නිදහස් සටනට දිවිදුන් විරුවෝ


 

ශ්‍රී ලාංකේය ජනතාව වශයෙන් අද සමරන්නේ අපේ 70 වන නිදහස් දින උළෙලයි. මෙයට වසර 70 කට පෙර එනම් 1948.02.04 අපි අර්ධ වශයෙන් අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මිදුනෙමු. නිදහස ලබා 70 වසරක් සපිරෙන මේ මොහොතේ අපට සිහිපත් වන්නේ අධිරාජ්‍යවාදීන්ගෙන් තම මව්බිම බේරා ගැනීමට පදනම දැමූ 1818 පළමු නිදහස් අරගලයයි. එය ශෝකජනක බිහිසුණු ත්‍රාසජනක සිද්ධීන්ගෙන් මෙන් ම තනතුරු ලෝභයෙන් රට සතුරන්ටම පවත්වාගෙන යාමට නිදහස් සටන වෙනුවෙන් පෙරට ආ දේශීය නායකයින් සුදු අධිරාජ්‍යවාදීන්ට පාවා දෙමින් දිනා ගැනීමේ මුවදොරට පැමිණි නිදහස දිනා ගැනීමට වසර 130 ක් පමා කළ ඒ ඓතිහාසික සටන් පිළිබඳ ඔබේ මතකය අවදි කිරීමකි.


1815 මාර්තු මස 02 වන දින ඓතිහාසික දළදා මාළිගාවේ මගුල් මඩුවේදී අප සිංහල ජන ප්‍රධානීන් විසින් මෙරට ගිවිසුමකින් ඉංග්‍රීසි ජාතිකයන්ට පවරා දෙන ලදී. සිංහල නායකයින්ගේ තිබූ අසමගිය නිසා මෙසේ වුවත් ඉංග්‍රීසීන් ගිවිසුමෙන් පොරොන්දු වූ කිසිවක් අපට නොලැබෙන තත්ත්වයක් හමුවේ රදලවරුන් මේ පාලනයට එකග නොවීය. අපට රජෙක් නොමැතිව ජීවත්වීමට පුරුදුව සිටි ජාතියක් නොවේ.

එම අඩුව සියලුම පාර්ශව වලට ඉතා තදින් දැණිනි. ඉංග්‍රීසීන්ගෙන් වන අකටයුතුකම් හමුවේ සිංහලේ ස්වාධීනත්වය පතා ගිහි පැවිදි දෙපක්ෂයම එකට එකතු වුවත් ඇහැලේපොළ මහාධිකාරම්තුමා හා මොල්ලිගොඩ අතර තිබූ විරසකය නිසා මේ අවස්ථාව මග හැරී මේ සිද්ධිය ඉක්මනින්ම ඉංග්‍රීසීන් වෙත සැලවිය.


සිංහලේ නිදහස් සටනේ පුරෝගාමියා වන්නේ ඉහගම ස්ථවීරයන්ය. උන්වහන්සේගේ හඬ තියුණු අවියක් මෙන් විය. මෙතෙක් ඉංග්‍රීසි හමුදාවට පක්ෂපාතීව සිටි ඌව දිසාව භාර මොනරවිල කැප්පෙටිපොල නිලමේ ඉහගම ස්ථවීරයන්ගේ හඬට පැහැදුනි. ඉහගම හිමියන් ප්‍රකාශ කළේ සිංහලේ මිණි කිරුළ මලබාර් පෙළපතට නොදී රාජ්‍ය වංශික බෞද්ධ කුමාරයකු සියම් දේශයෙන් ගෙන්වා ගෙන ඔහුට රාජ්‍යත්වය පවරා දීමටයි.

ඒ වන විට 21 වන වියේ සිටි මේ හිමිනම මේ අභියෝගය භාර ගන්නා ලදී. මෙම සිද්ධිය නොබෝ දිනකින්ම ඉංග්‍රීසි ආණ්ඩුවට සැල වූ අතර ඉහගම ස්ථවිරයන් ඉංග්‍රීසි අත්අඩංගුවට පත්වුවත් ඉන් පලා ආ උන්වහන්සේ ගිහියෙකු ලෙස ජීවත් විය. ඉහගම හිමිගේ නිදහස් සටනට හත් කෝරළයේ වැසියන් දහස් ගණනින් එකතු වූහ. රජකමට සුදුසු කුමාරයෙකුත් දළදා වහන්සේගේ අයිතියත් ලැබ නිදහස් සටන්වලට උන්වහන්සේ මුල පුරන ලදී.


හැපලෝගම මොහොට්ටාලත්, කිවුලේගෙදර මොහොට්ටාලත් මේ සටන් බිමට අවතීර්ණ වූ අතර ඉංග්‍රීසි ආණ්ඩුව වෙල්ලස්ස ප්‍රදේශයට මුස්ලිම් ජාතිකයකු මුහන්දිරම් තනතුරකට පත් කිරීමෙන් සිංහලේ නායකයින් කැලඹීමට පත් වූ අතර ඉංග්‍රීසි ආණ්ඩුවට ඔත්තු සැපයූ නිසා ඉනාවැල්ලේදී බූටෑවේ රටේ රාල විසින් මෙම හජ්ජි මුහන්දිරම් මරා දමන ලදී. එසේම බදුල්ල දිසාපති සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් දක්ෂ දුනු හේවායෙකු වූ හිටිරාළගේ ඊතල පහරින් මරණයට පත්විය. 1817 නොවැම්බර් 01 වැනිදා ඉංග්‍රීසි හමුදාව සමග සිටි මොණරවිල කැප්පෙට්ටිපොළ නිලමේ අවි ආයුධ ඉංග්‍රීසින්ට බාරදී සිංහල හමුදාවට එක්වීම සටන් පෙරමුණට අලුත් බලාපොරොත්තුවක් එක් කළේය.


මේ සමගම ඉංග්‍රීසි ආණ්ඩුවේ හතර කෝරළය භාරව සිටි පිළිමතලාවේත්, මාතලේ දිසාව භාරව සිටි මඩුගල්ලේත් ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් බිමට අවතීර්ණ වීම සිංහලයින්ගේ සටන වේගවත් කිරීමට සමත් විය. ඉංග්‍රීසි ආණ්ඩුව කැප්පෙටිපොළ නිලමේ හෙබවූ තනතුරට මොල්ලිගොඩ මහා අධිකාරම් පත්කරන ලදී.

ඒ සමගම උඩරට නායකයින් අතුරින් සටන් සංවිධානයේ හා එසේම රණබිමේ විශේෂ දක්ෂතා පෙන්වා ඇල්ලේපොළ මහා නිලමේත් සිංහලේ සටනට එක්වීම ඉංග්‍රීසීන්ට ඉවසුම් නොදෙන්නක් විය. සත් කෝරලයේ සටනට නායකත්වය දුන්නේ කුරුඳුකුඹුරේ මොහොට්ටාලයි. සිංහලේ සටන් පෙරමුණට රජ කෙනෙක් පත්කරගත් අතර දියබෙත්මේදී රජුට ඔටුනු පලඳවා රාජකීයත්වය නැවත ස්ථාපිත කරන ලදී.

 


1818 මැයි මාසය පමණ වන විට සිංහල සටන් පෙරමුණ ඉතා බලවත්ව ඉංග්‍රීසි හමුදාවට පහර දෙන ලදී. ඔවුන් සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට තිබූ මොහොතේ සිංහලේ සටන් නැවැත්විණි. පසුව සොයාගත් කරුණු අනුව කැප්පෙටිපොල මහා අධිකාරම්තුමාට අතීසාරය වැලඳී ඔත්පල නොවන්නට මෙයට වසර 200 කට පමණ පෙර අපට නිදහස දිනා ගැනීමට හැකිවෙන්නට තිබුණි. 1818 ජූනි මස 16 වැනි දින වඳුරාගල විහාරස්ථානයේ පැවති සටන් පෙරමුණට සිංහල ඔත්තුකරුවෙකු දුන් ඔත්තුවකට අනුව කඩාවැදුණු ඉංග්‍රීසි හමුදාව සිංහලේ සටන් නායකයා වූ වෑඋඩ නිලමේ අල්ලාගෙන එල්ලා මරා දමන ලදී. සිංහල සටන් පෙරමුණේ සිටි තවත් නායකයකු වූ ඊරියගම කළුබණ්ඩා ඉංග්‍රීසීන්ට ඔත්තු දුන් අයෙකුට වධ දී මරා දැමීමේ පළිය ගත් ඉංග්‍රීසි හමුදාව ඔහුට මරණ දඬුවම නියම කරන ලදී. නමුත් ඔහු ඊට පෙරදින රාත්‍රී වස බී මිය ගියේය. නමුත් ම්ලේච්ඡ ඉංග්‍රීසි හමුදාව මේ මළකුණට දස වද දී ගෙල සිඳ දෙවන වරටත් මළකුණ මරා දමන ලදී.


තාන්න මාන්න වරදාන බලාපොරොත්තුවෙන් සිටි සිංහල බත් බැලයන් නිසා බොහෝ නායකයින් පිරිසක් අපට අහිමි විය. ඒ අතර බූටෑවේ රටේ රාලටත් තම ජීවිතය පුදන්නට වූයේ ඔත්තුකරුවෙකු දුන් තොරතුරකට අනුවයි. 1818.10.20 දින කැටබෝව කොටු දොරකඩ දී බූටෑවේ රටේ රාලගේ සිරුර ගසක එල්ලෙමින් තිබිණි. භික්ෂූන් වහන්සේ දෙපලක් වූ අඹගොල්ලේ උන්වහන්සේටත් ඕලුලියාවේ හිමිටත් සිදුවූයේ සිංහලේ සටනට නායකත්වය දීම නිසා ජීවිත පූජාවට ලක්වීමටයි.


සබරගමුවේ ඉංග්‍රීසි පාලනයට හවුල් වූ එක්නැලිගොඩ අපේ ජාතියේ නිදහස් සටන ඉංග්‍රීසීන්ට පාවාදුන් කළු සුද්දෙකි. ඔහු තම සේනා රැගෙන දුම්බර හා වලපනේ ප්‍රදේශවලට ගොස් ඉංග්‍රීසීන් ගිනිතබා විනාශ කළ නිවෙස්වල ඉතිරි වූ දෙයක් වේනම් නැවතත් ගිනි තැබීමට තරම් දීන විය. සටන් පෙරමුණේ අති දක්ෂයෙකු වූ ඇල්ලේපොල නිලමේ 1818.10.10 ට අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 17 වැනිදා නඩු අසා ඔක්තෝබර් 27 වැනිදා හිසගසා මරා දමන ලදී. හන්නස් ගෙදර රටේ රාලත් අරම්පොල ලොකු මොහොට්ටාලටත් සිදු වූයේ දිවි තොරවන තුරු ගසක අත්තක එල්ලෙමින් සිටීමටයි. වරද සිංහල සටන් පෙරමුණට නායකත්වය දීමයි.


ඉංග්‍රීසි ආණ්ඩුවට අත්‍යවශ්‍යම තිදෙනා තවම ජීවතුන් අතර සිටීම රොබට් බ්‍රවුන්රිග්ට ඉවසුම් නොදෙන කරුණක් විය. කැප්පෙටිපොළ නිලමේත්, මඩුගල්ලේ නිලමේත්, පිළිමතලාවේ නිලමේත් අල්ලා දෙන්නන්ට විශාල තෑගි බෝග ලබා දීමට තීරණය කරන ලදී. ඒ අනුව සිංහල ඔත්තුකරුවෙක් මගින් නුවර කලාපයට අයත් කාහල්ල නම් ගමේ පැරණි වලව්වක සිටි කැප්පෙටිපොළත්, මඩුගල්ලේ නිලමේත් අත්අඩංගුවට ගන්නා ලදී. පිළිමතලාවේ එතැනින් පැන ගියේය.


මේ ආරංචිය බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාට දැන ගන්නට ලැබුණේ ඔක්තෝබර් 29 වැනිදායි. ඔහු ඔක්තෝබර් 31 වැනිදා දිවයිනේ සියලු යුද කඳවුරුවලට ප්‍රීතිමත් දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

නොවැම්බර් 13 වැනිදා නඩුව අසා නොවැම්බර් 26 වැනිදා සිංහලේ අසහාය සටන් නායකයාට මරණ දඬුවම පමුණුවන ලදී. කිව්ලේගෙදර මොහොට්ටාල බිම්තැන්නේ වැද්දන් අතර ඉතා අසරණව සිටියත්, මුස්ලිම් ඔත්තුකරුවන් දෙදෙනෙකුගේ ග්‍රහණයට ලක්ව ඉංග්‍රීසින්ට පාවාදී ඉතාම බෙලහීනව සිටි එතුමා 1818 දෙසැම්බර් 18 වැනිදා බදුල්ලේ දී එල්ලා මරා දමන ලදී. 


ජාතිකාභිමානයෙන් සහ ස්වදේශානුරාගයෙන් ඔදවැටී සිය රටේත් ජාතියේත් ආගමේත් නිදහස පතා සටන් කළ වීරෝදාර අභීත රණකාමී යෝධයින් පිරිසක් අපට අහිමිවුණේ අපේ ම බඩගෝස්තරවාදීන්ගේ පාවාදීම නිසාය. මේ ලිපිය සකස් කළේ ඒ සැබෑ නිදහස වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ වීරෝදාර සත්පුරුෂයින්ට උපහාරයක් පිණිසයි.

 

 

 

 

 

 

 


උපාලි උඩුගමසූරිය