නිමාවක් නැති පළිගැනීම්


ඊළාම් සටනේ මහ මුහුදේ යුද්ධය 27 

 

යුද ජයග්‍රහණයට දස වසරකි. ඒ යුද ජය ග්‍රහණය නිර්මාණය වූයේ මරණයට අභියෝග කළ වීරෝදාර රණවිරුවන්ගේ අයස්කාන්ත මැදිහත් වීමෙනි. ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පරිත්‍යාග කළ මව්බිමේ සුජාත දූ පුතුන්ගේ ඒ උත්තම පූජාවන් වර්තමානයට මතු නොව අනාගතයටද දෑසක්ව පැලඳවිය යුතුය.


තිස් වසරක යුද්ධය තුන් වසරකින් නිමා කිරීමේ මෙහෙයුමේදී නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාවට සැපයූ නායකත්වය නොවන්නට ඉතිහාසය වෙනස් විය හැකිව තිබිණි. මේ ඒ ඉතිහාසයෙන් වසන් කළ නොහැකි කතාවය. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ තම යුද අත්දැකීම අළලා ලියූ ‘අධිෂ්ඨානය’ කෘතියෙන් මේ උපුටනය අනාගත පරපුර වෙනුවෙනි.

කොමදෝරු තිසේරාගේ උසස් වීමේ සාදයට සහභාගිවීම මට මහත් ප්‍රශ්නයක් විය. ඔහුටද මාගේ පැමිණීම පිළිබඳව සැකයක් ඇති වන්නට ඇත. පසුදින සවස 4ට පමණ කොමදෝරු තිසේරා මට දුරකථනයෙක් අමතමින් එදින සවස 6 වන විට මා රැගෙන යාමට වාහනයක්ද එවන බව පවසා මට නොවරදවාම ඔහුගේ උසස්වීමේ සාදයට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය. අවසානයේදී ඔහුගේ පෙරැත්තය නිසාම තරමක් අකමැත්තෙන් වූවද මට එයට සහභාගි වීමට සිදුවිය.


එදින සැන්දෑවේ රංගල ආයතනයේ නිලධාරී නිවාසයේ තිබුණු මෙම උත්සවයට විශාල පිරිසක් පැමිණ සිටි අතර ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ කොමදෝරු තිසේරාගේ හමුදාවෙන් පිට මිතුරෝ ඒ අතර වූහ. මේ අතර සරත් ෆොන්සේකාද විය. ටික වේලාවකට පසුව මම සරත් ෆොන්සේකා සමඟ කථාවට වැටුණෙමි. මද වේලාවක් මෙසේ කථා කරමින් සිටින විට අප දෙදෙනා අතර පරස්පර විරෝධී අදහස් මතුවන්නට විය. මෙම මතගැටුම තරමක් උණුසුම් අතට හැරුණි. මම කථාව වෙනතකට යොමුකරමින් එම තත්ත්වය සමථයකට පත්කිරීමට උත්සාහ කළද ඔහු දිගින් දිගටම ඔහුගේ ස්ථාවරය පෙන්වමින් උස් හඬින් කථා කිරීමට පටන් ගැනිණි. එවිට මම ඔහු අමතමින්.
“සරත්, මේක කොමදෝරු තිසේරාගේ උත්සවය. ඔබ මෙම නිලධාරි නිවාසයට පැමිණි ආරාධිතයෙක්. ඒ නිසා ඔය කථාව ඔතනින් නවත්තන්න. එහෙම බැරිනම් යමු එළියට. එළියට ගිහිල්ලා අපි ඕන විදිහකට විසඳගමු.” යැයි මම ඔහුට අභියෝග කළෙමි.


එවිටම අප දෙදෙනාගේම මිතුරන් තත්ත්වය සමථයකට පත්කළ අතර මෙම සිද්ධිය නාවික හමුදාපතිවරයාගේ සහචරයන්ද දුටු බව මට පෙනුණි. හොඳ වේලාවට අප දෙදෙනාගේ කථාව එහි සිටි අනිත් පිරිසගේ අවධානයට වැටී නොතිබුණි. ඉන්පසුව මම එහි වැඩි වේලාවක් ගත නොකොට කොමදෝරු තිසේරාට සුබ පතා ගෙදර ගියෙමි.
පසුදින උදයේ මා හට නැවතත් ත්‍රි’මලයට ගොස් ‘වික්‍රම’ නෞකාවෙන් දින 21ක උතුරු මුහුදේ මුර සංචාරයේ යෑමට නියමිතව තිබුණි. පෙරදින රාත්‍රීයේ වූ සිද්ධිය වෙනත් ආකාරයකට නාවික හමුදාපතිවරයාට පවසා ලකුණු දමා ගැනීමටද සූදානම් පිරිසකුත් සිටින නිසා සහ තව දවස් 22ක් පමණ යනතුරු කිසිවෙකුගෙන් තොරතුරක් දැන ගැනීමට අපහසු වන නිසාත්, ත්‍රි’මලයට යෑමට පෙර සරත් ෆොන්සේකා හමු වී ඔහුට සිද්ධිය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කොට මම රාජකාරියට යෑමට තීරණය කළෙමි. එදින උදේ 8 වන විට කොළඹ කැප්පෙටිපොළ මාවතේ “සමිට්” තට්ටු නිවාස සංකීර්ණයේ ඔහු සිටි නිවසට ගොස් මම ඔහු හමුවීමි.


“ඊයේ වෙච්ච සිද්ධියට කනගාටුව ප්‍රකාශ කරන්න ආවේ.”
“නෑ නෑ ඒක මොකක්ද, ඒක එතනින් ඉවරයි. ඒක ගණන් ගන්න එපා.” ඔහු කියා සිටියේය.
ඔහු මට තේ කෝප්පයක් බීමට ආරාධනා කළත් ත්‍රි’මලය බලා පිටත් වීමි.


මුහුදේ සති දෙකක් පමණ සිටින විට සුපුරුදු පරිදි දුකරථනයෙන් කථා කිරීමට, නෞකාවට එන ලිපි සහ අවශ්‍ය එළවළු ලබාගැනීමට KKS  වරායට ගිය විට නාවික හමුදා මූලස්ථානයෙන් මගේ නමට පෞද්ගලික ලිපියක් තිබුණි. එහි තිබුණේ ‘අවවාදාත්මක ලිපියකි’(Letter of Warning) එහි පිටපතක් මාගේ පුද්ගලික ලිපිගොනුවටද ඇතුළත් කළ බව එහි සඳහන් විය. හේතුව හැටියට සඳහන් කර තිබුණේ සරත් ෆොන්සේකා සමඟ ‘රංගල’ ආයතනයේ නිලධාරී නිවාසයේ දබරයක් ඇතිකරගත් බවය. දබරයක් සිදුවූයේ නැත. තවද කිසිම වගවිභාගයකින් තොරව නිලධාරියකුගේ හෝ නාවිකයකුගේ පුද්ගලික ලිපිගොනුවට ‘අවවාදාත්මක ලිපියක්’ ඇතුළත් කිරීම නාවික හමුදා විනය රෙගුලාසි වලට පැටහැනිය. මේ සියල්ල කෙසේ වෙතත් මුහුදු සංචාරයේ ඉතිරි දිනගණන අවසන් කොට නිවාඩු යන තෙක් කිසිවක් කිරීමට නොහැකි විය.
නිවාඩු ගිය විගස මම සරත් ෆොන්සේකා හට දුරකථනයෙන් අමතා.


“සරත් මට වෝර්නින් ලෙටර් එකක් ආවා නේවි කොමාන්ඩර්ගෙන් එදා වුණ සිද්ධිය සම්බන්ධයෙන්. ඔයා ඒ ගැන මුකුත් දන්නවාද?”
“ඔව්, සිද්ධියට සතියකට විතර පස්සේ මට කෝල් එකක් ආවා නේවි කොමාන්ඩර්ගෙන්. එයා කිව්වා එදා වුන සිද්ධිය කියලා ඔයාට විරුද්ධව කොම්ප්ලෙන් (පැමිණිල්ලක්) එකක් එවන්න කියලා. මම කිව්වා එහෙම කරන්න මට අවශ්‍යතාවක් නැහැ කියලා. ඊට පස්සේ කොමාන්ඩර් ළඟ ඉන්න ඔයාගේ බැච් මේට් (මා සමඟ නාවික හමුදාවට බැඳුණු සාමාජිකයෙක්) කෙනෙකුත් කිව්වා ලියුමක් එවන්න කියලා එයාටත් මම අර උත්තරේම දුන්නා.”


“තැන්ක් යූ සරත්. ඒ ගොල්ලන් හදන්නේ මාව අමාරුවේ දාන්න”


මේ පිළිබඳව තවදුරටත් කරුණු සෙවීමේදී මට අනාවරණය වූයේ, සරත් ෆොන්සේකාත් මාත් නොමැතිව පරීක්‍ෂණයක් පවත්වා මාව වැරදිකරු කොට ඉන් අනතුරුව ඉහත කී අවවාදාත්මක ලිපිය මාගේ පෞද්ගලික ලිපිගොනුවට ඇතුළත් කර ඇති බවයි. මෙය කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුව හා සමාන තීන්දුවකි.
අද්මිරාල් ආනන්ද සිල්වාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේද සහාය ඇතිව මෙම අසාධාරණය පිළිබඳව කරුණු දක්වමින් ලිපි කීපයක් මා විසින් නාවික හමුදාපති වෙත ඉදිරිපත් කළද ඉන් කිසිදු පලක් නොවීය. කරුණු මෙසේ තිබියදී එක් දිනක් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් ඔහුව හමුවන ලෙස දන්වා මාහට පණිවිඩයක් ලැබුණි. ඔහු මාගේ පියා සමඟ රාජකාරී කළ ඔහුගේ මිත්‍රයෙකි. ඔහුට උවමනා වී තිබුණේ මුහුදේ ඇති වූ සිද්ධියක් සම්බන්ධව තුන්වැනි පාර්ශ්වයකින් කරුණු දැන ගැනීමටය. එම සිද්ධිය පිළිබඳව මා දන්නා තොරතුරු අනාවරණය කිරීමෙන් පසු මට සිදුවී ඇති අසාධාරණය පිළිබඳවද මම ඔහුව දැනුම්වත් කළෙමි.
ඊට සතියකට පමණ පසු සරත් ෆොන්සේකා සමඟ වූ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණයකට පෙනී සිටින ලෙස මට නාවික හමුදා මූලස්ථානයෙන් උපදෙස් ලැබුණි. පරීක්‍ෂණය පවත්වන ලද්දේ එවකට බටහිර නාවික ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති වූ කපිතාන් සුරාජ් මුණසිංහගේ මූලිකත්වයෙනි. මෙම පරීක්‍ෂණයට මා සමඟ සරත් ෆොන්සේකාද කැඳවා තිබුණි. කපිතාන් මුණසිංහ සරත් ෆොන්සේකා වෙත හැරී.


“කොමදෝරු තිසේරාගේ උත්සවයේදී වසන්ත ඔබ සමඟ රණ්ඩුවක් ඇති කරගත්තාද, ඔබට ප්‍රශ්නයක් ඇති කළාද?”
“අපි දෙදෙනා අතරේ කිසිම රණ්ඩුවක් ඇති වුණේ නැහැ. අපි අතර වෙනස් මත දෙකක් ඇති වුණා පමණයි. ඇයි අපිට නැති ප්‍රශ්නයක් ඔබලා ප්‍රශ්නයක් කරගන්න හදන්නේ.?” යැයි ෆොන්සේකා පිළිතුරු දුනි.
පරීක්‍ෂණය එතැනින් අවසන් විය. මෙයින් පසු සරත් ෆොන්සේකාත් මාත් අතර තිබුණාට වඩා හිතවත්කමක් ඇති විය. ‘යාල් දේවි’ මෙහෙයුමෙන් සරත් ෆොන්සේකා තුවාල ලබා යුද හමුදා රෝහලේ සිටින විට ඔහුගේ සුවදුක් බැලීමට මමද රෝහලට ගියෙමි. කාලය ඉකුත්ව ගියේය.


2005 සැප්තැම්බර් මස 1 වැනි දින මම නාවික හමුදාපති ලෙස පත්වීමි. මේ වන විට සරත් ෆොන්සේකා යුද හමුදාවේ දෙවන ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ තනතුර වන ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා විය. හමුදාපති ලෙස පත් වී දින කීපයකට පසුව ඔහු මා හමුවීමට පැමිණ ඔහුට යුද හමුදාපති වීමට උදව් කරන ලෙස ඉල්ලා සිටියේය. මට හැකි උපරිමයෙන් ඔහුට උදව් කිරීමට මම පොරොන්දු වුණෙමි. එයට හේතු කීපයක් තිබුණි. පළමුවැන්න අප දෙදෙනාම එකම පාසලේ ශිෂ්‍යයන් වීමය. දෙවැන්න ඔහු මා වෙනුවෙන් නාවික පරීක්‍ෂණයට අවුත් නිවැරදි සාක්‍ෂි ඉදිරිපත් කිරීමයි. තුන්වැන්න ඉතා වැදගත් එකක් විය. එනම් ඔහු යුදහමුදාවේ සටන් බිමේ රාජකාරිය සඳහා දක්‍ෂයෙක් ලෙස නමක් දිනා තිබීමයි.

L.T.T.E. ය. විනාශ කිරීමට යුද හමුදාවට එවැනි නායකත්වයක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් බව මා වටහාගෙන තිබුණි. නිසි දේශපාලනමය සහ ත්‍රිවිධ හමුදා නායකත්වයන් යටතේ L.T.T.E.ය පරාජය කළ හැකි බව මම නිරන්තරයෙන් විශ්වාස කළෙමි. මම නාවික හමුදාපති ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව සේනාධිනායිකාව වූ ජනාධිපතිනිය බැහැදුටුවෙමි. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බැහැදැකීමට ගියෙමි. ඒ වන විට සන්ධාන රජයේ ජනාධිපති අපේක්‍ෂකයා වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාය.


මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමා මා හැඳිනගෙන සිටියේ පාසල් යන සමයේ සිටය. ඔහුගේ සොහොයුරන් දෙදෙනෙක් වන ගෝඨාභය රාජපක්‍ෂ ලේකම්තුමා සහ බැසිල් රාජපක්‍ෂ ඇමතිතුමා මා ආනන්ද විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටින විට නේවාසිකව සිටියහ. ගෝඨාභය ලේකම්තුමා මට වඩා අවුරුදු දෙකක් පමණ ජ්‍යෙෂ්ඨ වූ අතර බැසිල් ඇමතිතුමා මට වඩා අවුරුද්දක් පමණ ජ්‍යෙෂ්ඨ විය. එම පවුලේ බාලම සහෝදරයා වූ ඩඞ්ලි මා සමඟ එකම පන්තියේ සිටියේය. සාමාන්‍ය සහ උසස් පෙළ පන්තිවල ඩඞ්ලි සහ මා සිටියේ එකම කල්ලියේය. 1970 වර්ෂය වන විට නුගේගොඩ නන්ද මාවතේ එවකට ළාබාලම මන්ත්‍රීවරයා වූ මහින්ද රාජපක්‍ෂ මහතා විසූ නිවසට ඩඞ්ලි සමඟ මම නිතරම ගියෙමි.
අරලියගහ මන්දිරයේ අගමැතිතුමාගේ කාර්යාලයට මා ඇතු`ඵ වන විට.


“ආ මෙයාව මම පොඩි කාලයේ ඉඳල දන්න කෙනෙක්නෙ”


යැයි එතැන සිටි ගාමිණී සෙනරත් මහතාට කියමින් අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මා පිළිගත් අතර ඉතාමත් සුහඳ ලෙස මා සමඟ කතා කළේය. ටික වේලාවක් නාවික හමුදාව පිළිබඳව කතා කිරීමෙන් අනතුරුව අපි ඛගඔගඔගෑග ය පිළිබඳව කතා කළෙමු. ඛගඔගඔගෑගය. පැරදවීමේ අවශ්‍යතාව ගැන කතා කරන විට මම මෙසේ කීවෙමි.
“සර් ජනාධිපති වුණායින් පස්සේ  අපි සරත් ෆොන්සේකාව ගේමු. එතකොට අපිට සර්ගෙ කාලයේම මේ යුද්ධය ඉවර කරලා දන්නා පුළුවන්.”


“සරත් ෆොන්සේකා හොඳයිද?” යනුවෙන් අගමැතිවරයා මගෙන් ඇසීය.

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය අන්තර්ජාලයෙනි