නිදහස් දින උත්සවය නිමාවිය. ඒ වෙනුවෙන් එසවුණු ධජ පතාක තවමත් අභිමානයෙන් යුතුව ගුවනේ ලෙළ දෙයි. ත්‍රිවිධ හමුදාවන්ගේ ආචාර පෙළපාළියේදී හමුදා සෙබළුන්ගේ බර අඩි සහිත පාවහන්වලින් නැගුණු හඬ මෙන්ම මාතෘ භූමියට තම ආචාරය පුද කිරීමට නිකුත් කළ ආචාර වෙඩි මුර විසි එකේ ගිගුම් දුන් හඬ පෞරුෂයද තවමත් දෝංකාර දෙන්නාක් වැනිය. ඒ නිසා නිදහස් උළෙලේ උද්දාමය තවමත් ජනතා සිත් සතන් තුළින් පහව ගොස් නැත. මෙම උත්සවයේදී බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක් වූ චරිතය වූවේ එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ එඞ්වඞ් කුමරාය.
පෙර සමයේ හිරු නොබසින අධිරාජ්‍යය යැයි විරුදාවලි ලත් බි්‍රතාන්‍යය සතු රටවල් සහ භූමි ප්‍රමාණය අති විශාලය. මහාද්වීපයක් වූ ඕස්ටේ්‍රලියාව, යාබද නවසීලන්තය, පෙර දිග කෙළවර ලෙස සැලකුවහොත් බටහිර දිග කෙළවර වූවේ කැනඩාවයි. අප්‍රිකා මහාද්වීපයෙන් බහුතර රටවල් සංඛ්‍යාව බි්‍රතාන්‍ය යටත් විජිතයන් විය. මේසා විශාල අධිරාජ්‍යය ඔටුන්නක් නම් එහි අග්‍ර මාණික්‍ය වුවේ සුවිශාල ඉන්දියාවයි. යටත් විජිත ඉන්දියාව යනු වර්තමානයේ ඉන්දියාව පකිස්ථානය, බංග්ලාදේශය යන රටවල් තුනම ඇතුළත් භූමි ප්‍රදේශයයි. යාබද බුරුමය සිට මලයාව, සිංගප්පූරුව සරවක් බෝර්නියෝ මෙන්ම තෙල් සහ ඛනිජ වර්ගවල ධන නිධානයක් වූ කුඩා බෲනායි රාජ්‍යයද ඔවුන්ට අයත්ව පැවතුනි.
කාලයාගේ ඇවෑමෙන් මෙම මහා අධිරාජ්‍යය වැහැරෙන්නට පටන් ගත්තේය. ප්‍රථමයෙන්ම ඕස්ටේ්‍රලියාව කැනඩාව, වර්ණ භේදවාදී දකුණු අප්‍රිකාව ඩොමිනියන් තත්ත්වයේ නිදහස ලබා බි්‍රතාන්‍යය සමග ඇති බැඳීම්වලින් ඉවත් නොවී අධිරාජ්‍යය සංගමය නම් සංවිධානයක් පිහිටුවා ගත්තේය. අදටත් බි්‍රතාන්‍ය කිරීටයේ රාජ්‍යත්වය පිළිගන්නා ඩොමීනියන් රාජ්‍යයන් වශයෙන් පවතී. කල්යාමේදී කෙන්යාව, ඉන්දියාව, මලයාව ආදී රටවල නිදහස් අරගල ඇති වී දාමරික ක්‍රියාවන් පවා ඇති වූ බව ඉතිහාසයේ සඳහන් වේ. බුරුමයද එවැනි වූවේය. පසුව නිදහස ලැබූ විගසම එරට විමුක්ති අරගලයේ නායකයා වූ අවුන්සාන් සහ ඔහුගේ සමස්ත ඇමති මණ්ඩලයම ඝාතනය කරන ලදි. වර්තමාන බුරුමයේ පාලනය මෙහෙයවනුයේ ඝාතනය වූ නායකයාගේ දියණිය වන අවුන්සාන් සුකී මහත්මිය විසිනි. භාරතයේ නිදහස් සටන මෙහෙය වූ සංකල්පය වූවේ මහත්මා ගාන්ධි අනුගමනය කළේ අවිහිංසාවාදී ක්‍රියාමාර්ගය වුවත් එම සටනේදී නොයෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ බව රහසක් නොවේ. 1960 දශකය වන විට ලෝක දේශපාලන රටාව සම්පූර්ණයෙන්ම වෙනස්ව ගොස් තිබුණි. එම පසුබිම තුළ බොහෝ රටවලට නිදහස ප්‍රදානය කිරීම සිදුවිය. ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් බොහෝ ගණනක් හැටේ දශකය තුළ තම ජාතික නිදහස උදා කරගත් බව අපට මතකය.
එක් දහස් නවසිය හතළිස් අටේ පෙබරවාරි මාසයේ හතරවැනි දින ලංකාව නිදහස ලබන විට බි්‍රතාන්‍යයෙන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ලැබුණි. දැඩි විරෝධතාවකින් තොරවම අපට නිදහස ලැබුණු බව නොරහසකි. එහෙත් අපේ රටේ ජාතික නිදහස උදෙසා දිවිපිදු නායකයන් අපමණය. 1818 දී සහ 1848 දී ඇති වූ ජාතික අරගලවලදී සටනේදී දිවිපිදූ වීරයන් මෙන්ම පසුව මරා දැමූ අයද බොහෝය. එම විරුවන්ගේ නිදහස්කාමී රුධිරයෙන් ලක් දෙරණේ සෑම බිම් අඟලක්ව තෙත් වන්නට ඇත.
එසේද වුවත් අපි බි්‍රතාන්‍ය අධිරාජ්‍යය සමග සුහද සබඳතා පවත්වාගෙන ආවෙමු. අපේ පාර්ලිමේන්තුවට පරමාදර්ශී වන්නේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවයි. එහි වරප්‍රසාද, බලතල හා පරිහාර ඒ අයුරින්ම අනුගමනය කෙරේ. නිදහස ලබන විට අපි බි්‍රතාන්‍යය සමග ආරක්ෂක ගිවිසුම් දෙකක් අත්සන් තැබුවෙමු. එයින් එකක් වූයේ කටුනායක රාජකීය නාවික හමුදා කඳවුරත් ත්‍රිකුණාමලයේ ගුවන් හමුදා කඳවුරත් දිගටම බි්‍රතාන්‍යයට භාවිතා කිරීමට ඉඩ දීමටයි. දෙවැන්න අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමක් බව කියවුණි. අගමැති ඩී. ඇස්. සේනානායක මහතා සහ නව අග්‍රාණ්ඩුකාර සර් හෙන්රි මොන්ක් මේෂන්මුවර් මහතා මෙම ගිවිසුම් දෙකට අත්සන් තැබූ බව වාර්තාවිය. බි්‍රතාන්‍යයට අපෙන් ලබා ගතහැකි ආරක්ෂක උපකාරයක් නොතිබුණා වුවත් මෙම ගිවිසුම් නිසා අපේ රටට යම් පමණක අවාසියක් සිදු වූ බවනම් සත්‍යයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලංකාව ඉල්ලූ සෑම විටකම සෝවියට් රුසියාව නිශේධ බලය යොදා පරාජය කළේ මෙම ගිවිසුම්ගත වීම හෙළා දකිමිනි.
බි්‍රතාන්‍යය කෙරෙහි අපේ සම්බන්ධකම් තවදුරටත් වර්ධනයවීමට හේතුවක් වූවේ බි්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ශ්‍රී ලංකාවද සාමාජිකත්වය දැරීමයි. එම රාජ්‍ය සංවිධානය හුදෙක් සංස්කෘතිකමය බැඳීමක් මත පදනම්ව ගොඩ නැගුනක් බව අමතක කළයුතු නොවේ. බි්‍රතාන්‍යයට යටත් වී සිටි රාජ්‍යයන්ගේ එකමුතුව ලෙස එය හැඳින්විය හැකිය. එහි නායකයා වන්නේ නිසැකවම බි්‍රතාන්‍ය කිරීටය දරන රජු හෝ රැජිනයි. මේ බැඳීම දීර්ඝකාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඉතා කැමැත්තෙන් ආරක්ෂා කරගෙන එනු ලබයි.
අප යටත් කරගෙන පාලනය කරන සමයෙහි බි්‍රතාන්‍යයේ රජ කළ කීර්තිමක් රැජිනක් වූවේ වික්ටෝරියා අධිරාජිනියය. බි්‍රතාන්‍ය රාජාවලියේ දීර්ඝම කාලයක් කිරුළ දැරූ පුද්ගලයා වශයෙන් ඉතිහාසයට එක්ව ඇති ඇය වසර හැට හතරක් රාජ්‍ය විචාළාය. තම යටත් විජිතවලින් සපයාගත් ධනය යොදා බි්‍රතාන්‍ය මහා භාණ්ඩාගාරය පුරවන්නට ඇය කටයුතු කළාය. එමගින් බි්‍රතාන්‍ය රට වැසියන්ට සමෘද්ධිමත් සහ සුවපහසු ජීවන මාර්ගයක් සකසා දීමට ඇය කටයුතු කළ බව කියනු ලැබේ. ඒ නිසා අදටත් බි්‍රතාන්‍ය වැසියෝ වික්ටෝරියා රැජිනටත් ඇයගෙන් පැවතෙන අනුප්‍රාප්තිකයන්ටත් මහත් සේ ගෞරවය පුද කරති.
වික්ටෝරියා රැජින මිය පරලොව යාමෙන් පසු රාජ්‍ය කිරීටය උරුමවුවේ ඇයගේ වැඩිමහල් පුත්‍රයා වූ හත්වෙනි එඞ්වඞ් නමින් රජ වූ එඞ්වඞ් කුමාරයාය. ඊළඟට සිහසුනට පත්වූයේ එම රජුගේ පුත්‍රයා වූ පස් වැනි ජෝර්ජ්ය. ඔහු 1920 සිට 1936 දක්වා විසි පස් වසරක් වූ දිගු කලක් රජ පදවිය දැරූ බව කියනු ලැබේ. ඔහුගෙන් අනතුරුව රජකමට පත්වූවේ පස්වැනි ජෝර්ජ් රජුගේ වැඩිමහල් පුත් වින්ඞ්සර්හි ආදිපාද වරයාය. අටවැනි එඞ්වර්ඞ් නමින් රජ වූ ඔහු රාජකීය චාරිත්‍ර වාරිත්‍ර කඩකරමින් වැන්දඹු කාන්තාවක් වූ වොලිස් වෝෆීල්ඞ් සමග විවාහ වීම නිසා එම රජුට රජකමින් ඉවත්වීමට සිදුවිය. හිරු නොබසින අධිරාජ්‍යයේ මිණි කිරුළට වඩා තම ප්‍රේමය අගය කොට සැලකු එම රජතුමා තම කිරුළ අත්හැර දැමුවේය. ඒ නිසා ඔහුගේ රාජ්‍ය කාලය දින 325 කට සීමා වූවේය. එහෙත් ප්‍රේමය උදෙසා අපරිමිත පරිත්‍යාගයක් කළ සාලිය - අශෝකමාලා, ලයිලා - මජ්නු වැනි අමරණීය ප්‍රේමවන්තයන්ගේ ගණයෙහි ලා සැලකෙන ප්‍රේම වෘත්තාන්තයක් බවට අටවැනි එඞ්වඞ් රජුගේ කථාවද ඉතිහාසයට එක්ව ඇත.
පසුව රාජ්‍යත්වයට පත්වූවේ ඔහුගේ බාල සොහොයුරාය. හය වැනි ජෝර්ජ් යන නමින් රජ වූ ඔහු 1952 දී දිවංගත වීමේදී කිරුළ හිමිවූවේ සිය වැඩිමහල් දියණිය වූ දෙවැනි එළිසබෙත් රැජිනයි. කීප වරක් ලංකාවේ සංචාරය කර ඇති මෙතුමිය අපේ රටේ හොද මිතුරියෙකි. සර් ජෝන් කොතලාවල මහතා අගමැති ධුරය දරණ සමයේදී එනම් 1954 දීත් පසුව වික්ටෝරියා ජලාශය විවෘත කිරීම සඳහාත් මෙරටට පැමිණි එළිසබෙත් මහා රාජිණිය 1972 දී මෙරට ජනරජයක් වශයෙන් කිරීටය හා තිබුණු බැඳීම අතහැර වෙන්ව යාමේදීද සුබ පැතුවාය. තවමත් බි්‍රතාන්‍ය මහා රාජිනිය වන්නේද ඇයමය.
අතීතයේ බි්‍රතාන්‍ය රජවරුන් වෙත පැවති බල පරාක්‍රමය මේ වන විට ගිලිහී ගොස් අවසානය. අද වනවිට එය රබර් මුද්‍රාවක් බවට පත්ව ඇත. පාර්ලිමේන්තුව විසින් සම්මත කර එවන අණ පනත්වලට අත්සන් තැබීමට පමණක් ඔවුන්ගේ බලතල සීමා වී ඇත. එසේද වුවත් බි්‍රතාන්‍ය වැසියෝ අදටත් තම රජ පවුලට ගරු කරති.
දෙවැනි එළිසබෙත් රැජිනගේ වැඩිමහල් පුත්‍රයා වන්නේ චාල්ස් කුමාරයාය- ඔහුගේ ජනප්‍රිය සහ සුරූපී බිරිඳ වූ ඩයනා කුමාරියට කළ වෙනස්කම් නිසා මෙන්ම ඔහු දෙවැනි වරට දික්කසාද වූ පැමිලා පාකර් සමග විවාහවීම නිසාද ජනප්‍රියත්වයෙන් හීන වූ බව අපි දනිමු. රැජිනගේ දියණිය වූ ඈන් කුමරිය රාජකීය අසරු හමුදාවේ නිලධාරියෙකු වූ මාක් ඇන්ටනි සමග විවාහ වූ අතර රැජිනගේ බාල පුත්‍රයා වූ එඞ්වඞ් කුමාරයා අපේ 70 වැනි නිදහස් උත්සවයට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වේ.
මෙයට වසර හතරකට පමණ පෙර පැවති චෝගම් උළෙලේ ප්‍රධාන අමුත්තා වූයේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු චාල්ස් කුමාරයාය. කුමන හේතුවක් නිසා හෝ අපේ රට බි්‍රතාන්‍ය රජ පවුල කෙරෙහි විශාල ගෞරවයකින් සහ ළබැදියාවකින් කටයුතු කරන බව පිළිගත යුතු සත්‍යයකි. එනිසා එඞ්වඞ් කුමාරයා සහ සොෆී කුමරිය රාජකීය අමුත්තන් වශයෙන් පසුගිය දිනවල මෙරට සංචාරය කළබව අපි දනිමු.
වික්ටෝරියා මහ රැජිනගේ රාජ්‍ය කාලය ඉක්මවා යන අයුරින් දෙවැනි එළිසබෙත් මහ රැජිනද දීර්ඝ කාලයක් ආයු ශ්‍රී වින්දනය කරමින් රජකමද දරන නිසා සිය බාල දරුවන්ට කිරීටය දැරීමට අවස්ථාව ලැබේදැයි සැක සහිතය. චාල්ස් කුමාරයාට රජවීමට යම් ඉඩකඩක් තිබුණද ඔහු තවමත් මැදිවියේ පසුවන නිසාත් ඊළඟ උරුම කරුවන් වන්නේ චාර්ල්ස්ගේ දරුවන් නිසාත් අපේ නිදහස් දිනයේ රාජකීය අමුත්තා වන එඞ්වඞ් කුමාරයාට බි්‍රතාන්‍ය කිරීටය දැරීමට ඇති ඉඩකඩ අතිශයින්ම සීමිතය. එසේද වුවත් දීර්ඝකාලීන සංස්කෘතික බැඳීමක් යටතේ සමානයන් වශයෙන් බි්‍රතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින මෙම මිතුරු දම තවත් බොහෝ කාලයක් පවතිනු නිසැකය. එය දෙරටටම වැදගත් වන බවද නොඅනුමානය.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා