකි. එයට රජ කෙනෙකු නැත. 
රාජ්‍ය නායකයා ජනාධිපතිවරයෙකි. ඒ නිසා දැන් ලංකාවේ රාජාසන කථාව පැවැත්වීමේ සම්ප්‍රදායක්ද නැත. පවතින්නේ ජනාධිපතිවරයා විසින් මැතිසබේදී තම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීමයි. මෙවර එහිදී සිදුවන සම්ප්‍රදායික ක්‍රියාවලිය තවදුරටත් පෙරළිකාරී ලෙස අඩුකර තිබූ බවද මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත කැඳවාගෙන එන රාජකීය අසුන් යෙදූ රථ, ඔහුට ආචාරය පුදකරන කාල තුවක්කු වෙඩි මුරය ද අවලංගු කර තිබුණි.


වර්තමානයේ රාජාසනයේ කථාව පැවැත්වීමේ පසුබිම මෙය වුවත් නිදහස් ලංකාවේ පළමු පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උළෙල රාජකීයන්ගේ සහභාගිත්වයෙන් හා සියලු රාජකීය ගරු සම්මාන සහිතව පැවති බව එදා පුවත්පත්වල පළවී තිබුණි. අප අද සාකච්ඡා කරන්නේ නිදහස් ලංකාවේ පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පැවැත්වූ ආකාරය පිළිබද සවිස්තරාත්මක තොරතුරු ගැනය.


සෝල්බරි කොමිසමේ නිර්දේශය පරිදි මෙරටට ඩොමිනියන් මට්ටමේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කරන ලදි. ඒ අනුව පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන හතළිස් දෙකක් ලැබුණු අතර ඊළඟ ආසන සංඛ්‍යාව ලැබී තිබුණේ ලංකා සම සමාජ පක්ෂයටය. 


ආසන 101 කින් සමන්විත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන හතළිස් දෙක බහුතරය නොවුවත් පත්කළ මන්ත්‍රීවරුන් හයදෙනා ද සමග සහ තවත් ස්වාධීන මන්ත්‍රීවරුන් හා දෙමළ මන්ත්‍රී පිරිසකගේ ද සහාය ඇතිව එජාප නායක ඩී. ඇස්. සේනානායක මහතා ආණ්ඩුවක් පිහිටුවීමට සමත් වුවේය. එවකට රටේ වැඩිම අවධානය යොමුව පැවතියේ බි්‍රතාන්‍යය වෙතින් ශ්‍රී ලංකාවට නිදහස දිනා ගැනීමේ කටයුත්ත වෙනුවෙන් වූ අතර එම උත්තරීතර අවස්ථාවද ළඟ ළඟම උදාවෙන බවට සුභ පෙර නිමිති ලැබෙමින් තිබුණි. එයට සමගාමීව නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ උත්සවය පැවැත්වීමට ද කටයුතු සිදුකෙරෙමින් පැවතුණි. 


එම උත්සවය පැවැත්වීමට සංවිධානය කර තිබුණේ පෙබරවාරි මස දහවැනි දිනදීය. එවකට මැති සබය සාමාන්‍යයෙන් රැස්වුයේ ගාලු මුවදොර පැරණි පාර්ලිමේන්තුවේ වුවත් කතා නායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ද සෙනෙට් සභාපතිවරයා ප්‍රමුඛ සෙනෙට් මන්ත්‍රීවරුන් ද ඇතුළු තවත් අමුත්තන් බොහෝ පිරිසක් සහභාගි විය යුතු වු හෙයින් එම ස්ථානය ඉඩ ප්‍රමාණවත් නැති බව සැලකිල්ලට ගෙන කොළඹ නිදහස් චතුරඝ්‍රයේ තනන ලද තාවකාලික ගොඩනැගිල්ලක මෙම විශේෂ උත්සවය පැවැත්වීමට සූදානම් කර තිබුණි. එවකට මේ රට බි්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති නිසා එහි කිරුළ දරමින් අධිරාජ්‍යා ලෙස කටයුතු කළ හයවැනි ජෝර්ජ් මහ රජතුමාගේ බාල සොහොයුරා වු ග්ලෝස්ටර්හි ආදිපාදවරයා සහ දේවිය මෙම උත්කර්ශවත් අවස්ථාවට රජු නියෝජනය කරමින් සහභාගි වූහ. 


එදින සිදු වු සියලු කටයුතු ආවරණය කරමින් 1948 පෙබරවාරි 11 වැනිදා පුවත්පතේ මෙසේ පළකර තිබුණි. එහි සිරස්තලය වුවේ “ආදිපාද යුවළගේ මංගල චාරිකා ගමන යනුවෙනි.” ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ඩී. ඇස්. සේනානායක මහතා විසින් ආදිපාදතුමා ඉදිරියේ සිංහ කොඩිය එසවීමත් එයින් අනතුරුව සිංහල භාෂාවෙන් කථාවක් කිරීමත් ඊයේ ටොරින්ටන් ස්කුවයර්හී තනන ලද විශේෂ පාර්ලිමේන්තු සභා ශාලාවේදී ග්ලෝස්ටර්හි ආදිපාදතුමා ලංකාවේ ඩොමිනියන් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ විශිෂ්ට අංගවලින් එකක් වුවේය. 


ග්ලොස්ටර් ආදිපාදතුමා සහ එම දේවියත් උත්සව පෙරහැරට පසුව උත්සව ශාලාවට පැමිණියහ. එම උත්සව පෙරහැරට සම්බන්ධ වු අය නම් කොළඹ නාගරික සභිකවරු ලංකා යුද හමුදාවල සෙනෙවිවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු විශිෂ්ට අමුත්තෝ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු සෙනට් මන්ත්‍රීවරු, අග්‍රාමාත්‍යවරයා, සේනානායක මැතිනිය, අග්‍රාණ්ඩුකාර තුමා සහ මුවර් ආර්යාව යන පිරිසය. ආදිපාදතුමා සහ එම දේවියත් රජ වාසලින් පිටත් වුයේ උදේ 10.10 ටය. රාජකීය යුවළගේ ගමනට මෙන් විශේෂයෙන් පිළියෙළ කරන ලද මංගල චාරිකාව වනාහි ක්වීන්විදිය, කුමාර වීදිය, යෝර්ක් වීදිය, හාර්සන්ස් පාර, ෂෝට්ස් පාර යූනියන් ප්ලේස් හා ටොරින්ටන් පාරය. 
හැතැප්ප 3 3/4 ක් පමණ වු මේ මංගල චාරිකාව සරසා අලංකාර කර තිබුණ අතර අන්තිම හැතැප්ම 1 1/2 ඇතුළත දෙපැත්තේ රාජකීය නාවික භෞමික, හා ගුවන් යන හමුදාවල භටයන් පාර දෙපැත්තේ පෙළ ගැසී සිටියහ. 


ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු ද මංගල චාරිකාවට ඇතුළත් වූයේ කුමාරවීදිය හා ක්වීන් වීදියත් සන්ධිවන ස්ථානයේදීය. නියෝජිත මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලට රැස් වූ නගර සභිකවරු ද යුද හමුදා සෙනෙවිවරු ද විශිෂ්ට අමුත්තෝ ද නියෝජිත මන්ත්‍රීවරුද, අග්‍රාමාත්‍යවරයා සහ සේනානායක මැතිනිය ද ලෝටර්ස් පාර දිගේ ගමන් කර හසන් පාරේ පාලම උඩදී මංගල චාරිකාවට බසින ලදි. 


පෙ.ව. 9.33 සිට 10.30 දක්වා මෙම පෙරහැරවල් සභා ශාලාවට පැමිණියේය. ඒ ඒ පෙරහැරවල් ප්‍රධාන දොරටුවෙන් ඇතුළුව පෙරහැරවල් දෙක යාවු මාර්ගයේ ගමන්කර රැස්වීම් ශාලාවට පිවිසෙන ලදි.


සැනෙට් සභාවේ සභාපතිවරයා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරයා අග්‍රාමාත්‍යවරයා හා සේනානායක මැතිනිය හා සැනෙට් සභාවේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභානායකවරු සහ වේත්‍රධරයා ද දොරටුව ළඟ නතර වූහ. 10.25 ට අග්‍රආණ්ඩුකාරතුමා සහ මුවර් ආර්යාවත් පැමිණි විට දොරටුව ළඟ නතර වූ ඒ පිරිස විසින් පිළිගන්නා ලදි. ආදිපාද යුවළ සභා භූමියට ළංවත්ම වෙඩි 21 ක ආචාර වෙඩි මුරයක් තබන ලදි. ආදිපාදතුමා මෝටර් රියෙන් බසිත්ම ලංකා පාබල හමුදාවේ හා ලංකා රාජකීය නාවික ස්වේච්ඡා සේවක හමුදාවේ භටයන්ගෙන් සැඳුම් ලත් ආචාර පෙළපාළියක් පවත්වන ලදි. 


ආදිපාදතුමා නියමිත ආසනයේ වාඩි වීමෙන් පසු රැස්ව සිටි සෙසු අයටත් අසුන්ගන්නා ලෙස කියන ලදි. අනතුරුව ආදිපාදතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ඉදිරියට අවුත් පාර්ලිමේන්තුව විවෘත කිරීමට ආදිපාදතුමාට මහරජතුමා විසින් නිකුත්කර තිබෙන බලය පැවරූ ප්‍රකාශය කියවන ලදි. ඉක්බිති සිංහාසනයෙන් (රාජාසනයෙන්) කෙරෙන කථාව අග්‍රාමාත්‍ය ආදිපාදතුමාට භාර දී වේදිකාවේ ගම ආසනයට ගියේය. 


ග්ලොස්ටර් ආදිපාදතුමා විසින් පවත්වන ලද රාජාසනයේ කතාව සෙනෙට් මන්ත්‍රීවරුනි, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුනි ලංකාවේ අභිනව නිදහස් තත්ත්වය යටතේ ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම සභාවාරය විවෘත කිරීමට හේතු වු මෙම දිවයිනට පැමිණ මහරජාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රකාශය කර සිටින ලෙස මහාරජාණන් වහන්සේ විසින් නිකුත් කරන ලද රාජකීය අධිකාරි පත්‍රයකින් මට අණ ලැබී තිබේ.


පහත දැක්වෙන මහරජාණන් වහන්සේගේ සිංහාසනයෙන් කරන කථාව තමුන්නාන්සේලා ඉදිරියේදී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලයට ප්‍රකාශ කිරීමට මා තෝරාගනු ලැබීම මට අතිශය ප්‍රීතියට කරුණකි. ඒ කථාව මෙසේය. සෙනෙට් මන්ත්‍රීවරුනි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුනි. 


මේ රටේ ඉතිහාසයෙහි අතිශයින්ම වැදගත් සිද්ධියක් දක්වන මෙම අවස්ථාවේදී තමුන්නාන්සේලාට පෞද්ගලිකව කථා කරන්නට නුපුළුවන්වීම ඛේදයට කරුණකි. මගේ අධිරාජ්‍යයෙහි ලංකාව විසින් යටත් විදේශීය තත්ත්වයක් උසුලන ලද ශතවර්ෂ එකහමාරකට සමීප කාල පරිච්ඡේදයකගේ ඇවෑමෙන් දැන් මේ රට බි්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළත නිදහස් සාමාජිකත්වය ලබයි.

 

 


කොළඹ සිට ලන්දේසි ආණ්ඩුකාරතුමා විසින් නගරය ද සියලුම ලන්දේසි ප්‍රදේශ ද භාරදෙන ලද්දේ 1796 වර්ෂයේදීය. 1802 වර්ෂයේ එමියන් ගිවිසුම අනුව ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බි්‍රතාන්‍යයට අයත් විය. 1815 මාර්තුවේදී මහනුවර ගිවිසුමේ කොන්දේසි අනුව උඩරට රාජධානිය මහා බි්‍රතාන්‍යයේ රජතුමා සන්තක වීම නිසා මුළු දිවයිනම මගේ අධිරාජ්‍යයේ කොටසක් බවට පත්විය. 1912 වර්ෂයේදී උගත් ලාංකිකයන් වෙනුවෙන් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේදී පෙනී සිටීමට නියෝජිතයෙකු තෝරා ගැනීමේ ක්‍රමය ආරම්භ වු අතර එය ඡන්ද බලයෙන් මන්ත්‍රීන් තේරීමේ ක්‍රමය ලංකාවේ පළමු වරට ඇරඹුණි. එයින් ලංකාවේ දේශපාලන නිදහස පිළිබඳ දියුණුවක් ඇතිවිය. රට ආණ්ඩුකිරීම සම්බන්ධයෙන් මහජනයාට ඇති බලය කලින් කල තව තවත් දියුණු කරන ලදුව 1931 වර්ෂයේදී ඩොනමෝර් ආණ්ඩුක්‍රමය පිහිටුවමින් වගකීමේ ආණ්ඩු ක්‍රමයක් ලබාගන්නා ලද්දේය. 


1944 වර්ෂයේදී තවදුරටත් ආණ්ඩු ක්‍රමයේ වෙනසක් ඇති කිරීම සම්බන්ධයෙන් වාර්තා කරනු සඳහා සෝල්බරි සාමිගේ ප්‍රධානත්වයෙන් කොමිසන් සභාවක් පත්කරනු ලැබීය. එම කොමිසන් සභාවෙන් යෝජනා කරන ලද කරුණු වල ප්‍රතිඵලයක් වශයෙන් ඉකුත් වසරේ අවසාන සමයේදී ලංකාවේ පාර්ලිමේන්තුවක් පිහිටුවන ලද්දේය. 


දැන් ලංකාව බි්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයේ සම්පූර්ණ වගකීමෙන් යුතු සාමාජික රාජ්‍යයක් වශයෙන් නිදහස ලැබ සිටින්නේය. එසේ ඩොමිනියන් තත්ත්වයක් ලැබීමත් සමගම තමුන්නාන්සේලා එම තත්ත්වයට අයිති සියලු බලතල සහ අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා අද රැස්ව සිටින්නාහුය. ලංකාවේ අභිනව ආණ්ඩුක්‍රම තත්ත්වය අනුව එක්සත් රාජධානියේ මගේ ආණ්ඩුවත් ලංකාවේ මගේ ආණ්ඩුවත් යන ආණ්ඩු දෙකේ සබඳකම් පිළිබඳ කටයුතු පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්බන්ධතා පිළිබඳ මගේ මහලේකම්වරයාට පවරා ඇත්තේය. 


තවද ලංකාවේ සිටින මගේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි මම සර් හෙන්රි මන්ක් මේෂන් මුවර් මහතා ප්‍රථම අග්‍රාණ්ඩුකාර ධුරයට පත් කළෙමි.

 


මතු සම්බන්ධයි.

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි